දශක 4කට ආසන්න කාලයක සිට, මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරු දැරියන්ගේ සුභසාධනය වෙනුවෙන් අරමුදලක් ක්‍රියාත්මක වෙනවා. දේශපාලඥ ලලිත් ඇතුලත්මුදලි ආරම්භ කළ එම අරමුදල හඳුන්වන්නේ මහපොළ අරමුදල නමින්. ඔහු එම අරමුදල ආරම්භ කළේ සිය ජීවන අත්දැකීමක් තුළින් මතු වුණු සංකල්පයකට අනුව යි. එදා සිට අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණු මහපොළ අරමුදල මඟින් අඩු ආදායම්ලාභී දරු දැරියන් රැසක් ප්රතිලාභ ලැබූ බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්.
මහපොළ අරමුදල ඇති කිරීමට හේතු වුණු සිදුවීම
ලලිත් ඇතුලත්මුදලිගේ පියා වන දොන් ඩැනියල් ඇතුලත්මුදලි 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා යි. 1947 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ආසනය සඳහා තරග වැදුණු ඩැනියල් ඇතුලත්මුදලි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් තරග කළ විල්මට් පෙරේරාට පරාජය වුණා. ඩැනියල් ඇතුලත්මුදලිගේ පුත්‍රයා වුණු ලලිත් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයෙකු වුණා. එම නිසාම 1955 වසරේ දී සිය පුත්‍රයාව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට ඩැනියල් ඇතුලත්මුදලි තීරණය කළා. 1955 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වුණු ලලිත් ඇතුලත්මුදලි ඉතාමත් හොඳින් සිය අධ්‍යයන කටයුතුවල නිරත වුණා. එසේම බාහිර වැඩ කටයුතුවල ද නිරත වුණු ඔහු 1957 වසරේ අග භාගයේ දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වුණේ අප රටට විශාල ගෞරවයක් හිමිකර දෙමින්. නමුත් 1958 වසරේ නොවැම්බර් 10 ලලිත් ඇතුලත්මුදලිගේ පියා මිය යාමත් සමගම ඔහුගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අපහසු වාතාවරණයක් උදා වුණා. එනිසා ඔහු එවකට අගමැතිවරයා ලෙසින් කටයුතු කළ සොලමන් බණ්ඩාරනායක හමුවීමට ගියා.
බණ්ඩාරනායක රජයෙන් ඇතුලත්මුදලිට විශේෂ ශිෂ්‍යත්වයක්
බණ්ඩාරනායක අගමැතිතුමාව හමු වුණු ඇතුලත්මුදලි ඔක්ස්ෆර්ඩ්හි රෝඩ්ස් ශිෂ්‍යත්වයට ඉල්ලුම් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා. එයට ප්‍රතිචාර දක්වමින් බණ්ඩාරනායක අගමැතිවරයා පවසා සිටියේ පහත දැක්වෙන වදන් පෙළ යි.
රෝඩ්ස් ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළොත් ඔබට එය හිමිවනවා සිකුරු යි. එවිට ලංකාවේ පළමු රෝඩ්ස් ශිෂ්‍යත්වලාභියා සහ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ පළමු ලාංකික සභාපතිවරයා වන්නේ ඔබ යි. නමුත් අපි රෝඩ්ස් ශිෂ්‍යත්වය ලබාගන්න වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මන් ඔබට විශේෂ ශිෂ්‍යත්වයක් සකස් කර දෙන්නම්.
බණ්ඩාරනායක අගමැතිවරයා ඇතුලත්මුදලිට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා මූලික පියවර ක්‍රියාත්මක කළේ 1959 වසරේ පෙබරවාරි 24 වැනිදා යි. එවකට අධ්‍යාපන ඇමතිවරයා ලෙසින් කටයුතු කළ විජයානන්ද දහනායක විසින් ඇතුලත්මුදලිගේ දෙවසරක අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 5000ක මුදලක් වෙන් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා. ඉන් පසුව එම යෝජනාව වෙනුවෙන් විවාදය පැවතුණු අවස්ථාවේ සමසමාජ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යෝජනාවට විරුද්ධ වන විට කොමියුනිස්ට් පක්ෂය නිහඬව සිටියා. නමුත් එවකට ආණ්ඩු පක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ සහ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව සිටි නිසා යෝජනාව සම්මත වුණේ වැඩි ඡන්ද 20කින්. එදා ලලිත් ඇතුලත්මුදලි තරුණයාට රජයෙන් ලැබුණු ශිෂ්‍යත්වය නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කිරීමට අවස්ථාව ලැබුණා.
ලලිත් පාර්ලිමේන්තුවට පිවිසෙයි
සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරයකු සහ නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඇතුලත්මුදලි මුල්ම වරට මහා මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණේ 1977 වසරේ දී යි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එදා රත්මලාන අසුනට තරග කළ ඇතුලත්මුදලි සිය ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 7,841ක් ලබාගනිමින්. පාර්ලිමේන්තුවට තේරී පත් වුණු ඇතුලත්මුදලිට වෙළඳ අමාත්‍යධූරය හිමි වුණා. උසස් අධ්‍යාපනය ලබමින් සිටින ලංකාවේ දරු දැරියන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කළ යුතුයැ යි අදහසක් පෙර සිටම පහළ වී තිබුණේ බණ්ඩාරනායක රජයෙන් ඔහුට ලැබුණු ශිෂ්‍යත්වය නිසා යි.
මහපොළ අරමුදලේ ආරම්භය
රත්මලාන ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත් වුණු ඇතුලත්මුදලි තම ආසනයේ සංවර්ධන කටයුතු කිරීම සඳහා රත්මලාන ආසන සංවර්ධන පදනම නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා. එම පදනම මඟින් රත්මලාන ආසනය තුළ පැවැත් වූ වෙළඳ ප්‍රදර්ශනයෙන් විශාල ලාභයක් ලැබුණා. එදා ඇතුලත්මුදලිගේ ආසනය තුළ ක්‍රියාත්මක වුණු අරමුදලෙන් ප්‍රදේශයේ දුප්පත් දරු දරියන්ට නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබාදුන්නා. රත්මලාන ආසනය තුළ පැවති වෙළඳ ප්‍රදර්ශනය සාර්ථක වුණු නිසා ඇතුලත්මුදලි ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එම්. ඇස්. අමරසිරිගේ ආසනය වුණු හිනිදුම ද වෙළඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. 1980 වසරේ ජනවාරි 2 වැනිදා පැවැත්වුණු එම වෙළඳ ප්‍රදර්ශනය සඳහා මුල්ම වරට මහපොළ යන නම භාවිතා කළා. ඉන් පසුව එම වසරේ දී තවත් ප්‍රදේශ රැසක මහපොළ ප්‍රදර්ශන පැවැත්වුණා. එම මහපොළ ප්‍රදර්ශනවලින් සැලකිය යුතු මුදලක් එකතු වුණා. එලෙස එකතු වුණු මුදල්වලින් අදාළ ප්‍රදේශවල දරු දැරියන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමට ඇතුලත්මුදලිට අදහසක් පහළ වුණා. ඔහු පෙර සිටම එවැනි ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව සිහින මවමින් සිටි නිසා එම සිහිනය සැබෑ කරගැනීමට මෙය කදිම අවස්ථාවක් වුණා.
මහපොළ අරමුදල පිළිබඳ පනත ඉදිරිපත් කිරීම
1981 වසරේ ඔක්තෝබර් 6 වැනිදා අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. රටේ දිළිඳු දරු දරියන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීම සඳහා ඉදිරිපත් වුණු එම පනත් කෙටුම්පත විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වුණා. එම නිසාම 1981/82 අධ්‍යයන වර්ෂයේ සිටම මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ක්‍රියාත්මක වුණා.
මහපොළ අරමුදල වෙනුවෙන් හඳුන්වා දුන් ලොතරැයිය
මහපොළ ප්‍රදර්ශනවල දී ලොතරැයියක් අලෙවි කිරීම සඳහා ලලිත් විසින් කැබිනට් අනුමැතිය ලබාගත්තා. එලෙස අලෙවි කළ ලොතරැයිය මඟින් එකතු වුණු මුදල් මහපොළ අරමුදල සඳහා බැර වුණා. එහි දී රුපියල් 2ක් වැනි මුදලකට අලෙවි වන එම ලොතරැයිය නිකුත් කරනු ලැබුවේ මහපොළ ප්‍රදර්ශන භූමියට ඇතුල්වීම සඳහා යි. එලෙස අලෙවි වුණු ලොතරැයි සඳහා අවසානයේ දී දිනුම් ඇඳීමක් සිදු කර ත්‍යාග ප්‍රදානයක් ද සිදු වුණා. එදා ලලිත් ඇතුලත්මුදලි ආරම්භ කළ එම අරමුදලට සහාය දුන් ජනතාව මහපොළ ප්‍රදර්ශනවල දී හැකි පමණින් ලොතරැයි මිල දී ගත් බව පැවසෙනවා. එලෙස ජනතාව විශාල ලෙසින් ලොතරැයි මිල දී ගත්තේ එමඟින් අනාගත පරපුරට ලැබෙන ප්‍රයෝජනය ගැන සිතීමෙන් පසුව යි.
මුල්ම වරට මහපොළ ශිෂ්‍යත්ව 422ක් පිරිනමනු ලැබුවා
1981/82 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ අරමුදල මඟින් ශිෂ්‍යත්ව 422ක් ප්රදානය කළේ ආකාර හතරක් යටතේ යි. එහි දී රුපියල් 400 බැගින් ශිෂ්‍යත්ව 40ක් ප්රදානය කළේ දක්ෂ දරු දැරියන් සඳහා යි. එම ශිෂ්‍යත්ව 40 පිරිනැමීම සඳහා දක්ෂතාවය පමණක් පදනම් කරගෙන තිබුණා. රුපියල් 350 බැගින් තවත් ශිෂ්‍යත්ව 360ක් පිරිනමනු ලැබුවේ දිළිඳු දරු දැරියන් සඳහා යි. තුන්වන ශිෂ්‍යත්ව වර්ගය වුණේ සේවක අධ්‍යාපන ව්‍යාපාරය සම්බන්ධ ශිෂ්‍යත්ව යි. එහි දී ශිෂ්‍යත්ව පිරිනැමුණේ රැකියාවක් කරමින් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී සිටි දරු දැරියන් සඳහා යි. සිව්වන ශිෂ්‍යත්ව වර්ගය වුණේ විශේෂ ශිෂ්‍යත්ව යි. ඕනෑම පුද්ගලයෙකුට විශාල මුදලක් මහපොළ අරමුදලට පරිත්‍යාග කර එමඟින් විශේෂ ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රමවේදයක් සකසා තිබුණා. එහි දී මුදල් ප්රදානය කළ පුද්ගලයන්ට ශිෂ්‍යත්ව ලැබිය යුතු අයගේ නම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණා අදටත් විශ්වවිද්‍යාල දරු දැරියන්ට විශාල සහනයක් ලබා දෙන මහපොළ අරමුදලේ ආරම්භය සනිටුහන් වුණේ එසේ යි.
දශක හතරක් තුළ මහපොළින් සිදු වුණු සේවය
1981 වසරේ නොවැම්බර් 14 වැනිදා ශිෂ්‍යත්ව 422ක් බෙදා දෙමින් ආරම්භ වුණු මහපොළ අරමුදල වසරින් වසර දියුණුවට පත් වුණේ මෙරට දක්ෂ දිළිඳු දරු දැරියන්ට විශාල සෙතක් සලසමින්. මහපොළ වැඩපිළිවෙළ වසරින් වසර සාර්ථක වුණු නිසා 1990/91 අධ්‍යයන වර්ෂය වන විට මහපොළ ශිෂ්‍යත්ව 3615ක් ලබා දීමට හැකියාව ලැබී තිබුණා. ඉන් පසුව පත් වුණු රජයන් ද මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය නිසා වර්තමානය වන විට දරු දැරියන් 15,000ක් පමණ මහපොළ ආධාර ලබනවා. එසේම අද වන විට මහපොළ අරමුදල මඟින් එක් අයෙකුට මසකට රුපියල් 5000ක මුදලක් ලබා දෙනවා. 1992 වසරේ දී මහපොළ ශිෂ්‍යත්වලාභියෙකුට මසකට රුපියල් 1000 බැගින් ලබා දුන් බව සඳහන් වනවා. නමුත් පසුගිය දශක 3ක කාලය තුළ ජීවන වියදම වැඩිවීමට සාපේක්ෂව මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි වී නොමැති බව පැහැදිලිවම පෙනෙන කරුණක්. නමුත් ලලිත් ඇතුලත්මුදලි විසින් 80 දශකයේ දී හඳුන්වාදුන් මහපොළ අරමුදල මඟින් එදා මෙදා තුර ප්රතිලාභ ලබාගත් දිළිඳු දරු දැරියන් ප්‍රමාණය බොහෝ යි. එසේම මහපොළ ශිෂ්‍යත්වය මඟින් හෙට දවසේ දීත් දරු දැරියන් රැසකට සහන සැලසෙනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.