Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෙම්වතුනි, පෙම්වතියනි, මේ ඔබේ අවධානය පිණිසයි

“…කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා.. පායනා තරුවේ…”

මේ අන් කිසිවක්වත් නොව, සියලු පෙම්වතියන්ගේ එකම පැතුම සේම සියලු පෙම්වතුන් විසින් තම අනාගත සහකාරියට ආදරයේ නාමයෙන් ලබා දෙන විශාලතම පොරොන්දුවයි. එනම් පෙම්වතියව විවාහ කරගන්නා බවට ලබා දෙන පොරොන්දුවයි. ඔබ මෙතෙක් කල් ලියු පෙම් හසුන් තුළ හෝ ඔබ යැවූ sms පණිවුඩ තුළ මෙවැන්නක් ඇතුළත් කළ වාර ප්‍රමාණය කොපමණක් වූවත් ඒ පිළිබදව වන නීති තත්වය ඔබ දැන සිටියාද? යම් හෙයකින් ඔබ විසින් පොරොන්දු වූ පරිදි විවාහ නොවුවහොත් හෝ පොරොන්දුව කඩ කළහොත් ඉන් ඇති විය හැකි නෛතික ප්‍රතිඵල පිළිබදව ඔබ දැන සිටියාද?

මේ පිළිබදව නෛතික පසුබිම ඇතුළත් වන ප්‍රධාන නීතිය වනුයේ 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ආඥා පණත යි. එහි 20 වන වගන්තිය දක්වන පරිදි කිසිම අවස්ථාවකදී ලබා දී ඇති විවාහ පොරොන්දුවක් නිසා හෝ කන්‍යා දූෂණයක් සිදු වීම නිසා හෝ වෙනයම් හේතුවක් මත යම් පුද්ගලයෙකුට විවාහය සදහා බල කළ නොහැකිය. එසේම එම පොරොන්දුව එලෙසම ඉටු කරවා ගැනීම සදහා නඩු පැවරිය නොහැකිය.

(www.lifehack.org)

(www.lifehack.org)

සාමාන්‍ය ගිවිසුම් නීතිය යටතේ පවත්නා එක් ප්‍රතිකර්මයක් නම් මෙසේ දෙපාර්ශවයක් විසින් එළඹි ගිවිසුමක් එක් පාර්ශවයක් විසින් උල්ලංඝණය කරන විටදී ගිවිසුම එළඹි ආකාරයෙන් ඉටු කිරීමට අධිකරණය විසින් නියෝග කිරීමයි. නමුත් විවාහ පොරොන්දුවක් හරහා දෙපාර්ශවය අතර ගිවිසුම් සබදතාවයක් නිර්මාණය කළද සාමාන්‍ය විවාහ පනත යටතේ විවාහ ගිවිසුම් ඒ ආකාරයෙන් ඉටු කිරීමට නියෝග නොකිරීම තුළ එය සමාන්‍ය ගිවිසුම් සබදතාවන්ගෙන් වෙනස් වන බව පෙනී යයි. එක් අතකින් මානුෂීය සබදතාවයක් වශයෙන් සැලකීම නිසා විවාහයක් සදහා නීතිය මගින් බල කිරීම ප්‍රතික්ෂේප කර ඇත. (මෙය Breach of promise of marriage නමින් හැදින්වේ)

කෙසේ නමුත් අදාල පනතේ 20වන වගන්තිය දක්වන පරිදි විවාහ පොරොන්දු කඩ කිරීමකදී අදාළ පාර්ශවයට සිදු වූ කායික, මානසික හෝ මූල්‍යමය හානි සදහා වන්දි ලබා ගැනීමේ හැකියාව අදාළ පැමිණිලිකාර පාර්ශවයන්ට ලබා දී ඇත.

එමෙන්ම දැනටමත් විවාහ වී සිටින අයෙකු විසින් නැවත වෙනත් පාර්ශවයකට ලබා දෙන විවාහ පොරොන්දුවක්ද බලාත්මක නොවන අතර කිසිවිටකත් එවැන්නක් එකී විවාහක පාර්ශවයේ විවාහය අවසන් කිරීම කෙරේ බලපවත්වන්නේ නැත. මෙසේ විවාහ පොරොන්දු කඩ කිරීමක් මත පිහිටා වන්දි ලබා ගැනීමට නම් පෙන්වා දිය යුතු අවශ්‍යතා කිහිපයකි.

එනම්; විවාහ පොරොන්දුවක් දී තිබීම, එය ලිඛිතව ලබා දී තිබීම හා ලබා දුන් පොරොන්දුව කඩ කර ඇති බව අධිකරණය හමුවේ පෙන්වා දීමට හැකි වීමයි. එනම් වලංගු විවාහ පොරොන්දුවක් දී තිබේද යන්න අධිකරණය විසින් සළකා බලයි. ලිඛිතව පොරොන්දුවක් ලබා දී තිබුණත් එය වයස අවු: 18 ඉක්මවා නැති අයෙකු විසින් හෝ නීතිය විසින් පිළිනොගන්නා තහනම් ඥාති සබදතාවයක් ඇති පිරිස් අතර හෝ උන්මන්තක හෝ සිහිමද පුද්ගලයන් විසින් ලබා දුන් පොරොන්දුවක් නම් එය වලංගු විවාහ පොරොන්දුවක් ලෙස නොසලකයි.

උක්තව සදහන් කළ පරිදි ලබා දී ඇති පොරොන්දුව “විවාහ පොරොන්දුවක්“ වීම හා එහි ‘ලිඛිත ස්වභාවය‘ යන්න අධිකරණය විසින් නඩු තීරණ හරහා වඩාත් පැහැදිලි කර ඇත.

විවාහ පොරොන්දුවක් ලෙස හදුනාගැනීමේදී, අදාළ පොරොන්දුව තුළ පැහැදිලිව හා නිශ්චිතව අදාළ පාර්ශවය විවාහ කර ගන්නා බව දක්වා තිබිය යුතුය. එනම් පාර්ශවයන් තුළ වන ‘චේතනාව‘ මනාව පිළිඹිබු කළ යුතුය.

වාචිකව ලබා දී ඇති පොරොන්දු සැලකීමේදී පෙරදී පිළිගත් අධිකරණ වාචිතය අනූව මුලින් කටවචනයෙන් ලබා දී ඇති පොරොන්දුවක් පසුව ලිඛිතව පිළි ගැනීම, විවාහ පොරොන්දුවක් ලෙස පිළි ගැනීමට තරම් ප්‍රමාණවක් බව අප අධිකරණය විසින් මුල් කාලීනව පිළිගන්නා ලදි.

නමුත් අධිකරණය විසින් මෙම මතය පසුව වෙනස් කරමින් දැක්වුයේ; පෙරදී ලබා දුන් වාචික පොරොන්දුවක් පසුව යවන ලිපියකින් පිළිගෙන තවදුරටත් ඉන් බැදී සිටීමට සතුටු බව අදාළ පාර්ශවය විසින් පිළිගෙන ඇත්නම් පමණක් ‘වලංගු ලිඛිත පොරොන්දුවක්‘ ලෙස සැලකිය හැකි බවයි. අධිකරණය  විසින් ‘නැකැත් පත්‍රය‘ පවා වලංගු විවාහ පොරොන්දුවක් ලෙස පිළිගෙන වන්දි පිරිනමන ලද අවස්ථාද තිබේ.

මීළඟට අවධානය යොමු විය යුතු කරැණක් නම් යම් තැනැත්තෙක් වෙනුවෙන් ඔහුගේ/ ඇයගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් (එනම්, තුන්වන පාර්ශවයක්) විසින් වෙනත් අයෙකුට ලබා දෙන විවාහ පොරොන්දු බලාත්මක කල හැකිද යන්නයි. නමුත් එවැන්නක් වලංගු විවාහ පොරොන්දුවක් නොවන බව අධිකරණයේ මතයයි. මුල්කාලීනව දෙන ලද ඇතැම් නඩු තීන්දු වලදී බාල වයස්කරුවන් වෙනුවෙන් දෙමාපියන් ලබා දෙන විවාහ පොරොන්දු වලංගු ලෙසට පිළිගනු ලැබූවත් අද වන විට විශේෂයෙන්ම ළමා අයිතීන් හමුවේ බාල වයස්කාර විවාහ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

විවාහ පොරොන්දුවක් කඩකිරීම නිසා පැමිණිලිකාර පාර්ශවයට ලබා ගත හැකි වන්දි පිළිබදව සැලකීමේදී ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ වන්දි ලබා ගත හැකිය. එහිදී ගිවිසුම් කඩ කිරීම යටතේ දැනටමත් සිදුවූ හානියට හා පොරොන්දු කඩ කිරීමෙන් අනාගතයේ විය හැකි හානිවලට වන්දි යාචනය කළ හැකිය.

(rascoecam.wordpress.com)

(rascoecam.wordpress.com)

අදාල තරුණිය රක්ෂාවක නිරතව සිටි තරැණියක් නම්, තරැණයාගේ ඉල්ලීමක් මත ඇය තම රක්ෂාවෙන් ඉවත් වුවහොත්, රක්ෂාවෙන් ඉවත් වීම නිසා ඇයට සිදුවන මුල්‍ය පාඩුව හා අදාළ රැකියාවේ නිරත වීම නිසා අනාගතයේදී ඇයට ඉපයීමට තීබු මුල්‍යමය වාසි අහිමි වීම යනාදිය මෙසේ වන්දි ලෙස අයැද සිටිය හැකිය.එමෙන්ම අදාළ පැමිණිලිකාර පාර්ශවයට සිදුවූ මානසික හානි සදහා වන්දි අයැද සිටිය හැකිය. එනම් ප්‍රේමය කඩ වීම නිසා වන අපේක්ෂා භංගත්වය, කාන්තාවක් නම් මෙවැන්නකට මුහුණ පෑම නිසා සමාජයෙන් විදීමට වන අපවාද, නැවත විවාහයක් කර ගැනීමට මින් ඇතිවන බලපෑම යනාදියට මේ යටතේ සිටිමින් වන්දි අයැදිය හැකිය.

අද වන විට එංගලන්තය, හොංකොං, කැනඩාව වැනි රටවල විවාහ පොරොන්දුවක් නෛතික අයිතීන් මතු කරන ගිවිසුමක් ලෙසට පිළි නොගනී. කෙසේ නමුත් ලාංකේය සිවිල් නීති පද්ධතිය තුළ තවදුරටත් මෙම නඩුකරය පැවතීම නිසාත් එදිනෙදා ජීවිතයේදී වඩාත් සමීප කරැණක් වන නිසාත් මේ පිළිබදව දැන සිටීම තරුණ තරුණියන් සියළු දෙනාටම පාහේ  ප්‍රයෝජනවත් ඇතැයි අපි සිතමු.

කවරයේ රූපය – phillymag.com

Related Articles