Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංශෝධිත නව අතුරු අයවැය අපට දැනෙන්නේ කොහොම ද?

නව ජනාධිපතිවරයා 2022 මුදල් වර්ෂය සඳහා සංශෝධිත නව අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නව මුදල් වර්ශය සඳහා 2021 අග වෙද්දි අයවැයක් අනුමත වුවත් ඉකුත් මාස කිහිපයේ සිදු වූ දේශපාලන බල පෙරළියත් සමඟ වර්තමාන මුදල් අමාත්‍යවරයා වන නව ජනාධිපතිවරයා නව අයවැයක්  අගෝස්තු මස 9 වැනි දින හඳුන්වා දුන් අතර එය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදි සිදු වුණා. මේ අයවැය අපට ඉතාම සුවිශේෂී අයවැයක්. ඒ ඉතිහාසයේ කිසිම දින සිදු නොවූ දැඩි ආර්ථික අර්බුදයක් රටේ පවතින අවස්ථාවක එයට මුහුණ දීමට මෙම අයවැය ඉදිරිපත් කිරීම කිස යි.

මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක ද 2015 මුදල් වර්ෂය සඳහා වන අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. ඒ එයට පෙර 2015 මුදල් වර්ෂය සඳහා වූ ජාතික අයවැය 2014 ඔක්තෝබර් 24 වැනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු යි.

2015 දීත්  අතුරු අයවැයක්

 පාර්ලිමේන්තුවට එදා ඉදිරිපත් කෙරුණු 2015 මුදල් වර්ෂය සඳහා වන අතුරු අයවැයට පාරිභෝගිකයන් මත පනවා ඇති බදු බර ලිහිල් කිරීම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ දහයක මිල අඩු කිරීමේ යෝජනා ද ඇතුළත් වුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද ඉන් යෝජනා වූවා.

ඒ අයුරින් ම 2022 වර්යෂ සඳහා ඉදිරිපත් කළ මෙම නව අයවැය මඟින් වෙනස්කම් කිහිපයක් සිදු ව තිබෙනවා. එය බොහෝ දුරට රටේ ජනතාවට සෘජු ලෙසම බලපාන ඒවා වනු ඇති. 2022 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කළ සංශෝධිත නව අතුරු අයවැයෙන් සෘජුව ම අපට බලපාන කරුණු කිහිපයක් ගැන විමසීමයි මේ ලිපියේ අරමුණ.

වර්තමාන මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ අයවැය දෙවන වර කියැවීම –  www.adaderana.lk

ඊට කලින් අපි බලමු මොකක්ද මේ අයවැයක් කියන්නේ කියලා. අයවැයක් කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කොඳු නාරටිය. සෑම අවුරුද්දක ම නොවැම්බර් මාසය වන විට ඉදිරි නව මුදල් වර්ෂයේ දී රජයේ වියදම් පියවාගන්නට වුවමනා කරන මුදල් භාණ්ඩාගාරයෙන් (Consolidated Fund) ලබා ගැනීම සඳහායි මේ අයුරින් රටේ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අයවැයක් ඉදිරිපත් කරන්නේ. එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබෙන්නට පෙර අප මෙය හඳුන්වන්නේ විසර්ජනය කෙටුම්පත කියා යි.

අයවැයක් ඇතුළේ ප්‍රධානත ම කොටස් දෙකක්

පාර්ලිමේන්තුවේ දී තෙවරක් සාකච්ඡා වීමෙන් (විවාදයට බඳුන් වීමෙන්) පසුවයි මෙම විසර්ජනය කෙටුම් පනතට බහුතර අනුමැතිය ලැබෙන්නේ. ඉන් පසු අපි ඒ පනතට පොදුවේ අයවැය කියා පවසනවා. රටේ මුදල් බලය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු නිසා හදිසියේවත් මේ විසර්ජන කෙටුම්පත සම්මත නොවුණහොත් අනිවාර්යයෙන් ම ව්‍යවස්ථානුකූල ව රජය විසුරුවා ඡන්දයකට නැවත  යන්නට සිදු වෙනවා. මේ අයවැයක් ඇතුළේ ප්‍රධානත ම කොටස් දෙකක් පවතිනවා. පළමු කොටස තමයි රජය ඉදිරි මුදල් වර්ෂය තුළ දි දරන්නට ලෑස්ති වෙලා ඉන්න වියදම්. අනෙක් කොටස ඉදිරි මුදල් වර්ෂයේ දී බදු, දඩ හා ගාස්තුවලින් බලාපොරොත්තු වන ආදායම් ප්‍රමාණය යි. 

20%ක පමණ රාජ්‍ය වියදම ඉහළ දැමීමක්

අපි මුලින් ම කතා කරමු රාජ්‍ය වියදම ගැන. 2022 වසර සඳහා කලින් අනුමැතිය ලද හිටපු ජනාධිපතිවරයාගේ අයවැයේ සම්පූර්ණ ඇස්තමේන්තු වියදම වූයේ රුපියල් බිලියන 3,889ක්. මේ නව අයවැය මඟින් එම වියදම තවත් රුපියල් මිලියන 800කින් පමණ වැඩි කර තිබෙනවා. ඒ අනුව 2022 නව රාජ්‍ය වියදම වෙන්නේ රුපියල් බිලියන 4,672ක්. 2022 පරණ අයවැයට වඩා 20%ක පමණ වියදම් ඉහළ දැමීමක් මෙමඟින් පෙන්නුම් කරනවා. අයවැයක රාජ්‍ය වියදම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතට ගැනෙනවා.

පළමු වර්ගය තමයි අවුරුද්දෙන් අවුරුද්දට රජයට දරන්න වෙන රාජ්‍ය සේවක වැටුප්, ණය පොලී ගෙවිම් වගේ වියදම් ඇතුළත් වන පුනරාවර්තන වියදම්. දෙවැනි වියදම් වර්ගය තමයි ප්‍රාග්ධන වියදම්. මේ තුළ තමයි පාරවල් හදන්න, ගොඩනැඟිලි හදන්න යන වියදම් වගේ එකම එක පාරක් දරන්න වෙන ප්‍රාග්ධන වියදම් තියෙන්නේ.

2022 පරණ අයවැයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 2986 වෙද්දි නව 2022 අයවැයේ පුනරාවර්තන වියදම විදියට රුපියල් බිලියන 3583ක් සඳහන් වෙනවා. ඉන් රට ගත්ත ණයවල පොලී ගෙවන්න ම රුපියල් බිලියන 1334ක් වෙන් වෙනවා. ඒ වගේමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට නව අයවැය තුළ ප්‍රාග්ධන වියදම රුපියල් ට්‍රිලියනය ඉක්මවා යනවා. 2022 පරණ අයවැයෙන් රුපියල් බිලියන 956ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් වෙද්දි නව අයවැයෙන් ඒ සඳහා රුපියල් බිලියන 1089ක් වෙන් කර තිබෙනවා.

රාජ්‍ය වියදම තවත් රුපියල් බිලියන 1000කින් ඉහළට

ඒ අනුව අපිට පැහැදිලි වෙන්නේ පවතින අර්බුදයට මුහුණ දීමට රාජ්‍ය වියදම් අඩු කරනවා වෙනුවට රාජ්‍ය වියදම තවත් රුපියල් බිලියන 1000කින් (රුපියල් ට්‍රිලියනයකින්) පමණ නව 2022 අයවැයෙන් වැඩි වී ඇති බව යි. මෙයට ප්‍රධානත ම හේතුව ලෙස රුපියලේ අගය පහළ යාම සහ වර්තමානයේ පවතින භාණ්ඩ මිල ගණන් ඉහළ යාම දැක්විය හැකි යි. මෙම රුපියල් බිලියන 1000 රටේ මුදල් සැපයුමට එකතු වීමත් සමඟ එය සර්පිලාකාරව නැවත රටේ උද්ධමනය වැඩි කිරිමට හේතුවක් වෙන්නට පුළුවන්.

රාජ්‍ය වියදම්වල වර්ධනය –  www.publicfinance.lk

වියදම් මෙසේ වර්ධනය වෙද්දි රාජ්‍ය ආදායම සහ අයවැය පරතරය පිළිබඳ අනිවාර්යයෙන් ම අපට අවධානය යොමු කිරීමට සිදු වෙනවා. 2022 පරණ අයවැයට අනුව එවක රජය රුපියල් බිලියන 2,261ක රාජ්‍ය ආදයම් බලාපොරොත්තු වූවා. ඒ අනුව 2022 පරණ අයවැයේ ආදායමෙන් ඇස්තමේන්තු ගත පරණ වියදම වන රුපියල් බිලියන 3898ක් අඩු කළ විට අපට පරණ අයවැය හිඟය රුපියල් බිලියන 1683ක් ලෙස ගණන් බැලීමට පුළුවන්.

අයවැය හිඟය රුපියල් බිලියන 2400කින් පමණ ඉහළ යාමක්

එසේ තිබියදි වර්තමාන රජය තවදුරටත් ඉදිරි මාස 4 සඳහා රාජ්‍ය වියදම රුපියල් බිලියන 1000කින් පමණ ඉහළ දැමීම නිසා අයවැය හිඟය රුපියල් බිලියන 2400කින් පමණ ඉහළ යාමක් සිදු වෙන්නට පුළුවන්. නව 2022 අයවැයට අනුව රාජ්‍ය වියදම රුපියල් බිලියන 4672ක්. පැරණි ආදායම වූ රුපියල් බිලියන 2261 ම අප මෙම නව අයවැයෙන් අපේක්ෂා කළොත් රුපියල් බිලියන 2412ක ඉතිහාසයේ දැවැන්ත ම අයවැය හිඟය අපට මේ අවුරුද්දේ අග වන විට බලාගන්නට පුළුවන්. නමුත් 2022 පැරණි අයවැය හිඟය වෙන රුපියල් බිලියන 1638 ම පවත්වා ගැනීමටත් රජයට පුළුවන්. ඒ සඳහා නව අයවැයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3034ක් දක්වා ඉහළ දමන්නට රජයට සිදු වෙනවා. 

අයවැය පරතරය වසර කිහිපයක් තිස්සේ වර්ධනය වීම – www.publicfinance.lk

නව රජය අපේක්ෂා කරන රුපියල් බිලියන 3034ක නව ආදායම කියන්නේ 2022 පරණ අයවැයෙන් අපේක්ෂා කළ ආදායමට වඩා වඩා තවත් 35%ක පමණ ඉහළ ආදායමක්. මෙලෙස ආදායම ඉහළ දැමීමට නම් වර්තමානය රජයට අනිවාර්යයෙන් ම බදු ඉහළ දැමීමට සිදු වනවා. ඒ අනුවයි මුදල් අමාත්‍යවරයා නව අයවැය හරහා එකතු කළ අගය මත අය කරන බදු (VAT) නැවත වතාවක් 15%ක් දක්වා ඉහළ දමන බව ප්‍රකාශ කළේ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් ලබන මාසයේ සිට භාණ්ඩ මිල ඉහළ යාවි. මෙයින් පෙනෙන්නේ උද්ධමන රැල්ලක් ළඟ ළඟ ම නැවත පැමිණෙන බව යි. ජහඳුනාගත් පවුල් 61 000කට ආසන්න ප්‍රමාණයකට මසකට රුපියල් 10 000 බැගින් ලබා දීම ද අනාගතයේ දී ඇති වන උද්ධමන රැල්ලේ වර්ධනයට පහසුකම් සලසාවි.

අපි හැමෝට ම ටැක්ස් ෆයිල්

නව අයවැයේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා අවුරුදු 18ට වැඩි සියලු අයට අනිවාර්යයෙන් දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව හඳුන්වා දී තිබීම යි. එහි දී තමන් සතු චංචල හා නිශ්චල දේපළ පිළිබඳ වත්කම් ප්‍රකාශය ද අනිවාර්ය කර තිබෙනවා. මෙයින් කියවෙන්නේ අප හැමෝට ම ටැක්ස් ෆයිල් එකක් විවෘත වනවා යන්න යි. එය ඉදිරියේදි  සියලුම පුරවැසියන් බදු ගෙවීමට යොමු කිරිමට හොඳ මාර්ගයක් වේවි. ඇතැම් විශ්ලේශකයන් මෙයට දක්වන්නේ මිශ්‍ර ප්‍රතිචාර යි.

අතිරික්ත රාජ්‍ය සේවය ඉවත් කිරිමට නැවත වතාවක් විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව දැනට අවුරුදු 60ට වැඩි සියලු ම රාජ්‍ය සේවකයන් 2022 දෙසැම්බර් වන විට විශ්‍රාම යනු ඇති. රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුගත කිරීමට ඒකකයක් පිහිටුවීමටත්, ස්වාධීන ව ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවීමටත් මෙම නව අයවැය මගින් යෝජනා වූවා. ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයන්ට ලබාදීම හරහා රාජ්‍ය බැංකු කඩා වැටීමෙන් වලක්වා ගැනීමටත් මෙම අයවැය හරහා උත්සාහ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිදු වී ඇති ආර්ථික අර්බුදය සියලුම ජනතාවට එක ලෙස බලපෑම් කර ඇත- www.thehindu.com 

බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ට අනුව රටේ සිදු විය යුතු ම ප්‍රතිසංස්කරණ කිහිපයක් ම මෙම නව අයවැය හරහා යෝජනා වී ඇති බව අපට පෙනී යනවා. එම නිසා සමස්යතක් වශයෙන් පවතින අර්බුදය විසඳීමේ මූලික පියවරක් ලෙසින් ඉදිරිපත් වූ යම් කිසි ආකාරයේ සාර්ථක අයවැයක් ලෙස නව සංශෝධිත 2022 අයවැය හඳුන්වන්නට පුළුවන්. මෙහි පවතින මෙම සමහර සංශෝධනයන් ජනප්‍රිය නොවන සංශෝධන වනු ඇති. පවතින තත්ත්වය හමුවේ එම ජනප්‍රිය නොවන සංශෝධන කෙදිනක හෝ කවුරුන් හෝ ගත යුතු ම අත්‍යවශ්‍ය ම සංශෝධන යි. කෙසේ වුවත් සෑම අවුරුද්දක ම හඳුන්වා දෙන අලුත් අයවැය තුළ ඇතුළත් ප්‍රාග්ධන වියදම් මත පදනම් වන බොහෝ යෝජනා ක්‍රියාත්මක නොවන බව අප අත්දැකීමෙන් දන්න කරුණක්. ඒ දේ ම මෙම අයවැයට ද සිදු නොවන ඇතැයි අප අපේක්ෂා කරනවා.

අප මේ වෙද්දි ඉන්නේ කුණාටුවක හරි මැද

 රටක් විදියට අප මේ වෙද්දි ඉන්නේ කුණාටුවක ඇස එහෙමත් නැත්තම් කුණාටුවක හරි මැද. අපට මේ දැනෙන නිහඬ නිසල බව වටා ලොකු භයානක ආර්ථික කුණාටුවක් තිබෙනවා. පසුගිය මාස කිහිපයේ කුණාටුව හරහා එහි මධ්‍ය ලක්ෂයට අප ළඟා වුණා. දැන් එයින් යම් නිදහස් අත්ව ඇතැයි දැනුණාට දැනුනට අප මේ හසු ව සිටින කුණාටුවෙන් එළියට අනිවාර්යයෙන් ම යා යුතු යි. ලද මේ විරාම කාලය තුළ අප අමාරුවෙන් හෝ නැවේ බඳ අලුත් වැඩියා කර ගෙන නැව පිළිසකර කර ගෙන ඉදිරියට යාමටයි සූදානම් විය යුත්තේ. නාවිකයන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරගෙන කුණාටුවේ දරුණු නැති පැත්තකින් ඉක්මනින් කුණටුවෙන් එළියට පැන ලත යුතු වෙනවා. එහෙම එළියට පනින්නට නැවට වුවමනා අධි ධාරිතාවෙන් යුත් එන්ජින් දෙකෙන් එකක් තමයි මෙන්න මේ අයවැය කියන්නේ. අනිත් එන්ජින් එක තමයි මහ බැංකුව මෙහෙයවන මූල්‍ය ප්‍රතිපත්තිය.

මේ ප්‍රතිපත්ති නම් වන එන්ජින් හරියාකාර ව මෙහෙයවීම අපේ ප්‍රතිපත්ති සම්පාදකයක් අතේ තමයි තියෙන්නේ. ඒ සඳහා අපට හොඳ දක්ෂ කපිතාන්වරයෙක් වගේ ම හොඳට වැඩ කරන එන්ජින් දෙකක් ද අනිවාර්යයෙන් ම අවශ්‍යයි. එහෙම නොවුණොත් කුණාටුව අප ගමන් මඟෙන් එළියට ඇදලා දමාවි. ඒ අප සුන්බුන් බවට පත් කරමින්. එහෙම නොවෙන්නට නම් මෙපමණ කලක් වැඩි අවධානයක් යොමු නොකළ ආර්ථිකය ගැන ඔබට, අපට වැඩි අවධානයකින් ඉන්නට වෙනවා. එවිට ඔබට අප පෙර කී ‘ප්‍රතිපත්ති එන්ජින් දෙක’ හොඳට වැඩ කරනවාද? නැවේ කපිතාන් අප මේ කුණාටුවෙන් බේර ගන්නට වෙර දරනවාද කියෙ නිතර ම පරික්ෂා වෙන් ඉන්න හැකියාව ලැබෙනවා. ඒ මොහොත වෙනුවෙන් දැන් සිට ම ඔබ ජීවිතාරක්ෂක කබා පැළඳගෙන සටනට ලෑස්ති විය යුතු ම යි.

කවරයේ ඡායාරූපය- We Are via gettyimages.com 

මූලාශ්‍ර :

www.treasury.gov.lk

Www.publicfinance.lk

Www.bbc.com

Www.mawbima.lk

Www.adaderana.lk

Www.thehindu.com

Related Articles