අපට ඇසීමට උපකාරී වන “කන” ගැන දැනගනිමු

කන යනු අපට ශ්‍රවණය ලබා දීමට උපකාරී වන අපගේ සිරුරේ පිහිටා ඇති ඉතාමත් වැදගත් අංගයක් වෙනවා. අපගේ හිසෙහි දෙපසට වන්නට යුගලයක් වශයෙන් පිහිටා ඇති මෙම අවයවය මිනිසුන් මෙන්ම ක්ෂිරපායි සතුන් සතු විශේෂ අංගයක්ද වෙනවා. බොහෝ විට කන පිලිබඳව පවසන විට එය අපට ශ්‍රවණය ලබා දීමට උදව් වන බවයි අපගේ සිහියට නැගෙන්නේ. නමුත් කන යනු ශ්‍රවණය ලබා දීම සදහා මෙන්ම අප ශරිරගේ සමබරතාවය පවත්වාගෙන යාමටද උපකාරී වන අවයවයයි. ඈත අතීතයේ පටන් කනට විවිධ  ආභරණ පලඳවමින් ශරීරය අලංකාර කිරීමටද මිනිසුන් හුරුපුරුදු වී සිටිනවා. කනෙහි යම් කිසි ආබාධ තත්වයක් ඇති උවහොත් එය අපගේ ජීවිත කාලයටම අයහපත් බලපෑමක් වන්නටද පුළුවන්. එම නිසා කන පිලිබදව යම් දැනුවත් බවක් ලබා තිබිම ඔබට වැදගත් විය හැකියි.

සතුන්ගේ බාහිර කන පමණක් පිටතට දිස් වන නිසා “කන” යන වදන බොහෝ විට එහි බාහිර කොටසට භාවිතා කරනු දැකිය හැකි වෙනවා. නමුත් මේ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කරන්නේ නම් කන යනු ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ඉන්ද්‍රියක් වශයෙන් හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. කනෙහි ප්‍රධාන කොටස් තුන බාහිර කන, මැද කන, හා ඇතුළු කන වශයෙන් හඳුනා ගත හැකි වෙනවා. මෙම එක එක කොටස් වෙනම සලකා බලන විට ඒවා ද තවත් කොටස් කිහිපයක එකතුවෙන් නිර්මාණය වී ඇති බව හඳුනා ගන්නට පුළුවන් වෙනවා.

open.edu (කනෙහි කොටස් දැක්වෙන පින්තුරයක්)

කන් පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලයයි

එනම්, එහි පළමු කොටස වෙන බාහිර කන පිලිබදව සලකා බලමු.  මෙය අපට ශරීරයෙන් පිටතට දිස් වන්නට පිහිටා තිබෙන සාමාන්‍ය ව්‍යවහාරයේදී අප කන වශයෙන් හඳුන්වන කොටසයි. මෙම බාහිර කනෙහිද කොටස් දෙකක් හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. එනම් අපට බාහිරව දකින්නට ලැබෙන කන් පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලයයි.  මෙම කන් පෙත්ත ආධාරයෙන් බාහිර පරිසරයේ ඇති වන විවිධ ශබ්ද ග්‍රහණය කරගන්න අතර එම ශබ්ද බාහිර ශ්‍රවණ නලය හරහා මැද කන වෙත යොමු කරයි.( https://www.asha.org/public/hearing/Outer-Ear/)

pinterest.com (කන් පෙත්තක් දැක්වෙන ජායාරුපයක්)

මැද කන

මැද කන පිලිබඳව සලකා බලන විට බාහිර කනට පිටු පසින් මෙම මැද කන පිහිට තිබෙනවා. එමෙන්ම මෙම මැද කනෙහි කොටස් අපට පියවි ඇසෙන් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. මෙය වාතය පිරී පවතින කුටීරයක් වන අතර එය කර්ණපටහ කුටීරය නමින් හදුන්වනවා. මෙම මැද කනද කොටස් කිහිපයකින් සමන්විත වෙනවා. එනම් කන් බෙරය හා කර්ණ අස්ථි තුනක්ද වශයෙනුයි. කන් බෙරය යනු ඉතාමත් තුනී පටලයක් වන අතර බාහිර ශ්‍රවණ නලය හරහා පැමිණෙන ශබ්ද තරංග කන් බෙරය හරහා මැද කන වෙත යොමු කරනවා. කර්ණ අස්ථි යනු අප ශරීරයේ පවතින ඉතාමත් කුඩාම අස්ථි තුනක් වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඒවා නම් පිලිවෙළින් මුද්ගරිකාව(Malleus), නිගාතිය(Incus), හා ධරනකයයි(Stapes). මේ අතරින් කුඩාම අස්ථිය වන්නේ ධරනකයයි. එමෙන්ම මැද කන යූස්ටෙකිය නාලය (Eustachian tube) ඔස්සේ උගුරේ ඉහල පෙදෙස හා සම්බන්ධ වෙයි. මැද කනෙහි වාතය සමබරව පවත්වා ගැනීමට යූස්ටෙකිය නාලය ප්‍රයෝජනවත් වෙනවා. (https://www.asha.org/public/hearing/Middle-Ear/)

teachmesurgery.com ( කන් බෙරයක ජායාරුපයක්)

ඇතුළු කන

මැද කනට පිටුපසින් හිස් කබල ඇතුලතට වන්නට ඇතුළු කන පිහිටා තිබෙනවා. එතුල පිහිටා ඇත්තේ කනෙහි ඇති ඉතාමත් සංවේදීම අවයවයි. එනම් ඇතුළු කනෙහි කොටස් ලෙස කර්ණශංකය හා අර්ධ චක්‍රාකාර නාල හඳුනා ගැනීමට පුළුවන. මේ අතරින් ශ්‍රවණ සංවේදී අවයවය වන්නේ කර්ණශංකය නම් අවයවයයි. එනම් එය සර්පිලාකාර බෙලිකටුවක හැඩහුරුව ඇති අවයවයකි. එය ඇතුලත තරල වලින් පිරි පවතින නාල තුනක් පවතිනවා. එනම් ආලින්ද නාලය, කර්ණශංක නාලය හා කර්ණපටහ නාලය වශයෙනුයි. මෙම කර්ණශංකය තුල ඇති රෝම සහිත සෛල කම්පනය වීම හරහා ශ්‍රවණය ඇති වෙනවා. එනම් මැද කනෙහි ධරනකය හරහා පැමිණෙන ධ්වනි තරංග ඇතුළු කනට සම්ප්‍රේෂණය වීමෙන් පසුව එහි ඇති කර්ණශංකය තුල දී ස්නායු ආවේග බවට පත් වී ශ්‍රවණ ස්නායුව හරහා මොලය වෙතට සම්ප්‍රේෂණය වෙයි. අපගේ සමබරතාවය පවත්වා ගැනීමට උපකාරී වන අර්ධ වක්‍රාකාර නාල පිහිටා තිබෙන්නේද ඇතුළු කන තුලයි. මේවා කර්ණශංකය හා සම්බන්ධ වී පවතියි. ඇතුළු කන තුල එකිනෙකට ලම්බකව අර්ධ චක්‍රාකාර නාල තුනක් ලෙස මේවා පවතින අතර ඒවාද තරලයකින් අර්ධ වශයෙන් පිරි පවතිනවා. මේවා පුද්ගල දේහය තුල සමබරතාවය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. (https://www.asha.org/public/hearing/Inner-Ear/)

cdn-rainbowresource.netdna-ssl.com(ඇතුළු කනෙහි පින්තුරයක්)

(https://www.hear-it.org/The-ear—a-magnificent-organ)

මෙලෙස හඳුනාගත හැකි කනෙහි ක්‍රියාකාරිත්වය පිලිබඳව සලකා බලන විට බාහිර පරිසරය තුල ඇති වන ශබ්ද තරංග එක් කර කන වෙත යොමු කරන්නේ බාහිර කනෙහි කන් පෙත්ත හරහායි. එලෙස කනට ඇතුළු වන ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාළය ඔස්සේ මැද කන වෙත යොමු කරනවා. එහිදී එම ශ්‍රවණ තරංග මැද කනෙහි කන් බෙරය හා ගැටි එය කම්පනය වීමට පටන් ගන්නවා. එවිට කන් බෙරය හා සම්බන්ධ වී පවතින අස්ථිය වන මුද්ගරිකාව කම්පනය වීමට පටන් ගන්නා අතර ඒ හරහා නිගාතිය, හා ධරනකය යන අස්ථිද කම්පනය වීමට පටන් ගන්නවා. එවිට ධරනකය ඇතුළු කන හා සම්බන්ධ වී තිබීම හරහා එම කම්පන ඇතුළු කන වෙත සම්ප්‍රේෂණය වෙනවා. එහිදී කර්ණශංකය ඇතුලත පවතින ආලින්ද නාලය, කර්ණශංක නාලය හා කර්ණපටහ නාලය යන නල හරහා කර්ණශංකය තුල ඇති රෝම සහිත සෛල කම්පනය වීමට පටන් ගන්නවා. ඉන් පසුව ශ්‍රවණ ස්නායුව වෙත එම සංවේදන ගමන් කරන අතර ඒ හරහා මොලය වෙතට සම්ප්‍රේෂණය වී ශ්‍රවණය ඇති වෙනවා.

මේ ආකාරයට කන හා ඒ තුලින් ශ්‍රවණය ඇති වන ආකාරය සරලව හඳුනා ගැනීමට පුළුවන්. ඉතාමත් සංවේදී අවයවයක් වන නිසා කන යනු වැඩි අවධානයක් යොමු කරමින් රැක ගත යුතු අප සිරුරේ පවතින වැදගත් ඉන්ද්‍රියක් බව මතක තබා ගැනීම වැදගත් වෙනවා.

කවරයේ පින්තුරය: news.hamlethub.com

මුලාශ්‍ර :

https://www.hear-it.org/The-ear—a-magnificent-organ

https://www.asha.org/public/hearing/Inner-Ear/

https://www.asha.org/public/hearing/Outer-Ear/

https://www.asha.org/public/hearing/Middle-Ear/

Related Articles

Exit mobile version