තමන්ගේ සොයා ගැනීම්වලින් මරු දුටුවන්

තමන්ගේ නිමැවුම් හේතුවෙන්ම මරණයට පත් වුණු නිමැවුම්කරුවන් දස දෙනෙකු පිළිබඳව අප පෙර ලිපියකින් ඔබ වෙත තතු ගෙන ආවා. මේ තවත් එවැනිම නිමැවුම්කරුවන්/විද්‍යාඥයින් දස දෙනෙකු පිළිබඳ ඛේදනීය තොරතුරුයි.

රේඩියම් විකිරණවල නිසා මිය ගිය මාරි කියුරි

රේඩියම් නැමති මූලද්‍රව්‍යය සොයාගත් මේ පෝලන්ත ජාතික අසහාය විද්‍යාඥවරිය පිළිබඳව නම් අමුතුවෙන් හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වන්නේ නෑ. දෙවරක්ම නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා ඇති ඇය 1934 වසරේ ජූලි මස 14වන දින සදහටම මෙලොව හැර ගියේ තමාගේ පර්යේෂණ කටයුතු වලදී රේඩියම් විකිරණයන්ට දිගු කාලයක් තිස්සේ නිරාවරණය වීම හේතු කොටගෙන හටගත් ඇනීමියා තත්වය හෙවත් රුධිරයේ යකඩ ප්‍රමාණය මදිවීම හේතුවෙනුයි. මාරි කියුරි නිතරම තම පර්යේෂණ කටයුතු සඳහා යොදාගනු ලබන ප්ලූටෝනියම් නමැති විකිරණශීලී මූලද්‍රව්‍යය සහිත පරීක්ෂණ නල තම පර්යේෂණ කබායේ සාක්කුවල දමාගෙන සිටීම නිසා ඇය විශාල වශයෙන් මෙම විකිරණයන්ට නිරාවරණය වූ බවයි පැවසෙන්නේ.

දිවීමේදී මාරු වැළඳගත් ජේම්ස් ෆුල(ර්) “ජිම්” ෆික්ස්

“දිවීම” සොයාගත් මිනිසා ලෙස ඔහුව හැඳින්වීම නිවැරදි නොවුණත්, දිවීම පිළිබඳ කෘතියක් රචනා කොට දිවීමේ ක්‍රීඩාව වඩාත් ප්‍රචලිත කරවූ පුද්ගලයෙක් ලෙස නම් මොහුව හඳුන්වා දෙන්නට පුළුවනි. “The complete book of Running” නැමති තම කෘතිය මගින් ජේම්ස් ෆුල(ර්) විශාල ප්‍රසිද්ධියක් ලැබ තිබෙනවා. තම ජීවිතයේ විශාල කාල පරාසයක් තිස්සේ ඔහු මානසික ආතතියෙන් පීඩා විඳ ඇති අතර, ශරීර සෞඛ්‍යයට අහිතකර පුරුදු වලටත් ඔහු ඇබ්බැහිව සිට තිබෙනවා. ශාරීරික ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම පිළිබඳ ජනප්‍රිය උපදේශකයකු බවට ඔහු පත්ව ඇත්තේ ඉන් අනතුරුවයි. 1984 වසරේ ජූලි මස 20වන දින සිය දෛනික දිවීමේ කටයුතු වල නිරතව සිටියදී ඔහු එකවර හටගත් දරුණු හෘදයාබාධයක් නිසා ඔහු එකවරම මරණයට පත් වුණා. ඒ වන විට පනස් දෙවන වියේ පසු වූ ජිම් ෆික්ස්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඔහුගේ හෘදය වස්තුවේ නාල වලින් 95%ක් පමණම සිරවී තිබී ඇති බවයි.

ගුවනත් පොළොවත් ජයගත් මැක්ස් වේලිය(ර්)

Rocket Scientist කෙනෙකු හෙවත් රොකට් තාක්ෂණය පිළිබඳව විද්‍යාඥයකු වූ ඔස්ට්‍රියානු ජාතික මැක්ස් වේලිය(ර්) ඝන සහ ද්‍රවමය ඉන්ධනයන්ගෙන් සමන්විත මිසයිලයන්ගේ නිර්මාපකයා වීමේ ගෞරවයට හිමිකම් කියන්නා වනවා. තමා ගුවන ජයගත්තා සේම පොළොවද ජයගත යුතුයැයි සිතූ වේලිය(ර්) රොකට් තාක්ෂණය සහයට ගනිමින් මෝටර් රථයක්ද නිපදවා තිබෙනවා. එය සාර්ථක ප්‍රයත්නයක් වූ අතර, පැයට සැතපුම් 250ක වේගයකින් එම මෝටර් රථය ධාවනය කිරීමටද ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ඉන් නොනැවතුණු වේලිය(ර්) ඇල්කොහොල් දාහකයක් ලෙස යොදා ගනිමින් මෝටර් රථයක් ධාවනය කිරීමේ පර්යේෂණයන්ගේ නිරතව තිබෙන නමුත්, ඇල්කොහොල් දාහකය හේතුවෙන් ඔහුගේ පර්යේෂණාගාරය තුළ පිපිරීමක් හටගත් අතර, ඉන් වේලිය(ර්)ගේ ජීවිතය ඔහුට අහිමි වුණා.

තම සිරුර රුධිර පරීක්ෂණ සඳහා යොදාගත් ඇලෙක්සැන්ඩර් බොග්දනොව්

රුසියානු ජාතික භෞතික විද්‍යාඥයකු වන බොග්දනොව් දේශපාලඥයකු සහ රචකයකු ලෙසින්ද හඳුන්වා දිය හැකියි. 1917 වසරේ බොල්ෂෙවික් කැරැල්ලට සම්බන්ධ වීම නිසා සිරගත වූ ඔහු සිපිරි ගෙයින් නිදහස් වුණු පසුව රුධිරය කෙරෙහි අමුතුම ආකාරයේ ඇල්මක් සහ කුකුසක් දක්වන්නට වුණා. “The Institute of Haematology” හෙවත් රක්තානුවේදය පිළිබඳ ආයතනය නම් වූ ආයතනයක් ඔහු විසින් ආරම්භ කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. රුධිර පාරවිලයනය සදාකාලික යෞවනත්වයට මාර්ගය වන බවට විශ්වාස කළ බොග්දනොව් තම පර්යේෂණ සඳහා භාවිතා කළේ තම සිරුරමයි. තම පර්යේෂණයක් සඳහා මැලේරියාවෙන් සහ ක්ෂය රෝගයෙන් පෙළෙන්නන් දෙදෙනෙකුගේ රුධිරය තම රුධිරයට පාරවිලයනය කරගත් බොග්දනොව් ඊට දෙදිනකට පසු, එනම් 1928 වසරේ අප්‍රේල් මස 07වන දින මියගියේ එම රුධිර වර්ගයන් එකිනෙක නොගැලපීම නිසා හටගත් සංකූලතාවයන් හේතු කොටගෙනයි. මේ සමය වන විට රුධිර වර්ගයන්ට අනුව රුධිරය පාරවිලයනය කළ යුතු බවට දැනුමක් මිනිසා සතුව නොතිබූ නිසා ඔහු මෙම ඉරණමට මුහුණ පා තිබෙනවා.

ඇලෙක්සැන්ඩර් බොග්දනොව් (walyou.com)

ගුවනින් වැටී මියගිය ඔටෝ ලිලෙන්තාල්

Glider flights නැමති ගුවන් යානා තාක්ෂණයේ පුරෝගාමියකු වූ ඔටෝ උපතින් ජර්මානු ජාතිකයෙක්. ග්ලයිඩර් වර්ගයේ යානා දෙදහසකටත් වඩා නිපදවා ඇති ඔහු ලිහිණියකුගේ පියාසර කිරීමේ ක්‍රමවේදය සහ පියාපත් ආශ්‍රයෙන් තම යානා නිපදවා තිබෙනවා. ග්ලයිඩර් යානයක් මගින් ගුවනේ අඩි 1820ක දුරක් ඉහළට ගමන් කොට ඇති ඔටෝ එකල හඳුන්වනු ලැබූයේ “ග්ලයිඩර් රජු” යන නමින්. 1890 වසරේ  අගෝස්තු මස දසවන දින අඩි 50ක උසකින් තම ග්ලයිඩර් යානය පදවමින් සිටියදී තම බර නිසි ලෙස මාරු කරමින් “Weight Shifting” ක්‍රමවේදයට අනුව යානය හැසිරවීමට නොහැකි වූ හෙයින් තම යානය සමගම ඔහු බිමට පතිත වූ අතර, එම ඝට්ටනයේදී තම ගෙල කැඩී යාම නිසා ඔහු මරණයට පත්ව තිබෙනවා.

චීනයේ පස් මහා වද බන්ධනයන්ගේ නිර්මාතෘ ලී සී

ක්‍රි. පූ. 208 වන සියවසේ විසූ චීන “ක්වින්” වංශ පාලන සමයේ චීන අගමැතිවරයා වූ ලී සී මියගියේ චීනයේ “පස් මහා වධ බන්ධනයන්” හෙවත් The five pains නම් වූ වද බන්ධනයන්ට ලක්වීමෙනුයි. එම වධ බන්ධන පහ වන්නේ මුහුණ මත පච්ච කෙටීම, නාසය කපා දැමීම, දෙපා කපා දැමීම, චර්මඡේදනය (Castration) සහ Death by exposure හෙවත් දිගු කාලයක් තිස්සේ විවිධ අන්තරායකර පරිසර තත්වයන්ට සෘජුව මුහුණපෑම යනාදියයි. ලී සී හට මෙම දඬුවම් වලට මුහුණ පාන්නට සිදු වූයේ ක්වින් වංශයේ අධිරාජ්‍යයා සමග ඔහුගේ හොඳ හිත පලුදු වීම නිසාවෙනුයි.

නමුත් මේ ලිපියට ලී සී අදාළ වන්නේ කෙසේදැයි ඔබ සිතනවා ඇති. චීනයේ පස් මහා වද බන්ධනයන්ගේ නිර්මාතෘවරයා වන්නේ අන් කවරෙකුත් නොව, ලී සී අග්‍රාමාත්‍යවරයාමයි.

පියාඹන මෝටර් රථය හා හෙන්රි ස්මොලින්ස්කි

ගුවන්යානා තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු උපාධියක් හිමි හෙන්රි ස්මොලින්ස්කි අහසේ පියාසර කළ හැකි හෙවත් “පියාඹන මෝටර් රථයක්” නිපැයීමේ ආශාවෙන් පෙළුණු අයෙක්. Cessna 337 Skymaster වර්ගයේ කුඩා ගුවන් යානාවක පිටුපස කොටසට ෆෝර්ඩ් පින්ටෝ 71 වර්ගයේ කාරයක උඩ කොටස පෑස්සූ ස්මොලින්ස්කි එම රථය ධාවනය කිරීමටද සමත් වුණා. 1973 වසරේ සැප්තැම්බර් මස 11වන දින තම සගයකු වන හැරල්ඩ් බ්ලේක් නැමැත්තා සමග තම නවතම කාරය ගුවනේ පියාසර කිරීමට තැත් කිරීමේදී එහි එක් තටුවක් කඩා වැටුණේ යානය අඩි තුන්සියය ඉක්මවද්දීයි. ඉන් මේ දෙදෙනම ජීවිතක්ෂයට පත් වුණා.

ස්මොලින්ස්කි සහ ඔහුගේ පියාසර කරන කාරය (whatculture.com)

පියාසර සිහිනය බිඳ වැටුණු අබු නසාර් ඉස්මයිල් හම්ම්ද් අ-ජවාහිරි

ක්‍රි. ව. 1008 සමයේ විසූ පූජකයකු වන මොහු නව්‍ය නිපැයීම් කිරීමෙහිද ඇල්මක් දැක්වූ අයෙක්. පියාසර කිරීම පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූ ඔහු එක් දිනක් ලීයෙන් පියාපත් දෙකක් කපා ඒවා මත කුරුළු පිහාටු අලවා මුස්ලිම් පල්ලියක හෙවත් මස්ජිදයක මුදුනේ සිට බිමට පැන්නේ පියාසර කිරීමේ අදහසිනුයි. නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. මුස්ලිම් බැතිමතුන් එම මස්ජිදයේ මුදුනේ විචිත්‍රවත් මියුරල් නිර්මාණයක් තැනවූවා.

සඳ තරණයට ගිය වැන් – හු

මොහු සත්‍ය පුද්ගලයකුද එසේත් නැතිනම් පුරාවෘත්තයක මනඃකල්පිත චරිතයක්ද යන වග නිසැකවම තහවුරු වී නෑ. කුඩා රොකට්ටු හතළිස් හතක් පුටුවට තබා බැඳ, ඒ සියල්ල එකවර දල්වා ඒ මතින් සඳ වෙත යාමට තැත් කළ පුද්ගලයකු ලෙසයි ඔහුව හැඳින්වෙන්නේ. රොකට්ටු සියල්ල එකවර පුපුරා යෑම නිසා වෑන්ගේ සිරුරේ කිසිවක් ඉතිරි නොවන තරමටම සියල්ල විනාශ වී ගිය බවයි පැවසෙන්නේ.

වෑන් හූ ගේ ප්‍රයත්නයේ සිතුවමක් (webtekno.com)

 

  • ෆ්‍රෑන්ස් රෙයිචෙල්ට්

 

“පියාසර කරන ටේල්‍රවරයා” යන නම දැරූ මොහු කබායක් සහ පැරෂූටයක් එකිනෙක සම්බන්ධ කොට පියාසර කිරීමට තැත් කළ කෙනෙක්. 1912 වසරේ පෙබරවාරි මස සිව්වන දින තම මංගල පිම්ම පනින්නට ඔහු තෝරාගත්තේ අයිෆල් කුළුණයි. කෝට්-පැරෂූට් නම් වූ ඔහුගේ නිර්මාණය සාර්ථක එකක් නොවූ අතර, ගුරුත්වාකර්ෂණය හේතුවෙන් කෙලින්ම බිමට පතිත වූ ෆ්‍රෑන්ස් හට අත් වූ ඉරණම පිළිබඳව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නෑ.

කවරයේ ඡායාරූපය – womenyoushouldknow.net

තොරතුරු උපුටා ගැනීම – www.huffingtonpost.com වෙබ් අඩවියේ “Top Twenty Inventors Killed by Their Inventions” ලිපිය ඇසුරිනි.

Related Articles

Exit mobile version