Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ “හවායි” මුද්‍රිත ඩොලර්

දෙවැනි ලෝක යුධ සමයේ ඉතා හදිසියේ නිකුත් කළ “හවායි” අකුරු මුද්‍රිත ඩොලර් නෝට්ටු, මුදල් සම්බන්ධ ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඉතුරු කළා.

වර්ෂ 1941 දෙසැම්බර් හත් වන දින ඉතා අනපේක්ෂිත මොහොතක දී එක්සත් ජනපදයේ පර්ල් වරායට ජපන් හමුදාවන් ප්‍රහාරයක් එල්ල කළා. එය එතෙක් දෙවන ලෝක යුද්ධය පිළිබඳ උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඇමරිකා එක්සත් ජනපදය ජපානයට එරෙහිව අවදිකිරීමක් වුණා. 

පර්ල් වරායට බෝම්බ දැමූ ජපන් හමුදාවේ ඊළඟ ඉලක්කය බවට සැක කෙරුනේ හවායි දූපත්. එනිසා ඇමරිකා එක්සත් ජනපදය කඩිමුඩියේ එවන් ප්‍රහාරයක දී ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම් කිරීම ආරම්භ කළා. මෙසේ සැක කිරීමට හේතු වූ ප්‍රධාන කරුණ වන්නේ ජපානය හවායි දූපත් ආක්‍රමණය කළහොත්, එම භූමිය ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා පහසුවෙන් යොදාගත හැකි වීම යි. එනිසා යම් අවස්ථාවක ජපන් හමුදාවන් හවායි දූපත් යටත් කරගතහොත් සිදුවන හානිය අවම කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳ සාකච්ඡා ඇරඹුනා.

පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය (Britannica)

ආර්ථිකයට එල්ල වූ තර්ජනය

ජපන් හමුදා හවායි දූපත් යටත් කරගතහොත් මතුවිය හැකි ප්‍රධාන ගැටළුවක් වූයේ දූපත තුළ මේ මොහොතේ ඇති සියළු මුදල් ජපන් හමුදා භාරයට පත්වීම යි. එය ඒ මොහොතේ යුද්ධයට මැදිවී සිටි ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට දැඩි පහරක් වන බවත්, ඔවුන් එම මුදල් තමාට එරෙහිව යුද්ධ වියදම් සඳහා යොදාගත හැකි බවත් තේරුම්ගත් ඇමරිකා එක්සත් ජනපද නායකයින් මේ සඳහා ගතහැකි පියවරක් පිළිබඳ තම අවධානය යොමු කළා. 

හවායි දූපත් භාරව සිටි ලුතිනන් ජෙනරාල් ඩෙලස් සී එමන්ස් මෙයට විසඳුම් ලෙස නව අදහසක් ඉදිරිපත් කළ අතර, ඒ අනුව හවායි දූපත්වල භාවිතා කරන සියළු නෝට්ටුවල මතුපිට හවායි (HAWAII) යන වචනය මුද්‍රණය කළ යුතු වුණා. එවිට ජපන් හමුදා දූපතේ ඇති මුදල් නෝට්ටු ඔවුන් යටතට ගතහොත් ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට තමන් මතුපිට හවායි මුද්‍රණය සහිත නෝට්ටු තවදුරටත් පිළි නොගන්නා බවට නිවේදනය කළ හැකි වනවා. මෙම උපක්‍රමය භාවිතයෙන්, යම් දිනක ජපන් හමුදා හවායි දූපත ආක්‍රමණය කළහොත් ඇතිවන හානිය  අවම කරගත හැකි බවට පැහදිලි කළ ලුතිනන් ජෙනරාල්වරයා, ඊට පසුව මෙම ක්‍රියාමාර්ගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව තම අවධානය යොමු කලා.

ලුතිනන් ජෙනරාල් ඩෙලස් සී එමන්ස් (artsandculture.google.com)

විසඳුම ක්‍රියාත්මක කිරීම

මේ අනුව 1942 ජනවාරි 10 දින සියලු දූපත්වාසීන්, තනි පුද්ගලයෙකු සතුව උපරිම ඩොලර් දෙසීයක් සහ ව්‍යාපාර සතුව උපරිම ඩොලර් පන්සීයක් පමණක් ඉතිරි වන පරිදි, තමන් සතු අනෙකුත් සියළු ඩොලර් නෝට්ටු නැවත රජයට භාරදිය යුතු ලෙස නියෝග නිකුත් කරනු ලැබුනා. එවසරේ ජූනි 25 දින වෙද්දී මතුපිට හවායි මුද්‍රණය සහිත නව නෝට්ටු නිකුත් කිරීම සිදු වුණා.

මෙම නෝට්ටුවල කැපී පෙනෙන සාධකය වූයේ විශාල අකුරුවලින් මුද්‍රණය කළ හවායි (HAWAII) යන වචනය යි. කුඩා හවායි සලකුණු දෙකක් නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර තිබූ අතර, විශාල සලකුණ මුද්‍රණය කර තිබුනේ නෝට්ටුවේ පිටුපස යි. මෙහිදී මුදල් ඒකක හතරක් සඳහා ( ﹩1, ﹩5, ﹩10, ﹩20) නෝට්ටු මුද්‍රණය වූ අතර ඒ සෑම නෝට්ටුවකම හවායි සලකුණු එකම ආකාරයට යොදා තිබුනා.

නෝට්ටු මතුපිට හවායි සලකුණ මුද්‍රණය වී ඇති ආකාරය (Because I can – wordpress.com)

වර්ෂ 1942 අගෝස්තු 15 දින වන විට මතුපිට හවායි මුද්‍රණය රහිත එක් නෝට්ටුවක්වත් දූපත තුළ භාවිතයේ නොතිබූ අතර, හවායි නෝට්ටු හැර වෙනත් කිසිදු මුදල් නෝට්ටුවක් විශේෂ අවසරයකින් තොරව දූපත තුළ භාවිතා කිරීම තහනම් වුණා. එක්රැස් කරනු ලැබූ පැරණි ඩොලර් නෝට්ටු තොගය නැවත ඇමරිකානු එක්සත් ජනපදයට ප්‍රවාහනය කිරීම ආරක්ෂාකාරී නොවන බව තීරණය කළ හමුදා ප්‍රධානීන්, ඩොලර් මිලියන දෙසීයක පමණ වටිනාකමකින් යුත් එම නෝට්ටු තොගය දූපත තුළ දීම ගිණිතබා විනාශ කරනු ලැබුවා.

දෙවනි ලෝක යුද්දයේ මතක සටහනක් වූ හවායි මුද්‍රිත ඩොලර් නෝට්ටු

වර්ෂ 1944 ඔක්තෝබර් 21 දින වන විට ඇමරිකා එක්සත් ජනපදයට හවායි දූපත් අල්ලාගැනීම පිළිබඳ වූ බිය ඉවත් කරගැනීමට හැකිවුණේ, ඒ වන විට ඔවුන් පැසිෆික් කලාපයේ ජය තහවුරු කරගෙන ජපන් හමුදාවන් ආපිට පළවා හැර තිබීම නිසා යි. එබැවින් ඔක්තොබර් 21 දිනෙන් පසු දූපත් තුළ හවායි මුද්‍රිත නෝට්ටු නැවත සාමාන්‍ය මුදල් නෝට්ටුවලට හුවමාරු කරගැනීමට රජය ඉඩ ලබා දුන්නා. බොහෝ දෙනා මෙම නෝට්ටු දෙවන ලෝක යුධ සමයේ හවායි දූපත් මුහුණ දුන් අසීරුතා පිළිබඳ මතක සටහනක් ලෙස තබා ගත්තා.

අදටත් විශාල අයිතිහාසික වටිනාකමක් සහිත මතුපිට හවායි මුද්‍රිත මුදල් නෝට්ටු පෞරාණික භාණ්ඩ සහ නෝට්ටු එක්රැස් කරන්නන් අතර ඉහළ මිලකට හුවමාරු වන අතර, ඉතා අවම ප්‍රමාණයකින් නිකුත් කළ ඩොලර් පහේ නෝට්ටුව ඒ අතරින් වැඩිම වටිනාකමක් උසුලනවා.

මූලාශ්‍රයයන්: 

https://visitpearlharbor.org

කවරයේ ඡායාරූපය:

මතුපිට හවායි (HAWAII) සලකුණ මුද්‍රිත මුදල් නෝට්ටුවක පිටුපස (https://www.worthpoint.com)

Related Articles