ලංකාවේ පළාත් නවයට නියෝජනය කරන පුෂ්ප

ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ නිල් මානෙල් මලයි. නමුත් ලංකාවේ පළාත් නවයක් දක්නට ඇති අතර එම පළාත් නවය නියෝජනය කිරීමට වෙන් වෙන් වූ පුෂ්ප නවයක් පවතී. පළාතේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මෙය උපකාරී වේ. ලංකාවේ පළාත් නවයට ආවේනික වූ පුෂ්ප පහතින් දක්වා ඇත.

  • උතුරු මැද – ඇසළ
  • සබරගමුව – වෙසක් මල
  • බස්නාහිර – සුදු නෙළුම්
  • මධ්‍යම පළාත – මහරත්මල්
  • දකුණු පළාත – හීන් බෝවිටියා
  • ඌව පළාත – ගුරුළුරාජ
  • උතුරු පළාත – වල් පිච්ච/ විෂ්ණු ක්‍රාන්ති
  • නැගෙනහිර පළාත – ගොඩ මානෙල්
  • වයඹ පළාත – ඇට්ටේරියා

සබරගමුව පළාත – වෙසක් මල

orchid.unibas.ch

සබරගමු පළාතේ පුෂ්පය වන වෙසක් මලෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ “Dendrobium maccarthiae” වේ. මෙය බොහෝවිට තෙත් කලාපීය වනාන්තර වල වැවෙන නිසා සිංහරාජයේ හා සිරිපා අඩවියේ බහුලව දැකිය හැක. ඒක බීජ පත්‍ර ශාකයක් වන මෙයට මුදුන් මුලක් නැත. මෙම පැළෑටිය වර්ධනය වන්නේ ගස් කඳන් වලයි. වෙසක් මල සුදු පැහැයට හුරු දම් පැහැයක් ගනී. එක ඉත්තක මල් 10 -50 පමණ සෑදෙන අතර මාසයක් පමණ මෙම මල් පරවන්නේ නැත. මෙම පැළෑටියේ බීජ ව්‍යාප්ත වන්නේ සුළඟ මගිනි. මෙම මල් වැඩි වශයෙන් පිපෙන්නේ වෙසක් මාසය තුළයි.

බස්නාහිර පළාත – සුදු නෙළුම්

savingourboys.info

බස්නාහිර පළාත් පුෂ්පය වන සුදු නෙළුම් පුජනීය මලක් වන්නේ බෞද්ධාගම හේතුවෙනි. සුදු පැහැති මලේ මැද කහ පැහැති කුඩා රේණු දැකිය හැක. ජලජ පැළෑටියක් වන සුදු නෙළුම් මලේ විෂ්කම්භය සෙන්ටිමීටර​ 12ත් 15ත් අතර වේ. මෙම පුෂ්ප ද්විලිංගිකය. මේවා වැඩියෙන් පිපෙන්නේ පෙබරවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළයි.

උතුරු මැද පළාත – ඇසළ

picture.lk

උතුරු මැද පළාත් පුෂ්පය වන ඇසළ ගසේ මල් හටගැනීම ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේදීය. අගෝස්තු මාසය වන විට මේ මල් සියල්ල හැලී අවසාන වේ. කඩාහැලෙන පොකුරු ලෙස පිපෙන මෙම මල් කිනිති ගසේ කොළ නොපෙනෙන තරමට සෑදේ. ඒ නිසා ඈතට සම්පුර්ණ ගසම කහ පාටින් දිස්වේ.

ඇසළ ගසේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ “Cassia fistula” යි. මෙම ශාකය මධ්‍යම ප්‍රමාණයෙන් යුතු වේ. ගසේ පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. ඖෂධීය වටිනාකමකින් යුතු මෙම ශාකය බොහෝවිට වැවෙන්නේ වියළි කළාපය තුළයි. විවිධ දැව නිර්මාණයන් කිරීමට මෙම ශාකයේ කඳ යොදාගන්නේ එහි අරටුව ශක්තිමත් බවින් වැඩි නිසාවෙනි.

මධ්‍යම පළාත – මහරත්මල්

panoramio.com

මහරත්මල් දැකිය හැක්කේ මුහුදු මට්ටමේ සිට මීටර් 1700 – 2300 වඩා උස් ප්‍රදේශ වලයි. පතන භුමි වලදී මෙම ශාකය අඩි 2ත් 3ත් අතර උසකට වර්ධනය වේ. නමුත් වනාන්තර වලිදී මෙය අඩි 10ක් පමණ උසකට වැවේ. ශීත​ කලාපයේ වැවෙන මෙම ශාකය වැඩිපුරම දැකිය හැකි වන්නේ පට්ටිපොළ, හෝර්ටන් තැන්න, සිතාඑළිය ආදී ප්‍රදේශ වලයි. මහරත්මල් මල තද රතු පැහැයක් ගන්නා අතර පිපෙන්නේ පොකුරු ලෙසයි. එක පොකුරක මල් 10ක් 20ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. අප්‍රේල් සිට ජුනි දක්වා කාලයේ පිපේ.

දකුණු පළාත – හීන් බෝවිටියා

yourshot.nationalgeographic.com

මෙය අපේ රටට ආවේනික පැළෑටියකි. මෙය වර්ධනය වන්නේ අතු බෙදී පඳුරක් ආකාරයටයි. ශාකය ශක්තිමත් බවින් අඩුය. melastomataceae උද්භිත කුලයට අයත් මෙම ශාකයේ පත්‍ර වල බූව ඇත. ශාකයේ පොත්ත තද දුඹුරු පැහැයක් ගනී. හීන් බෝවිටියා මල ලා දම්පාට වන අතර මැද කහපාට රේණු දැකිය හැක. අලංකාර මලක් වන මෙය පෙති පහකින් යුතු වේ. මෙම ශාකයේ ගෙඩි පළතුරක් ලෙස ගන්නා අතර කොළ ආහාරයට ගනී. විවිධ රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස මෙය භාවිත කරයි.

ඌව පළාත – ගුරුළුරාජ

conservationplus.blogspot.com

ලංකාවට ආවේනික ශාකයක් වන ගුරුළුරාජ ඌව පළාත් පුෂ්පයයි. මෙය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති නිසා විවිධ පාරිසරික පනත් යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ “Rhynchostylis retusa” වේ. උඩවැඩියා විශේෂයක් වන මෙම පැළෑටියේ මල් සුදු හා රෝස පාට මිශ්‍ර බිමට එල්ලෙන පොකුරක් ලෙස පිපේ. මේ මල් කිනිති නිසාම මෙය “ෆොක්ස් ටේල් ඕකිඩ්” ලෙසත් හඳුන්වයි. ශාකය අඩියක් පමණ උසට වර්ධනය වේ.

උතුරු පළාත – වල් පිච්ච/ විෂ්ණු ක්‍රාන්ති

pinterest.com

උතුරු පළාත සඳහා යෝජනාවී ඇත්තේ වල් පිච්ච හෝ විශ්නුක්‍රාන්ති මලයි. වල් පිච්ච යනු සුදුපැහැති හිනි දිගටි පෙති ඇති කුඩා මලකි. මෙය වියළි කලාපිය වනාන්තර සිමා වල හා දිය කඩිති ආශ්‍රිතව දැකිය හැක.

senthuherbals.blogspot.com

විෂ්ණු ක්‍රාන්ති මල දීප්තිමත් නිල් පැහැයක් ගනී. පෙති 5කින් යුතු මලේ මැද සුදු පැහැති පරාග දැකිය හැක. වියළි දේශගුණයේ හොඳින් වර්ධනය වේ. ඖෂධීය පැලෑටියක් වන මෙය පාචනය වැනි රෝග සඳහා බෙහෙවින් ගුණදායක වේ.

නැගෙනහිර පළාත – ගොඩ මානෙල්

panoramio.com

නැගෙනහිර පළාත් පුෂ්පය වන ගොඩ මානෙල් මල පුනීලයක හැඩයක් ගනී. මෙම මල පිපෙන්නේ පොකුරු ලෙසයි. මලේ පැහැය සුදු පාට වන අතර දම් පාට ඉරි පෙති වල දැකිය හැක. ගොඩමානෙල් මල් පිපෙන්නේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළයි. වියළි කාලගුණයක් සහිත ප්‍රදේශ වලින් හොඳින් වර්ධනය වන මෙහි පැළ හටගන්නේ භූගත කඳකිනි. මෙය ඖෂධයක් ලෙස කනේ අබාධ සඳහා යොදා ගනී.

වයඹ පළාත – ඇට්ටේරියා

pinterest.com

වයඹ පළාත් පුෂ්පය වන ඇට්ටේරියා දේශීය ශාකයකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ “Murraya paniculata” ය. මෙය පෙති පහක මලකි. සුදු පැහැයෙන් යුතු ඇට්ටේරියා මල පොකුරු ලෙස පිපේ. මෙම ශාකයේ උස මීටර් 5ක් පමණ වේ. පත්‍ර තද කොළ පැහැයක් ගන්නා අතර ඝනව වැඩේ. ඇට්ටේරියා මල් පිපුණු විට ඒ අවට ප්‍රදේශයම සුවඳවත් වේ. මේ මල් පිපෙන්නේ රාත්‍රියේය. පසුදා සවස් වන තුරුත් මලේ සුවඳ එලෙසම පවතී. ඇට්ටේරියා මල් පිපිම සඳහා විශේෂ කාලයක් නොමැත. වසරේ ඕනෑම කාලයක මල් දැකගත හැක.

කවරයේ පින්තුරය – herbalplantslanka.blogspot.com

Related Articles

Exit mobile version