Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘හෙරොයින් වෝල්මාර්ට්’ බවට පෙරැළුණු කෙන්සිංටන්

හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතය මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වූ උවදුරක් බවට පත්ව ඇත. පාසල් සිසුන්ගේ පටන් වැඩිහිටි පුද්ගලයන් දක්වා සෑම වයස් ඛාණ්ඩයකට ම අයත් පුද්ගලයන් මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුරු බවට පත්ව තිබේ. ඒ හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට පමණක් බලපාන සෞඛ්‍ය ගැටලු, අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම සහ පවුල් සංස්ථා බිඳ වැටීම වැනි අහිතකර ප්‍රතිවිපාකවලට අමතර ව, පොදුවේ සමාජයට බලපාන ගැටලු රැසක් ද නිර්මාණය වේ.

මත්ද්‍රව්‍ය භාවිතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, ලොව අනිකුත් බොහෝ රටවලට මෙන් එක්සත් ජනපදයේ ප්‍රදේශ ගණනාවකට ද විශාල බලපෑමක් එල්ල කර ඇත. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, වරක් එක්සත් ජනපදයේ අගනුවර ලෙස ද ක්‍රියාත්මක වූ ෆිලඩෙල්ෆියා නගරයට අයත් කෙන්සිංටන් ප්‍රදේශය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එක්සත් ජනපදයේ හෙරොයින් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ම අගයක් ගන්නා ප්‍රදේශය ලෙස මෙම ප්‍රදේශය වාර්තා වී ඇත.

කෙන්සිංටන් නගරය පුරා පැතිරී ඇති මත්ද්‍රව්‍ය වසංගතයට හේතු වූ කරුණු, සහ එහි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් සොයා බලමු.

මත්ද්‍රව්‍ය උවදුර නිසා ජරාජීර්ණ වී ඇති කෙන්සිංටන් නගරය – www.WHYY.com

කෙන්සිංටන්

එක්සත් ජනපදයට අයත් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිහිටි විශාලත ම නගරය ෆිලඩෙල්ෆියාව වේ. නිව් යෝර්ක් නගරයට පමණක් දෙවැනි වන එය ඊසානදිග මෙගාලොපොලිස් සහ මැද අත්ලාන්තික් කලාප දෙකෙහි පිහිටි දෙවන විශාලත ම නගරය වේ. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් හිමි වන එය 1800 වන තෙක් එක්සත් ජනපදයේ අගනුවර ලෙස ක්‍රියාත්මක විය. 2020 වන විට මිලියන 1.6කට වැඩි ජනගහණයක් සහිත ෆිලඩෙල්ෆියාව එක්සත් ජනපදයේ වැඩි ම ජනගහනයක් සහිත නගර අතර හයවැනි ස්ථානයේ පසු විය. මෙම නගරයට අයත්, අඩු ආදායම්ලාභී පවුල් බහුල ප්‍රදේශයක් වන කෙන්සිංටන්, වර්තමානය වන විට විවිධ හේතු නිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සඳහා තෝතැන්නක් බවට පත් වී ඇත.

මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ

බටහිර කෙන්සිංටන්, ඊස්ට් කෙන්සිංටන්, ෆෙයාහිල්, පෝට් රිච්මන්ඩ් සහ ඕල්ඩ් රිච්මන්ඩ් යන කොටස්වලින් සමන්විත කෙන්සිංටන්, හෙරොයින් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ පාරාදීසයක් බවට පත් ව තිබේ. අනිකුත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂ ව හෙරොයින් අලෙවිය සහ භාවිතය ඉහළ මට්ටමක පවතින බැවින් මෙම ප්‍රදේශය “හෙරොයින් වෝල්මාර්ට්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ.

ලොව විශාලත ම එළිමහන් මත්ද්‍රව්‍ය වෙළෙඳපොළක් ලෙස කෙන්සිංටන් හැඳින්වේ. නගරයේ ක්‍රියාත්මක වූ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් 1950 දශකයේ දී ඇති වූ නිර්-කාර්මීකරණයේ ප්‍රතිපලයක් ලෙස වසා දැමීමත් සමඟ කෙන්සිංටන් හි විශාල ආර්ථික හිඩැසක් ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස විවිධ නීති විරෝධී ක්‍රම හරහා මුදල් ඉපැයීමට ප්‍රදේශවාසීන් යොමු වූ අතර, කෙටි කාලයක් තුළ නගරය තුළ සහ අවට මත්ද්‍රව්‍ය අලෙවිය සහ භාවිතය ඉහළ ගියේ ය.

කෙන්සිංටන් නගරයේ පිහිටි පැරැණි කර්මාන්තශාලාවක් – www.nkcdc.org

මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට පැමිණෙන සංචාරකයෝ

දශක කිහිපයක පටන් අතිශය කාර්යබහුල, එළිමහන් මත්ද්‍රව්‍ය වෙළෙඳපොළක් ක්‍රියාත්මක වන කෙන්සිංටන් නගරයට මත්ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් මිලියන ගණනක් වාර්ෂිකව පැමිණෙති. වෙළෙඳපොළේ පවතින තරගකාරී ස්වභාවය නිසා ඉතා අඩු මුදලක් ගෙවා, වැඩි බලපෑමක් සහිත මත්ද්‍රව්‍ය, විශේෂයෙන් ම හෙරොයින් මිල දී ගැනීමට හැකි වීම විශාල පිරිසක් මෙහි පැමිණීමට ප්‍රධාන හේතුව බව කලකට පෙර සිදු කළ අධ්‍යයනවලදී අනාවරණය වී ඇත. වෙනත් ප්‍රදේශ සහ රටවලින් පැමිණෙන සංචාරකයන්ට අමතර ව කෙන්සිංටන් නගරය තුළ සහ ඒ අවට ජීවත් වන පිරිස්වලින් බහුතරයක් ද දරුණු ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෝ වෙති.

අහිතකර ප්‍රතිවිපාක

කෙන්සිංටන් නගරය පුරා පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය බොහෝ අහිතකර ප්‍රතිවිපාක ගෙන දී ඇත. 1994 සිට ඉතා විශාල ලෙස ඉහළ ගිය මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් ඊට පෙර පැවැති අගයන්ට වඩා තුන් ගුණයකින් මෙම ප්‍රදේශයේ මිනීමැරුම්, සහ නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය (ඒඩ්ස්) හේතුවෙන් ඇති වන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. එවැනි බරපතල ප්‍රතිවිපාකයන්ට අමතර ව ප්‍රදේශයේ වාර්තා වන සොරකම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර සහ වෙනත් අපරාධ ද ඉතා ඉහළ මට්ටමක පවතී.

කෙන්සිංටන් නගරයේ පදික වේදිකාවක ජීවත් වන තරුණියක් – www.nytimes.com

මෙම ප්‍රදේශයේ සැරිසරන ඕනෑම අයකුට එන්නත් කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා, එළිමහන් ප්‍රදේශවල හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් රැසක් දැකිය හැකි ය. ඒ අතර එක්සත් ජනපදයේ මෙන් ම වෙනත් රටවල සිට එහි පැමිණි තරුණ පිරිස් සහ කාන්තාවන් ද වේ. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඉහළ යන අපරාධ මර්දනය සඳහා ප්‍රදේශය භාර පොලිසිය සහ අනිකුත් අදාළ ආයතන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන නමුත් ඒවා සැලකිය යුතු ප්‍රතිපලයක් ගෙන දී නැත.

කොවිඩ්-19 වසංගත තත්ත්වය

2019 වසරේ අගභාගයේ ආරම්භ වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ පැනවූ සමාජ දුරස්ථභාවය වැනි රෙගුලාසි සමඟ කෙන්සිංටන් හි මත්ද්‍රව්‍ය වෙළෙඳාම තරමක් දුරට හෝ පහළ බසිනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. කෙසේ වෙතත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් යමකි. කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ මෙම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවිය සහ භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

පොලිස් නිලධාරියෙක් ජනතාව දැනුම්වත් කරන අයුරු – www.workersworld.com

එම තත්ත්වයේ බලපෑම කොතෙක් ද යත් 2020 වසරේ දී කෙන්සිංටන් හි මත්ද්‍රව්‍ය හා සම්බන්ධ මරණ 88,000ක් පමණ වාර්තා වී තිබේ. එය 2019 වසරේ දී වාර්තා වූ එවැනි මරණ ප්‍රමාණයට සාපේක්ෂ ව 27%ක වැඩි වීමකි. 2019 වසරේ සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ පෙන්සිල්වේනියාවේ සෑම පුද්ගලයන් 100,000කින් ම 35 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇති වන රෝග තත්ත්වයන් නිසා මිය යන බව යි.

දිනෙන් දින ඉහළ යන මත් උවදුර

කෙන්සිංටන් හි මේ වන විට ක්‍රියාත්මක වන විවෘත හෙරොයින් අලෙවි මධ්‍යස්ථාන සංඛ්‍යාව 80කට අධික බව කියැවේ. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා මෙහි පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් බොහෝ පුද්ගලයන්ට ඔවුන් භාවිත කිරීමට හුරු වී සිටි මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලබාගැනීමට අපහසු තත්ත්වයක් වර්තමානය වන විට උද්ගත වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ඉතා අවම බලපෑමක් (පුද්ගලයෙක් මත් කිරීමට ඇති හැකියාව) සහිත හෙරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍ය අලෙවිය සහ භාවිතය ඉහළ ගොස් ඇත.

නගරයේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා පැවති විරෝධතාවක් – www.WHYY.com

මත්ද්‍රව්‍ය උවදුරින් නගරය මුදාගැනීමට විවිධ වැඩසටහන්

කෙන්සිංටන් නගරයේ සහ අවට දිනෙන් දින ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා බොහෝ රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය ආයතන එක්ව කටයුතු කරයි. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් සමඟ කටයුතු කරන ආයතන ගණනාවක් පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සැපයීම සිදු වුවත් නිවාස, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් වැනි දෑ නිසි පරිදි ලබාගැනීමට නොහැකි නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විවිධ අපරාධ ක්‍රියා සඳහා යොමු වන බව යි.

එම ගැටලුවට විසඳුමක් ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහා නවාතැන්, ආහාර, වෛද්‍ය ප්‍රතිකාර වැනි පහසුකම් සහ රැකියා අවස්ථා සැපයීම සිදු වේ.

හෙරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන්, විශේෂයෙන් ම තරුණ පිරිස්, අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම ඉහළ යාම ද වර්තමානය වන විට උද්ගත වී ඇති බරපතල ගැටලුවකි. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ඒඩ්ස් වැනි සමාජ රෝග පැතිරීම ඉහළ අගයක් ගනී.

මීට පිළියමක් ලෙස කෙන්සිංටන් ප්‍රදේශයේ ජීවත් වන තරුණ පිරිස් නිරන්තරයෙන් ඒඩ්ස් සහ හෙපටයිටිස් C වැනි පරීක්ෂණවලට ලක් කෙරෙති. ඒ සඳහා අවශ්‍ය පහසුකම් එක්සත් ජනපදයේ සෞඛ්‍ය පිළිබඳ ආයතන සහ වෙනත් සුබසාදන සංවිධාන හරහා ලබා දේ. මනෝ වෛද්‍ය ප්‍රතිකාර හරහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ඉන් මුදා ගැනීම සඳහා ද විවිධ වැඩසටහන් මෙම ප්‍රදේශය ආශ්‍රිත ව ක්‍රියාත්මක වේ.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්ට ආරක්‍ෂිත නවාතැන් පහසුකම් සැපයීම ද සිදු වේ – www.vanlifewanderer.com

කවරයේ ඡායාරූපය - අඩු ආදායම්ලාභී පවුල් බහුල ප්‍රදේශයක් වන කෙන්සිංටන්, වර්තමානය වන විට විවිධ හේතු නිසා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තෝතැන්නක් බවට පත් වී ඇත - www.fox29.com
මූලාශ්‍ර :
www.theiacp.org
www.nytimes.com
www.CNN.com
www.justice.gov

Related Articles