2020 මහා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. ඉතාමත් පෙරළිකාර ප්‍රතිඵල රැසක් ලැබුණු මෙවර මහා මැතිවරණයේ දී කිසිවෙකු බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රබල පරාජයක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂය යි. එහි දී එක්සත් ජාතික පක්ෂය දිවයිනෙන්ම ආසන 1ක් පමණක් ලබාගත්තේ වසර 74ක පක්ෂ ඉතිහාසය තුළ දැවැන්තම පරාජය ලබමින්. වර්තමානය වන විට එක්සත් ජාතික පක්ෂය පාර්ශව 2කට වෙන් වී තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. සමගි ජනබලවේගය යටතේ තරග කළ සජිත් ප්‍රේමදාස පාර්ශවය, ඉදිරියේ දීත් එක්සත් ජාතික පක්ෂයට එකතු නොවී දුරකථනය ලකුණ යටතේ වෙනම තරග කළොත් එක්සත් ජාතික පක්ෂයට යළි නැගී සිටීමට අසීරු වනු ඇති. මීට පෙරත් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් ලැබූ අවස්ථාවන් කිහිපයක දී නායකත්ව අර්බුද නිර්මාණය වුණා. නමුත් පක්ෂයේ ජේෂ්ඨ නායකයන් එකතු වී එම අර්බුද විසඳාගෙන පක්ෂය ඉදිරියට රැගෙන ගියා.
1956 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ආසන 8කට වැටෙයි
1956 මහා මැතිවරණය පැවැත්වෙන කාල සමය තුළ එක්සත් ජාතික පක්ෂය තුළ අසමගිය වර්ධනය වී තිබුණු බව ප්‍රසිද්ධ කාරණයක්. එම අවදියේ ජෝන් කොතලාවල සහ ඩඩ්ලි සේනානායක අතර සීතල යුද්ධයක් නිර්මාණය වී තිබුණා. එසේම ජේ.ආර් ජයවර්ධන සහ ආර්.ජී සේනානායක අතර ඇති වුණු මත ගැටුමක් නිසා ආර්.ජී සේනානායක පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වුණා. එවැනි වටපිටාවක පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට හැකි වුණේ ආසන 8ක් පමණ යි. එදා එක්සත් ජාතික පක්ෂයට අත් වුණු දැවැන්ත පරාජයත් සමග පාක්ෂිකයන් යළි ඩඩ්ලි සේනානායකට නායකත්වය ලබාගන්නා මෙන් ඇවිටිලි කළා. පාක්ෂිකයන්ගේ ඉල්ලීමට කන් දුන් ඩඩ්ලි නායකත්වය භාරගෙන පක්ෂය යළි ජයග්‍රාහී මාවතට ගෙන ආවා.
1970 මහා මැතිවරණයේ දී ලද දරුණු පරාජය
1970 වසරේ පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ ආසන 17ක් පමණ යි. නමුත් ඔවුන් ආසන 91ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඡන්ද 52,546ක් වැඩියෙන් ලබාගෙන තිබුණා. එම අවදියේ ලංකාව තුළ ක්‍රියාත්මක වුණු සරල බහුතර නියෝජන ක්‍රමය පසුකලෙක දී වෙනස්වීමට හේතු වුණේ ඉහත ඡන්ද ප්‍රතිඵලය යි. එදා එක්සත් ජාතික පක්ෂය ලද පරාජයෙන් පසුව ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර් ජයවර්ධන අතර නායකත්වය වෙනුවෙන් අර්බුදයක් නිර්මාණය වුණා. එසේම ජේෂ්ඨ නායකයෙකු වුණු රණසිංහ ප්‍රේමදාසත් එම අවධිය වන විට වෙනම පක්ෂයක් නිර්මාණය කර තිබුණා. එලෙස එක්සත් ජාතික පක්ෂය විනාශ වීමට ආසන්නව පැවති අවස්ථාවේ යළි ජේ.ආර් ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක අතර තිබුණු සීතල යුද්ධය නිමාවට පත් වුණා. ඉන් පසුව 1973 වසරේ දී ඩඩ්ලි සේනානායක අභාවයට පත්වීමෙන් පසුව නායකත්වයට පත් වුණු ජේ.ආර් ජයවර්ධන 1977 මැතිවරණයේ දී සිය පක්ෂය විශාල ජයග්‍රහණයක් කරා රැගෙන ගියා.
අලියා ලකුණේ අනාගතය
2020 මහා මැතිවරණයේ දී අලියා ලකුණ යටතේ තරග කළ එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් පමණක් ආසනයක් හිමි වුණු බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එක්සත් ජාතික පක්ෂය ලද දරුණු පරාජයත් සමගම පක්ෂය ප්‍රතිසංවිධානය කරන ආකාරය පිළිබඳව මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බව නොරහසක්. අනාගතයේ දී සජිත් ප්‍රේමදාස පාර්ශවයට එක්සත් ජාතික පක්ෂයේ පාලන බලය නොලැබී ගියොත් පක්ෂය තුළ තවත් අර්බුද රැසක් නිර්මාණය වනු ඇති. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම අලියා ලකුණ යටතේ එළඹෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණොත් සාර්ථක වීමට තිබෙන ඉඩකඩ අඩු යි. පළාත් සභා මැතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය අලියා ලකුණෙන් තරග කර පරාජයට පත්වුණොත් අනාගතයේ දී අලියා ලකුණ ලංකා දේශපාලන බිම තුළ සැඟවී යාමේ අවදානමක් තිබෙනවා.
අතීතයේ ලංකා දේශපාලන බිමේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ පක්ෂ කිහිපයක සලකුණු වර්තමානය වන විට දේශපාලන බිමේ සැඟවී ගොස් තිබෙනවා. එම පක්ෂ කිහිපය පිළිබඳ තොරතුරු පහත දැක්වෙනවා.
ලංකා සමසමාජ පක්ෂය
1935 වසරේ දී ආරම්භ වුණු ලංකා සමසමාජ පක්ෂය ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය යි. 1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ප්‍රබලම තර්ජනයක් එල්ල කළේ ලංකා සමසමාජ පක්ෂය යි. එවර මහා මැතිවරණයේ දී ලංකා සමසමාජ පක්ෂයට ආසන 10ක් හිමි වුණා. ඒ අනුව පළමු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හිමි වුණේ සමසමාජ පක්ෂ නායක ඇන්.ඇම්. පෙරේරාට යි. එදා සිට 1977 මහා මැතිවරණය දක්වා පැවති මහා මැතිවරණවල දී ලංකා සමසමාජ පක්ෂය ආසන දිනාගත්තේ මෙසේ යි.
1947 මහා මැතිවරණය- ආසන 10 (විපක්ෂ නායක ධූරය හිමි වුණා)
1952 මහා මැතිවරණය- ආසන 9
1956 මහා මැතිවරණය- ආසන 14 (විපක්ෂ නායක ධූරය හිමි වුණා)
1960 මාර්තු මහා මැතිවරණය- ආසන 10
1960 ජූලි මහා මැතිවරණය- ආසන 12
1965 මහා මැතිවරණය- ආසන 10
1970 මහා මැතිවරණය- ආසන 19 (ආණ්ඩුවේ පාර්ශවයක් ලෙසින් කටයුතු කළා)
1977 මහා මැතිවරණය- ආසන 0
1977 මහා මැතිවරණයේ දී සමසමාජ පක්ෂයේ ප්‍රබල නායකයන් සියලුදෙනාම පරාජයට පත් වුණා. 1979 වසරේ දී පක්ෂ නායක ඇන්.ඇම්. පෙරේරා අභාවයට පත්වීමත් සමගම කොල්වින් ආර්. ද සිල්වා සමසමාජ පක්ෂ නායකත්වයට පත් වුණා. ඒ අනුව 1982 ජනාධිපතිවරණයේ දී ලංකා සමසමාජ පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණේ ඔහු යි. එම ජනාධිපතිවරණයේ දී 58,531ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් කොලිවින්ට හිමි වුණේ 0.90%ක ඡන්ද ප්‍රතිශතයක් පමණ යි. ඉන් පසුව 1989 මහා මැතිවරණයේ දී ලංකා සමසමාජ පක්ෂය තරග වැදුණේ එක්සත් සමාජවාදී පෙරමුණ නම් වාමාංශික සන්ධානය යටතේ යි. 1993 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණ නම් දේශපාලන සන්ධානය ආරම්භ කිරීමත් සමගම එහි පාර්ශවයක් වුණු සමසමාජ පක්ෂය යළි කිසි දිනෙක තනි පක්ෂයක් ලෙස තරග වැදුණේ නැහැ. ඒ අනුව ලංකා සමසමාජ පක්ෂය අවසන් වරට ජාතික මැතිවරණයක දී තනි පක්ෂයක් ලෙසින් තරග වැදුණේ 1982 ජනාධිපතිවරණයේ දී යි. වර්තමානය වන විට සමසමාජ පක්ෂයේ යතුර ලකුණ ලංකා දේශපාලන බිමේ සැඟවී ගිය ලකුණක් බවට පත්ව තිබෙනවා.
කොමියුනිස්ට් පක්ෂය
1943 වසරේ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ විසින් කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කෙරුනා. 1947-1977 කාල සමය තුළ පැවති සෑම මහා මැතිවරණයක් සඳහාම කොමියුනිස්ට් පක්ෂය තනිව තරග කළා. පහත දැක්වෙන්නේ එම මහා මැතිවරණවල දී කොමියුනිස්ට් පක්ෂය ලබාගත් ආසන ප්‍රමාණ යි.
1947 මහා මැතිවරණය- ආසන 3
1952 මහා මැතිවරණය- ආසන 4
1956 මහා මැතිවරණය- ආසන 3
1960 මාර්තු මහා මැතිවරණය- ආසන 3
1960 ජූලි මහා මැතිවරණය- ආසන 4
1965 මහා මැතිවරණය- ආසන 4
1970 මහා මැතිවරණය- ආසන 6 (ආණ්ඩුවේ පාර්ශවයක් ලෙසින් කටයුතු කළා)
1977 මහා මැතිවරණය- ආසන 0
1993 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණ නම් දේශපාලන සන්ධානය ආරම්භ කිරීමත් සමග එහි පාර්ශවයක් වුණු කොමියුනිස්ට් පක්ෂය යළි කිසි දිනෙක තනි පක්ෂයක් ලෙස තරග වැදුණේ නැහැ. ඒ අනුව කොමියුනිස්ට් පක්ෂය අවසන් වරට ජාතික මැතිවරණයක දී තනි පක්ෂයක් ලෙසින් තරග වැදුණේ 1977 මහා මැතිවරණයේ දී යි. එම නිසා වර්තමානය වන විට කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණ ලංකා දේශපාලන බිමේ සැඟවී ගිය ලකුණක් බවට පත්ව තිබෙනවා.
මහජන එක්සත් පෙරමුණ
1959 වසරේ දී පිලිප් ගුණවර්ධන විසින් මහජන එක්සත් පෙරමුණ නම් දේශපාලන පක්ෂය ආරම්භ කරනු ලැබුවා. 1960-1994 කාල සමය තුළ පැවති සෑම මහා මැතිවරණයක් සඳහාම මහජන එක්සත් පෙරමුණ තනිව තරග කළා. පහත දැක්වෙන්නේ එම මහා මැතිවරණවල දී එම පක්ෂය ලබාගත් ආසන ප්‍රමාණ යි.
1960 මාර්තු මහා මැතිවරණය- ආසන 10
1960 ජූලි මහා මැතිවරණය- ආසන 3
1965 මහා මැතිවරණය- ආසන 1
1970 මහා මැතිවරණය- ආසන 0
1977 මහා මැතිවරණය- ආසන 0
1989 මහා මැතිවරණය- ආසන 3
1994 මහා මැතිවරණය- ආසන 0
1983 වසරේ දී දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් පසුව 1994 වසර දක්වා පැවති මහා මැතිවරණවල දී තනි පක්ෂයක් ලෙසින් තරග වැදුණා. නමුත් ඉන් අනතුරුව මහජන එක්සත් පෙරමුණ එවකට බලයේ සිටි පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහජන එක්සත් පෙරමුණ යළි කිසි දිනෙක තනි පක්ෂයක් ලෙස තරග වැදුණේ නැහැ. ඒ අනුව ඔවුන් අවසන් වරට ජාතික මැතිවරණයක දී තනි පක්ෂයක් ලෙසින් තරග වැදුණේ 1994 මහා මැතිවරණයේ දී යි. එම නිසාම වර්තමානය වන විට මහජන එක්සත් පෙරමුණේ රෝදය ලකුණ ලංකා දේශපාලන බිම තුළ දකින්නට නැහැ.