Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘එඩ්ගාර් ඇලන් පෝ’ගේ අභිරහස් මරණය

ඇමෙරිකානු ජාතික රචකයෙකු වන එඩ්ගාර් ඇලන් පෝ, ත්‍රාසය පිරුණු අභිරහස් කතා රචනය කිරීම සඳහා ප්‍රසිධියක් ඉසිලූවා. ඔහුගේ මරණයේ ඇත්තෙත් එවැනිම අභිරහස් බවක්. එඩ්ගාර් ඇලන් පෝ සැබැවින් ම මිය ගියේ කෙසේ ද? මේ පැනයට තහවුරු කරන ලද පිළිතුරක් තවමත් සොයාගන්නට කිසිවෙකුට නොහැකි වී තිබෙනවා.

1849 ඔක්තෝබර් මස 3 වන දා බැල්ටිමෝර් හි වීථියක තිබූ කාණුවක අවසිහියෙන් වැටී සිටිය දී පෝ හමුවන්නේ සතියක් පමණ අතුරුදන් වී සිටීමෙන් අනතුරුව යි. ඔහුගේ නොවන, වැරහැලි වූ ඇඳුම්ද  ඇඟලාගෙන යි ඔහු සිටියේ. වහා ම ඔහු රෝහල් ගත කෙරුණ ද, පියවි සිහියට නැවත ළඟා වීමට නොහැකි වෙනවා. ඔක්තෝබර් මස 7 වන දා පෝ සදහටම දෙනෙත් පියාගන්නේ ඔහුගේ මරණය පිළිබඳ ව සැක සංකා රාශියක් ඉතිරි කරමින්. මියයන තුරු ම ඔහු ‘රෙනෝල්ඩ්ස්’ යනුවෙන් කිසිවෙක් ආමන්ත්‍රණය කර ඇති අතර ඒ කවුදැ යි යන්න අදටත් හෙළි වී නැහැ.

පෝගේ අභිරහස් මරණයෙන් වසර ගණනාවක් ගත වන තුරු විවිධ පුද්ගලයින් ඔහුගේ මරණයට නිශ්චිත හේතු සොයා වෙහෙසුණා. සාක්ෂ්‍ය මත පදනම් ව විවිධ කල්පිත ගොඩනැගීමට උත්සාහ කළා. මේ අනුව පෝ මියගියායැ යි වඩාත් විශ්වාස කළ හැකි හේතු කිහිපයක් ම වරින් වර ලොවට ඉදිරිපත් ව තිබෙනවා.

පහර දීම

එඩ්ගාර් ඇලන් පෝ මියගිය ස්ථානය- readtheplaque.com

පෝගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මත අතරින් වඩාත් ම ඉදිරියෙන් ඇති මතයක් වන්නේ ඔහු පහර කෑමට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස මියගියා යන්න යි. ඔහු හමුවන විට ඇඳුම් වැරහැලි වී තිබීම හා සිහි මඳභාවයකින් පෙළෙමින් සිටීම එම මතය තහවුරු කරන්නක් වෙනවා.

එඩ්ගාර් ඇලන් පෝ නිතර මත්පැන් පානයට ප්‍රිය කළ ද ඔහුට ඒවා දරාගැනීමේ හැකියාවක් නොතිබූ බවට තහවුරු වූ සාක්ෂ්‍ය තිබෙනවා. මේ නිසා මත් වී මාර්ගයේ ගමන් ගැනීමේ දී සොර සතුරු ප්‍රහාරයකට මෙලෙස ලක්වූවා යන්න මේ මතය ගෙනහැර පෑ අය දැක්වූවා. කෙසේ නමුත් ඔහු, ඔහුගේ නොවන ලාභ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටීම මේ මතයට පරස්පර සාක්ෂ්‍යයක් වෙනවා.

අනන්‍යතාවය සඟවා ඡන්දය ප්‍රකාශ කිරීමට ගෙන ඒම

පෝ අවසිහියෙන් වැටී සිට හමුවූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවති දිනයක යි. 19 වන සියවසෙහි මැද භාගයේ ව්‍යාජ ඡන්ද ප්‍රකාශ කරනු වස් සමහර පුද්ගලයින් පැහැරගෙන ගොස්, අඩපණ කොට, විවිධ අනන්‍යතා යටතේ කිහිප විටෙක ම ඡන්දය ප්‍රකාශ කරවීම බහුල ව සිදුවුණා. පෝ එවැනි අක්‍රමිකතාවයක ගොදුරක් බවට පත් වූවායැ යි ද ඔහුගේ මරණය සිදු වූ හේතුව ලෙස ඉහළින් ම කියැවෙන මතයක්.

මත්පැන්

පෙර සඳහන් කළ පරිදි එඩ්ගාර් ඇලන් පෝ නිතර මත්පැන් භාවිතා කළත්, එය කිසිසේත් ම දරාගත නොහැකි අයෙකු වුණා. සුළු මත්පැන් මාත්‍රාවකින් වුව ද අධික ලෙස මත්වුණු අවස්ථා ඔහුගේ ජීවිතයේ අනන්තවත් තිබුණා. මීට පෙර වතාවක දී ද මත්පැන් හේතුවෙන් පෝ මරණාසන්න අවස්ථාවකට මුහුණ දී තිබූ අතර, එවර සුව වීමෙන් පසු වෛද්‍යවරුන් විසින් ‘මිය යාමට කැමති නම් දැඩි ලෙස නැවත මත්පැන් පානය කරන ලෙස’ ඔහුට උපදෙස් ලබා දී තිබුණා. කෙසේ නමුත් මෙමඟින් ද ඔහු, ඔහුගේ නොවන ඇඳුම් ඇඟලාගෙන සිටීමත්, සතියක් තිස්සේ අතුරුදන් ව සිටීමත් පැහැදිලි වන්නේ නැහැ.

කාබන් මොනොක්සයිඩ් හේතුවෙන් මියයාම

‘එඩ්ගාර් ඇලන් පෝ’ගේ හිසකෙස්- pinterest.com

1999 වසරේ, වෛද්‍යවරයෙකු විසින් පෝගේ මරණය පිළිබඳ නව මතයක් ගෙන ආවා. ඔහුට අනුව එය කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය වී, එය විෂ වීමෙන් සිදු වූවක් වුණා. 19 වන සියවසේ දී ගොඩනැගිලි ආලෝකමත් කිරීම සඳහා ‘ගල් අඟුරු වායුව’ යොදාගැනීම බහුල ව සිදු වූ අතර, එම වායු මිශ්‍රණයේ අඩංගු කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය වීමෙන් සිදු වූ මරණ ද දුලබ වුණේ නැහැ.

ගල් අඟුරු වායුව සමග සමහර බැර ලෝහ ආඝ්‍රාණය වීම ද සාමාන්‍යයෙන් සිදුවන නිසා පර්යේෂණ සඳහා යොදාගැනීමට වෙන්කර තිබූ පෝගේ හිසකෙස් බැර ලෝහ සඳහා පරීක්ෂා කෙරුණා. එහි දී අනාවරණය වූයේ ඒවායේ ගල් අඟුරු වායුව සමග ශරීරගත විය හැකි බැරලෝහ අන්තර්ගත නොවන බව යි. මේ අනුව මේ මතය ද තහවුරු වුයේ නැහැ..

බැරලෝහ විෂ වීම

කාබන් මොනොක්සයිඩ වැදගත් තහවුරු කිරීම උදෙසා පෝගේ හිසකෙස් පරීක්ෂා කිරීමේ දී ඊට ලැබුණු ප්‍රතිඵල සතුටුදායක නොවූවත් ඒත් සමග ම තවත් වැදගත් සාක්ෂ්‍යයක් අනාවරණය වුණා. එනම්, ඒවායේ රසදිය සැලකිය යුතු ප්‍රමාණයකින් අන්තර්ගත බව යි. මෙලෙස වීමට මාස කිහිපයක් තිස්සේ යම් පුද්ගලයෙකුගේ ශරීරයට රසදිය ඇතුළු විය යුතු වෙනවා.

රසදිය විෂ වීමෙන් පෝ මියගියා ද? යන්න සෙවීමට පර්යේෂණ ඇරඹුණු අතර, එහි දී අනාවරණය වූයේ මරණයට මාස කිහිපයකට පෙර ඔහුට කොලරාව වැළඳී තිබූ බව හා ඒ නිසා ඔහුගේ වෛද්‍යවරයා විසින් ඔහුට රසදිය ක්ලෝරයිඩ අඩංගු ඖෂධයක් නිර්දේශ කර තිබූ බව යි. මේ නිසා ඔහු මරණයට පත් කිරීමේ අරමුණෙන් සිතාමතා ම රසදිය ශරීරගත කිරීමක් සිදු ව නොතිබූ බව තහවුරු වූ අතර, වැඩිදුර පරීක්ෂා කිරීමේ දී තහවුරු වූයේ පෝගේ හිසකෙස්වල අඩංගු රසදිය මට්ටම මාරක මාත්‍රාවකට වඩා තිස් ගුණයකින් පමණ අඩු බව යි. මේ හේතුවෙන් එම මතය ද නිෂ්ප්‍රභ කෙරුණා.

ජලභීතිකාව

19 වන සියවසේ ඇමෙරිකාව පුරා ජලභීතිකාව ව්‍යාප්ත ව තිබුණා. 1996 දී තවත් වෛද්‍යවරයෙකු එඩ්ගාර් ඇලන් පෝ ජලභීතිකාවෙන් මියගිය බව ප්‍රකාශ කළා. මේ සඳහා ඔහු ගෙනහැර පෑවේ රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු අරබයා ලියා තිබූ රෝග වාර්තාව යි. ඒවාට අනුව ඔහු අවසිහියෙන් පසු ව තිබූ අතර, එන්න එන්නම තත්ත්වය දරුණු වන විට විවිධ මනෝ විකාර පෙනෙන්නා සේ හැසිරෙන්නට පටන්ගෙන අවසානයේ එය උත්සන්න වී මියගොස් තිබුණා. මේ රෝග ලක්ෂණ ජලභීතිකා රෝගලක්ෂණ හා සැසඳෙනවා.

කෙසේ නමුත් එම වෛද්‍ය වාර්තාවල කිසිම තැනෙක ඔහුගේ ශරීරයේ සපාකෑමට ලක්වූ ලකුණු තිබූ බව සටහන් ව නොතිබූ අතර, මියයන තුරු ජලය ඇතුළු ද්‍රව වර්ග පානය කිරීම සිදු කළ බව ද සටහන් ව තිබූ නිසා මේ මතය පිළිබඳවත් කුකුසක් නැගෙනවා.

මොළයේ ගැටිත්තක්

පෝ මුලින්ම මිහිදන් කර තිබූ ස්ථානය- oddthingsiveseen.com

පෝගේ මරණයෙන් විසි හය වසරකට පසු ඔහු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකෙරුණු අතර එම ස්ථානයට ඔහුගේ සිරුරු කොටස් ගෙනයාම සඳහා වළලන ලද තැනින් නැවත ගොඩගැනීම සිදුකෙරුණා. ඒ වන විටත් ඔහුගේ හිස්කබල හොඳ තත්ත්වයේ තිබුණු අතර, එය සොළවන විට ගල් කැබැල්ලක් වැනි යමක් ඔබමොබ යන හඬක් නැගුණා. එය මොළයේ වර්ධනය වූ ගැටිත්තක් තවමත් හිස්කබල තුළ ඉතිරි වීම නිසා නැගෙන හඬක්යැ යි සමහරෙක් විශ්වාස කළා. කෙසේ නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග එය එසේ කිසිසේත් ම නොවිය හැකි බව තහවුරු වීමත් සමග එම මතයත් නිෂ්ප්‍රභ වුණා.

උණ

එඩ්ගාර් ඇලන් පෝ දරුණු උණ රෝගයකට ලක්ව, එය නිව්මෝනියාවට හැරී මියගිය බටත් මතයක් තිබෙනවා. සැප්තැම්බර් මස අගභාගයේ ඔහු අතුරුදන් වීමට දින කිහිපයකට පෙර වෛද්‍යවරයෙකු හමු වූ පෝ, උණ සඳහා ප්‍රතිකාර ගෙන තිබෙනවා. ඔහුට ටික කාලයකට දීර්ඝ ගමන්වලින් වළකින ලෙස ද උපදෙස් ලැබී තිබෙනවා. පෝ අවසිහියෙන් නැවත හමු වූ දින බැල්ටිමෝරයට වැසි වැටෙමින් තිබූ අතර, මේ හේතුවෙන් ඔහුගේ රෝගය දරුණු වූ බවට අනුමාන කිරීමට හැකියාව තිබෙනවා. උණ දරුණු වූ විට මනෝවිකාර පෙනීම සිදුවිය හැකිමුත්, මේ මඟින් ඔහු වෙනත් අයෙකුගේ ඇඳුම් ඇඟලාගෙන සිටීම පැහැදිලි කෙරෙන්නේ නැහැ.

සැලසුම් කළ ඝාතනයක්

එඩ්ගාර් ඇලන් පෝ වෙනුවෙන් ඉදිකළ ස්මාරකය-  Ian Duncan/ baltimoresun.com

2000 වසර වන විටත් පෝගේ මරණයට හේතුව පිළිබඳ ව සියලු කරුණු කාරණා ගැළපෙන මතයක් ඉදිරිපත් ව නොතිබූ හෙයින්, ජෝන් ඉවැන්ජලිස්ට් වොල්ෂ් නම් රචකයා ඒ පිළිබඳ ව නවතම මතයක් ගෙන ආවා. ඔහුට අනුව පෝ, ඔහු විවාහ වීමට සිටි එල්මිරා ෂෙල්ටන්ගේ සොහොයුරන් විසින් ඝාතනය කර තිබෙනවා. ප්‍රවෘත්ති පත්‍ර, ලිපි, හා තවත් කරුණු රාශියක් අධ්‍යයනය කළ ඔහු ඇත්තෙන් ම පෝ එල්මිරාගේ සොයුරන් විසින් ෆිලඩෙල්ෆියාවට ගෙන්වාගෙන එහි දී ඇය ව විවාහ කර නොගන්නා ලෙස තර්ජනය කරමින් පහර දී ඇති බව තහවුරු වෙන බව ප්‍රකාශ කළා. මේ හේතුවෙන් ඔවුන්ගෙන් සැඟවෙනු වස් පෝ වෙනත් අයෙකුගේ ඇඳුම් ඇඟලාගෙන බෙල්ටිමෝරයට ගොස් සැඟ වී සිටින්නට ඇති බවත්, ඔහු එහි සිට්න බැව් දැනගත් එල්මිරාගේ සොයුරන් එහි දී ඔහු අල්ලාගෙන, නැවත පහර දී බලෙන් ම විස්කි පොවා කාණුවකට ඇද දමන්නට ඇති බවත් වොල්ෂ් Midnight Dreary: The Mysterious Death of Edgar Allan Poe නම් ග්‍රන්ථයෙහි සටහන් කොට තිබුණා. කෙසේ නමුත් ඉතිහාසඥයින් පවසන්නේ න්‍යායාත්මක ව එසේ වීමේ සම්භාවිතාවක් පෙනෙනමුත්, එය තහවුරු කිරීම කිසි ලෙසකින් සිදුකළ නොහැකි බව යි.

කවරයේ පින්තූරය: biography.com

මූලාශ්‍රයයන්:

Smithsonianmag.com

Biography.com

Allthatsinteresting.com

 

Related Articles