Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරට භාවිතා කළ 100 නෝට්ටුවල ඉතිහාසය

1951 වසරේ දී මහ බැංකුව මඟින් මුල්ම වරට මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කළා. හයවන ජෝර්ජ් රජුගේ රුව සඳහන් වුණු එම නෝට්ටු කාණ්ඩයට ඇතුළත් වුණේ රුපියල සහ රුපියල් 10 යන වටිනාකම් සහිත නෝට්ටු පමණ යි. ඉන් වසරකට පසුව යළි මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කළා. දෙවන එළිසබෙත් රැජිණගේ රුව සටහන් වුණු එම නෝට්ටු කාණ්ඩය තුළ දක්නට ලැබුණු ඉහළම වටිනාකමක් සහිත මුදල් නෝට්ටුව වුණේ රුපියල් සියයේ නෝට්ටුව යි. එලෙස කරළියට පැමිණි රුපියල් 100 නෝට්ටුව 1952-1980 කාල සමය තුළ මෙරට භාවිතා කළ වටිනාකමින් වැඩිම මුදල් නෝට්ටුව බවට පත්වුණා. 

මෙරට භාවිතා කළ 1000 නෝට්ටු සහ 500 නෝට්ටු පිළිබඳව අපි මීට පෙර ලිපිවලින්  කතා කළ නිසා මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අප රට තුළ භාවිතා කළ 100 නෝට්ටු පිළිබඳව යි. 

1952 වසරේ දී මුල්ම වරට නිකුත් කළ රුපියල් 100 නෝට්ටුව 

1952 වසරේ ජූනි 3 වැනිදා ලංකා මහ බැංකුව විසින් මුල්ම වරට රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා. එම නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය ජේ.ආර් ජයවර්ධන, සහ මහ බැංකු අධිපති ජෝන් එක්ස්ටර් යන අයගේ අත්සන් සහිතව යි. එම නෝට්ටුව ඉන් පසුව 1954 වසරේ ඔක්තෝබර් 16 වැනිදා යළි නිකුත් කරනු ලැබුවා. ඒ  මුදල් අමාත්‍ය එම්. ඩී. එච්. ජයවර්ධන සහ මහ බැංකු අධිපති ඒ. ජී. රණසිංහ යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම්, කොළ, දුඹුරු, සහ තැඹිලි යන වර්ණයන්  දක්නට ලැබෙනවා. තව ද එහි දෙවන එළිසබෙත් රැජිණගේ රුව මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ දුඹුරු වර්ණය වැඩිවශයෙන් දක්නට ලැබෙනවා. එසේම එහි මැද සීගිරි බිතුසිතුවමක් මුද්‍රණය කර තිබෙනවා. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1956 වසරේ දී නිකුත් කළ රුපියල් 100 නෝට්ටුව

1956 වසරේ ඔක්තෝබර් 24 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ මුදල් අමාත්‍ය ස්ටැන්ලි ද සොයිසා සහ මහ බැංකු අධිපති ඒ. ජී. රණසිංහ යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම්, කොළ, දුඹුරු, සහ තැඹිලි යන වර්ණයන්  දක්නට ලැබෙනවා. එසේම එකල භාවිතා කළ රාජ්‍ය ලාංඡනය එහි මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

1952 වසරේ දී මුද්‍රණය කළ රුපියල් 100 නෝට්ටුවේ පිටුපස කොටසට සමාන යි. නමුත් මෙහි ශ්‍රී ලංකා මහ බැංකුව සහ රුපියල් 100 යන ඒවා සිංහල භාෂාවෙන් සටහන් කර තිබෙනවා. 

1963 වසරේ දී නිකුත් කළ රුපියල් 100 නෝට්ටුව

1963 වසරේ ජූනි 5 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ මුදල් අමාත්‍ය ටී. බී. ඉලංගරත්න සහ මහ බැංකු අධිපති ඩබ්ලිව් රාජපතිරණ යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ කොළ, දුඹුරු, දම්, සහ තැඹිලි යන වර්ණයන්  දක්නට ලැබෙනවා. එසේම නැසීගිය සොලමන් ඩයස් බණ්ඩාරනායක අගමැතිවරයාගේ රුව මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

1956 වසරේ දී මුද්‍රණය කළ රුපියල් 100 නෝට්ටුවේ පිටුපස කොටසට සමාන යි. නමුත් මෙහි බෝඩරයේ උඩ සහ යට ශ්‍රී ලංකා මහ බැංකුව ලෙසින් කුඩාවට මුද්‍රණය කොට තිබෙනවා. එසේම සීගිරි බිතුසිතුවම වම් පසට වන්නට මුද්‍රණය කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1966 වසරේ දී නිකුත් වූ රුපියල් 100 නෝට්ටුව 

1966 වසරේ මැයි 28 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය යූ. බී. වන්නිනායක සහ මහ බැංකු අධිපති ඩබ්ලිව් රාජපතිරණ යන අයගේ අත්සන් සහිතව යි. ඉන් පසුව මෙම මුදල් නෝට්ටුව විවිධ සංශෝධන සහිතව අවස්ථාවන් දෙකක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 1966/11/22

    මුදල් අමාත්‍යවරයා- යූ. බී. වන්නිනායක

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව් රාජපතිරණ

2) දිනය- 1968/1/10

    මුදල් අමාත්‍යවරයා- යූ. බී. වන්නිනායක

    මහ බැංකුවේ අධිපති- විලියම් තෙන්නකෝන් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම්, කොළ, දුඹුරු, සහ තැඹිලි යන වර්ණයන්  දක්නට ලැබෙනවා. එසේම පොළොන්නරුවේ පිහිටා තිබෙන පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවයැ යි අනුමාන කරන ප්‍රතිමාවේ රූපයක් මෙහි මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

1963 වසරේ දී මුද්‍රණය කළ රුපියල් 100 නෝට්ටුවේ පිටුපස කොටසට සමාන යි. 

1974 වසරේ දී නිකුත් කළ රුපියල් 100 නෝට්ටුව 

1974 වසරේ අගෝස්තු  27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා. එම නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය ඇන්. ඇම්. පෙරේරා, සහ මහ බැංකු අධිපති හර්බට් තෙන්නකෝන් යන අයගේ අත්සන් සහිතව යි. එම නෝට්ටුව ඉන් පසුව 1975 වසරේ ඔක්තෝබර් 6 වැනිදා යළි නිකුත් කරනු ලැබුවා. ඒ මුදල් අමාත්‍ය ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ මහ බැංකු අධිපති හර්බට් තෙන්නකෝන් යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් අඩංගු වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම්, කොළ, සහ තැඹිලි යන වර්ණයන්  දක්නට ලැබෙනවා. එසේම එහි දකුණු පසින් නැසීගිය සොලමන් බණ්ඩාරනායක අගමැතිවරයාගේ රුව මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි. තව ද වම්පස පහළ කොනේ නෙළුම් මල් කිහිපයක් දැකිය හැකියි.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ දුඹුරු වර්ණය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එසේම පොළොන්නරු වටදාගයේ රූපයක් එහි මුද්‍රණය කර තිබෙනවා. තව ද එහි හිස් අවකාශයේ ශ්‍රී ලංකා මහ බැංකුව යන නාමය කුඩාවට සටහන් කර ඇති ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1979 වසරේ දී නිකුත් කළ රුපියල් 100 නෝට්ටුව

1979 වසරේ මාර්තු 26 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ මුදල් අමාත්‍ය රොනී ද මැල් සහ මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් දක්නට ලැබුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ වර්ණ රැසක් දක්නට ලැබෙනවා. කොළ, කහ, කහ-තැඹිලි, දුඹුරු, රතු-දුඹුරු, අළු වැනි වර්ණයන් ඒ අතරට අයත් වනවා. එසේම මයිනන් දෙදෙනෙක්, පළා පොළඟෙක්, වල් අඹ ගසක්, උගුඩුවෙක්, සහ තල් ගසක් මෙහි මුද්‍රණය කර තිබෙනවා. එලෙස මුද්‍රණය කර තිබෙන රූප අසලින්ම එවායේ විද්‍යාත්මක නාමයන් සටහන් කර තිබීම සුවිශේෂී සිදුවීම ලෙස සැලකිය හැකියි.

පසුපස කොටස 

නෝට්ටුවේ පසුපස කොටසේ අළු, කහ-තැඹිලි, කහ වැනි වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම රත්නලල් කොට්ටෝරුවන් දෙදෙනෙකු මුද්‍රණය කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් පක්ෂියෙකු අත්තක් උඩ සිටින විට අනිත් පක්ෂියා ගස් බෙනයක සිටිනවා. එසේම පහතින් පුවක් පැළයක් සහ සමනලයෙකු මුද්‍රණය කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස කොටස්  (Pinterest)

1982 වසරේ දී නිකුත් කළ රුපියල් 100 නෝට්ටුව 

1982 වසරේ ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්ම වරට රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා. එම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය රොනී ද මැල්, සහ මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා. 

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ ප්‍රධාන වශයෙන් තැඹිලි වර්ණය අඩංගු වනවා. ඊට අමතරව දුඹුරු, කහ, සහ රෝස  යන වර්ණයන් දැකිය හැකියි. එසේම මෙහි අනුරාධපුර යුගයට අයත් කොරවක්ගලක් මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ තැඹිලි, තද දුඹුරු, නිල්, සහ කහ යන වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම එහි මැද නව පාර්ලිමේන්තු සංකීර්ණයේ  රූපයක්  මුද්‍රණය කර තිබෙනවා. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1991 වසරේ දී නිකුත් වූ රුපියල් 100 නෝට්ටුව 

1991 වසරේ ජනවාරි 1 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ ඩී.බී විජේතුංග සහ එච්. එන්. එස්. කරුණාතිලක යන අයගේ අත්සන් සහිතව යි. එදා මෙදා තුර ලංකාවේ ජනප්‍රියම රුපියල් 100 නෝට්ටුව බවට පත්වුණු මෙම නෝට්ටුව විවිධ සංශෝධන සහිතව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 1992/7/1

    මුදල් අමාත්‍යවරයා- ඩී. බී. විජේතුංග

    මහ බැංකුවේ අධිපති- එච්. බී. දිසානායක

2) දිනය- 1995/11/15

    මුදල් අමාත්‍යවරයා- චන්ද්‍රිකා කුමාරතුංග

    මහ බැංකුවේ අධිපති- ඒ. එස්. ජයවර්ධන

3) දිනය- 2001/12/12

    මුදල් අමාත්‍යවරයා- කේ. එන්. චොක්සි 

    මහ බැංකුවේ අධිපති- ඒ. එස්. ජයවර්ධන

4) දිනය- 2004/4/10

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම  

    මහ බැංකුවේ අධිපති- ඒ. එස්. ජයවර්ධන

5) දිනය- 2004/7/1

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම 

    මහ බැංකුවේ අධිපති- සුනිල් මෙන්ඩිස් 

6) දිනය- 2006/7/3

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- අජිත් නිවාඩ් කබ්රාල් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් අඩංගු වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ තැඹිලි, තද දුඹුරු, රෝස, සහ කහ යන වර්ණ දක්නට ලැබෙනවා. එසේම එහි පුන්කලසක් සහ කුඩා කරඬුවක් මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුල් යුගයේ දී මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ දක්නට ලැබුණේ තද දුඹුරු, තැඹිලි, කහ, සහ රෝස යන වර්ණ යි. නමුත් පසු කලෙක නිකුත් කළ නෝට්ටුවල තැඹිලි, කහ, රෝස, සහ කොළ යන වර්ණ දැකිය හැකියි. එසේම මෙහි සීගිරිය, තේ දළු නෙළන ළඳුන්, සහ ගිරවුන් යුගලක් මුද්‍රණය කර තිබෙනවා. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

2011 වසරේ දී නිකුත් කළ රුපියල් 100 නෝට්ටුව 

දැනට බහුලවම භාවිතා වන මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ සහ අජිත් නිවාඩ්  කබ්රාල් යන අයගේ අත්සන් සහිතව යි. මෙය 2011 වසරේ පෙබරවාරි 4 නිකුත් වුණත් එහි දිනය සටහන් ව තිබුණේ 2010 ජනවාරි 1 ලෙස යි. ඉන් අනතුරුව මෙම නෝට්ටුව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 2015/2/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- අර්ජුන් මහේන්ද්‍රන් 

2) දිනය- 2016/7/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

3) දිනය- 2019/1/28

    මුදල් අමාත්‍යවරයා- මංගල සමරවීර  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

4) දිනය- 2019/12/24

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ දැකිය හැකියි.

ඉදිරිපස කොටස  

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් විදුලි රැහැන් සමඟින් දිස්වන ලක්ෂපාන දිය ඇල්ල මෙහි දැක්වෙයි. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමලිච්චා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහලට වන්නට සරා කොළයා නමැති සමනලයා ද මුද්‍රණය කර තිබෙනවා.

පසුපස කොටස 

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට ඉන්දීය ශාස්ත්‍රීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මෘදංග බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි නාගරාජ මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දක්නට ලැබෙයි.

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස (Bank Notes)

කවරයේ ඡායාරූපය- 1979 වසරේ දී නිකුත් කළ රුපියල් 100 නෝට්ටුවේ මුහුණත (lakdiva.org)

මූලාශ්‍රයයන්- cbsl.gov.lk

Related Articles