Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුමෙන් ස්නානය කරන නැමීබියාවේ හිම්බා ගෝත්‍රිකයෝ

අඳුරු මහද්වීපය ලෙසින් හඳුන්වනු ලබන අප්‍රිකානු මහද්වීපය ව. කි. මී මිලියන 30ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතිනවා. එහි පිහිටි රටවල් 54ක් තුළ විවිධ ගෝත්‍රයන් 3000ක් පමණ ජීවත්වෙනවා. ඒ අතරින් ඇතැම් ගෝත්‍රවලට අයත් ජනගහනය ඉතාමත් වැඩි අගයක් ගනිද්දී, තවත් සමහර ගෝත්‍ර ක්‍රමයෙන් වඳවී යමින් පවතිනවා. නැමීබියාවේ ජීවත්වන හිම්බා නම් ගෝත්‍රික ජන වර්ගය ද එලෙස වඳවී යන ගෝත්‍රයක්. 

හිම්බා ගෝත්‍රයේ ඉතිහාසය

නැමීබියාව සහ ඇන්ගෝලාව වෙන් කරන මායිමක් වන්නේ කුනෙනේ ගංගාව යි. හිම්බා ගෝත්‍රිකයන් 16 වන සියවසේ දී පමණ මෙම ගංගාව දෙපස තිබෙන බිම් ප්‍රදේශවල පදිංචියට පැමිණියා. 19 වන සියවසේ අග භාගයේ දී හිම්බා ගෝත්‍රිකයන්ගේ ගවයන්ට දරුණු රෝගයක් වැළඳුණා. එයින් ගවයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වුණු නිසා හිම්බා ගෝත්‍රිකයන්ගේ ආර්ථික තත්ත්වය දුර්වල වුණා. එම නිසා අසීරුවෙන් ජීවත් වුණු හිම්බා ගෝත්‍රිකයන් කබලෙන් ලිපට වැටුණේ 1904-1908 කාල සමය තුළ දී යි. ජර්මානුවන්, හිම්බා ගෝත්‍රිකයන් ජීවත් වුණු ප්‍රදේශ යටත්කර ගැනීම සඳහා සටන් වැදුනා. මේ අරගලය හේතුවෙන් හිම්බා ගෝත්‍රිකයන් විශාල පිරිසක් මියගියා. 

නැවතත්, 1980 දශකයේ දී දැඩි නියඟය නිසා හිම්බා ගෝත්‍රිකයන්ගේ පශු සම්පත විශාල වශයෙන් අහිමි වුණා. එම නිසා සරණාගතයන් ලෙස වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූ හිම්බා ගෝත්‍රිකයන් විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැරගැනීමත්, ප්‍රාණ ඇපයට තබාගැනීමත් බහුලව සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට ඉතිරිව සිටින්නේ 50000කට ආසන්න  හිම්බා ගෝත්‍රිකයන් ප්‍රමාණයක් පමණ යි. 

හිම්බා ගෝත්‍රිකයන් (All Round Africa)

දෛනික ජීවන රටාව 

හිම්බා ගෝත්‍රික පිරිමියෙකුට ප්‍රධාන වශයෙන් පැවරෙන රාජකාරි කිහිපයක් තිබෙනවා. වනයට ගොස් සතුන් දඩයම් කිරීම, නිවෙස් තනාගැනීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සොයාගැනීම, තමන්ගේ පට්ටිවලට අයත් සතුන් ප්‍රමාණය වැඩි කරගැනීම, ගමේ ප්‍රධානියා හමුවී තිබෙන ගැටළු නිරාකරණය කරගැනීම වැනි රාජකාරි ඒ අතරට අයත්. හිම්බා ගෝත්‍රික පිරිමින්ට පැවරී ඇති එම රාජකාරි නිසා ඔවුන් කාර්යබහුල ජීවිතයක් ගතකරනවා.  

නිවසේ සියලු කටයුතු ඉටුකිරීමට පැවරී  තිබෙන්නේ හිම්බා ගෝත්‍රික වැඩිහිටි ගැහැණුන්ට සහ තරුණ ගැහැණු ළමයින්ට යි. එදිනෙදා වැඩකටයුතු සඳහා අවශ්‍ය වන ජලය, දර වැනි දේ සපයා ගැනීම, සතුන් රැකබලා ගැනීම, සතුන්ගෙන් කිරි දොවා ගැනීම, සත්ත්ව සම් පදම්කර ඇඳුම් සකසා ගැනීම, විසිතුරු ආභරණ සකසාගැනීම, දරුවන්ට කවා පොවා රැකබලා ගැනීම වැනි කාර්යයන් හිම්බා ගෝත්‍රික කාන්තාවන් අතින් සිදුවනවා. එම නිසා උදෑසන රාජකාරි අරඹන හිම්බා කාන්තාවකට රාත්‍රී කාලය වන තුරු එක දිගටම වැඩ කිරීමට සිදුවනවා. 

වැඩ කරන හිම්බා ගෝත්‍රික කාන්තාවක් (My Adventures Across the World)

යැපුම් ආර්ථිකය 

පරිසරයට සමීප ජන කොටසක් වන මොවුන් සිය ජීවිකාව කරගෙන යාම සඳහා කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. මෙම ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන්නේ සත්ත්ව පාලනය යි. එම නිසා ගවයන්, එළුවන් සහ බැටළුවන් වැනි සතුන් රංචු හිම්බා ගෝත්‍රික ගම්මාන ආශ්‍රිතව දක්නට ලැබීම සාමාන්‍ය යි. සාමාන්‍යයෙන් මෙම ගෝත්‍රිකයන්ගේ ධනවත්කම මැන බැලීමේ දී ඔවුන් සතුව සිටින සතුන් ප්‍රමාණය සැලකිල්ලට ගන්නවා. ඒ අනුව වැඩි සතුන් ප්‍රමාණයක් හිමි හිම්බා ගෝත්‍රිකයන් විශාල ධනවතුන් සේ සලකනවා. ඇති කරන සතුන්ගෙන් මස් සහ කිරි අවශ්‍යතාවය සපුරා ගැනීමට මොවුන් පුරුදුව සිටිනවා. 

හිම්බා ගෝත්‍රිකයින් ඉරිඟු, මෙනේරි වැනි ධාන්‍ය වර්ග වගා කරනවා. නමුත් සත්ත්ව පාලනය සහ ධාන්‍ය වගාවෙන් ලැබෙන ආදායම හිම්බා ගෝත්‍රිකයන්ගේ ජීවිකාව කරගෙන යාමට  ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා ඔවුන් වනයට ගොස් එකතු කරගන්නා මී පැණි, විවිධ කොළ වර්ග වැනි දේවල්වලින් ජීවිතය ගැටගසා ගන්නවා. මෙම ගෝත්‍රිකයන් කැඳ ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. බොහෝ විට සෑම දිනකම උදෑසන සහ සවස මොවුන් කැඳ පානය කිරීමට පුරුදුව සිටිනවා.

හිම්බා ගෝත්‍රිකයන් සතුව තිබෙන ගව පට්ටියක් (BBC)

අනුගමනය කරන විශේෂ පුරුදු 

හිම්බා ගෝත්‍රිකයන් ජීවත්වන කලාපයේ උෂ්ණත්වය අධික යි. එම නිසා හිම්බා කාන්තාවන් සම හිරු එළියෙන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ උපක්‍රමයක් අනුගමනය කරනවා. යකඩ මුසු රතු පාට මැටි කැබලි ගෙන බටර් සමග එකතුකර සාදාගන්නා මිශ්‍රණය සිරුරේ ආලේප කිරීම ඒ උපක්‍රමය යි. හිම්බා කාන්තාවන් සිය ගෙතූ කොණ්ඩයේ ද මේ ආලේපනය තවරනවා.

යකඩ මුසු මැටි ආලේප කරගෙන සිටින කාන්තාවන් (sieveroah.com)

හිම්බා ගෝත්‍රිකයන් හිසකෙස් සකසාගන්නේ ද එකිනෙකා පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන ආකාරයට යි. කුඩා හිම්බා දරුවන්ගේ හිස මුඩුකර දමන අතර අවිවාහක ගැහැණු ළමයෙකුගේ හිසකෙස් පිටුපස සිට ඉදිරියට ගෙතීම සිදුකරනවා. අවිවාහක පිරිමියෙකුගේ හිසකෙස් ද තනි කරලක් ආකාරයට පිටුපස සිට ඉදිරියට ගොතනු ලබනවා. සාමාන්‍යයෙන් විවාහක පිරිමි හිස කෙස් ගොතන්නේ නැහැ. ඔවුන් ජටාවක් හෝ තොප්පියක් පැළඳ සිටින ආකාරය දක්නට ලැබෙනවා. වැන්දඹු පිරිමි තොප්පියක් හෝ ජටාවක් පළඳින්නේ නැහැ. වැඩිහිටි ගැහැණු උදවිය හිස්කෙස් ගොතා බැටළු සමකින් වසාගෙන සිටින ආකාරය දැකගන්නට පුළුවන්. 

අවිවාහක තරුණයන්ගේ කොණ්ඩ විලාසිතා (sieveroah.com)

සාම්ප්‍රදායික ආභරණ සහ සිරිත් විරිත් 

පුරාණ චාරිත්‍රවලට අනුව ජීවත් වන හිම්බා ගෝත්‍රිකයන් තවමත් සාම්ප්‍රදායික ආභරණ භාවිතා කරනවා. ඔවුන් භාවිතා කරන ආභරණ අතරට පැස්බර බිත්තර ෂෙල් පබළු, තණකොළ, රෙදි සහ තඹවලින් සාදන ලද අත් සහ කකුල්වලට දමන වළලු  සහ මාල අයත් වනවා. 

හිම්බා ගෝත්‍රිකයන් එතරම් දියුණු ජන කොට්ඨාසයක් නොවෙයි. එම නිසා ඔවුන්ගේ ජන සමාජය තුළ පිරිමියාට වැඩි බලයක් හිමිව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හිම්බා පිරිමියෙකුට කාන්තාවක් දෙදෙනෙකු විවාහ කරගැනීම සඳහා බලය හිමිව තිබෙනවා. එසේම හිම්බා දැරියක් වැඩිවියට පත්වුණු විගසම සුදුසු තරුණයෙකුට විවාහ කරදීමට එම ගෝත්‍රිකයන් පුරුදුව සිටිනවා.

හිම්බා ගෝත්‍රිකයන්ගේ ආභරණ (sieveroah.com)

දුමෙන් ස්නානය කිරීම 

හිම්බා ගෝත්‍රික පිරිමින්ට ස්නානය සඳහා ජලය භාවිතා කිරීමට අවසර හිමිව තිබුණත් කාන්තාවන්ට එම අවසර හිමිවන්නේ නැහැ. එම නිසා හිම්බා කාන්තාවන් දිනපතා දුම් ස්නානය කරනවා. එහි දී මුලින්ම කොමිෆෝරා නම් ශාක වර්ගයේ කොළ සහ අතු දුම් අඟුරු බඳුනකට දමනවා. ඉන් පසුව එම බඳුනෙන් පිටවන දුමාරය සිය සිරුරේ සෑම තැනකටම අල්ලා ගැනීමට හිම්බා කාන්තාවන් පුරුදුව සිටිනවා. දුම් අල්ලන අවස්ථාවේ දී සිරුර බ්ලැන්කට්ටුවකින් වසාගෙන සිටින නිසා හොඳින් දාඩිය දමනවා. සිරුරෙන් හැකිතරම් දහඩිය දමන තෙක් ඔවුන් එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරනවා.

දුම් ස්නානය කිරීම (africageographystoroes.com)

පසුගිය සියවස තුළ දී හිම්බා ගෝත්‍රිකයන් විශාල ප්‍රමාණයක් විවිධ හේතූන් නිසා මරණයට පත්වුණා. අද වන විට ඉතිරිව සිටින 50000ක පමණ හිම්බා ගෝත්‍රික පිරිසත් සිටින්නේ මිහිපිටින් අතුරුදන්ව යාමේ මඟේ ගමන් කරමින්.   

කවරයේ ඡායාරූපය- හිම්බා ගෝත්‍රික කාන්තාවන් දෙදෙනෙක් (Exploring Africa)

මූල්ශ්‍රයයන්- BBC.com

Related Articles