අප ජීවත් වන ලෝකයේ අභිරහස්වලින් පිරුණු තැන් ඕනෑ තරම් තිබෙනවා. ඉන් සමහර ස්ථානවලට ගිය විට අපට හරි ම ගුප්ත සහ පාළු ස්වභාවයක් දැනෙනවා. කැනඩාවේ පිහිටා ඇති මළ මිනිසුන්ගේ දූපතත් ඒ වගේ අභිරහස් ස්ථානයක්. මීට සියවස් කිහිපයකට පෙර එක්තරා ගෝත්‍ර දෙකක් මෙම දූපතට අත්පත් කරගැනීම සඳහා සටන් කිරීමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන්. එහිදී සැලකිය යුතු තරම් ගෝත්‍රිකයන් පිරිසක් මෙම දූපත තුළ දී මරණයට පත්වුණා.
එදා සිට මෙම දූපත ආශ්‍රිත ව මළවුන්ගේ ආත්ම සැරිසරන බවට විශ්වාසයක් පවතිනවා. එනිසා මෙම දූපතට මළවුන්ගේ දූපත යන නාමය පටබැඳුණා. එලෙස මෙම දූපතෙන් වාර්තා වුණු අද්භූත සිදුවීම් හේතුවෙන් මෙය අභිරහස් ස්ථානයක් බවට පත්ව තිබෙනවා. මෙතැන් සිට ඔබට කියන්නට යන්නේ ඒ අභිරහස් දූපත පිළිබඳ කතා පුවත යි.
දූපතේ පිහිටීම
කැනඩාවට අයත් පළාත් අතුරින් එකක් වන බ්‍රිටිෂ් කොලොම්බියාව ආශ්‍රිත ව ප්‍රධාන නගර රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් විශාලත ම නගරය වන්නේ වැන්කුවර් නගරය යි. එම නගරයේ පිහිටා තිබෙන ගල් අඟුරු වරායට යාබද ව වසර 134ක් පැරණි ස්ටැන්ලි උද්‍යානය හෙක්ටයාර් 405ක් පුරා විසිරී පවතිනවා. ස්ටැන්ලි උද්‍යානයට දකුණින් හෙක්ටයාර 3.8ක විශාලත්වයෙන් යුත් දූපතක් පිහිටා තිබෙනවා. එම දූපත මළ මිනිසුන්ගේ දූපත යන නමින් හැඳින්වෙනවා.
දූපතේ ඉතිහාසය
මීට සියවස් ගණනාවකට පෙර මෙම දූපතට උතුරින් සහ දකුණින් පිහිටි ප්‍රදේශවල ගෝත්‍රික කණ්ඩායම් දෙකක් වාසය කළා. එම ගෝත්‍රික කණ්ඩායම් මෙම දූපත අත්පත් කර ගැනීම සඳහා සටන් කළා. එම ගෝත්‍රිකයන් අතුරින් වඩාත් බලවත් වුණේ දකුණේ වාසය කළ ගෝත්‍රික පිරිස යි. එක්තරා දිනයක ඔවුන් උතුරු ප්‍රදේශය ආක්‍රමණය කර කාන්තාවන්, ළමයින් ඇතුළු 200ක පිරිසක් පැහැරගෙන ප්‍රාණ ඇපයට තබා ගත්තා. ඉන් පසුව උතුරු ගෝත්‍රික කණ්ඩායමේ රණශූරයන් 200 දෙනෙක් සිය ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා සටනට පිවිසියා. එම ද්වන්ධ සටන සිදුවුණේ මළ මිනිසුන්ගේ දූපත තුළ දී යි. එම සටනෙන් ජයග්‍රහණය කළේ දකුණු ගෝත්‍රික කණ්ඩායම යි. ඔවුන් උතුරින් පැමිණි රණශූරයන් 200 ම දූපත තුළ දී අමානුෂික අන්දමින් ඝාතනය කළා.
එම ඝාතනය සිදුකිරීමෙන් පසුව දකුණු ගෝත්‍රිකයන් සිය දූපත වෙත ආපසු ගියා. පසු දිනයේ දී ඔවුන් නැවතත් උතුරේ රණශූරයන් මිය ගොස් සිටි ස්ථානය වෙත පැමිණියා. එවිට ඔවුන් භයංකර දර්ශනයක් දැක ගන්නට ලැබුණා. ඒ මිය ගොස් සිටි රණශූරයන්ගේ මළ සිරුරු අසලින් ගිනි පුපුරු මතුවන ආකාරය යි. එපමණක් නොව මියගිය මිනිසුන්ගේ ආත්ම කතා කරන හඬ ඔවුන්ට ඇසුණු බව පැරණි ලේඛනවල සටහන් වී තිබෙනවා. එම සිදුවීමෙන් පසුව දකුණේ ජීවත් වුණු ගෝත්‍රිකයන් දැඩි ලෙස බයට පත්වුණා. එනිසා ඔවුන් සිය දූපත හැර දමා වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියා. එය මෙම දූපත සම්බන්ධව තිබෙන පැරණිත ම පුරාවෘත්තය යි.
ජෝන් මෝර්ටන් දුටු අද්භූත දේ
1860 වන විට මළවුන්ගේ දූපතේ අයිතිය බ්‍රිතාන්‍යයන් සතු ව පැවතුණා. ඔවුන් මෙම දූපත සැමුවෙල් බ්‍රිග්හවුස් නම් පුද්ගලයාට විකිණීමට තීරණය කළා. බ්‍රිග්හවුස් මෙම දූපත මිල දී ගැනීමට කැමැති වුණේ නැහැ. එම අවධියේ දී බ්‍රිග්හවුස්ගේ ව්‍යාපාරවල හවුල්කරුවකු බවට පත්ව සිටි ජෝන් මෝර්ටන් මෙම දූපත ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරය කිරීමට කැමැත්තෙන් සිටියා.
1862 වසරේ එක්තරා දිනයක මෝර්ටන් සිය මිතුරන් දෙදෙනකු සමඟින් මළවුන්ගේ දූපත ආශ්‍රිත ප්‍රදේශය ගවේෂණය කළා. එහි දී ඔවුන් සිය බෝට්ටුවෙන් දූපත වටා සංචාරය කිරීමෙන් පසු එහි ඇතුළත ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට තීරණය කළා.
මළවුන්ගේ දූපතට ගිය ජෝන් මෝර්ටන් ඇතුළු පිරිසට අමුතු ආකාරයේ ශබ්ද ඇසෙන්නට පටන් ගත්තා. ඒ පිළිබඳ වැඩි තැකීමක් නොකළ ඔවුන් දූපත තුළට ගමන් කළා. සැලකිය යුතු තරම් දුරක් දූපතට ඇතුළට ගිය පසු ඔවුන්ට තැන තැන විසිරී තිබුණු දුර්වර්ණ වී ගිය ලී පෙට්ටි විශාල ප්‍රමාණයක් දැකගන්නට ලැබුණා.
එම ලී පෙට්ටි පරීක්ෂා කර බැලූ විට මිය ගිය පුද්ගලයන් පිරිසකගේ ඇට කටු ඔවුන්ට දැකගන්නට ලැබුණා. ඒ වන විට රාත්‍රිය උදාවෙමින් පැවතුණු නිසා මෝටන් ඇතුළු පිරිසට දූපත තුළ රැය පහන් කිරීමට සිදුවුණා.
ඔවුන්ට දූපතින් විලාප හඬවල් එදින රාත්‍රියේ දී ඇසුණා. මියගිය අයගේ ආත්ම දූපතේ සැරිසරන ආකාරය ද දැක ගන්නට ලැබුණා. දැඩි ලෙස බියට පත්ව සිටි මෝර්ටන් ඇතුළු පිරිස වැන්කුවර් නගරය බලා පසුදින උදෑසනින් ම පිටත්ව ගිය. එදා මෝර්ටන් තමන් මුහුණදුන් අත්දැකීම් හෙළිදරවු කිරීමෙන් අනතුරුව මෙම දූපතට මළවුන්ගේ දූපත යන නම පට බැඳුණා.
වැන්කුවර් නගරයේ සුසාන භූමිය
ජෝන් මෝර්ටන් මෙම දූපත පිළිබඳ පැවසූ තොරතුරු හේතුවෙන් කිසිම කෙනෙක් එහි යාමට කැමැත්තක් දැක්වූයේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1880 දශකයේ මුල් භාගය වන විට දූපත පාළුවට ගොස් තිබුණා. එනිසා මළ මිනිසුන්ගේ දූපත වැන්කුවර් නගරයේ සුසාන භූමිය ලෙසින් භාවිත කිරීමට එම ප්‍රදේශයේ පාලකයා තීරණය කළා. ඉදිරි වසර 5ක පමණ කාලයක් මෙම දූපත වැන්කුවර් ප්‍රදේශයේ සුසාන භූමිය ලෙසින් භාවිත කළා.
1887 දී වැන්කුවර් නගරය ආශ්‍රිත ව මවුන්ටන් වීව් නමින් සුසාන භූමියක් ඉදි වුණු පසුව මෙම දූපත සුසාන භූමියක් ලෙසින් භාවිත කළේ නැහැ. 1888 දී වැන්කුවර් ප්‍රදේශය පුරා දරුණු වසූරිය වසංගතයක් පැතිර ගියා. එම වසංගතය වසර කිහිපයක් පැවතුණා. එදා වසූරිය වැලඳුණු රෝගීන් නවාතැන් ගත්තේ මළ මිනිසුන්ගේ දූපත තුළ ඉදිකර තිබුණු ප්‍රතිකාර මධ්‍යස්ථානවල යි. ඒවායේ ප්‍රතිකාර ලැබූ බොහෝ මිනිසුන් මරණයට පත්වුණා. වසූරිය වසංගතය සම්පූර්ණයෙන් ම පාලනය වීමෙන් පසුව මෙම දූපත පාළුවට ගියා.
තියඩෝර් ලූඩ්ගේට්ගේ දැව ජාවාරම්
තියඩෝර් ලූඩ්ගේට් නම් අමෙරිකානු ව්‍යාපාරිකයා 1899 දී මෙම දූපත බදු ක්‍රමය යටතේ ලබා ගත්තා. ඒ, දූපත තුළ ලී මෝලක් පවත්වා ගෙන යාමේ අරමුණ ඇතිව යි. එම ලී මෝල ආරම්භ කර ටික කලක් යද්දී ලූඩ්ගේට් ඇතුළු පිරිස දූපතේ ගස් අනවසරයෙන් කැපීමට පටන් ගත්තා.
ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වැන්කුවර් නගරාධිපති ජේම්ස් ගාර්ඩන් එම ජාවාරම්කරුවන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය ලබා දුන්නා. එපමණක් නොව ඔහු ලූඩ්ගේට්ට එරෙහි ව නඩු පැවරුවා.
වසර 12ක කාලයක් පුරා එම නඩුව පැවතුණා. නඩුව අතරතුර ලූඩ්ගේට්ගේ මිනිසුන් හොර රහසේ දූපතට ඇතුළු වීමට උත්සාහ කරද්දී පොලිස් අත්අඩංගුවට ගැනුණා. එම සිදුවීම 1909 දී වාර්තා වුණා. අවසානයේ දී ලූඩ්ගේට් නඩුවෙන් ජයග්‍රහණය කළා. ඒ එවකට කැනඩා රජයේ ඉහළ නිලධාරින්ගේ සහාය ඔහුට ලැබුණු නිසා යි.
ඉන් අනතුරුව ලූඩ්ගේට් සිය සේවක පිරිස සමඟින් මළ මිනිසුන්ගේ දූපතට ගොස් දැව ජාවාරම් කටයුතුවල නැවත නිරත වුණා. එහි දී ඔවුන් දූපතේ තිබුණු වටිනා ගස් කපා දමා ඒවා කුට්ටි කර දූපතෙන් පිටතට රැගෙන ගියා. එම ජාවාරම හොඳින් සිදුවෙද්දී දූපතෙන් අමුතුම අන්දමේ සිදුවීම් වාර්තා වුණා.
දැව ජාවාරම්කරුවන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම්
මළ මිනිසුන්ගේ දූපතට පැමිණි ලූඩ්ගේට්ගේ සේවක පිරිස තාවකාලික ව ඉදි කළ ලෑලි මඩු තුළ ජීවත් වුණා. ඔවුන් සෑම දිනක ම දහවල් වරුවේ දූපත ඇතුළත තිබුණු වනාන්තර ප්‍රදේශයට ගොස් ගස් කැපීමේ කාර්යයේ නිරත වුණා. රාත්‍රී කාලය තාවකාලික නවාතැන්පොළේ ගත කළ මෙම පිරිස ඇතැම් දිනවල මත්පැන් සාද පවත්වමින් විනෝද වුණා. විවේකී දිනවල ඇතැම් උදවිය විනෝදාංශයක් ලෙස බෝට්ටුවලින් ගොස් මසුන් මැරීමේ නිරත වුණා.
කාලය එසේ ගෙවී යද්දී දැව ජාවාරම්කරුවන්ට භයානක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවුණා. වනාන්තරය තුළින් විටින් විට ඇසුණු අද්භූත හඬවල්, රාත්‍රී කාලයේ දක්නට ලැබුණු අපැහැදිලි ඡායා, මධ්‍යම රාත්‍රිය පසුවුණු විට ලී මඩු තුළින් ඇසුණු අඩි ශබ්ද, විටින් විට දැනුණු අප්‍රසන්න ගන්ධ ඒවා අතුරින් කිහිපයක්. එවැනි අත්දැකීම්වලට මුහුණදුන් ඇතැම් ජාවාරම්කරුවන් දූපතෙන් පිට ව ගියා. තවත් සමහර උදවිය එම හොල්මන් අවතාර දැක බිය වුණත් අඛණ්ඩ ව දූපතේ රැඳී සිටීමට තීරණය කළා. ඒ දැව ජාවාරම හරහා ඔවුන්ට ලැබුණු ආදායම නිසා යි.
දූපත පාළුවට යාම
ලූඩ්ගේට් ඇතුළු පිරිස දශක දෙකකට ආසන්න කාලයක් දූපත තුළ දැව ජාවාරම කරගෙන ගියා. එම කාලය තුළ ඔහු යටතේ සේවය කළ සැලකිය යුතු තරම් පිරිසක් අවතාරවලට බියෙන් දූපතෙන් පලා ගියා. ඔවුන් වෙනුවට වෙනත් සේවකයන් සේවයට බඳවා ගැනීමට ලූඩ්ගේට්ට හැකි වුණත් එම සේවකයන් ද දූපතේ වැඩි කාලයක් වාසය කළේ නැහැ. එනිසා 1920 දශකයේ අග භාගය වන විට ලූඩ්ගේට්ගේ සමීපත ම සේවකයන් කිහිපදෙනෙක් පමණක් දූපතේ වාසය කළා.
පිරිස් බලය ක්‍රමයෙන් අඩු වන විට දැව ජාවාරම හරහා ලැබුණු ආදායම ද අඩු වුණා. ඒ අනුව ලූඩ්ගේට් දැව ජාවාරම හරහා ලද මුදල දූපත සඳහා ගෙවීමට නියමිත වාර්ෂික බදු මුදලටත් වඩා අඩු අගයක් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු 1930 දී දූපත අත්හැර දැමීමට තීරණය කළා. මළ මිනිසුන්ගේ දූපත නැවතත් පාළුවට ගියා.
නාවික සංචිත පුහුණු මධ්‍යස්ථානයක් ඉදි වීම
දශකයකට වැඩි කාලයක් පාළුවට ගොස් තිබුණු මෙම දූපත උද්‍යානයක් බවට පත් කිරීම සඳහා 1940 දශකයේ මුල් භාගයේ දී යෝජනාවක් ඉදිරිපත් වුණා. මෙම දූපත ආශ්‍රිත ව හොල්මන් අවතාර ගැවසෙන බවට තහවුරු කරගෙන තිබුණු නිසා එම ව්‍යාපෘතිය පිළිබඳ ව වැන්කුවර් නගර බලධාරීන්ගේ අවධානය යොමු වුණේ නැහැ.
එසේ කාලය ගෙවී යද්දී මළ මිනිසුන්ගේ දූපත තුළ නාවික සංචිත පුහුණු මධ්‍යස්ථානයක් ඉදි වුණා. 1944 දී විවෘත කෙරුණු එය HMCS Discovery යන නමින් හඳුන්වනවා. මළ මිනිසුන්ගේ දූපතෙන් වාර්තා වුණු අද්භූත සිදුවීම් නිසා එම මධ්‍යස්ථානය තුළ පුහුණු වුණු භටයන් එහි රාත්‍රිය ගත කළේ නැහැ. නමුත් සමහර නිර්භීත භට පිරිස් ඉහළ නිලධාරින්ගෙන් අවසන් ලබා ගෙන මළ මිනිසුන්ගේ දූපත තුළ රාත්‍රිය ගත කළා.
භට පිරිස් රාත්‍රියේ බියට පත්වුණු හැටි
එවැනි භට පිරිස්වලට රාත්‍රියේ දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ යම් යම් සිදුවීම්වලට මුහුණ දීමට සිදුව තිබුණා. පුහුණු මධ්‍යස්ථානය තුළ පිහිටි ගොඩනැඟිලි අතුරින් වැඩි පිරිසක් බියට පත්වූ ගොඩනැගිල්ල වූයේ අංක 1 යි. එහි පහළ ම තට්ටුවේ කාමරවල රාත්‍රිය ගත කළ පිරිස් පවසා තිබුණේ ඉහළ කාමරවලින් නොනවත්වා ම අඩි ශබ්ද ඇසුණු බව යි. ගෘහ භාණ්ඩ එහා මෙහා චලනය වන හඬ ද ඔවුන්ට හොඳින් ම ඇසී තිබුණා.
එම අවස්ථාවල භට පිරිස් වහාම ක්‍රියාත්මක වී සෝදිසි කිරීම් සිදු කළ ද සැක කටයුතු යමක් හඳුනා ගැනීමට හැකි වී නැහැ. එපමණක් නොව මෙම භට පිරිස් වනය තුළ ඇවිදිමින් සිටි අපැහැදිලි ඡායා සහ දීප්තිමත් ආලෝක ධාරා දැක තිබුණා. ඊට අමතර ව ඔවුන්ට වනාන්තරය තුළින් විලාප හඬවල් ද ඇසී තිබුණා. එම සිදුවීම් නිසා මළ මිනිසුන්ගේ දූපත අවතාර සැරිසරන ස්ථානයක් බවට තහවුරු වුණා.
දූපතේ වර්තමාන තත්ත්වය
වර්තමානය වන විට මළ මිනිසුන්ගේ දූපත පාලමක් හරහා ස්ටැන්ලි උද්‍යානයට සම්බන්ධ කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට එම දූපතට යාමට කිසිදු අවසරයක් නැහැ. මළ මිනිසුන්ගේ දූපතේ වාසය කරන නාවික හමුදා භට පිරිස්වලට එහි සැරිසරන අවතාර අදටත් දැකගන්නට පුළුවන් බවයි පැවසෙන්නේ. මළ මිනිසුන්ගේ දූපත ලොව තිබෙන වඩාත් අද්භූත ස්ථාන අතුරින් එකක් බවට අද පත් ව තිබෙනවා.