Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් පුදුමයට පත් කළ ඉන්ද්‍රජාලිකයා – හැරී හූඩිනී

ලොවක් පුදුමයට හා අමන්දානන්දයට පත් කළ විජ්ජාකරුවන් ඉතිහාසය පුරා ලොව තැනින් තැන පහළ වී තිබෙනවා. මේ අතරිනුත් 19 වන සියවසෙහි අග භාගයේ හා 20 වන සියවසෙහි මුල් භාගයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ජනයා නිරන්තරයෙන් පුදුමයට පත්කළ හැරී හූඩිනීට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ඉන්ද්‍රජාලවලින් පිරී ගිය ඔහුගේ ජීවිතයේ අවසානයත් එවැනිම ‘අමුතු’ එකක් වීමත් විශේෂත්වයක් වෙනවා.

මුල් අවධිය

හැරී හූඩිනී උප්පත්තිය ලැබුවේ 1874 වසරේ මාර්තු මස 24 වෙනි දා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර යි. ඔහුගේ උපන් නාමය එරික් වයිස්. ඔහුට උපතින් යුදෙව් සම්භවයක් තිබුණු අතර සොයුරු සොයුරියන් සය දෙනෙකු සිටියා.

හැරී හා හැරීගේ පවුල ඔහු කුඩා කාලයේ දීම ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර ඔවුන්ගේ මීළඟ නවාතැන වූයේ විස්කොන්සින්හි ඇපල්ටන් ප්‍රදේශය යි. හැරී 13 වියැති වන විට ඔහුට ඔහුගේ පියා සමග නිව්යෝක් නුවරට සංක්‍රමණය වීමට සිදුවන අතර කෙටිකාලීනව නේවාසික පාසලක නැවතී ඉගෙනගැනීමට සිදුවූයේ ඔවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයින් එහි පැමිණ ඔවුන් හා සම්බන්ධ වන තුරු යි.

නේවාසික පාසලෙහි නැවතී සිටින කාලය තුළ හැරී හූඩිනීට ඇස්බැන්දුම් හා විජ්ජා පිළිබඳ මූලික අඩිතාලම වැටුණා. කෙමෙන් කෙමෙන් ඒවා ඉගෙනගත් ඔහුට තමන් ඊට දක්ෂයෙක් යැයි හැඟුණා. කෙටි කලෙකින්ම ඔහු ඊට අති දක්ෂයෙක් බවට පත් වුණා.

හූඩිනී තුරුණු වියේදී- prairieghosts.com

1894 වසරේ දී හැරී වෘත්තීය මට්ටමේ ඉන්ද්‍රජාලිකයෙකු ලෙස සිය කටයුතු අරඹනවා. සිය නාමය ‘හැරී හූඩිනී’ ලෙස ඔහු වෙනස් කරගත්තේ විශිෂ්ට ප්‍රංශ ජාතික ඉන්ද්‍රජාලිකයෙකු වූ ජීන් ඉයුජින් රොබට් හූඩින්ගේ නාමය අනුව යි. කෙසේ නමුත් පසුකාලීනව ඔහු හූඩින් ගේ ඉන්ද්‍රජාලවල රහස් හෙළි කරමින් ‘Unmasking of Robert-Houdin’ නම් කෘතියක් රචනා කළා.

මුල් කාලීනව හූඩිනීගේ ඇස්බැන්දුම් එතරම් ජනප්‍රසාදයට පත් වූයේ නැහැ. මේ නිසා වෘත්තීමය වශයෙන් ඔහු එතරම් සාර්ථක වූයේ නැහැ. කෙසේ නමුත් මාංචු දැමූ පසු ඉන් ගැලවී යාමට ඔහුට පුදුමාකාර හැකියාවක් තිබුණා. මේ නිසාම කෙමෙන් කෙමෙන් ඔහු ජනප්‍රිය වන්නට පටන්ගත්තා. ඔහුට ‘මාංචු’ හූඩිනී යයි නමක් ද පටබැඳුණා. 1893 වසරේ දී ඔහු තමන්ගේ වෘත්තීමය සඟයෙකු වූ විල්හෙල්මිනා බියට්‍රිස් රානර් නම් තැනැත්තිය හා විවාහ වුණා. ඉන්පසු ඔහුගේ වෘත්තීමය හා පෞද්ගලික දිවිය යන දෙකටම මහත් ශක්තියක් වූ ඇය හූඩිනීගේ සහායිකාව ලෙස ඔහුගේ මරණය තෙක්ම කටයුතු කළා. ඇය භාවිතා කළ නාමය වූයේ බියට්‍රිස් ‘බෙස්’ හූඩිනී යන්න යි.

හූඩිනී බිරිඳ සමග- magiciansmag.com

සාර්ථකත්වය කරා

1899 වසර වන විට හූඩිනී 25 වියැති තරුණයෙකු ව සිටියා. එම වසරේ දී හූඩිනී ගේ දස්කම් විනෝදාස්වාදය සපයන වැඩසටහන් සංවිධානය කරන්නෙකු වන මාටින් බෙක් නැමැත්තෙකුගේ ඇස ගැටෙනවා. ඔහුට ඒ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මුල්බැසගෙන තිබූ විනෝදාස්වාදය සපයන ප්‍රමුඛතම වැඩසටහන් කිහිපයකම සබඳතා තිබූ අතර, මේ තරුණයාගේ ප්‍රතිභාව ගැන පැහැදුණු ඔහු එවැනි කිහිපයකම අවස්ථා හූඩිනී වෙත ලබා දෙන්නට ක්‍රියා කරනවා. මින් උපරිම ප්‍රයෝජන ගත් හූඩිනී ඉක්මණින්ම ඇමෙරිකාව පුරා ජනප්‍රිය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ සවාරියක් ද ඔහුට ලැබෙනවා.

හූඩිනී ඔහුගේ ඇස්බැන්දුම්වලට ඒ ඒ ප්‍රදේශවල පොලිසිය ද සහභාගී කරගත් අතර එහිදී ඔවුන් විසින් දෑතට දමන විළංගුවලින් හා සිරකුටිවලින් ‘අද්භූත ලෙස’ ගැලවීම සිදු කළා. මෙය ජනයාට මහත් විනෝදයක් ගෙනදුන් කර්තව්‍යයක් වූ අතර ඉක්මණින්ම හැරී හූඩිනී ඇමෙරිකා එක්සත් ජනපදයෙහි වැඩිම ආදායමක් ලබන ඉන්ද්‍රජාලිකයා බවට පත් වුණා. මීට අමතරව තවත් ‘පුදුමාකාර’ ඇස්බැන්දුම් කිහිපයක්ම හූඩිනී විසින් සිදු කළා.

චීන ජල දඬුවම් කුටිය- flickr.com

20 වන සියවසෙහි මුල් භාගය තුළ හූඩිනී සිය හැකියාවන් හා ජනප්‍රිය භාවයේ හිණිපෙත්තටම ළඟා වුණා. ඔහු සිදු කළ වික්‍රමයන් අතර විළංගු ලා සිරකුටි, ජලය පිරුණු තටාක, මිනී පෙට්ටි වැනි දේවලට දැමූ පසු නිරුපද්‍රිතව ඉන් මිදී පැමිණීම ප්‍රමුඛතම ස්ථානයක තිබුණා. ඔහුගේ මේ ‘අගුළු කැඩීමේ’ හැකියාව එකල බොහෝ දෙනා කතා කළ මාතෘකාවක් වුණා. 1912 වසරේ දී ඔහු ‘චීන ජල දඬුවම් කුටිය’ කරළියට ගෙනාවා. මෙහිදී ඔහු විළංගු ලා ජලය පිරවූ කුටීරයකට දැමුණු අතර ඔහු ඉන් මිදී ඉවතට පැමිණීම සිදුවුණා. මේ ත්‍රාසජනක ක්‍රියාකාරකමේ යෙදීමේ දී හූඩිනීට මිනිත්තු තුනක් පමණ සිය හුස්ම අල්ලා සිටින්නට සිදුවුණා. මෙය ඔහුගේ ජනප්‍රියම වික්‍රමයක් ලෙස ඔහුගේ මරණය වන තුරුම සැලකුණා.

ඇස්බැන්දුම්වලට අමතරව

මුදල් ලැබීමත් සමග හූඩිනී සිය අනෙකුත් සිහින ද හඹායන්නට පටන්ගත්තා. පියාසර කිරීම හා සිනමාව ඔහුගේ සිත්ගත් අනෙකුත් විෂයය ක්ෂේත්‍රයන් වූ අතර 1909 වසරේ දී සිය ප්‍රථම ගුවන්යානය මිල දී ගත් ඔහු එයින් ද වික්‍රම පානවා. සිනමා ක්ෂේත්‍රයට ද පිවිසි ඔහු එහිදී වැඩිමනක්ම නිෂ්පාදනය කරන ලද්දේ ඇස්බැන්දුම් මූලික කොටගත් චිත්‍රපට යි. 1923 වසරේ දී හූඩිනී ඇමෙරිකාවේ පැරණිතම ඉන්ද්‍රජාල සමාගම වන මාර්ටින්කා සහ සමාගමේ සභාපති බවට ද පත්වුණා.

හූඩිනී දර්ශනයක් රඟදක්වමින්- REX/Shutterstock

සිය ජීවිත කාලය තුළ හූඩිනී කෘති කිහිපයක් ද රචනා කළා. මේ කෘති සමහරක් ඇස්බැන්දුම් ක්‍රම ලොවට කියාපාන ඒවා වුණා. ඔහු ගුප්ත ශාස්ත්‍ර විශ්වාස නොකරන්නෙකු වූ අතර ඒවා විවේචනය කළා. කෙසේ නමුත් ‘හැකියාවක් තිබේ නම්’ තමන් දෙදෙනාගෙන් කෙනෙකු මියගිය පසු අනෙකා සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි ද යැයි අත්හදා බලන්නට ඔහු සිය බිරිය හා සැලසුම් කරගෙන තිබූ බැව් පසුව අනාවරණය වුණා. ඒවා අසාර්ථක වූ බැව් හූඩිනී මියගිය පසු ඔහුගේ බිරිය පසුකාලීනව ප්‍රකාශ කළා.

ගැටළු සහගත මරණයක්

හැරී හූඩිනීගේ මරණයත් අභිරහස් එකක් වුණා. 1926 වසරේ ඔක්තෝබර් මස 31 වන දා හදිසියේ හූඩිනී මියගියා. ඒ වන විට 52 වන වියෙහි පසු වූ ඔහුගේ මරණයට හේතුව ලෙස වෛද්‍යවරු හඳුනාගෙන තිබුණේ උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය වැළඳීම යි. විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් ඔහුගේ අනුමැතිය සහිතව ඔහුගේ ශක්තිය පරීක්ෂා කරන්නට උදරයට එල්ල කළ පහරක් නිසා හෝ කිසිවෙකු විසින් විෂ ශරීරගත කිරීමක් ඔහු මියයාමට හේතු වූ සාධක ලෙස බොහෝ දෙනා සැක කළා.

ඩේවිඩ් කොපර්ෆීල්ඩ්- Danny Moloshok/ Reuters

හූඩිනිගේ මරණයෙන් පසු ඔහුගේ සමහර උපකරණ යොදාගෙන ඔහුගේ සොයුරු තියඩෝර් හාඩින් කෙටි කලක් සමහර ඇස්බැන්දුම් සිදුකළා. අනතුරුව ඒවා සිඩ්නි රැඩ්නර් නැමැත්තෙකුට විකිණූ අතර ඔහු හූඩිනී වෙනුවෙන් විස්කොන්සින්හි කෞතුකාගාරයක් තනා ඒවා එහි තැන්පත් කළා. මින් සමහරක් 2004 වසරේ වෙන්දේසි කෙරුණු අතර ඊට චීන ජල දඬුවම් කුටියත් ඇතුළත් වුණා. අද එය ඇස්බැන්දුම් කරුවකු වන ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ට අයත්ව තිබෙනවා.

කවරයේ පින්තූරය- APIC/Getty Images

Related Articles