Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොසාඩ් සහ CIA එක්ව හිස්බුල්ලා නායකයෙකු වූ ඉමාද් මග්නියා මරාදැමීම

ඇමරිකාව සහ ඊශ්‍රායලය තමන්ට අත්‍යාවශ්‍යව සිටි ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ නායකයෙකු වූ ඉමාද් මග්නියා ලුහුබැඳ යාම පිළිබඳ තොරතුරු මේ ලිපි පෙළේ පළමු කොටසින් ඔබ වෙත ගෙන එන්නට අප ක්‍රියා කළා.

එය මෙතැනින් කියැවිය හැකියි.

මොසාඩ් සහ CIA එක්ව හිස්බුල්ලා නායකයෙකු වූ ඉමාද් මග්නියා ලුහුබැඳ යාම. 

වැරදුණ කුරුමානම්.

ඉමාද් මග්නියා සොයාගැනීමේ මෙහෙයුම් වසර ගණනාවක් තිස්සේ දියත් කෙරුණමුත් ඒ සෑම ප්‍රයත්නයක්ම නිෂ්ප්‍රභ කරමින් ඒවායින් ගැලවී යාමට ඔහු දැක්වූවේ විශ්මිත හැකියාවකි. මොසාඩ් සහ CIA සංවිධාන සතුව තිබූ තොරතුරු ප්‍රමාණවත් නොවීම ද එයට සෘජුව බලපෑ බව සත්‍යයකි.

1988 වසරේ ප්‍රංශ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් මග්නියා ගැලවුණේ අනූ නවයෙනි. ඔහු ගමන් ගනිමින් සිටි ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවරට ගොඩ බාන බවට ඔත්තුවක් ලද CIA ආයතනය ඒ පිළිබඳව ප්‍රංශ බලධාරීන්ට වහාම දැනුම් දුන්නේය. මග්නියා ඒ ගමන වෙනුවෙන් භාවිත කළ ව්‍යාජ ගමන් බලපත්‍රයේ අඩංගු වූ ඇතැම් තොරතුරු, ඔහුගේ ඡායාරූපයක් ද ඒ අතර විය. කෙසේ නමුත් ප්‍රංශය මෙයට පැකිළුනේ ඒ වන විට ප්‍රංශ ජාතිකයන් කිහිප දෙනෙකු  හිස්බුල්ලා සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ලෙබනනයේ රඳවාගෙන සිටීම නිසා ය. මග්නියා අත්අඩංගුවට ගතහොත් ඔවුන්ගේ ජිවිත අනතුරේ වැටෙන බව දත් ප්‍රංශය මග්නියා ගමන් ගනිමින් සිටි ගුවන් යානයට නිදැල්ලේ පියාසර කරන්නට ඉඩහැරියේ ය.

ඉන්පසු 1989 වසරේදී යුරෝපයේ දී සහ 1995 දී සෞදි අරාබියේ දී මග්නියා හසු කරගැනීමට ඇමරිකානු බුද්ධි අංශ උත්සාහ දැරුව ද ඒවායෙන් සුපුරුදු පරිදි ගැලවී පලා යාමට ඔහු සමත් විය.

1992 වසරේ බුවනොර්ස් අයර්ස්හි ඊශ්‍රායල තානාපති කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු/Israel Foreign Ministry

තමන් කුමන මොහොතක දී හෝ විදෙස් බුද්ධි අංශයක අත්අඩංගුවට පත්වීමේ අවදානම පිළිබඳ හොඳින් දැනසිටි මග්නියා ඒ කිසිවක් නිසා හෝ හිස්බුල්ලා සංවිධානය තම පරම සතුරන් සේ සැලකූ රටවලට, විශේෂයෙන්ම ඊශ්‍රායලයට සහ ඇමරිකාවට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරීම නැවැත්වූවේ නැත. 1992 වසරේ ආර්ජන්ටිනාවේ බුවනොර්ස් අයර්ස් නුවර පිහිටා තිබූ ඊශ්‍රායල තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයට මහත් සේ සමානකම් දැක්වූ තවත් බෝම්බ ප්‍රහාරයක් 1994 වසරේ නැවතත් බුවනොර්ස් අයර්ස් හි තිබූ යුදෙව් සමාජ මධ්‍යස්තානයකට එල්ලවුණි.

මේ ප්‍රහාර දෙක අතර වූ සමානකම් මැනවින් හඳුනාගත් ඇමරිකානු සහ ඊශ්‍රායල බුද්ධි අංශ සිය නිලධාරින් වැඩිදුර පරීක්ෂණ සඳහා බුවනොර්ස් අයර්ස් වෙත යවනු ලැබීය. බෝම්බ ප්‍රහාර දෙක එකිනෙකට සම්බන්ධ බව එම නිලධාරිහු වැඩි දුර කරනු ලැබූ පරීක්ෂණවලින් පසුව සිය ඉහළ බලධාරින්ට දැනුම් දුන්නෝ ය.

එමෙන්ම මග්නියා විසින් සැලසුම් කරනු ලැබූ මෙම ප්‍රහාරයන් පසුපස ඉරාන බුද්ධි අංශ සහ ආර්ජන්ටිනාවෙහි විසූ හිස්බුල්ලා සංවිධානයේ ආධාරකරුන්ගේ දායකත්වයත් ඇති බව බුද්ධි නිලධාරින් අනාවරණය කරගත්තෝය.  ඊශ්‍රායල තානාපති කාර්යාලය වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයට යොදාගත් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථය හිස්බුල්ලා සංවිධානයට විකුණනු ලැබුවේ බුවනොර්ස් අයර්ස් හි සිටි මෝටර් රථ බෙදාහරින්නෙකුගෙන් බව සොයා ගැනීමට සමත්වූ බුද්ධි නිලධාරීන් මග්නියා ලුහුබැඳ යාමේ මෙහෙයුමට නව මාවතක් හඳුන්වා දුන්නේ ය.

1994 දෙසැම්බර් මස ලෙබනනයේ බිරූට් නුවරදී තමන් ඉලක්ක කරගෙන එල්ල වූ ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගැනීමට මග්නියා සමත් විය. මොසාඩ් සංවිධානය විසින් සැලසුම් කළ මෙම ප්‍රහාරයට උපකාර කළ මොසාඩ් ආධාරකරුවන් කිහිප දෙනෙකුම ලෙබනන අත්අඩංගුවට පත්වූවත් මොසාඩ් සංවිධානය මග්නියා ඝාතනය කිරීමේ අධිෂ්ටානය අතහැරීමට සූදානම් වූවේ නැත.

තමන් වෙත ලැබුණ ඉතාම කුඩා, නොවැදගත් යැයි සැලකිය හැකි මට්ටමේ තොරතුරු පවා එක්රැස් කරගත් මොසාඩ් සංවිධානය සෑම විටම විදේශ බුද්ධි අංශ සමඟ ද සහයෝගයෙන් කටයුතු කළේ ය. මග්නියා විසින් සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර ඉතා හොඳින් අධ්‍යයනය කර ඒවා විශ්ලේෂණය කළ සංවිධානය සෑම විටම ඒ පිළිබඳ වාර්තා තබාගත්තේ ය.

ඒ සියළුම වාර්තාවලින් ඔවුන්ට වැටහී ගිය කාරණය වූවේ මග්නියා ප්ලාස්ටික් සැත්කම් සිදු කරගන්නා ස්ථානයන් මොනවාද යන්න ගැන වහාම සොයා බැලිය යුතු බවය.

අනපේක්ෂිත මොහොතක ලද හෝඩුවාව.

ඉමාද් මග්නියාගේ ඡායාරූපයක්/Haarets.com

ජර්මනියේ බර්ලින්හි විසූ මොසාඩ් ප්‍රාදේශීය ඒජන්තවරයෙකු වූ රූවෙන් හට ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස බෙදී තිබූ සමයේ දී නැගෙනහිර බර්ලින් පාර්ශවය සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගිය ජර්මානු ඔත්තුකරුවෙකු මුණ ගැසුණි. එම ඔත්තුකරුවා රූවෙන් හා පවසා සිටියේ ඉමාද් මග්නියා සුළු කාලයක් තුලදී ප්ලාස්ටික් සැත්කම් රැසක් මගින් ඔහුගේ මුහුණේ අංගෝපාංග සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ඇති බවය. එම සැත්කම් සිදු කෙරුන සායනය ‘ස්ටාසි’ (stasi), එනම් එවකට නැගෙනහිර ජර්මනියේ රහස් ඔත්තු සේවය සතුව තිබූ ස්ථානයක් බවත් ඔත්තුකරුවා පැවසුවේ ය. ස්ටාසි ආයතනය එවකට මෙම සායනය මගින් තම ඒජන්තවරුන් සහ ත්‍රස්තවාදීන්ගේ මුහුණු වෙනස් කර බටහිර ජර්මනිය තුල කෙරුණ අබිරහස් මෙහෙයුම් සඳහා ඔවුන් යොදවා තිබුණි.

දුෂ්කර ප්‍රයත්නයකින් පසු රූවෙන් ජර්මානු ඔත්තුකරුවා හා ගිවිසුමකට එළඹීමට සමත් විය. ඒ, ඉතා විශාල මුදලක් ගෙවීම මගින් ප්ලාස්ටික් සැත්කම්වලින් පසුව මග්නියාගේ රුව ඇතුලත්ව තිබූ ඡායාරූප 34 ක් අඩංගු ඇල්බමයක් ලබාගැනීමයි.

අවසන් සැලසුම

මොසාඩ් ප්‍රධානී මියර් ඩගාන් අනතුවරුව තමන්ට සිටි හොඳම ඒජන්තවරුන් කැඳවා මග්නියා ඝාතනය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා ඇරඹුවේ ය. මග්නියා මුස්ලිම් නොවන රටකදී ඝාතනය කිරීම අපහසු බවත්, ඝාතන සැලසුම් සාර්ථක වීමට නම් එය ඉරානය හෝ සිරියාව තුලදී පමණක් සිදුකළ යුතු බවත් ඔවුන්ට වැටහුණි.

සියලු සාකච්ඡාවලින් පසු අවසානයේ සකසන ලද ඝාතන සැලසුමට පදනම් වූවේ 2008 වසරේ පෙබරවාරි 12 දින ඉමාද් මග්නියා සිරියාවේ ඩමස්කස් නගරයට පැමිණීමේ සම්භාවිතාවය යි. එදින ඉරාන විප්ලවයේ සංවත්සර සැමරුම් සිරියාව තුල සිදු කෙරීමට නියමිතව තිබුණ අතර එයට පැමිණෙන ඉරාන සහ සිරියානු නියෝජිතයන් හමුවීමට මග්නියා ද පැමිණෙනු ඇතැයි මොසාඩ් සංවිධානය අනුමාන කළේ ය. ඔහු මරා දැමිය යුත්තේ මග්නියාගේ වාහනය අසල නවතන පුපුරණ ද්‍රව්‍ය පිරවූ වෙනත් වාහනයක් පුපුරවා හැරිම මගින් බවට තීරණය කෙරුණි.

සැලසුම තීරණය කළ නමුත් මොසාඩ් ප්‍රධානින් ඉදිරියේ තිබුනේ අවිනිශ්චිත බවින් පිරුණ ප්‍රශ්න ගණනාවකි. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා තමන් සතුව තිබූ සියළුම මූලාශ්‍රවලින්, විදේශ ඔත්තු සේවාවන් ද ඇතුළුව තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කෙරුණි. මග්නියා නිශ්චිත වශයෙන්ම ඩමස්කස් නගරයට පැමිණේවි ද? පැමිණියහොත් ඔහුගේ ස්වරූපය කුමනාකාරයේ එකක් වේවිද? ඔහු නවතිනු ඇත්තේ කොහිද? ඔහු සමඟ කවුරුන් සිටි ද? සිරියානු සහ ඉරාන නියෝජිතයන් හමුවීමට ඔහු පැමිණෙනු ඇත්තේ කුමන වෙලාවට ද? සිරියානු බලධාරීන් සහ හිස්බුල්ලා නායකයන් ඔහුගේ මෙම සංචාරය පිළිබඳ දැන සිටී ද? ආදී වශයෙන් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා ගැනීම කළ යුතුම විය.

මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට සමත්වූ වාර්තාව මොසාඩ් සංවිධානයට ලැබුණේ ඉතාම විශ්වාසදායි මගකිනි. එය පිළියෙළ කිරීමට හිස්බුල්ලා සංවිධානයේ නායකයන් සහ මග්නියා විසින් භාවිත කළ වාහනවල සවි කරන ලද අති සූක්ෂම තාක්ෂණික උපකරණවලින් ලත් තොරතුරු යොදාගත් බව පැවසේ.

ඒ අනුව Kidon (මොසාඩ් සංවිධානය තුල ඇති ඝාතනයන් ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තුව) කණ්ඩායම් කිහිපයක් ලැබිරිතීන් මාර්ග ඔස්සේ සිරියාවට ඇතුළු විය. බෝම්බය සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය නගරය තුලට රැගෙන ආවේ වෙනම විශේෂ කණ්ඩායමක් මගිනි.

මෙම බෝම්බය සැකසීමට සහය ලබා දුන්නේ CIA සංවිධානය වන අතර ඔවුන් ඒ වෙනුවෙන් අවස්ථා 25කට අධික අත්හදාබැලීම් සංඛ්‍යාවක් කරන ලදී. එයට එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් විශේෂ අවසරයක් ලබා දුන් බව වාර්තා වේ.

මග්නියා පිළිබඳ එතෙක් නොලැබුන තොරතුරක් මොසාඩ් සංවිධානයට ලැබුණේ මේ අතර ය. ඒ ඔහුට අනියම් පෙම්වතියක් සිටින බවයි. එම කාන්තාව නැවතී සිටින මහල් නිවාසයේ මග්නියා ද ඇතැම් විට දින ගෙවන බවත්, මග්නියා සිරියාවට යන එන දිනයන් පිළිබඳ කාන්තාව කලින් දැනුවත් කර තබන බවත්, සිරියාවට එන මග්නියා අනිවාර්යයෙන්ම කාන්තාව හමුවීමට යන බවත් එම තොරතුරෙන් හෙළිවිය. මග්නියා මෙම කාන්තාව හමුවීමට යන්නේ ඔහුගේ අංගාරක්ෂකයන් කිසිවෙකුත් නොමැතිව බවත් එමගින් කියැවුණි. මෙම තොරතුර නගරයේ සිටි මොසාඩ් විශේෂ කණ්ඩායම්වලට දැනුම් දුන් අතර ඔවුහු ඒ වහාම නිවාසය අවට සෝදිසියෙන් සිටීම ඇරඹුවෝ ය.

ඉරණම්කාරී දිනය

මග්නියාගේ රථය පිපුරුමෙන් පසු/ VoslzNeias

2008 පෙබරවාරි 12 දිනය ආරම්භයේදීම බෝම්බය එකලස් කිරීම පැවරී තිබුණ මොසාඩ් කණ්ඩායමේ තිදෙනා යුරෝපයේ නගරයන් තුනකින් පැමිණ සිරියාවට ඇතුළු විය. ගරාජයකට ගිය ඔවුහු කුලියට ගත් වාහනය CIA සංවිධානය විසින් සැපයූ පුපුරණ ද්‍රව්‍යවලින් පිරවීම ආරම්භ කළෝ ය.

තවත් එක් කණ්ඩායමක් මග්නියා බීරුට් නුවරට පැමිණෙන තෙක් ඇස ගසා සිටියේ ය. මග්නියා ගුවන්තොටුපොලින් පැමිණ යන එන තැන් සියල්ලක්ම ලුහුබඳිමින් අනෙකුත් කණ්ඩායම්වලට තොරතුරු සැපයීම ඔවුන්ට පැවරී තිබුණි.

අනියම් පෙම්වතියගේ මහල් නිවාසය අසල රැකවල්ලා ගෙන සිටියේ තවත් මොසාඩ් කණ්ඩායමකි. එදින සවස මග්නියා මහල් නිවාසයෙන් පැමිණි බව හා පිටවූ බව එම කණ්ඩායම විසින් අනෙකුත් කණ්ඩායම්වලට දැනුම් දෙන ලදී.

මග්නියා විසින් පැදවූ පැජරෝ රථය කෆාර් සූසා කරා පැමිණුනි. ලුහුබඳින්නෝ ඔහුගේ සෑම පියවරක් පිළිබඳවම අනෙකුන් දැනුවත් කළ අතර පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථය ද ප්‍රදේශය ආසන්නයට පදවාගෙන එන ලදී. එය මග්නියා විසින් සිය පැජරෝව නවත්වනු ඇතැයි විශ්වාස කළ ස්ථානයට සමීප තැනක ගාල් කෙරිණි. දුරස්ථ සන්නිවේදක පාලකයක් මගින් දෙන සංඥා මගින් බෝම්බය පුපුරවා හැරීමට කටයුතු සූදානම් කර තිබුණි. එම රථය අදාළ ස්ථානයේ ගාල් කිරීමෙන් අනතුරුව ඒ සඳහා සම්මාදම් වූ ඒජන්තවරුන් තිදෙනා රටින් පිටවීම ආරම්භ කර තිබුණි.

පස්වරු 10 එළඹීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී කාර් බෝම්බය සුවිසල් හඬක් නගමින් පුපුරා ගිය අතර මග්නියා එතැනදීම ජිවිතක්ෂයට පත් විය.

ඔහුගේ හදිසි මරණය හිස්බුල්ලා සංවිධානයේ මුදුන් මුල සෙලවීමට සමත් විය. ඔවුන් මෙම ඝාතනය පිළිබඳ සෘජුව ඇඟිල්ල දිගු කළේ මොසාඩ් සංවිධානයට වුව ද ඊශ්‍රායලය ඒ චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

මග්නියාගේ දේහය/AP

හිස්බුල්ලා සංවිධානයට පක්ෂපාති ජනතාවට මග්නියාගේ මරණය දැඩි ශෝකයක් ගෙන ආ අතර ඔහු වෙනුවෙන් කළ සැමරුම් උත්සව දින ගණනාවක් ලෙබනනයේ දක්නට ලැබුණි. අදටත් ඒ පිරිස මග්නියා හඳුන්වන්නේ ජිහාඩය වෙනුවෙන් සටන් වැදි වීර පුරුෂයෙකු ලෙසිනි.

ඉමාද් මග්නියාගේ මරණය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ෂෝන් මැකොමැක් මෙසේ පවසා සිටියේ ය.

“මේ මිනීමරු ලේ පිපාසිත ත්‍රස්තවාදියා විශාල ජිවිත සංඛ්‍යාවක් නැතිකිරීමට දායක වූ අයෙක්. ඔහු නැති ලෝකය වඩා යහපත් වූ එකක්!”

(Michael Bar-Zohar සහ Nissim Mishal විසින් රචිත Mossad – The Great Operations of Israel’s Secret Service කෘතිය ඇසුරෙන් මේ සටහන සකස් කරන ලදී)

Cover Photo – Politico

Related Articles