
පසුගිය දා සිදුවූ දෙවන එලිසබෙත් මහරැජනගේ අභාවයත් සමඟ කතාබහට ලක්වූ එක් මාතෘකාවක් වන්නේ, ඇය සුරතලට ඇති කළ සුනඛයන් කිහිප දෙනාට කුමක් වේද යන්න යි. ඔවුන් ඇගේ දෙවන පුත්‍රයා වූ ඇන්ඩෲ කුමරු සහ ආර්යාව භාරයේ ඇතිදැඩි කරන්නට තීරණය කර ඇති බවට පුවත් පළ වුණා.
මෙලෙස ඉතා ආසාවෙන් සුරතල් සතුන් ඇති දැඩි කළ එක ම හෝ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා දෙවන එලිසබෙත් රැජන නොවේ. අතීත බ්‍රිතාන්‍ය රජවරුන් හා රැජනන් මෙන් ම රාජකීය පවුලේ වෙනත් සාමාජිකයනුත් මෙලෙස විවිධ සතුන් සුරතලය පිණිස ඇති කර තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ ඔවුන් වෙනුවෙනු යි.

දෙවන එලිසබෙත් රැජනගේ ‘කෝගී’ සුරතල්ලු
දෙවන එලිසබෙත් රැජන සුනඛයන් කෙරෙහි ළැදියාවක් දැක්වූයේ ඉතා කුඩා කල සිට යි. ඇය කුඩා කාලයේ ඇගේ පියා වන ඇල්බට් කුමරු සහ ආර්යාව සිය නිවසෙහි සුනඛයන් ඇති කළ අතර, ඇගේ 18 වන උපන්දිනයට ඇයට ‘කෝගි’ වර්ගයේ සුනඛයෙක් තෑගි ලැබෙනවා.
ඇය එම ගැහැනු සුනඛයා ‘සුසෑන්’ නමින් නම් කරන අතර, කෝගි සුනඛයන් හා පෙමින් බැඳෙනවා. එම ප්‍රේමය කෙතරම් ද කිවහොත්, සුසෑන්ගෙන් පසුව ඇගේ පැටවුනුත්, එම පැටවුන්ගේ පැටවුනුත් ඇති දැඩි කරන්නට එලිසබෙත් රැජන පියවර ගන්නවා.

මෙලෙස වසර ගණනාවක්, සුසෑන්ගෙන් පැවත ආ පරම්පරා ගණනාවක සුනඛයන් ඇය ඇති දැඩි කළ අතර, එම පරම්පරාවේ අවසන් සුනඛයා වන් ‘විලෝ’ මියයන්නේ 2018 වසරේ දී යි. ඒ ඇය වෙත සුසෑන් තෑගි ලැබී වසර 74 කට පසුව යි.

විලෝගේ මියයාමෙන් පසුවත් එලිසබෙහ් රැජන ‘කෝගී’ සුනඛයන් කෙරෙහි තමන් තුළ වූ ලැදියාව ඉවත ලූයේ නැහැ. ඇය දිගට ම එම වර්ගයේ සුනඛයන් ඇති දැඩි කළ අතර, පසුගිය සැප්තැම්බර් මස 8 වන දින ඇය මිය යන විටත්, ඇය සතුව ‘කෝගී’ සුනඛයන් කිහිප දෙනෙක් සිටියා.

චාල්ස් රජුගේ සහ කැමිලාගේ සුරතල්ලු
චාල්ස් කුමරු (දැන් තෙවන චාල්ස් රජු ) ගේ ආර්යාව වන කැමිලාට ජැක් රසල් ටෙරියර් වර්ගයේ සුනඛයන් දෙදෙනෙක් සිටිනවා. ‘බ්ලූබෙල්’ හා ‘බෙත්’ යනුවෙන් ඔවුන් හැඳින්වෙන අතර, සමහර අවස්ථාවන්හී දී ඇය ඔවුන් ඇවිද්දවනු දැකිය හැකි යි. සමහර උත්සව අවස්ථාවලට ඔවුන් ගෙන යාමටත් ඇය අමතක කරන්නේ නැහැ. ‘පසුගිය දිනෙක බැටර්සී සුනඛ සහ බළල් නිවස්න’ විවෘත කරන්නට කැමිලාට ආරාධනා ලැබී තිබූ අතර, අවසානයේ එය විවෘත කරන සමරුඵලකය විවෘත කළේ බෙත් නම් ඇගේ සුනඛයා යි.

විලියම් කුමරු සහ කේට් කුමරියගේ සුරතල්ලු
විලියම් කුමරු සහ කේට් කුමරියට සිය විවාහයත් සමඟ ම වාගේ ‘ලුපෝ’ නම් කොකර් ස්පැනියෙල් වර්ගයේ සුනඛයෙක් තෑගි ලැබුණා. එම සුනඛයා වසර ගණනාවක් ඔවුන් හා රැඳුණු අතර, ජෝර්ජ්, චාලට් හා ලුවී කුමර කුමරියන් කුඩා කල ඔවුන් හා එකට ම වැඩුණා. විලියම් හා කේට් අතිශය දුකට පත් වූයේ 2020 වසරේ දී ලුපෝ මිය යාමත් සමඟ යි.

ලුපෝ ගේ ඇවෑමෙන් මාස දෙකකට පසු ඔවුන් තවත් සුනඛයෙක් රැගෙන ආවා. ඒ තවත් කොකර් ස්පැනියල් වර්ගයේ සුනඛයෙක්. කළු පැහැති එම සත්ත්වයාට ‘ඔර්ලා’ යන නාමය තබා තිබෙනවා. මෙම සත්ත්වයන් දෙදෙනා ම ඔවුන්ට ලබා දී තිබෙන්නේ කේට් කුමරියගේ සොහොයුරා වන ජේම්ස් මිඩ්ල්ටනු යි. මෙම නව සුනඛයා ලුපෝට නෑකම් කියනවා.
හැරී කුමරු සහ මේගන් කුමරියගේ සුරතල් සුනඛයෝ
මේගන් එක්සත් රාජධානියට පැමිණෙන විට ඇය සිය සුනඛ සුරතලා වූ, බීගල් වර්ගයේ ‘ගයි’ රැගෙන ආවා. හැරී කුමරු හා ඇය විවාහ වූ පසු දෙදෙනා කළු පැහැති ලැබ්‍රඩෝ සුනඛයෙක් රැගෙන ආ අතර, එම සත්ත්වයාට ‘පුලා’ යනුවෙන් නම් තැබුවා. මෙම අසාමාන්‍ය නාමය එම සත්ත්වයාට ලැබෙන්නේ ඉතා සුවිශේෂී හේතුවක් නිසා යි.

හැරී කුමරු හා මේගන් කුමරිය, තමන් දැන හඳුනා ගත් මුල් සමයෙහි ඔවුන් බොට්ස්වානාවේ කාලය ගත කර ඇති අතර, ‘පුලා’ එහි මුදල් ඒකකය යි. ‘පුලා’ යන්න එහි ස්වදේශික භාෂාවක් වන බන්ටු බසින් ‘ වැස්ස’ යන්න ගම්‍ය කරන අතර, අර්ධ ශුෂ්කරූපී දේශගුණයක් පවතින බොට්ස්වානාවට වැස්ස මුදල් හා සමාන ව වටිනා නිසා, ඔවුන් තම මුදල් ඒකකයට ඒ නම තබා තිබෙනවා. හැරී කුමරු හා මේගන්ට තම සුනඛයාත් එලෙස ම වටින බැවින් ඒ නම තැබූ බව වාර්තා වෙනවා.
ඈන් කුමරියගේ සුනඛ සුරතල්
දෙවන එලිසබෙත් රැජනගේ එකම දියණිය ඈන් කුමරිය නිතර ම තමන් සන්තකයේ ඉංග්‍රීසි බුල් ටෙරියර් වර්ගයේ සුනඛයන් තබාගෙන සිටියා. ඇය නිතර ම පාගේ ඔවුන් පිරිවරා ගෙන සිය නිවාඩු ගතකරනු දක්නට ලැබෙනවා.

මීට අමතරව ඈන් කුමරියගේ දියණිය වන සාරා ටින්ඩෝල්, ඇගේ සැමියා මයික් මෙන් ම ඔවුන්ගේ දරුවනුත් සුනඛයන්ට ඉතා ළැදි බැව් වාර්තා වන අතර, ඔවුන් නිතර ම සිය සුනඛයන් කිහිප දෙනා ඔබ මොබ ඇවිද්දවනු දැකිය හැකි යි.
එඩ්වඩ් කුමරු හා සොෆීගේ සුනඛයෝ
එලිසබෙත් රැජනගේ බාල ම පුතු වූ එඩ්වඩ් කුමරු හා ඔහුගේ බිරිය වන සොෆීට වර්තමානයේ සුනඛ සුරතලුන් දෙදෙනෙක් සිටිනවා. ඉන් එක් සත්ත්වයෙක් කළු පැහැති ලැබ්‍රඩෝ සුනඛයෙක් වන අතර, අනෙකා කොකර් ස්පැනියල් වර්ගයේ සුනඛයෙක් වෙනවා. මෙම සුනඛයන් හා සොෆී කුමරිය නිතර ම වින්ඩ්සර් මන්දිරය අවට සැරිසරනු දැකිය හැකි යි.

මෙම සුරතලුන් දෙදෙනාට අමතර ව තවත් අසාමාන්‍ය සුරතලෙක් ඔවුන් සතු බැව් එඩ්වඩ් කුමරු ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඉබ්බකු යි. කෙසේ නමුත් එම ඉබ්බා පිළිබඳ ව කිසිදු ඡායාරූපයක් මාධ්‍ය වෙත ලැබී නැහැ.
එලිසබෙත් රැජන සහ අශ්වයෝ
සුනඛයන්ට අමතරව බකිංහැම් මාලිගයේ සුලබ ව දක්නට ලැබෙන අනෙක් සත්ත්ව කොට්ඨාසය වන්නේ අශ්වයනු යි. දෙවන එලිසබෙත් රැජන සුනඛයන්ට අමතර ව අශ්වයන්ට ද දැඩි ළැදියාවක් දැක්වූ අයෙක්. ඇය අශ්වයන් පැදීමට දැඩි කැමැත්තක් දැක්වූ අතර, ඔවුන් රැක බලා ගන්නට ද යුහුසුළු වුණා. මෙම ආසාව ඈන් කුමරියට ද තදින් පිහිටා ඇති අතර, රැජනගේ වැඩිමල් පුතු වන චාල්ස් කුමරු මෙන් ම ඔහුගේ වැඩිමල් පුතු වන විලියම් ද පෝලෝ ක්‍රීඩාවට පෙම් බඳින්නට හේතුව අශ්වයන්ට ඇති ළැදියාව යි.
