පංච මහා විල් පිළිබඳව වූ ලිපි පෙළේ පසුගිය ලිපියෙන් අපි ඊට අයත් හ්‍යුරන් විල පිළිබඳව වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළා. මේ විල් වල විශේෂත්වය වන්නේ එකිනෙකාගෙන් වෙන්ව ගත් කල්හී සාකච්ඡා කිරීමට ඒ ඒ විල් වලටම අනන්‍ය වූ කරුණු කාරණා රාශියක් පිහිටා තිබීමයි. මේ ලිපි පෙළේ තුන් වල ලිපියෙන් අපි අද ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ ‘මිචිගන් විල’ පිළිබඳව වූ වැදගත්ම කරුණු කාරණා කිහිපයකුයි.
මිචිගන් විල පිළිබඳ හැඳින්වීම
මිචිගන් විල පංච මහා විල් වල වපසරිය අතින් තුන් වෙනුවට විශාලම විල වන අතර සම්පූර්ණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පිහිටි එකම විලයි. මෙය හඳුන්වන ‘මිචිගන්’ යන නාමය බිඳී ඇත්තේ ඔජිබ්වා ඉන්දියානුවන්ගේ ශබ්ද කෝෂයේ එන ‘මිෂිගාමි’ යන වචනයෙන් බව සැළකෙනවා. එහි අර්ථය ‘විශාල විල’ යන්නයි.
මිචිගන් විල වර්ග කිලෝමීටර 57,800 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී තිබෙන අතර දරා සිටින සම්පූර්ණ ජල පරිමාව කියුබික් හෙවත් ඝන කිලෝමීටර 4,920 ක්. මේ පරිමාව දෙවනි වන්නේ පංච මහා විල් අතුරින් සුපීරියර් විලට පමණයි. මිචිගන් විල ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා, ඉලිනොයිස්, මිචිගන් හා විස්කොන්සින් යන ප්‍රාන්ත තුළ පැතිරී තිබෙනවා. මේ අසබඩ සෑදී තිබෙන ජනවාස අතරින් චිකාගෝ, මිලියන 2.7 ක ජනකායක් වෙසෙන ඉලිනොයිස්, මිල්වෝකි, හය ලක්ෂයක් වෙසෙන විස්කොන්සින්, ග්‍රීන් බේ, ගැරී හා ඉන්ඩියානා යන නගර ප්‍රධාන තැනක් ගන්නවා. සමස්ථයක් වශයෙන් මිචිගන් විල අසබඩ මිලියන 12 ක පමණ ජනකායක් ජීවත් වන බවට ගණන් බලා තිබෙනවා.
මිචිගන් විලේ දැකුම්කළු වෙරළ තීරයන් රාශියක්ම පිහිටා තිබෙනවා. මේ නිසා පංච මහා විල් වල වෙරළ තීරයන් සමහර විටෙක ඇමෙරිකාවේ තෙවන හෝ සිව්වන වෙරළ තීරයන් ලෙසද හඳුන්වනු ලබනවා. පෙර ලිපියේ සඳහන් වූ පරිදි Straits of Mackinac හෙවත් මැකිනැක් සන්ධිය නම් කිලෝ මීටර 4.6 සිට 8 ක් දක්වා පළලින් යුතු දිය පහරක් මඟින් මිචිගන් විල හ්‍යුරන් විල හා සම්බන්ධ වෙනවා.
මිචිගන් විලේ ඉතිහාසය
මිචිගන් විල සෑදී තිබෙන්නේ මීට අවුරුදු බිලියන 1.2 කට පමණ පෙර භූ තැටි කැඩී යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. ප්‍රංශ දේශ ගවේශක සැමුවෙල් ඩෙ චැම්ප්ලේන් හා ජීන් නිකොලෙට් විසින් 1634 වසරෙදී මිචිගන් විල සොයාගන්නවා. 1679 දී වන විට ජීන් නිකොලෙට් ව අනුගමනය කරමින් කිහිප දෙනෙක් මේ විලේ දකුණු දෙසට ගොස් තිබූ අතර මොවුන් සමහරෙක් ගොඩ බට ස්ථානයක පසු කළෙක චිකාගෝ නුවර ගොඩනැඟුණා.
මිචිගන් විලේ ජල උෂ්ණත්වය
මිචිගන් විලේ ජලයේ උෂ්ණත්වය ජූලි මසයේ ෆැරන්හයිට් අංශක 60 ගණන් වල පවතින අතර අගෝස්තු මාසය වන විට එය ෆැරන්හයිට් 70 ට වඩා වැඩි අගයක් පෙන්වන අවස්ථා තිබෙනවා. අවට පරිසරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 ක් පමණ වන විටත් විල් ජලය ඊට වඩා සිසිල් ව පවතින්නේ ජලයේ ඇති වැඩි තාප ධාරිතාවත් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ බලපෑමත් නිසායි.
හ්‍යුරන් විලට වඩා මෙහි ජලය ගලා යෑම සෙමින් සිදු වෙනවා. ශීත කාලයේදී සුළං හා රළ ගැසීම නිසා මෙය සම්පූර්ණයෙන් මිදී යාම වැළකුණත් බොහෝ අවස්ථාවන්හීදී 90% ක් පමණ ප්‍රමාණයක් මිදී යනවා. මේ කාලයේදී සිදු වන ජල පරිමාවේ ක්ෂණික වෙනස් වීම් (තැනින් තැන මිදීම හා උෂ්ණත්ව වෙනස් වීම් නිසා) හේතුවෙන් නැව් හා බෝට්ටු ගමනාගමනයට අපහසුතාද, වෙරළ තීරය ඛාදනය වීමද සමහර විට සිදු වෙනවා. මිචිගන් විලේ සාමාන්‍ය ගැඹුර මීටර 85ක් ද උපරිම ගැඹුර මීටර 282 ක් ද වෙනවා.
මිචිගන් විලේ ජීවී ප්‍රජාව
මිචිගන් විල තදාසන්න ප්‍රදේශ වල පවතින වගුරුබිම් හා විල්ලු, උස් තෘණ සහිත ප්‍රෙයරීය තණ බිම්, සැවානා, වනාන්තර හා වැලි කඳු වැනි විවිධාකාර පරිසර පද්ධතීන් ඉතා විශාල සතුන් හා ශාක ප්‍රජාවකට ජීවත් වීමට සුදුසු පාරිසරික පසුතලයක් නිර්මාණය කරනවා.
ට්‍රෞට්, සැමන්, walleye හා smallmouth bass වැනි මත්ස්‍ය විශේෂ මේ විලේ වැඩි වශයෙන් දකින්නට ඇති අතර ඊට අමතරව මිරිදිය ඉස්සන්, මිරිදිය ස්පොන්ජි හා මුහුදු ලාම්පු බෙල්ලන් වැනි සතුන්ද මෙහි හමු වෙනවා.
මේ විල හා එහි පෝෂක ප්‍රදේශය තුළ ඉතාම විශාල කුරුළු ගහණයක් දැකගන්නට පුළුවන්. තරාවන්, හංසයින් හා පාත්තයින් වැනි දියකාමී සතූන්ද කපුටන්, රොබින් කුරුල්ලන්, රාජාලීන්, උකුස්සන් හා ගිජුලිහිණින් වැනි මෙහි මත්ස්‍ය ප්‍රජාව හා තදාසන්න පෝෂක ප්‍රදේශයේ ජීවත් වන වන සතුන් ගොදුරු කරගෙන ජීවත් වන පක්ෂීන්ද මෙහි සුලබ දසුනක්.
මිචිගන් විලේ උතුරු කොටසේ වෙරළාසන්නව දකින්නට ලැබෙන පෙටොස්කි ස්ටෝන් (Petoskey stone) නම් ෆොසිලකරණයට භාජනය වූ කොරල් ගල් ඉතා විශේෂ වූවක්. මෙය මිචිගන් ප්‍රාන්තයේ නිළ පාෂාණය ලෙස නම් කර තිබෙනවා.
මිචිගන් විල සම්බන්ධ අනතුරු
අනෙකුත් සියළුම මහා විල් වල ලෙසම මිචිගන් විලෙහිත් නැව් හා බෝට්ටු අනතුරු රැසක් සිදු වී තිබෙනවා. මෙයින් ඉතාම ප්‍රසිද්ධියට පත් වූ අනතුර 1854 වසරේදී සිදුවූ වෙස්ට්මෝර්ලන්ඩ් (Westmoreland) නෞකා අනතුරයි. මේ නෞකාව 2010 වසරෙදී නැවත විල් පතුලේ තිබී සොයාගන්නා විට ඉතා හොඳ තත්වයෙන් සුරැකී තිබුණා.
ක්‍රි.ව 1940 දශකයේ රේඩාරය සොයා ගන්නා තුරු Straits of Mackinac ඇළ පහර තරණය කිරීම ඉතා අවදානම් කටයුත්තක් සේ සැලකුණා. මේ කාලයේ නිතර ඇති වන කුණාටු, සැඩ පහරවල්, ඝන මීදුම, අයිස්, නොගැඹුරු ස්ථාන හා ගල් පර නිසා මේ ගමන මාරයාට අත වැනීමක් මෙන් වුණා. අතීතයේ නැව් වැඩිපුරම ගිළුණු ස්ථාන අළලා මැකිනැක් සන්ධිය දිය යට රක්ෂිතය (Straits of Mackinac Underwater Preserve) නම් ප්‍රදේශයක් මේ වන විට වෙන් කර තිබෙනවා. මෙහිදී ගවේෂකයන්ට හා අනෙකුත් සංචාරකයන්ට කිමිදී නැව් 12ක සුන්බුන් දැකගන්නට පුළුවන්.
වර්තමානය වන විට ඇළ පහර තරණය කිරීම නවීන තාක්ෂණයේ පිහිටෙන් අවදානමෙන් අඩු එකක් බවට පත් වී තිබෙනවා. රේඩාර් තාක්ෂණය හා නැව් අයිස් බිඳගෙන යාමට හැකි අයුරින් නිමවා තිබීම නිසා වර්තමානය වන විට මෙහි අනතුරු වාර්තා වෙන්නේ නැති තරම්. ඒ කෙසේ නමුත් අතීතයේ මිචිගන් විලේ ඔබ මොබ ගිය නැව් වලට මඟ පෙන්වූ ප්‍රදීපාගාර 50 කට ආසන්න ප්‍රමාණයක් තවමත් මේ විල් ඉවුරේ ශේෂව තිබෙනවා.
පංච මහා විල් හි ඉතිරි විල් ත්‍රිත්වය වන ඊරි, ඔන්ටාරියෝ හා සුපීරියර් යන විල් ත්‍රිත්වය පිළිබඳ වැදගත් තොරතුරු ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.
(කවරයේ පින්තූරය-lakepedia.com)