ප්ලාස්ටික් අපද්‍රව්‍ය වර්තමානය වන විට ලෝකයට වැඩි ම තර්ජනයක් එල්ලකරන ගැටලුවක් බවට පත් ව තිබෙනවා. ශ්‍රී ලංකාවටත් එම ගැටලුවෙන් බලවත් ලෙස බැට කනවා. එමෙන්ම අප රට ඇතුළු දකුණු ආසියාතික බොහෝ රටවල් මුහුණදෙන තවත් ගැටලුවක් වන්නේ නිසි ලෙස මාර්ග සංවර්ධනය කරන්නට තත්ත්වයෙන් උසස් හා කල්පවතින මූලද්‍රව්‍ය යොදාගැනීමට ඇති අපහසුතාවය යි. මෙම රටවල් මූල්‍යමය අතින් එතරම් ඉදිරියෙන් නොසිටීම ඊට හේතුව යි. කෙසේ නමුත් ‘විෂෙන් විෂ නසන්නට’ හෙවත් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් මාර්ග සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයක් අප අසල්වැසි ඉන්දියාව මෑතක දී සොයාගෙන තිබෙනවා. මෙය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් දිරායාමට විශාල කාලයක් ගතවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත්වනු ඇතැ යි විද්වතුන් මත පළකරනවා.
ඉන්දියාව හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය
ඉන්දියාව තුළ වර්තමානය වන විට බිලියනයකට වඩා වැඩි ජනතාවක් ජීවත් වෙනවා. එය ලොව දෙවනුවට වැඩි ම ජනගහනය ජීවත් වන රට වන අතර, තව නොබෝ කලෙකින් චීනය අභිබවා ගොස් ලොව වැඩි ම ජනගහනය වෙසෙන රට බවට පත්වනු ඇතැ යි අපේක්ෂිත යි. එමෙන්ම ඉන්දියාව කාර්මික අතින් ද සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා.
ඉන්දියානු නිවෙස්වලින් මෙන්ම කර්මාන්තශාලා වලින් ද වසරකට බැහැර කෙරෙන කසළ ප්‍රමාණය අතිමහත්. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය වෙනවා. 20 වන සියවස අවසානයේ දී මේවා ගොඩගැසීම ඉන්දියාවට විශාල තර්ජනයක් වී තිබුණා. ඉන්දියාව පුරාවට තැනින් තැන කුණු කඳු ගොඩගැසී තිබුණු අතර, ජල ප්‍රභව රාශියක් ද මේවා එකතුවීමෙන් දූෂිත ව තිබුණා. මේ හේතුවෙන් ඉන්දියාවේ සමහර ප්‍රදේශයන් හි පිරිසිදු පානීය ජලය සොයාගැනීමේ ගැටලු ද උද්ගත වී තිබුණු අතර වසංගත රෝග ද පැතිර ගියා.
මාර්ග සංවර්ධනයට ප්ලාස්ටික්
ඉන්දියාව තුළ ඔබ මොබ විහිදුණු මාර්ග දස දහස් ගණනක් තිබෙනවා. මින් සැලකිය යුතු ප්‍රමාණයක් සංවර්ධනය කළ යුතු මට්ටමේ ඒවා වෙනවා. මේවා සංවර්ධනයට විශාල ප්‍රාග්ධනයක් වැය කළ යුතු නිසා ඒ බොහොමයක් කෙරෙහි අතීතයේ සිට ම ඉන්දීය පාලකයින්ගේ තිබුණේ උදාසීන හා පසුගාමී බවක්. පිටරටින් ආනයනය කරන ගල්තාර හා වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන මෙවා සංවර්ධනය වෙන තුරු බලා සිටියහොත් එය සිදුවීමට වසර ගණනාවක් ගතවනු ඇති බැව් බොහෝ දෙනා වටහාගෙන සිටියා. මේ අතර මදුරෙයි හි ත්‍යාගරාජා ඉංජිනේරු විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ රාජගෝපාලන් වාසුදේවන් ද සිටියා.
රාජගෝපාලන් වාසුදේවන් 2002 වසර වන විට ඉන්දියාව මුහුණ දී සිටි තවත් ගැටලුවකට විසඳුම් සොයමින් සිටියා. ඒ නොදිරන කසළ හෙවත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්කාසු වීමේ ගැටලුව යි. ප්ලාස්ටික් දහනය කිරීම ද අපහසු තත්ත්වයක තිබූ නිසා එවකට ඒවාට කළ හැකි වඩාත් සාර්ථක ප්‍රතිකර්මය ලෙස සැලකුණේ ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිත කිරීම යි. කෙසේ නමුත් එයත් 100%ක් ම සාර්ථක වූයේ නැහැ.
මේ අතර වාසුදේවන්ට අපූරු අදහසක් පහළ වුණා. රසායන විද්‍යාව පිළිබඳ ව හසළ දැනුමක් තිබූ ඔහුට, මාර්ග සංවර්ධනයේ දී එවා මත ඇතිරිය යුතු අමුද්‍රව්‍යයට තිබිය යුතු ගුණ පොලිතීන් හා ප්ලාස්ටික් කරණකොටගෙන ඇති ‘කරදරකාරී ගුණ’වලට සමාන බැව් වැටහුණා. මේ කරදරකාරී හා විනාශකාරී අපද්‍රව්‍ය තාර වෙනුවට මාර්ගවලට යෙදිය නොහැක්කේ ඇයි ද යන්න ඔහු සිතුවා.
පර්යේෂණ සාර්ථක වෙයි
මහාචාර්ය වාසුදේවන් ඉක්මණින් ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තාරවලට ආදේශකයක් ලෙස යොදාගැනීමේ හැකියාව පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා. එහි දී ඔහුට ඉක්මණින් ම වැටහුණේ මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එලෙස යොදාගැනීම සිතුවාටත් වඩා වාසිදායක බව යි. ඒවා තාර මෙන්ම සුහුරුව යොදාගත හැකි වූ අතර කල් පැවැත්ම මෙන්ම හැසිරවීමත් ඊට වඩා පහසු වුණා. ශක්තිය අතින් ද එහි සැලකිය යුතු අඩුවක් තිබුණේ නැහැ.
වාසුදේවන් සිය සිසුන් හා එක්ව තමන් සේවය කළ විද්‍යාලය තුළ ඇති මාවතක් යොදාගෙන මෙම අලුත් අමුද්‍රව්‍යය අත්හදා බැලුවා. තාර උණුකොට ලැබෙන උකු මිශ්‍රණයට ප්ලාස්ටික් යම් ප්‍රමාණයක් හා කුඩා ගල් සමග එක් කොට ඇතිරීම සිදු කළ අතර එහි නිමාව සම්පූර්ණයෙන් තාර යොදාගෙන කල මාවතක මෙන්ම හොඳ එකක් වුණා.
2006 දී වාසුදේවන් මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත් අතර ඉක්මණින් ම මේ ‘ප්ලාස්ටික් මිශ්‍රණය’ පිළිබඳ ඉන්දීය රජයේ අවධානය යොමු වුණා.
වර්තමාන තත්ත්වය
වර්තමානය වන විට ඉන්දියාවේ ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා මෙම ප්ලාස්ටික් අඩංගු මිශ්‍රණය යොදාගැනීම අනිවාර්යය සාධකයක් වී තිබෙනවා. 2017 වසර ආරම්භයේ දී ඉන්දියාවේ කිලෝමීටර 33,000කට අධික මාර්ග මෙය යොදාගනිමින් සංවර්ධනය කර තිබූ අතර, මේ වසර අවසානය වන විට කිලෝමීටර 100,000ක මාර්ග මෙම මිශ්‍රණය යොදාගෙන සංවර්ධනය කරන්නට ඉන්දීය රජය අපේක්ෂා කරනවා.
මෙම ප්ලාස්ටික් මිශ්‍රණය හඳුන්වාදීමත් සමග ඉන්දීය මහාමාර්ග සංවර්ධන ක්‍රියාවලියේ නව පිබිදීමක් ඇති වී තිබෙනවා. ඉදිරි වසර 5 ඇතුළත මාර්ග සංවර්ධනය සඳහා ඉන්දීය රුපියල් ට්‍රිලියන 6.9ක් පසුගිය දා එහි රජය වෙන් කළා. මෙම මිශ්‍රණය නිපදවා නොතිබුණා නම් අපේක්ෂිත ඉලක්ක කරා යාමට මීට වඩා විශාල මුදලක් වෙන් කරන්නට සිදුවනු ඇතැ යි විචාරකයින් පවසනවා. මේ වන විට එංගලන්තය වැනි බටහිර රටවලුත් මේ ක්‍රමය අනුගමනය කිරීම ආරම්භ කර තිබෙනවා.
මාර්ග සංවර්ධනය සඳහා යොදාගැනෙනා මෙම ‘ප්ලාස්ටික් මිශ්‍රණය’ සෑදීම සඳහා ඉන්දියාවේ නන් දෙසින් එකතු කරගන්නා ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගැනීම සිදු වන අතර, ඉන්දියානු නිවෙස් හා කර්මාන්තවලින් එක්කාසු වන ප්ලාස්ටික්වලින් බහුතරයක් එලෙස යොදාගත හැකි මට්ටමෙහි තිබෙනවා. මේ හේතුවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ඉන්දියාවේ ඇති ව තිබූ අර්බුධයත් යම් පමණකට මඟහැරී තිබෙනවා. එක් පසෙකින් විශාල වලවල් සහිත මාර්ග හා තවත් පසෙකින් කුණු කඳුවලට යට වී මිනිසුන් මියයන ශ්‍රී ලංකාව තුළ ද මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත නොවන්නේ මන්දැ යි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.