ජපන් සංස්කෘතිය විදහා දක්වන ඉකෙබානා මල් කලාව

ලෝකයේ විවිධ රටවල් සතුව ඔවුන්ටම ආවේණික වූ සුවිශේෂතා තිබෙනවා. රටකින් රටකට වෙනස් වන වන මෙම සුවිශේෂතා සඳහා එම රටවල ආගම්, සංස්කෘතිය ආදී සාධක මූලිකවම බලපානු ලබනවා. ජපානය කියන්නේ ලොව අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේදී වෙනස් ආකාරයේ සංස්කෘතිකමය වටිනාකම් වලින් යුක්ත රටක් වනවා. එනම් ජපානයේ සංස්කෘතික ඇඳුම වන කිමෝනාවේ සිට ඔවුන්ගේ නිවාස, ආහාර පාන ආදියද ඔවුන්ටම ආවේණික වූ ලක්ෂණ වලින් යුක්ත වනවා. මේ අතර ‘කබුකි’ නමැති නාට්‍ය සම්ප්‍රදායට මෙන්ම ‘ඉකෙබානා’ නමැති මල් කලාවටද හිමි වන්නේ අධ්‍යාත්මික අතින් සුවිශේෂී ස්ථානයකි.

ඉකෙබානා නමැති මල් කලාව මඟින් ඔවුන් ගම්‍යමාන කරන කරුණු සම්බන්ධවත්, මෙම කලාවේ ආරම්භය පිළිබඳවත්, මෙහි තිබෙන විවිධ ප්‍රභේද ගැනත් මෙන්ම මල් කලාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙනුත් දැන ගැනීමේ අවස්ථාව මෙම ලිපිය මඟින් උදා වනවා.

ඉකෙබානා මල් කලාව මඟින් ගම්‍යමාන වන කරුණු

ikebanabeautiful.com

ඉකෙබානා යනු පුරාණ ජපානයේ පැවතුණා වූ මල් සැරසීමේ කලාවක් වන අතරම, ඉකෙ (ike) යනුවෙන් “ජීවමාන” හෝ “පිළියෙල කරනවා” යන අරුතත් ‘බානා’ (bana) යන්නෙන් ‘මල්’ යන්නත් අදහස් වනවා.

ජපන් සංස්කෘතියට ආවේණික වූ මෙම මල් කලාව සඳහා මල් පොහොට්ටුවේ සිට වියළි පත්‍ර දක්වා වූ කොටස් භාවිතයට ගනු ලබනවා. මේ ආකාරයට මෙවැනි කොටස් තෝරා ගැනීම මඟින් ජිවිතයේ බාල, තරුණ මෙන්ම මහළු යන ත්‍රිත්ව සංකල්පයන් ගම්‍යමාන වනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන තවත් මතවාදයක් වන්නේ ඉකෙබානා මල් සැරසිලි මඟින් නැතිනම් කලාව මඟින් පවුල නමැති සංකල්පය විදහා දක්වන බවයි. ජපානයේ තිබෙන්නා වූ සමාජ ක්‍රමය ගැන සඳහන් කරන්නේ නම් එය පීතෘ මූලික සමාජයක් වන අතරම ඉකෙබානා මල් සැරසිලි සඳහා භාවිතා කරනු ලබන මල්, කොළ, හා බඳුන මඟින් පියා, මව හා දරුවා යන සංකල්පයන් අදහස් කරනු ලබනවා.

මල් කලාවේ ආරම්භය

7 වන සියවසයේදී පමණ චීනයෙන් හා කොරියාවෙන් ජපානයට බුදු දහම පළමු වරට හඳුන්වා දීමත් සමඟ පන්සල් වල පූජාවන් සඳහා මල් භාවිතා කිරීමේ ප්‍රතිපත්තිය ආරම්භ වූවා. ඒ අනුව මෙම  මල් කලාව ආරම්භ වී තිබෙන්නේ බුදුන් වහන්සේට මල් පුජා කිරීමේ සිරිත මුල් කර ගෙනයි. 16 වන සියවසයේ දී පමණ මෙය ආරම්භ වී තිබෙන අතර පසුකාලීනව විවිධ හේතු කාරණාවන් පාදක කර ගෙන සිරිත, කලාවක් බවට පරිවර්තනය වී තිබෙනවා.

ඉකෙබානා යන්නෙන් හුදෙක් මල් සැරසිලි කලාවක් පමණක්ම අදහස් නොවන අතර මෙමඟින් ජපන් ජාතිකයන් සතු ගැඹුරු මානසිකත්වයද පිළිබිඹු වනවා. ස්වභාවික මලක තිබෙන හැඩතල ඉතාමත් උසස් අන්දමට ඉස්මතු කිරීමට මොවුන්හට තිබෙන සහජ හැකියාව ඉතාමත් ඉහළයි.

ඉකෙබානා මල් කලාවේ ප්‍රධාන සම්ප්‍රදායන්

oharaikebanalajolla.org(ඔහාරා සම්ප්‍රදාය)

ස්වාභාවිකව මල්, කොළ, අතු කැබැලි ආදිය භාවිතා කරමින් සැරසිලි සිදු කරන විට හැඩගැන්වීම් වල විවිධ ආකාරයේ වෙනස්කම් සිදු වනවා. මෙලෙස සිදුවන විවිධ ආකාරයේ වෙනස්කම් හේතුවෙන් නොයෙක් ආකාරයේ නම් වලින් මෙය හඳුන්වනු ලබනවා. නැතිනම් ඉකෙබානා මල් කලාව මූලික වශයෙන් සම්ප්‍රදායන් තුනකට පමණ බෙදීමක් සිදු වනවා. ඒ,

  1. ඉකෙනොබො
  2. ඔහාරා
  3. සොගෙත්සු යනුවෙනි.

මේ ආකාරයට වෙන් කරන ලද සම්ප්‍රදායන් අතුරෙන් වඩාත් වැදගත්, ප්‍රධාන මෙන්ම පැරණිම ක්‍රමය වන්නේ බෞද්ධ භික්ෂුවක් වන ඉකෙනොබො සෙන්සෙයි විසින් අරඹන ලද ඉකෙනොබො සම්ප්‍රදායයි. ඉකෙබානාහි ආරම්භය වන්නේද ඉකෙනොබො ක්‍රමයයි. එමෙන්ම ඉකෙනොබො පාසලේ මුලස්ථානය එය ආරම්භ කළ ස්ථානයේ තවමත් පවතිනවා. එනම්  ජපානයේ කියෝටෝ හි රොක්කකුඩො නමැති පන්සලේ යි. මෙම සැරසිලි ක්‍රමය සඳහා මල් කිහිපයක්, අතු කැබලි කිහිපයක් මෙන්ම මැටියෙන් සකසන ලද තරමක් උස් භාජනද අවශ්‍ය වනවා. එමෙන්ම ජපානය ගත් කල තේ උත්සව එරට ඉතාමත් ප්‍රසිද්ධ උත්සව විශේෂයක් වන අතර එම තේ උත්සව වලදී “චබානා” යනුවෙන් හඳුන්වන මල් සැරසිලි යොදා ගනු ලබනවා. මෙම සම්ප්‍රදායේ තිබෙන සුවිශේෂී තාවයක් වන්නේ වියළි ස්වභාවයෙන් යුත් අතු කැබැලි ස්වභාවික ආකාරයෙන් පෙන්වීමයි.

1868 – 1912 වසර දක්වා පැවතියේ “මෙයිජි” නමැති යුගයයි. මෙම යුගයේ සැලකිය යුතු ආකාරයේ සමාජ වෙනස්කම් සිදු වූ අතරම එහි ප්‍රතිඵලයක් ලෙස ඉකෙබානා මල් කලාවද වෙනස්කම් වලට භාජනය වීමක් සිදු වුණා. ඒ අනුව ඔහාරා ඔන්ෂින් විසින් “ඔහාරා” යනුවෙන් සම්ප්‍රදායක් ගොඩනගනු ලැබුවා. මෙම සම්ප්‍රදාය දී මූලිකත්වය ලබා දෙනුයේ භූමි දර්ශන පෙන්වීමටයි. 1895 දී පමණ ඔහු ඔහාරා පාසල ආරම්භ කළ අතරම, ඔහුගේ නිර්මාණ සඳහා බටහිර මල් පවා භාවිතා කරනු ලැබුවා. එමෙන්ම ඔහු මොරිබානා නමැති ක්‍රමයද හඳුන්වා දුන් අතරම, එහි දී බඳුන් අවම ලෙස භාවිතා කරනු ලබනවා.

ඉකෙබානා කලාවේ අලුත්ම සම්ප්‍රදාය වන්නේ සොගේත්සු යි. මෙම සම්ප්‍රදාය ආරම්භ කරන ලද්දේ 1900- 1977 වකවානුවේ ජිවත් වූ “ තෙෂිගරා සොෆු” විසිනි. ඔහු සාම්ප්‍රදායික ඉකෙබානා කලා ශිල්පයක් බවට පත් වූ බව තහවුරු කළ නායකයින් අතරින් එක් අයෙකු වනවා. මෙහි දී මල් අතු කැබලි මෙන්ම වානේ වලින් නිර්මිත නොයෙක් ආකාරයේ කුඩා ආකෘති භාවිතා කරනු ලබනවා.

මල් සැරසිලි භාවිතා කරන අවස්ථාවන් හා වර්තමාන තත්ත්වය

insidejapantours.com(මල් සැරසිල්ලක් සිදු කරන අවස්ථාවක්)

මෙම මල් කලාව ජපාන ජනතාවගේ ජන ජිවිතයේ උදා වන්නා වූ නොයෙකුත් ආකාරයේ විශේෂ අවස්ථා වලදී භාවිතා කරනු ලබනවා. එනම් ‘හිනාමත්සුරි’ නමැති බෝනික්කන් උත්සවයේදීත්, තරු උත්සවයේදීත්, මීට ඉහතදී සඳහන් කලාක් මෙන් තේපානෝත්සව වලදීත් භාවිතා කරනු ලබනවා. ඉකෙබානා පාසල් 3000 කට පමණ අධිකව පවතිනවා. එමෙන්ම පැරණිතම පාසල වන්නේ ඉකෙනොබො  යන්නයි.

ලොව දිනෙන් දින සිදු වන්නා වූ වෙනස්කම්ද සමඟ ඉකෙබානා මල් කලාවේද නොයෙකුත් නව ප්‍රවණතා ඇති වී තිබෙනවා. ඒ අනුව අද වන විට  ජපානය තුළ “ මොරිබානා” හා “නගරෙයි” යන සම්ප්‍රදායන් ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනවා. මොරිබානා නමැති ක්‍රමයේදී ඉදිකටු තුඩු සහිත නොගැඹුරු භාජනයක මල් රැඳවීම සිදු කරන බව දැක්වෙනවා. නගරෙයි ක්‍රමය සඳහා මල් රැඳවීමට භාවිතා කරනුයේ නොයෙකුත් ආකාරයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කරන ලද භාජනයි.

මේ ආකාරයට සලකා බැලූ විට හැඟී යන්නේ ජපානයේ තිබෙන මල් සැරසීමේ කලාව හෙවත් ඉකෙබානා තුළින් ලබා දෙනු ලබන ආධ්‍යාත්මික සුවය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන බවයි.

කවරයේ පින්තූරය: architecturaldigest.in

Related Articles

Exit mobile version