ග්ලිරිසීඩියා ශාකය ගැන මේ තොරතුරු දන්නවා ද?

ග්ලිරිසීඩියා, ලංකාවේ බොහෝ පළාත්වල දක්නට ලැබෙන සුලබ ශාකයක්. වැටහිර, වැටමාර, ඇල්බීසියා, ලාඩප්පා, ඇකේෂියා, ලිංසීරියා, ගිනිසීරියා වැනි විවිධ නාමයන් මෙම ශාකය හැඳින්වීම සඳහා ප්‍රාදේශීය වශයෙන් භාවිතා කරනවා. පුළුල් දේශගුණික පරාසයක වැවෙන ග්ලිරිසීඩියා ශාකයෙන් ප්‍රයෝජන රැසක් ලබාගත හැකියි. එසේම ඉතාමත් පහසුවෙන් වගා කළ හැකි මෙම ශාකය රෝග සහ පළිබෝධ හානිවලට හොඳින් ඔරොත්තු දෙනවා. 

ග්ලිරිසීඩියා ශාකයේ විශේෂ ලක්ෂණ 

ග්ලිරිසීඩියා ශාකය ගොවීන් අතර ජනප්‍රිය වී තිබෙන්නේ එහි ඇති විශේෂ ලක්ෂණ නිසා යි. එම විශේෂ ලක්ෂණ පහත ආකාරයට දැක්විය හැකියි.

1) නයිට්‍රජන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත කොළ පොහොරක් වීම 

2) වැඩි කොළ ප්‍රමාණයක් ලබාගත හැකි වීම 

3) අයහපත් කාළගුණික සහ දේශගුණික තත්ත්වයන් යටතේ සාර්ථකව සහ පහසුවෙන් වගාකර හැකි වීම 

4) ඉක්මනින් වර්ධනය වීම 

5) වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව 

6) නිතර නිතර කප්පාදුවට ඔරොත්තු දීමේ හැකියාව 

7) දරුණු රෝග සහ පළිබෝධවලින් තොර වීම 

8) සත්ත්ව පාලනයේ දී ප්‍රෝටීන් බහුල සත්ත්ව ආහාරයක් ලෙස භාවිතා කළ හැකි වීම 

ග්ලිරිසීඩියා වගාවක් (Daily Mirror)

ග්ලිරිසීඩියා ශාකයේ පෝෂ්‍ය පදාර්ථයන්

ග්ලිරිසීඩියා ශාකයේ කොළවල සහ දඬුවල විවිධ පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු වනවා. ඒ, නයිට්‍රජන්, පොස්පරස්, සහ පොටෑසියම් යන පෝෂ්‍ය පදාර්ථ තුන යි. පහත දක්වා තිබෙන්නේ කොළවල සහ දඬුවල අඩංගු වන ඒවායේ ප්‍රතිශත යි.  

කොළවල 

නයිට්‍රජන්- 4.6%

පොස්පරස්- 0.2%

පොටෑසියම්- 2.2%

කාබන් නයිට්‍රජන් අනුපාතය- 10

දඬුවල 

නයිට්‍රජන්- 1.8%

පොස්පරස්- 0.2%

පොටෑසියම්- 2.8%

කාබන් නයිට්‍රජන් අනුපාතය- 25

සුදුසු දේශගුණික සහ පාංශු තත්ත්වයන් 

ග්ලිරිසීඩියා ශාකය තෙත්, වියළි සහ අතරමැදි යන කලාපවල වගා කළ හැකියි. නමුත් ඒ සඳහා වඩාත් උචිත වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1200ක් පමණ උසකින් පිහිටි බිම් ප්‍රදේශ යි. එසේම බොහෝ පස් වර්ගවල මෙම ශාකය සාර්ථකව වගා කළ හැකියි. වඩාත් යෝග්‍ය වන්නේ බොරළු පස යි. වැලි ලෝම, මැටි, සහ මැටි ලෝම යන පාංශු වර්ගවල ද ග්ලිරිසීඩියා ශාකය සාර්ථකව වගා කළ හැකියි. සෝදාපාළුවට ලක්වුණු නිසරු පසක පවා සාර්ථකව වගා කළ හැකි මෙම ශාකය දුර්වල ජලවහනයක් සහිත පසකට යෝග්‍ය වන්නේ නැහැ. 

ග්ලිරිසීඩියා ප්‍රභේද  

ප්‍රධාන වශයෙන් ග්ලිරිසීඩියා ප්‍රභේදයන් දෙකක් දක්නට ලැබෙනවා. ඉන් එක් ප්‍රභේදයක රෝස පැහැති මල් සහ වඩාත් රවුම් පැහැති බීජ හටගන්නවා. එම වර්ගය ග්ලිරිසීඩියා සෙපියුම් නමින් හඳුන්වනු ලබනවා. අනිත් වර්ගයේ සුදු පැහැති මල් කුඩා රවුම් බීජ හටගන්නවා. එය ග්ලිරිසීඩියා මැකියුලාටා යන නමින් හඳුන්වනවා. ඉහත සඳහන් කරන ලද ග්ලිරිසීඩියා ප්‍රභේදයන් දෙක අතරින් බහුලවම දැකිය හැකි ග්ලිරිසීඩියා සෙපියුම් ප්‍රභේදය යි. 

ග්ලිරිසීඩියා සෙපියුම් ප්‍රභේදය (Youtube)

පැළ ලබාගන්නා ක්‍රම  

ග්ලිරිසීඩියා, වගාවක් ලෙස සිදුකිරීමේ දී දඬු සහ බීජ මඟින් පැළ ලබාගැනීම සිදුකරනු ලබනවා. එහි දී එක් එක් ආකාරයට අනුව පැළ ලබාගැනීමේ අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත දක්වා තිබෙනවා. 

දඬු කැබලි මඟින් 

1) අවුරුද්දකට වඩා මේරූ දඬු භාවිතා කළ යුතු යි 

2) දඬු කැබැල්ලක උස මීටර් 1.5ක් පමණ විය යුතු යි 

3) විෂ්කම්භය සෙ.මී (2.5-3) පමණ වුණු දඬු වගාවකට වඩාත් සුදුසු යි

4) පොලිතින් මළුවල සිටවූ දඬුවල මුල් ඇදුණු පසුව ක්ෂේත්‍රයේ සිටුවිය හැකියි. එහි දී මුල් ඇද්දවීම වේගවත් කිරීම සඳහා කැපූ කෙළවරේ හෝමෝනයක් ආලේප කළ යුතු යි

5) දඬුවල වාතයට නිරාවරණය වන කෙළවරේ මැටි ආලේප කිරීම මඟින් වියළීම අවම කරගත හැකියි  

6) දඬු සිටුවීමේ දී සිටුවන කෙළවරේ පොත්තට හානි නොවන සේ සිටුවිය යුතු යි 

7) වර්ෂා කාලයේ දී දඬු සිටුවීම වඩාත් සුදුසු යි 

බීජ මඟින් 

1) බොහෝ ප්‍රදේශවල ග්ලිරිසීඩියා මල් හටගන්නේ පෙබරවාරි සහ මාර්තු මාසවල දී යි. එවිට හටගන්නා කරල් දුඹුරු පැහැ වුණු විට කඩා බීජ ලබාගත යුතු යි 

2) බීජ පොලිතින් මළුවල සිටුවීමෙන් පසුව පැළ ලබාගත හැකියි 

3) බීජ සිටුවා මාස 2-3ක කාලයකින් ක්ෂේත්‍රයේ සිටුවිය හැකියි 

ග්ලිරිසීඩියා වගා කරන ක්‍රම 

ග්ලිරිසීඩියා ශාකය විවිධ ආකාරයට වගා කරනු ලබනවා. ඒ ගෙවතු සහ වගාවන් ආශ්‍රිතව යි. එවැනි වගා ක්‍රම කිහිපයක් පහත දක්වා තිබෙනවා.

1) තනි වගාවක් ලෙසින් සිදු කිරීම 

2) ආවරණ බෝගයක් ලෙසින් වගා කිරීම 

3) වෙනත් බෝග අතරේ පේළි ලෙස වගා කිරීම 

4) වැටවල්වල වගා කිරීම 

5) ගෙවත්තේ වගා කිරීම 

6) බුලත්, ගම්මිරිස් වැනි බෝග සඳහා ආධාරක ලෙස වගා කිරීම 

ග්ලිරිසීඩියා වගාවක් (Wikiwand)

ග්ලිරිසීඩියා ශාකයෙන් ලබාගන්නා ප්‍රයෝජන 

ග්ලිරිසීඩියා ශාකය මඟින් ප්‍රයෝජන රැසක් ලබාගත හැකියි. එම නිසා මෙම ශාකයට ආර්ථිකමය වටිනාකමක් ද හිමිව තිබෙනවා. ශාකයේ කොළ, දඬු, සහ කඳ මඟින් ලබාගත හැකි ප්‍රයෝජනයන් මෙසේ දැක්විය හැකියි.

ඉන්ධනයක් ලෙස 

විවිධ කර්මාන්තයන් සිදුකිරීමේ දී ග්ලිරිසීඩියා ඉන්ධනයක් ලෙසින් භාවිතා කෙරෙනවා.

1) සක්‍රීය කාබන් නිෂ්පාදනයේ දී අධිපීඩන හුමාල ජනනය සඳහා යොදා ගනියි

2)  හුනු පිළිස්සිමේ දී හුනු පෝරණු සඳහා යොදා ගනියි

3) පිත්තල කර්මාන්තයේ දී පිත්තල උණු කිරීම ඔප මට්ටම් කිරීමට අවශ්‍ය බලශක්තිය සපයයි

4)  රබර් කර්මාන්තයේ දී දුම්ගෙය සඳහා යොදා ගත හැකියි

5)  පොල් කර්මාන්තයේ කොප්පරා වියළීම සඳහා ඉන්ධනයක් ලෙස යොදා ගත හැකියි

6) කොහුබත් සැකසීමේ දී හා වියළීමේ දී භාවිතා කරයි

කෘෂිකාර්මික කටයුතුවල දී 

1) කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා භාවිතා කරයි 

2) ග්ලිරිසීඩියා කොළ වගාවන් සඳහා යෙදිය හැකියි. ඒවා වගාව තුළ දිරාපත් වීමෙන් පස සාරවත් වෙයි 

3) ගස් සඳහා ආධාරකයක් ලෙසින් භාවිතා කළ හැකියි 

4) සෙවණ ශාකයක් ලෙසින් වගා කළ හැකියි 

සත්ත්ව පාලනයේ දී 

සත්ත්ව පාලනයේ දී සත්ත්ව ආහාර ලෙස ලබාදීම සඳහා ග්ලිසිරිඩියා ළපටි දඬු හා පත්‍ර භාවිතා කරයි. එසේම තණකොළ හෝ පිදුරු සමග 30%ක අනුපාතයෙන් මිශ්‍රකර ආහාර ලෙස ලබාදිය හැකියි. සත්ත්ව ආහාර ලබා දිමේ දී ළපටි කොළ (65%), ළපටි අතු (4.5%), පොත්ත (7.5%) ලෙසින් භාවිතා කරයි.

වැටවල් සැකසීම සඳහා

වගා බිමක හෝ ඉඩමක ආරක්ෂාව සඳහා වැටක් බැඳීමේ දී ග්ලිරිසීඩියා ඉනි භාවිතා කර හැකියි. නමුත් වර්තමානයේ දී වැටවල් ගැසීම සඳහා නවීන ක්‍රම භාවිතා කරන බැවින් ග්ලිරිසීඩියා ඉනි භාවිතා කිරීම අවම වී තිබෙන ආකාරය දැකිය හැකියි. 

පාංශු සංරක්ෂණය සඳහා

බෑවුම් ඉඩම් සහිත කඳුකර ප්‍රදේශයන් හි පාංශු සංරක්ෂණය, සෝදාපාළුව අවම කිරිම, පාංශු කාබනික ද්‍රව්‍ය රැකගැනීම සඳහා වැටි ලෙස ග්ලිසිඩියා වගා කිරීම වඩාත් සුදුසු යි. එය ලංකාවේ ඉහළ ජලාධාර කළමනාකරණ කටයුතු සඳහා උපකාරී වෙයි. 

දැව භාණ්ඩ සෑදීම සඳහා

හොඳින් වැඩුණු ග්ලිරිසීඩියා ගසක සවිමත් අරටුවක් දැකිය හැකියි. එවැනි ශාකවල දැව යොදාගෙන ගෘහ භාණ්ඩ සෑදිය හැකියි. එලෙස සාදනු ලබන ගෘහ භාණ්ඩ සවි ශක්තියෙන් ඉහළ යි. එසේම ඒවා දිගුකාලීනව භාවිතා කළ හැකියි.

කවරයේ ඡායාරූපය- ග්ලිරිසීඩියා ගසක් (Amazon) 

මූලාශ්‍රයයන්- doa.gov.lk

Related Articles

Exit mobile version