කොරෝනාවෛරසය වැළඳී ඇති රෝගියෙකු සමග කටයුතු කරන ඕනෑම සෞඛ්‍ය වෘත්තිකයෙකුට ඒ සඳහා නිර්දේශිත ආරක්ෂිත ඇඳුම ඇඳීමට දළ වශයෙන් මිනිත්තු 10ක් වත් ගතවෙනවා. එය පීඩාකාරී අත්දැකීමක් වුණත් මෙම වසංගතයෙන් ආසාදනය වීමේ අවදානමට ලක්ව සිටින සෞඛ්‍ය සේවකයින්ගේ මූලික ආරක්ෂාව වන්නේ මෙම ඇඳුම යි. කොරෝනාවට ගොදුරු වුණු සෞඛ්‍යය සේවකයන් ද මේ වන විට ලංකාවෙන් හමු වී තිබෙනවා. කොරෝනා රෝගීන් සමග කටයුතු කිරීම නිසා මාර්තු 20 වැනි දින COVID-19 ආසාදිතයෙකු බවට පත් වුණු විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන එයට හොඳම උදාහරණයක්. එලෙස වෛරසය ආසාදනය වීමෙන් පසුව IDH රෝහලේ දින 11ක් ප්‍රතිකාර ලබා සුවවීමෙන් පසුව ඔහු සමාජ මාධ්‍යයන්වලට සටහනක් එක් කර තිබුණා. එහි දී ඔහු සටහන් කර තිබුණේ සුව වීමෙන් අනතුරුව සිරුරේ වෛරසය ඇත්දැ යි පරීක්ෂා කිරීම සඳහා පිට පිටම සිදු කළ COVID-19 පරීක්ෂණ දෙකක් සෘණ ප්‍රතිඵල දැක්වීමෙන් පසු ඔහු නිවසට පැමිණි බව යි.
අද වන විට සෞඛ්‍ය වෘත්තිකයින්ගේ එකම පූර්වාරක්ෂාව වන්නේ ආරක්ෂිත උපකරණවලින් සන්නද්ධ වීමයි. කෙසේ වෙතත්, පෙර නොවූ විරූ පරිදි රෝගයේ පැතිරීම වේගවත් වීම සමගින් ලෝකය ආරක්ෂිත උපකරණවල හිඟයකට මුහුණ දී සිටිනවා.
PPE යනු කුමක් ද?
වර්තමානය වන විට පුද්ගලික ආරක්ෂණ උපකරණ හෙවත් Personal Protective Equipment (PPE) අත්‍යවශ්‍ය වී තිබෙනවා. නමුත් වසංගත තත්ත්වය සමග සෞඛ්‍ය සේවකයින් සඳහා පුද්ගලික ආරක්ෂණ උපකරණවල හිඟයක් ලොව පුරා පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ, පුද්ගලික ආරක්ෂණ උපකරණ හිඟයට මුහුණදීමට වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට සිදුව තිබීම කණගාටුදායක සිදුවීමක් වනවා. එම හිඟය නිසා මුහුණු ආවරණ ලෙස රෙදි කඩක් පැළඳීමටත්, ශරීර ආවරණ ලෙස අපද්‍රව්‍ය එකතු කිරීමට යොදා ගන්නා කවර භාවිතයට ගැනීමටත්, සිදුව තිබෙනවා. මෙය ආසාදිතයන් හා ආසාදිත මරණයන් ඉහළ යාමට ද හේතුවක් වුණා. මෙවැනි අර්බුදයක බරපතලකම ශ්‍රී ලංකාව තුළ ද මේ වන විටත් දැනෙමින් පවතිනවා.
වීඩියෝව : https://twitter.com/WHOSriLanka/status/1243929314015375360?s=20
සෞඛ්‍ය සේවකයෙකු PPE ඇඳුමින් සැරසීම.
වීඩියෝව: WHO ශ්‍රී ලංකාව.
පසුගිය දිනෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මේ පිළිබඳව Roar මාධ්‍යය ආයතනය වෙත අදහස් දැක්වීමක් කළා. එහි දී ඔහු පවසා සිටියේ වර්තමානය වන විට අප රට තුළ COVID-19 සඳහා ප්‍රතිකාර කිරීම් හා පරීක්ෂා කිරීම් සිදු කරන සියළුම රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල පරිභෝජනය සඳහා PPE කට්ටල 2,000 සිට 2500 දක්වා පරාසයක පවතින බව යි. එසේම වසංගතය ආරම්භයේ සිට මේ දක්වා රෝහල් 30ක් COVID -19 සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම හෝ හඳුනාගත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර තිබෙන බව අප සමග පවසා සිටියා. ඊට අමතරව මුල්ලේරියාවේ පිහිටා ඇති IDH රෝහලේ එක් සෞඛ්‍ය සේවකයෙකු දිනකට PPE කට්ටල 10 සිට 15 දක්වා භාවිතා කරන බව වැඩි දුරටත් අදහස් දැක් වූ වෛද්‍ය කපිල වික්‍රමනායක ප්‍රකාශ කර සිටියා. එසේම ලෝකය තුළ වසංගතය අසාමාන්‍ය ලෙස පැතිරීමෙන් පසුව ආරක්ෂිත උපාංගවල ඉල්ලුමේ විශාල වැඩිවීමක් සිදුව තිබෙන නිසා එහි බලපෑම අපට නියත වශයෙන්ම දැනෙනු ඇතැ යි ඔහු පවසා සිටියා. කෙසේ වෙතත්, අප සතුව තිබෙන සම්පත් නිසි පරිදි කළමනාකරණය කර පවත්වාගනිමින් මෙම අර්බුදයට මුහුණදීමට හැකි බව ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කළා.
අතුරුදන් වුණු මුහුණු ආවරණ
ශ්‍රී ලංකාව තුළ වසංගතය පැතිරීම සිදු වුණු ආරම්භක අවධියේ සිටම වෙළඳපොලේ වෛද්‍ය මුහුණු ආවරණ හිඟයක් දක්නට ලැබුණා. එහි දී අප රට තුළ වෛද්‍ය සහ ශල්‍ය මුහුණු ආවරණ සඳහා ඇති ඉල්ලුම පෙර නොවූ විරූ ආකාරයට ඉහළ ගියේ ජනවාරි මාසයේ දී මෙරට ප්‍රථම COVID-19 රෝගියා සොයා ගැනීමත් සමග යි. එකල පැවති තත්ත්වය මත මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවුණත්, ඉදිරියේ දී ඇති විය හැකි අවදානම පිළිබඳ බියට පත්වුණු විශාල පිරිසක් මුහුණු ආවරණ මිල දී ගෙන ඒවා ගබඩා කරගන්නා ආකාරය දැකගත හැකි වුණා.
COVID-19 රෝග විනිශ්චය සඳහා ජෛව සාම්පල පරීක්‍ෂා කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය නීලිකා මලවිගේ සහ ඇයගේ වෛරස් විද්‍යාඥයන්ගේ කණ්ඩායම N95 ශල්‍ය මුහුණු ආවරණවල පවතින හිඟය පිළිබඳ මෙසේ වාර්තා කරනු ලැබුවා.
“අපි රෝගීන්ගෙන් ලබා ගන්නා ජෛව සාම්පල හසුරුවන බැවින් N95 මුහුණු ආවරණ අපට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. කෙසේ වෙතත්, මිනිසුන් මුහුණු ආවරණ සහ ශල්‍ය මුහුණු ආවරණ අනිසි ලෙස භාවිතා කරන නිසා වෙළඳපොලේ තුළ හිඟයක් පවතිනවා. සෞඛ්‍ය අංශය වැනි අත්‍යවශ්‍ය සේවාවන්වලට ඒවා භාවිතා කළ හැකි වන පරිදි ඉඩ තබමින් විකල්ප භාවිතා කරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ”
කාලයත් සමග වාර්තා වන රෝගීන් අනුව පහත ප්‍රස්තාරයේ දැක්වෙන වක්‍රය පැතලි කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. සමාජ දුරස්ථභාවය පුරුදු කිරීම ඉන් එක ක්‍රමයක්. මෙය ආසාදිතයින්ගේ සංඛ්‍යාව සහ රෝගය පැතිරීම අඩු කරන අතර සෞඛ්‍ය සේවකයින්ට අධික පීඩනයක් එල්ල කිරීම ද නවත්වනවා. දෙවන ක්‍රමය වන්නේ, රෝග පාලනයට මුල් වී කටයුතු කරන්නන්ට එකවර වැඩි රෝගීන් ප්‍රමාණයක් හැසිරවිය හැකි වන පරිදි ධාරිතාවය වර්ධනය කිරීමයි. ආරක්ෂිත උපකරණ නොමැතිකම නිසා වෛද්‍යවරුන් සහ හෙදියන් අසනීප වුණොත් හෝ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි කොන්දේසි නොමැතිව වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම මඟින් හෝ මෙම ධාරිතාව පහත වැටේ නම් පැතලි වක්‍රයක් පවතින පද්ධතියක් පවා හැසිරවීම අපහසු වනු ඇති.
දේශීයව කළ නිෂ්පාදනයන්
වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ගත් කල, ආනයනයට පැනවී ඇති විවිධ ගෝලීය සීමාවන් අතරේ ද PPE සහ වෙනත් වෛද්‍ය උපකරණ මිල දී ගැනීම තවමත් සිදු වෙමින් පවතින බව වෛද්‍ය කපිල වික්‍රමනායක පවසා සිටිනවා. “ප්‍රාදේශීය ආයතන සහ දේශීය නිෂ්පාදකයින් විශාල උපකාර ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඔවුන් බොහෝ පරිත්‍යාගයන් කරලා තියෙනවා. මහා පරිමාණ කර්මාන්තකරුවන් පවා මෙහි කොටස්කරුවන් බවට පත්වෙලා තියෙනවා”, ඔහු තවදුරටත් අප සමගින් එසේ පවසා සිටියා.
PPE හි දේශීය නිෂ්පාදනය ආරම්භ වුණේ අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය උදය ද සිල්වා සහ ඔහුගේ කණ්ඩායම විසින් අපද්‍රව්‍ය එකතු කරන කසළ මලු, පොලිතින් සීලර්, ඇලුමිනියම් තීරු සහ පෑස්සුම් යකඩ සහිත ටෙෆ්ලෝන් තහඩුවල භාවිතයෙන් PPE කට්ටලයක් නිර්මාණය කිරීමත් සමග යි.
මෙම සැලසුම ඉදිරිපත් කිරීමෙන් පසුව විශාල වශයෙන් PPE කට්ටල නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරමින් පවතිනවා. එසේම, මෙම සැලසුම් පුද්ගලික අංශයේ සමාගම් වන බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනී, මාස් හෝල්ඩින්ග්ස් සහ ඇඟලුම් අංශයේ වෙනත් අය සමග බෙදාගෙන ඇති අතර එම ආයතන ද PPE කට්ටල නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරන දිරිගැන්වීම් යටතේ නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන බොහෝ ප්‍රමුඛ සමාගම් වත්මන් ආර්ථිකය තුළ අපනයන අරමුණු සඳහා PPE සහ මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ මාවතට ද යොමු වී තිබෙන බව දක්නට ලැබෙනවා.
අපි සූදානම් වුණා ද?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ අංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන පරිදි 2018 වසරේ දී ශ්‍රී ලංකාව වසංගත හා අනපේක්ෂිත හදිසි අවස්ථා සඳහා සූදානම් වීම ආරම්භ කළා.
“2018 දී ඉබෝලා වෛරසය පැතිරී යාම වැනි තර්ජන වැඩිවීමත් සමග අපගේ පළමු හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙයින් පසු තවත් වැඩසටහන් කිහිපයක් ක්‍රමවත්ව පවත්වාගෙන ගියා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූයේ 2019 අප්‍රේල් මාසයේ දී යි. එයට පසුව, වඩා හොඳ ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහනක අවශ්‍යතාවය පැහැදිලි වුණා”, ලෙස ඔහු අදහස් ප්‍රකාශ කළා.
“සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 පැතිරීම් සාර්ථකව පාලනය කිරීමට, ජාතික ඉන්ෆ්ලුවෙන්සා සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම භාවිතා කළා. අප සතුව තිබුණේ සූදානම් වීමේ සැලැස්මක් සහ සාමාන්‍ය ක්‍රියාකාරී සැලැස්මක්. COVID-19 කියන්නෙ සාර්ස්, ම’ර්ස්, කුරුළු උණ, සහ H1N1 වැනි ශ්වසන රෝගයක් නිසා අපි ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිචාර සැලැස්ම මේ සඳහාත් භාවිතා කළා. COVID-19 රෝගයේ විෂේශතාවයන්ට ගැළපෙන පරිදි පසුව එය වෙනස් කිරීමටත් අපට සිදු වුණා” යි ඔහු තවදුරටත් පවසා සිටියා.
එසේම වෛද්‍ය හේරත් පවසන පරිදි මෙම සැලසුම් සහ උපාය මාර්ග රටේ සෞඛ්‍ය අංශය යම් තාක් දුරට මෙම අලුත් අවදානම සඳහා සූදානම් කිරීමට ඉවහල් වුණු බව යි. එය ඔහුගේ වචනවලින්ම පවසා සිටියේ පහත ආකාරයට යි.
“මුල දී අපට අර්බුදයක් තිබුණේ නැහැ. මෙම කොට්ඨාශයේ වැඩ සැලැස්මේ කොටසක් විදියට කලින් සූදානම් කළ PPE සහ වෙනත් උපකරණ අප සතුව තිබුණා. IDH, ත්‍රිවිධ හමුදාව සහ හදිසි අවස්ථාවකට පළමු ප්‍රතිචාර දැක්විය හැකි වෙනත් ආයතන සඳහා පසුගිය වසරේ PPE කට්ටල 2,000කට අධික ප්‍රමාණයක් බෙදා දී තිබුණා. එම හේතුව නිසා, COVID-19 අර්බුදය පළමු වරට ඇති වූ වෙලාවෙදී, ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් අපට කිසිදු ආකාරයක විශාල හිඟයකට මුහුණ දීමට සිදු වුණේ නැහැ.”
ත්‍රිවිධ හමුදාව දිනකට PPE කට්ටල 1000ක් පමණ නිපදවීමට සූදානම් වීමත් සමගම ඇතිවන හිඟයකට සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇතැ යි ආචාර්ය හේරත් විශ්වාස කරනවා. එම නිසාම අනාගතයේ දී PPE කට්ටල හිඟයක් ඇතිවුණොත් අපට එහි බලපෑම තදින්ම නොදැනෙනු ඇති.