ඓතිහාසික වෙහෙරගල

වෙහෙරගල යනුවෙන් හඳුන්වනු ලබන බෞද්ධ විහාරස්ථාන කිහිපයක්ම ලංකාව පුරා පැතිර පවතී. අද අපි සාකච්ඡාවට බඳුන් කරන ‘වෙහෙරගල’ ඇත්තේ තමන්කඩුව සහ අම්පාර දිසාව වෙන් කරන තීරයේ යි.

මහියංගණ පොළොන්නරුව මාර්ගයේ ඉදිරියට ගොස් දෙහිඅත්තකණ්ඩියෙන් හැරී මහවනාවෙල හරහා අරලගංවිල දක්වා වැටී ඇති ගුරු පාරේ යද්දී ය මේ ස්ථානය හමු වන්නේ.

ස්ථූපය

ඓතිහාසික වෙහෙරගල දිස් වන්නේ පර්වත තලාවක් ලෙසිනි. එකම පර්වතයක් සේ පැතිර ඇති මෙහි තැන් තැන් හි පුරාවස්තු පැතිර පවතින අතර එයින් ප්‍රධාන වන්නේ ගරා වැටී ඇති ස්ථූපය යි. ස්ථූපය මැදින් වලක් හාරා එහි තිබූ වස්තුව සොරාගෙන ඇති නිසා ස්ථූපයට දැඩි හානි සිදු වී තිබෙනු දැකගත හැකියි.

වටක් ප්‍රමාණයෙන් අඩි දෙසීයක් පමණ වන මෙය අඩි දහයක් පමණ උස් වේ. ස්ථූපය වටා පාද ලාංඡන ශිලා ඒකක හතරක් තිබී ඇති අතර වර්තමානයේ ඉතුරුව ඇත්තේ ඉන් එකකි. මෙය අඩි තුනයි අඟල් හතර බැගින් වූ චතුරශ්‍රයක් වේ. ගැටියේ රේඛාවෙන් පාද සටහන් ලකුණු කර තිබෙන අතර මේවා මල් පූජා කරන ආසන ලෙසත්, පූජා වස්තු ලෙසත් ය භාවිත කර තිබෙන බව සඳහන් වේ.

මේ ආකාරයේ ලක්ෂණ පෙන්නුම් කරන තවත් ස්තුප දෙකක් ලංකාවේ දැකගත හැකි අතර ඒවා ඇත්තේ වෙහෙරගලට සැතපුම් 30 ක් පමණ ඈතින් වූ දමිනෙවෙල විහාරයේ සහ යාල තහනම් වනයේ වෙහෙරගල කන්දේ යි.

බෝධිය

වෙහෙරගල බෝධිය ස්ථූපයට පහතින් රෝපණය කර තිබෙනු දැකගත හැකි වේ. පැරණි ගොඩනැඟිල්ලකට අයත් වූවා යැයි සැළකෙන ගල් ඒ වෙත යන මාර්ගයේ අසුරා ඇත. එහි මෙවැනි ගල් අටක් දක්නට ලැබේ.

පර්වතය මත පන්සල

amazinglanka.com

මෑතදී වෙහෙරගල පර්වතය මත කුඩා පන්සලක් නිර්මාණය කර තිබෙනු දැකගත හැකි වේ. කුඩා ආවාස ගෙයකින් හා කුඩා බුදු මැඳුරකින් එය සමන්විත යි. කුඩා වුව ද විහාරය සිත්ගන්නා සුළුය. කුඩා බුදු මැඳුරේ විවිධ ආකාරයේ පැරණි හා නූතන බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කර තිබෙනු ‍දැකගත හැකි වේ.

පර්වත මුදුනේ නටඹුන්

පර්වතය මුදුනට නැඟීම සඳහා පාමුල සිට පර්වතයේම විශාල පිය ගැට පෙලක් සාදා ඇත. තැනින් තැන පතුරු ගැලවී එය දැන් විනාශයට ලක්ව පවතී. මෙය පර්වතය මුදුනටම නොයයි.

පර්වතයේ බටහිරට වන්නට ගල්කෙම් දෙකකි. වැසි ජලය මෙයට එක්රැස් වන අතර වසරේ සෑහෙන කාලයකට මේ ජලය සෑහේ.

පර්වතයේ නැගෙනහිර පාමුල ද මීට සම්බන්ධ නටඹුන් දැකගත හැකි නමුත් ඒවා මොනවාගේ නටඹුන් ද යැයි මෙතෙක් පැහැදිලි වී නොමැත.

amazinglanka.com

පර්වත ලිපි

මෙහි පර්වත ලිපි තුනක් දැකගත හැකි අතර එක් ලිපියක් ස්ථූපය අසළ ද, අනෙක් ලිපි දෙක වර්තමාන විහාරය අසළ ද තිබේ. පතුරු ගැලවීම නිසාත්, පෑගීම නිසාත් මේවා කියවා ගැනීමට අපහසුය. නමුත් එල්ලාවල මේධානන්ද හිමියන් විසින් කියවා ඇති ආකාරයට කුඹුරු සහ කහවනු පූජාවක් පිළිබඳව මෙහි සඳහන් කරයි. එම පූජාවෙන් ලැබෙන පින සියලු සත්ත්වයන් හට අනුමෝදන් කර තිබේ.

1 ලිපිය-

“බුදු දස මහසෙන මහරජන විසිවනි

වසිහි කිටක අතස මස …. අබ ….”

2 ලිපිය-

“දින පුවිය මහනමි මහරජහි එකුනු විසිනව

සිහි දිනි සවසතනට පෙති”

3 ලිපිය-

“හනල …. බමෙවහර …. සම

වට කොටු කහවණ …. දිසි …. මහනමි …. ම

හජරහි …. චතලෙහි …. වන වසිහි සවස ….”

amazinglanka.com

ඓතිහාසික වෙහෙරගල

අප්‍රකට ඉතිහාසයක් පවතින වෙහෙරගල විහාරයේ පුරා වස්තු ද මහත් හානියට පත්ව ඇති නිසා දුර්වල වී ඇත. පොදු වර්ෂවලින් දෙවැනි සියවසේ සිට අතීතයට දිව යන මෙය කාගේ නිර්මාණයක් ද යන්න තවමත් පැහැදිලි නැත. මෙහි ඇති පර්වත තුනෙන්ම එහි නාමය සඳහන් වන පේලිය විනාශ වී ගොස් තිබීම මෙයට හේතුව යි.

කෙසේ වුවත් මෙහි පළමු සෙල්ලිපියෙන් කියවෙන්නේ පළමුවන “බුදදස මහසෙන මහා රජ” ගැනයි. එනම් වසර විසි අටක් මෙරට රාජ්‍ය කළ බුද්ධදාස රජු පිළිබඳව ය. ලිපියේ දැක්වෙන ආකාරයට දායකයා දානය සිදු කර ඇත්තේ මේ රජුගේ විසි වන රාජ්‍ය වර්ෂයේ දීයි.

දෙවන සහ තෙවන සෙල්ලිපිවලින් “මහනම් මහ රජ” පිළිබඳව යි සඳහන් වන්නේ. එනම් ව්‍යවහාරික වර්ෂ 410- 432 කාලයේ මෙරට පාලනය කරමින් සිටි මහානාම රජුය. මෙහි සඳහන් වන ආකාරයට දායකයා දානය පිළිගන්වා ඇත්තේ මේ රජුගේ දහ නව වන රාජ්‍ය වර්ෂයේ දියි.

මේ පර්වත ලිපි මගින් මහාවංශයේ දැක්වෙන ඇතැම් විස්තර ද සනාථ කරනු ලබයි.

“ස්ථානයේ දියුණුවට කුඹුරු සහ කහවනු පිදීමෙන් ආධාර කිරීම එහි පැවති වැදගත්කම පැහැදිලි කරන්නකි. පිහිටි රටේ සිට රෝහණයේ මාගම දක්වා වැටී තිබු මාර්ගය මහවැලි ගඟේ කච්ඡක තිත්ථයෙන් එගොඩව දිගාමඬුල්ල හරහා දිවේ. මේ මාර්ගයේ උතුරු කොටසේ ස්ථිරව හඳුනාගත හැකි ස්ථානයක් හැටියට වර්තමාන කණිජ්ජාගල දැක්විය හැකියි. එය ද වෙහෙරගල අසළ ම වේ. මෙහි නිශ්ශංකමල්ල රජුගේ හාවුත ලිපියක් තිබේ. එහි හැම වචනයක්ම බුත්තල කටුගහ ගල්ගේ ලිපියට සමාන වෙයි. එයින් රූණන්ට අවවාද කෙරේ. බත් කෑ බුලත් කෑ මතට උද්ධත නොවැසිටිය යුතු බව කියා පායි. මේ ලිපිය වෙහෙරගල ප්‍රදේශයේ පිහිටුවීමෙන් පැහැදිලිව පෙනී යන්නේ පොළොන්නරු යුගයේ දී මෙහි බෙහෙවින් ජනාවාසව තිබු බවයි.”

බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් දිනා නොගන්නා වෙහෙරගලට ගොස් ඒ වටා ඇති අපූරු දේ දැක බලා ගැනීමට ඔබත් උත්සාහයක් ගන්න.

කවරයේ කතාව : amazinglanka.com 1

මුලාශ්‍ර :

amazinglanka.com, tour.lk

Related Articles

Exit mobile version