Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආර්ක්ටික් සාගරයට ගලා බසින විශාලතම ගඟ වන යෙනිසි

රුසියාවේ පිහිටි, භූ ගෝලීය වැදගත්කම්වලින් යුත් ගංගාවක් ලෙස යෙනිසි ගඟ හැඳින්විය හැකියි. ලොව 5 වන දිගම ගංගාව වන මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ වනවා.

ගංගාවේ ආරම්භය හා සුවිශේෂී භූ ලක්ෂණ

pinterest.com

යෙනිසි යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම රුසියාවේ පිහිටා තිබෙන ගංගාවකි. “Ene-Sai”  යනුවෙන් නම් කෙරෙන මෙහි අර්ථය වන්නේ ‘ ගංගා මාතාව’ යන්නයි. ආසියාවේ පිහිටි දිගම ගංගාවක් වන මෙය, මුදා හැරෙන ජල ප්‍රමාණය අනුව​ ලෝකයේ 6 වන විශාලම ගංගාවද වනවා. මෙම ගංගාව මධ්‍යම සයිබීරියාවේ දකුණේ සිට උතුර දක්වා දිව යනවා. ගංගාව ආරම්භ වන්නේ මොන්ගෝලියාවේදී යි.

ගංගාවේ ප්‍රධාන ප්‍රවාහයන් වන මහා යෙනිසි නැතිනම් By-Khem ආරම්භ වන්නේ නැගෙනහිර දිසාවට වන්නට පිහිටා තිබෙන සයාන් නමැති කඳු මුදුනෙනි. අනෙක් ප්‍රධාන ප්‍රවාහය වන කුඩා යෙනිසි නැතිනම් Ka-Khem ආරම්භ වන්නේ මොන්ගෝලියාවේ Darhadïn Bowl වලිනි. මේ ආකාරයට ආරම්භ වන ගංගාව සැතපුම් 2167 පමණ ගලා යනවා. කෙසේ නමුත් මහා යෙනිසි මුලාශ්‍රයක් ලෙස සලකනු ලබන්නේ නම් ගංගාව සැතපුම් 2540 පමණ දිගකින් යුක්ත වනවා.

මෙම ගංගාවේ ගැඹුර අඩි 45ක් පමණ වන අතර ජලවහනය වන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,580,000 ක් පමණ වනවා. මේ ආකාරයට මොන්ගෝලියාවෙන් ආරම්භ වන යෙනිසි ගංගාව ආර්ක්ටික් සාගරයට ගලා බසින විශාලතම ගඟ වනවා. සයිබීරියාවේ විශාල ප්‍රදේශයකට ජල පෝෂකයක් ලෙස ක්‍රියාකරනු ලැබීමෙන් අනතුරුව යෙනිසි බොක්ක හරහා මෙසේ ආර්ක්ටික් මුහුදට ගලා බැසීම සිදු කරනවා. මේ ආකාරයට යෙනිසි ගංගාව සුවිශේෂී ලක්ෂණ වලින් යුක්ත ගංගාවක් වනවා.

ඉතිහාසය හා අතු ගංගා

wikimedia.org(අංගාරා ගංගාව)

අතීතයේ සංචාරක ගෝත්‍රිකයන් විශාල ප්‍රමාණයක් මෙම ගංගා ඉවුරු වල ජීවත් වී තිබෙනවා. මේ අතර Ket නමැති මිනිසුන් , Yugh නමැති මිනිසුන්, Kotts, Assans හා Arins ආදී මිනිසුන් වනවා. එනම් මොහුන් පදිංචි වී තිබෙන්නේ රුසියානුවන් මෙරටට පැමිණීමට පෙරයි. 11 වන සියවසයේ පමණ ඇතැම් වෙළෙඳ භාණ්ඩ ස්වදේශීය කොට්ඨාශ හා නොව්ගොරොඩ් වෙළෙන්දන් අතර  හුවමාරු කෙරුණා. පළමු නියෝ – සයිබිරියානුවන් වර්ෂ 1607 දී පමණ ටුරුකන් නමැති අතු ගංගාවේ පදිංචි වීම සිදු වුණා. පසුකාලීනව රුසියානුවන් විසින් ඉර්කුට්ස්ක් සහ ක්‍රස්නොයාර්ස් යන නගර පිහිටුවනු ලැබුණා.

අංගාරා, පහළ Tunguska, Tunguska ගංගා මෙහි අතු ගංගා ලෙස දැක්වෙනවා. එමෙන්ම යෙනිසි ගංගාව Krasnoyarsk නගරය හරහා ගලා යාම සිදු කරනවා.

වර්තමාන වැදගත්කම

myretailstrategy.com (ස්ථාපිත කරන ලද ජල විදුලි බලාගාරයක්)

විශාල රුසියානු ජනතාවකට මෙම ගංගාව ජීවත් වීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා දෙනවා. කෘෂිකර්මාන්තය, විශාල හරක් ගොවිපළවල් මෙන්ම ධීවර කර්මාන්තය ආදිය​ මූලික ජිවනෝපාය මාර්ග කරගත් ජනතාව ගංගා මාර්ගය ඔස්සේ පදිංචි වී සිටිනවා. එමෙන්ම තඹ, නිකල්, ගල් අඟුරු ආදී ඛනිජ සම්පත් ද නොරිල්ස්ක් (Norilsk) අවට ගංගා ද්‍රෝණියේ තැන්පත් වී තිබෙනවා.

මීට අමතරව දැව, ඛනිජ තෙල් නිෂ්පාදන, ගල් අඟුරු, ධාන්‍ය හා ඉදිකිරීම් ගොඩනැගිලි ආදිය ගංගා තොටුපළවල් අතර නැව් මාර්ගයෙන් ප්‍රවාහනය කෙරුණා. ඒ අනුව යෙනිසි ගංගාවෙන් ලැබෙන සුවිශේෂී ප්‍රයෝජනයක් වන්නේ ප්‍රවාහනය සඳහා දායක වීමේ හැකියාවයි.

ගංගාවේ විවිධ අංශයන්හි හා එහි අතු ගංගා වල ජල විදුලි බලාගාර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීම සිදු කර තිබෙනවා. ඒවායින් කිලෝ වොට් මිලියන 25 ක් පමණ ජනනය කිරීම සිදු වෙනවා. මේ අතරින් විශාල විදුලි බලාගාර වන්නේ Sayano හා Krasnoyarsk ය.

ශාක හා සත්ව විශේෂ

wild ducks(twitter.com)

යෙනිසි ගංගාව ස්වදේශීය මත්ස්‍ය විශේෂ 55 කට පමණ වාසස්ථාන සපයනවා. මේ අතර විශේෂ ස්වදේශීය මත්ස්‍ය විශේෂ කිහිපයක් වන්නේ, Siberian sturgeons, Arctic flounders, Common roaches, Northern pikes, Siberian gudgeons, tenches, හා Sterlet sturgeons ය. යෙනිසි ගංගාවේ ද්‍රෝණියේ විශාල ප්‍රමාණයක් ටයිගා වනාන්තර​වලින් ආවරණය වී තිබෙනවා. එමෙන්ම යෙනිසි ගංගාවේ ඉහළ ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශ පතන තෘණ භූමි වලින් යුක්ත වනවා.

සයිබිරියානු කස්තුරි මුවා, ගෝනා ආදී ක්ෂීරපායි සත්ව විශේෂ ටයිගා වනයේ ජීවත් වනු ලබනවා. එමෙන්ම සයිබීරියානු නිල් රොබින්, Pallas’s rose-finches, Black-billed caper-caillies ආදී කුරුළු විශේෂද මෙම වනයේ දී දැක ගත හැකි වනවා.

වර්තමානයේ ගංගාව මුහුණ දෙන තර්ජන

කර්මාන්තශාලා වල අපද්‍රව්‍ය, පොහොර ද්‍රව්‍ය, කෘමිනාශක ආදිය යෙනිසි ගංගා මාර්ගයට එක් වීම හේතුවෙන් එහි ජලය​ දූෂණයට ලක් වීම සිදු වනවා. එමෙන්ම ප්‍රදේශයේ ජනතාව මෙම ගංගාවේ මත්ස්‍ය හා පානීය ජලය ආදිය මත යැපෙන බැවින් පිළිකා හා අනෙකුත් සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමේ අවධානමක් තිබෙනවා.

කවරයේ පින්තූරය: 04varvara.wordpress.com

Related Articles