Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැනඩාවට පැණි සපයන මේපල් ගස

උතුරු ඇමරිකා මහද්වීපය තුළ පිහිටා තිබෙන විශාලතම රාජ්‍යය වන්නේ කැනඩාව යි. මිලියන 38ක පමණ ජනගහනයක් වෙසෙන කැනඩාව තුළ සැලකිය යුතු වනාන්තර ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. එම වනාන්තරවල දක්නට ලැබෙන මේපල් ශාකය කැනඩාව තුළ ඉතාමත් ජනප්‍රිය යි. මේපල් ශාකය ලබාගෙන තිබෙන එම ජනප්‍රියත්වය නිසාම කැනඩා ජාතික කොඩිය මේපල් පත්‍රයකින් හැඩගන්වා ඇති අයුරු දක්නට ලැබෙනවා. 

මේපල් ගස පිළිබඳව කෙටියෙන් 

1996 වසරේ දී කැනඩාවේ ජාතික සංකේතය බවට පත්වුණු මේපල් ගස අලංකාර පත්‍රවලින් යුක්ත යි. ශීත ඍතුවේ දී  අධික ශීතලටත්, ගිම්හාන ඍතුවේ දී අධික උණුසුමටත් ඔරොත්තු දිය හැකි මෙම ශාකය අඩි 100 ඉක්මවා වර්ධනය වන ආකාරය දැකිය හැකියි. සාමාන්‍යයෙන් වසර 75-125 අතර ආයු කාලයක් තිබෙන මෙම ගස්වල රතු, කහ, සහ තැඹිලි වර්ණයන්ගෙන් යුත් මල් හටගන්නවා. එලෙස කැනඩාවේ වනාන්තරවලට අලංකාරයක් එක් කරන මේපල් ගස පැණි නිෂ්පාදනය කරනවා. එම නිසා කැනඩා වැසියන් මේපල් ශාකයෙන් පැණි ලබාගැනීමට පුරුදුව සිටිනවා.

මේපල් වනාන්තරයක් (gettyimages)

මේපල් ගසේ යුෂ තිබෙන්නේ කොහේද?

ලාංකිකයන් කිතුල්, පොල්, සහ තල් ශාකවලින් පැණි නිෂ්පාදනය කරනවා. එහි දී පැණි නිපදවීමට අවශ්‍ය වන තෙලිජ්ජ, මල් කැපීම මඟින් ලබාගන්නවා. නමුත් මේපල් ශාකයෙන් පැණි ලබාගැනීම සඳහා අවශ්‍ය යුෂය මල්වලින් ලබාගන්නට බැහැ. මේපල් සිරප් සෑදීම සඳහා අවශ්‍ය වන යුෂය ලබාගන්නේ මේපල් ගසේ කඳ සිදුරු කිරීම මඟින්. එහි දී මේපල් ගසේ කඳ සිදුරු කර යුෂය ලෙස ඉවතට ගන්නේ මුලේ සිට ශාකයේ අනිකුත් කොටස් කරා ජලය සමග පරිවහනය වන සීනි ද්‍රාවණය යි. 

යුෂ ලබාගත හැක්කේ කුමන තත්ත්වයේ මේපල් ගස්වලින් ද?

සෑම මේපල් ගසකින්ම යුෂ ලබාගන්නට බැහැ. ඒ සඳහා ගස නියමිත වයසට පැමිණිය යුතු යි. සාමාන්‍යයෙන් මේපල් ගසක් යුෂ ලබාගන්නා තත්ත්වයට මේරීම සඳහා වසර 30ක් පමණ ගතවනවා. ගස නියම ප්‍රමාණයට මේරූ පසුව යුෂ ලබාගැනීමට කඳේ විෂ්කම්භය සෙ.මී 35ක් වත් විය යුතු යි. එලෙස යුෂ ලබාගැනීම සඳහා සුදුසු තත්ත්වයට පත්වුණු ගසකින් වාර්ෂිකව මේපල් යුෂ ලබාගැනීම සිදුකරනවා. පළමු විදීමෙන් පසුව ශාකයට වසර 100ක් පමණ ගතවන තුරු යුෂ ලබාගත හැකියි.

හොඳින් වැඩුණු මේපල් ගසක් (gettyimages) 

යුෂ ලබාගැනීමට සුදුසු කාලය 

මේපල් ශාකයෙන් ඉස්තරම් තත්ත්වයේ  යුෂ ලබාගැනීමට නම් ඒ සඳහා සුදුසු කාලය එළඹෙන තෙක් සිටිය යුතු යි. සාමාන්‍යයෙන් ඒ සඳහා වඩාත්ම සුදුසු වන්නේ ශීත සමය අවසන් වී වසන්ත සමය එළඹෙන කාලය යි.

එම කාල සීමාව තුළ රාත්‍රියට අයිස් මිදෙන උෂ්ණත්වයක් පවතින විට දහවල් කාලයට ඊට වඩා තරමක් වැඩි උණුසුමක් පවතිනවා. මාර්තු මාසයේ අග දී වඩාත් වැඩි සීනි සාන්ද්‍රණයක් සහිත මේපල් යුෂ ලබාගත හැකි බවට විශ්වාසයක් පවතිනවා. නමුත් එම කාල සීමාව දේශගුණික තත්ත්වයේ වෙනස්වීම් මත සුළු වශයෙන් විචලනය විය හැකියි.

යුෂ ලබාගැනීමට එම කාලය තෝරාගන්නේ ඇයි?

ශීත කාලයේ දී ශාකවල පරිවහනය සිදුවන්නේ ඉතාමත් අඩුවෙන්. එම නිසා මේපල් ශාකයේ මුල් ආශ්‍රිතව වැඩි සීනි සාන්ද්‍රණයක් පවතිනවා. ශීත කාලය අවසන් වී වසන්ත සමය එළඹෙන විට ශාකයේ පරිවහන ක්‍රියාවලිය නැවතත් සක්‍රීය වනවා. එවිට උත්ස්වේදනය, මූල පීඩනය, සහ කඳේ පීඩනය මඟින් මුල්වල තිබෙන සීනි යුෂ සහ ඛනිජ පරිවහනය වීම සිදුවනවා. එම නිසා මේපල් යුෂ ලබාගැනීම සඳහා වඩාත්ම සුදුසු කාලය වන්නේ මාර්තු මාසයේ අග භාගය යි.

නිසි කලට යුෂ ලබානොගැනීම නිසා සිදුවන හානිය 

මේපල් ශාකය මඟින් ගුණාත්මක බවින් වැඩි පැණි නිපදවීමට නම් නියමිත කාලයට යුෂ ලබාගැනීම සිදුකළ යුතු යි. නියමිත කාලයට පෙර යුෂ ලබාගැනීම සඳහා ගස සිදුරු කළොත් ගස වියළීමකට ලක්විය හැකියි. එය ගසේ පැවැත්මට අහිතකර තත්ත්වයක්. එසේම නියමිත කාලයට පසුව මේපල් ගසෙන් ලබාගන්නා යුෂවල අඩංගු වන්නේ අඩු සීනි සාන්ද්‍රණයක්. එම තත්ත්වයේ යුෂවලින් නිපදවන මේපල් පැණිවල සීනි සාන්ද්‍රණය අඩු යි.  

මේපල් ශාකයෙන් යුෂ ලබාගන්නා ආකාරය 

මේපල් යුෂ ලබාගැනීමේ ක්‍රියාවලිය සඳහා උපකරණ කිහිපයක් අවශ්‍ය යි. එහි දී කඳ විදීම සඳහා ඩ්‍රිල් එකක් සහ මිටියක් අවශ්‍ය වන විට වෑහෙන යුෂ පිටතට ගැනීම සඳහා බටයක් හෝ විල්ලක් අවශ්‍ය වනවා. එසේම යුෂ එකතු කිරීම සඳහා පියනක් සහිත බාල්දියක් යොදාගන්නවා. එම කාර්යය සඳහා පියනක් සහිත බාල්දියක් භාවිතා කරන්නේ ගසෙන් වැටෙන රොඩු සහ කෝටු කෑලි යුෂ බාල්දියට වැටීමට ඉඩ තිබෙන නිසා යි. 

මේපල් කඳෙන් යුෂ ලබාගැනීම සඳහා කඳ සිදුරු කිරීමේ දී ඊට පෙර සිදුරු නොකළ ස්ථානයක් තෝරා ගන්නවා. ඉන්පසුව ශාකයේ මුලට ආසන්න ස්ථාන එකක් හෝ දෙකක් සිදුරු කර ඒ තුළට විල්ල සවි කරනවා. විල්ල සවිකිරීමෙන් පසුව ගසෙන් එන යුෂය බාල්දියට එකතු කරගැනෙනවා. එහි දී යුෂ පිරුණු බාල්දි ඉක්මනින්ම එම ස්ථානවලින් ඉවත් කරගන්නේ, එසේ නොවුණොත් යුෂවල තිබෙන ගුණාත්මකබව අඩුවිය හැකි නිසා යි.

මේපල් ගසෙන් යුෂ ලබාගන්නා අවස්ථාවක් (gettyimages) 

මේපල් යුෂයෙන් පැණි හදන හැටි 

මේපල් යුෂය ජලය මෙන් පැහැදිලි ඝන නැති දියරයක්. ශාකයෙන් ලබාගත් යුෂවලින් පැණි ලබාගැනීම සඳහා ඒවා විශාල බඳුන්වලට දමා හැඳිගාමින් උණුකරන්නේ ජලය වාෂ්ප කිරීම සඳහා යි. එහි දී නියම පදම ලබාගැනීම සඳහා පැණි බඳුන සෙල්සියස් 104ක පමණ උෂ්ණත්වයකට රත්විය යුතු යි. එවිට බඳුන තුළ ඇති මේපල් පැණිවල සීනි සාන්ද්‍රණය ආසන්න වශයෙන් 67%ක් පමණ වනවා. 

සාමාන්‍යයෙන් මේපල් යුෂ උණු කිරීම සිදුකරන්නේ දෙපස හිටවූ කණු දෙකකට ඉහළින් යන හරස් කණුවක යෙදූ දම්වැල්වල එල්ලීම මඟින්. එහි දී මේපල් දර යොදා උණුකර විට පැණිවල රසය වැඩිවන බවට මතයක් පවතිනවා. එලෙස උණුකරන මේපල් පැණි ද්‍රාවණය නියම පදමට පැමිණි විට හොඳ සුවඳක් දැනෙනවා. එම නියම පදම ලබාගැනීම සඳහා නොකඩවා දින දෙකක්වත් රත්කළ යුතු යි. මේපල් යුෂයේ අඩංගු වන්නේ 2%කට ආසන්න සීනි ප්‍රමාණයක්. එම නිසා මේපල් පැණි ලීටරයක් සාදා ගැනීම සඳහා මේපල් යුෂ ලීටර් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනවා. එලෙස නියම පදමට පැමිණි මේපල් ද්‍රාවණයේ පැණිය පිරිසිදු රෙදි භාවිතා කරමින් බඳුන්වලට පෙරා ගනියි. එසේ නැත්නම් මිශ්‍රණය එම බඳුනේම නිවෙන්නට හැර මණ්ඩි තැන්පත් වුණු පසුව උඩ තිබෙන පැණි වෙන්කර ගැනීම සිදු කරයි.

මේපල් පැණි උණුකරන ආකාරය  (gettyimages) 

මේපල් පැණිවලින් ලබාගන්නා ප්‍රයෝජන 

සමහර උදවිය මේපල් පැණිය තවදුරටත් රත්කර හකුරු හෝ ටොෆී සෑදීම සිදුකරනවා. නමුත් මේපල් යුෂය බහුලවම භාවිතා කරන්නේ පැණි නිෂ්පාදනය සඳහා යි. දැනට ලෝකයේ හොඳම මේපල් පැණි නිෂ්පාදකයා බවට පත්ව සිටින්නේ කැනඩාව යි. එසේම ගුණාත්මක බවින් වැඩි මේපල් පැණි නිෂ්පාදනය කරන්නේත් කැනඩාවේ ගම්මානවල යි. මේපල් පැණිවල සීනිවලට අමතරව කැල්සියම් සහ පොටෑසියම් වැනි ඛනිජ පෝෂක ද ස්වල්ප වශයෙන් අඩංගු වනවා. දින ගණනාවක් මහන්සි වී සාදාගන්නා මේපල් පැණිය වැඩිපුරම භාවිතා කරන්නේ ආහාර රසගැන්වීම සහ අතුරුපස සෑදීම සඳහා යි. එසේම සමහර උදවිය පෑන් කේක් සමග මේපල් පැණි ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වනවා. තව ද සමහර උදවිය සීනි වෙනුවට විකල්පයක් ලෙසින් ද මෙය භාවිතා කරනවා.

මේපල් පැණියෙන් සැරසූ ආහාරයක් (gettyimages) 

මේපල් පැණි හදන කාල සමය කැනේඩියානු වැසියන්ට ප්‍රීතිමත් කාලයක්. එම නිසා මාර්තු සහ අප්‍රේල් මාසවල දී එරට ගොවිපළවල් ආශ්‍රිතව උත්සව පැවැත්වෙනවා. එවැනි උත්සවවලට සහභාගි වන කැනඩා වැසියන් මේපල් පැණියෙන් රස ගැන්වූ විවිධ ආහාර අනුභව කරමින් විනෝද වනවා. එලෙස සති කිහිපයක් පැවැත්වෙන මේපල් උත්සව මැයි මාසය වන විට නිමාව දකින්නේ ඔවුන්ගේ ප්‍රීතිමත් කාල සමයක අවසානය උදාකර දෙමින්.

කවරයේ ඡායාරූපය- බාල්දි එල්ලූ මේපල් ගස්  (gettyimages)  

මූලාශ්‍රයයන්- canadian maple syrup- agr.ga.ca

                        Puremaplefromcanada.com 

Related Articles