මිනිසාගේ පැවැත්මේ ආරම්භයේ සිටම සටන් ක්‍රම තිබුණු බව පැවසේ. මුලින්ම ආහාර ලබා ගැනීම සඳහාත් පසු කාලයේදී සතුන් දඩයම් කිරීම සඳහාත් දුනු හෙල්ල සහ ලී වලින් තැනූ නොයෙක් ආයුධ භාවිතයෙන් සතුන් මෙල්ල කිරීම සඳහාත්, සතුරන් විනාශ කර දැමීම සඳහාත් සටන් කළ බව පුරාණ පොතපතෙහි සඳහන් වේ.
ජපානය සතුවද අතීතයේ සිට විවිධ සටන් ක්‍රම පවතී. 18 ශතවර්ෂය සටන් ක්‍රමවල ඉතා දියුණු අවධියක් විය. සටන් ක්‍රමවලට නිවැරදි තාක්ෂණය එක් වුණේ එකලය. එවකට සටන් උපදේශකයන් තරඟ කළේ ජීවිතයත් මරණයත් අතර සටනකය. එබැවින් තම සටන් ක්‍රම හොඳ මට්ටමකින් පවත්වා ගැනීමට තාක්ෂණය දියුණු කර ගත්හ. එකල භාවනා ක්‍රම සටන් ක්‍රම සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට ගිය බැවින් මානසික ශක්තියද අභ්‍යන්තර ශක්තියද ගොඩනැගිණි. එම අභ්‍යන්තර ශක්තිය ‘Chi’ හෙවත් විශ්ව ශක්තිය යනුවෙන් හැඳින්වේ. මෙම ලිපිය තුළින් ජපානයේ ප්‍රසිද්ධ සටන් ක්‍රම කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
සුමෝ (Sumo)
මෙහිදී දැවැන්ත තරබාරු සටන්කරුවන් දෙදෙනෙකු පොර බදමින් එකිනෙකාව සීමාවක් ලෙස ලකුණු කළ වළල්ලක් තුලින් ඉවතට තල්ලු කිරීමට උත්සහ දරයි. එම වළල්ල Dohyo ලෙස හඳුන්වයි. මෙම සටන් කලාවේ ආරම්භය සහශ්‍රයකට පමණ පෙර පැවති ෂින්ටෝ ආගමේ චාරිත්‍ර සමඟ බැඳී පවතී. දෙවියන් යැදීමට කරන ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව කරනු ලබයි. දෙවියන් විසින් අස්වැන්න ලබා දෙන බව ජපන් ජාතිකන්ගේ විශ්වාසයයි. මේ නිසා ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් දෙවියන් සතුටු වෙනවා යැයි ජපන් ජාතිකයෝ විශ්වාස කරති. පිටියට පිවිසීමට පෙර ලුණු අහුරක් ගෙන පිටියට විසි කරනු ලැබේ. එයින්“යක්ෂයන් පළවා හැරීමට හැකි වේ” යැයි විශ්වාසයක් පවතී.
මෙය වෘත්තිමය ක්‍රීඩාවක් බවට පත් වුයේ සියවස් ගණනකට පෙර පැවති Edo කාලයේදී ය. පෙර පැවති බොහෝ හමුදා පුහුණු වල සුමෝ සටන් කලාව අන්තර්ගත වී තිබුණි. ජපානයේ සාම්ප්‍රදායික ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේද සුමෝ සහ ජූදෝ යන ක්‍රීඩායි. ජපන් ජාතිකයන් මෙම ක්‍රීඩා දෙකම පූජනීය ක්‍රීඩා ලෙස හඳුන්වනු ලබයි.
කරාතේ (Karate)
ජපනුන්ට අනුව කරාටි යන වචනයේ තේරුම “හිස් අත්” යන්නයි. කරා යනුවෙන් නිරායුධ (හිස්) යන අර්ථයද ටේ යනුවෙන් හස්තය (අත්) යන අරුතද ගෙන දේ. නිරායුධ හස්තයකින් සතුරෙකු මෙල්ල කිරීම කරාතේ වේ. මෙම සටන් කලාවේදී අත හා කකුල යොදා ගනිමින් කළ හැකි පහරදීම් පුරුදු පුහුණු කෙරේ. කරාටි පුරුදු පුහුණු වන පුද්ගලයා Karateka ලෙස හඳුන්වයි. මෙම ක්‍රීඩාවේදී ශරීරයේ සෑම කොටසක්ම සටන් කිරීමේ ආයුධයක් බවට පෙරළාගත හැක. එලෙසම ප්‍රතිවාදියාගේ පහර දීම් වැලක්වීමට යොදාගන්නා ක්‍රමද හොදින් පුරුදු පුහුණු කිරීම ජයග්‍රහණයට හේතු වේ. කරාටි කලාවේ ඉදිරියට ගිය ඇතැම් පුද්ගලයින් උළු කැට රාශියක් එකවර කැඩිම වැනි දේ තුළින් තම හැකියාව ප්‍රදර්ශනය කරයි.
ජුජුට්සු (Jujutsu)
මෙය සියවස් ගණනාවක් පැරණි සටන් කලාවකි. මෙය පුරුදු පුහුණු කර ඇත්තේ ළඟ සිට කරන සටන් සඳහා ය. මෙම සටන් කලාව මගින් ආයුධ රහිතව සටන් කිරීම හෝ කුඩා ආයුධයක් අතැතිව සටන් කිරීම අවධාරණය කර පෙන්වයි. මේ තුළ ගැසීම්, හිරකිරීම්, ඇහිරීම්, යටත් කිරීම්, ආදී ක්‍රමෝපායන් අන්තර්ගත වේ. වර්තමානය වන විට මෙම සටන් කලාව විවිධ ක්‍රීඩා ක්‍රම ලෙස ද පවතී. ජුජුට්සු තුළින් නිර්මාණය වූ වඩාත් ප්‍රචලිතම සටන් ක්‍රමය වන්නේ ජුඩෝ සටන් ක්‍රමයයි.
අකිඩෝ (Aikido)
මෙය ආත්ම ආරක්ෂක සටන් කලාවක් ලෙස දැක්විය හැක. මෙහිදී තමා ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු බවට පත් වනවාට වඩා අනෙකාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ඔහුටම විරුද්ධව භාවිතා කිරීම සිදු වේ. මෙම සටන් කලාවේ මුලික පරමාර්ථය වන්නේ අනෙකාට බරපතල හානි සිදු නොකර තමා ආරක්ෂා වීමට පුරුදු පුහුණු කිරීමයි. ප්‍රධාන පෙලේ අකිඩෝ සටන් කරුවන් ලෙස Morihei Ueshiba, Kisshomaru Ueshiba දැක්විය හැක.
කෙන්ඩෝ (Kendo)
ජපානයේ කඩු හරඹ ක්‍රමවේද මෙම සටන් ක්‍රමයට පදනම වී ඇත. මෙහිදී උණ බට වලින් සකසා ගත් කඩුවක් හා ආරක්ෂක සන්නාහයක් භාවිතා කරයි. මේ සඳහා භාවිතා කරන ඇඳුම සෑම විටම කළු පැහැති වේ. ජපානයේ පොදු පාසල් වල නිරන්තරයෙන් මෙම සටන් කලාව උගන්වයි. ජපානයේ ජනතාව අතරින් මිලියන 1.66ක පමණ පිරිසකට කෙන්ඩෝ සටන් කලාව පිලිබඳ තරමක හෝ පුහුණුවක් පවතී.
කියුඩෝ (Kyudo)
මෙම සටන් කලාවේදී ඉතා දිග අසමමිතික දුන්නක් භාවිතා කරයි. දුන්නේ හැඩය වසර 2000 කට වඩා පැරණි වේ. දුන්නේ ප්‍රමාණය නිසා එය හැසිරවීම තරමක් අපහසු කාර්යයක් වේ. ජපනුන්ගේ මතය අනුව මෙය පුරුදු පුහුණු කිරීමට ශක්තිය හා පරිණත බව අවශ්‍ය වේ. මේ හේතුවෙන් වයස අවරුදු 15ක් වන තෙක් මෙම සටන් කලාව උගන්වන්නේ නැත.
කවරයේ පින්තුරය – japantimes.co.jp