මහ පොළොවේ සිනමාව හෙවත් ඉතාලි නව යථාර්ථවාදය

1940 දශකයේ ආරම්භ වුණු ‘ඉතාලි නව යථාර්ථවාදය’ කියන්නෙ ලෝක සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරපු සිනමා ධාරාවක්. 1942 දී, Luchino Visconti ගේ ‘Obsession’ චිත්‍රපටයෙන් ආරම්භ වෙන මේ ප්‍රවණතාව ඒ තරම් කාලයක් පැවතුණේ නැතත්, එහි බලපෑම එතනින් දශක කිහිපයක් මෙපිට සිනමාකරුවන්ගේ පවා සිනමා දෘෂ්ටිය සංවිධානය කරන්න ප්‍රබල බලපෑමක් සහ දායකත්වයක් ඍජුව සහ වක්‍රව ලබා දුන්නු බව තමයි සිනමා විචාරකයන්ගෙ මතය. ඉතාලි නව යථාර්ථවාදී සිනමාව පිළිබඳවයි මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් වෙන්නෙ.

ලෝක සිනමාව සහ ඉතාලි සිනමා කර්මාන්තය

ඉතාලිය සිනමා කර්මාන්තයට පිවිසෙන්නේ ලෝකයේ සිනමාව ආරම්භ වෙන මුල් අවධියේදීමයි. සරලවම තේරුම් කළොත්, ඒක අති දැවැන්ත පසුතලවල රූගත කෙරුණු දැවැන්ත සිනමා කෘති ගැන විතරක් විශ්වාසය තියපු සිනමාවක්. ලෝක සිනමාවේ මුල් කාලීන දැවැන්තයන් විදියට සැලකෙන ඩී.ඩබ්ලිව්. ග්‍රිෆිත් වගේ ඇමරිකානු සිනමාකරුවන්ට පවා පැරණි ඉතාලි සිනමාවෙන් යම් බලපෑමක් ලැබෙනවා. Enrico Guazzoni අධ්‍යක්ෂණය කරපු Quo Vadis (1912), Giovanni Pastrone ගේ Cabiria (1914) මේ පැරණි ඉතාලි සිනමාවට උදාහරණ විදියට ඉදිරිපත් කරන්න පුළුවනි.

Cabiria – 1914 (Image Credit: tumblr.com)

හැබැයි සංකීර්ණ පසුතල සහ ඇඳුම් ආයිත්තම් වෙනුවෙන් අති දැවැන්ත මුදලක් වියදම් කරමින්, චිත්‍රාගාර මූලික වුණු දැවැන්ත නිෂ්පාදන කරන්න උනන්දු වුණාට, හැබෑ ලෝකයේ ජීවත්වෙන ඇත්ත මිනිසුන්ගේ ජීවිතය ගැන කතා කරන්න උනන්දු වුණේ නැහැයි කියන විවේචනය මේ දැවැන්ත ඉතාලි සිනමාවට නිතර නිතරම එල්ල වුණා. නව යථාර්ථවාදී අදහස් එක්ක හිටපු වැඩි දෙනෙක් මේ පැරණි සිනමාව හැඳින්වුවේ ‘මවාපෑමේ යෙදෙන සිනමාවක්’ එහෙමත් නැත්නම් ‘රූපාලංකෘත සිනමාවක්’ (Metaphorical film) විදියට විතරයි.

මවාපෑමේ සිනමාවට විකල්පයක්

මේ ‘මවාපෑමේ සිනමාව’ වෙනුවට ඔවුන් යෝජනා කරන විකල්පය තමයි ඉතාලි නව යථාර්ථවාදී සිනමාව විදියට කරළියට එන්නෙ. එතනදි ප්‍රධානම කාර්යභාරයක් ඉටුකරනවා ‘Cinema’ නමින් පළ කෙරුණු සඟරාව සහ ඒ වටා හිටපු Luchino Visconti, Cesare Zavattini, Roberto Rossellini, Vittorio De Sica ඇතුළු පිරිස. Vittorio Mussolini තමයි සඟරාවේ සංස්කාරකවරයා විදියට කටයුතු කළේ. ඒ වෙනකොට ප්‍රධාන ධාරාවේ තිබුණු ඉතාලි සිනමා සම්ප්‍රදායන් දැඩිව විවේචනය කරන්න ඔවුන් පෙළඹුණා.

කෘත්‍රීමව හදපු ලෝකයක, කෘත්‍රිමව නිර්මාණය කරපු මිනිස්සු සහ ගැහැණුන්ගෙන් පිරිච්ච වටපිටාවක අතරමං වෙලා විනෝදාස්වාදයක් ලබනවා වෙනුවට සිනමා ප්‍රේක්ෂකයා තමන් ජීවත්වෙන සමාජයේ සැබෑ යථාර්ථය දැකිය යුතුයි කියන ස්ථාවරය තමයි මූලිකවම ඔවුන්ගේ විවේචන ඇතුළෙ තිබුණෙ. සිනමා නිර්මාණයක ආධ්‍යාත්මය විදියට යථාර්ථය ඉස්මතු විය යුතුයි කියන කාරණය ඒ අය නිතර නිතරම මතක් කළා.

Ossessione – 1943 (Image Credit: imdb.com)

Luchino Visconti ගේ Ossessione (English : Obsession) – (1943) චිත්‍රපටයෙන් තමන්ගේ නිශ්චිත ආරම්භය සනිටුහන් කරන මේ නව යථාර්ථවාදී ප්‍රවණතාවය හරහා ජාත්‍යන්තර මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වුණු නිර්මාණ කරුවන් කිහිප දෙනෙක්ම හඳුනා ගන්න පුළුවනි. Vittorio De Sica වගේ අය ඒ අතර ප්‍රධානයි. Roberto Rossellini ගේ Rome, Open City (1945), Paisa (1946), කියන චිත්‍රපට වගේම Vittorio De Sica ගේ Shoe Shine (1946), Bicycle Thieves (1948), Miracle In Milan (1951) Umberto D (1952) චිත්‍රපටත් ඉතාලි නව යථාර්ථවාදී සිනමාවේ සුවිශේෂී නිර්මාණ විදියට සැලකෙනවා. ගතානුගතික සිනමා රටාව මුළුමනින්ම අත්හැර දැමීමක් විදියට හඳුන්වන්න බැරි වුණත් මේ යථාර්ථවාදී සිනමා භාවිතාව හරහා මිනිස් ජීවිතය විනිවිද දකින්න වඩාත් සුදුසු සිනමා රීතියක් ඉතාලි සිනමාකරුවන් අතින් නිර්මාණය වුණු බව නම් කිව යුතුමයි.

Rome, Open City – 1945 (Image Credit: imdb.com)

ලෝ ප්‍රකට Sight & Sound සිනමා සඟරාවට තමන්ගෙ අදහස් එකතු කරන Cesare Zavattini එක වෙලාවක කියනවා; සාම්ප්‍රදායික කතා කලාව විසින් කරල තියෙන්නෙ සජීවී සමාජ සහ ආර්ථික තලයන් මත අජීවී සිනමා සම්ප්‍රදායක් ස්ථාපිත කිරීම බව. ඒ සිහින ලෝකවල අතරමං වෙන්න නොදී සිනමා ප්‍රේක්ෂකයා එයින් ගලවාගත යුතු බවයි Zavattini වැඩිදුරටත් කියන්නෙ.

‘…මා විශ්වාස කරන පරිදි ලෝකය දිනෙන් දිනම පිරිහීමට පත් වන්නේ අප සියලු දෙනා යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොර වීම නිසයි. මේ පිළිබඳව තර්කානුකූලව කළ හැකි පිළියම නම්, මෙකී ගැටලුවේ මූලයන් සොයා ගැනීමයි. අපගේ කාලීන අවශ්‍යතාව වන්නේ සමාජය පිළිබඳ අවධානය හා දැනුවත්කම ඇති කර ගැනීමයි.’

– Cesare Zavattini (Sight & Sound –  1953 ඔක්තෝබර්)

(සිනමාව හා ජන සමාජය – රොජර් මැන්වෙල් / පරිවර්තනය – එම්. ඩී. මහින්දපාල, පි. 254)

යථාර්තවාදී රංගනයන් සහ භාවිතාවන්

නව යථාර්ථවාදී සිනමා භාවිතාවේ එක ප්‍රධානම ලක්ෂණයක් තමයි චිත්‍රාගාර සීමාවෙන් එළියට කැමරාව අරගෙන ඒම. එහෙම එළියට ගේන කැමරාව මේ සිනමාකරුවො එල්ල කරන්නෙ මුඩුක්කු, පැල්පත් වලින් පිරුණු ඇත්ත ඉතාලි ජන ජීවිතයට. දවස ගැටගහගන්න අරගල කරන වැඩකරන පන්තියේ ජනතාවගේ ජීවිතය සහ ඒ ජීවිතය ඇතුළෙ පිරිල තියෙන කටුක බව රූපරාමුවලින් ග්‍රහණය කරගන්න ඔවුන් උත්සාහ කරනවා. හස්තගත කැමරා භාවිතය මෙතනදි ඉටු කරන්නෙ සෑහෙන දැවැන්ත මෙහෙවරක්.

තවත් වැදගත් ලක්ෂණයක් තමයි, නව යථාර්ථවාදී සිනමා නිර්මාණ බහුතරයක වෘත්තීය මට්ටමේ නළු නිළියන් වෙනුවට සාමාන්‍ය මිනිස්සු සහ ගැහැණු රංගනයේ යෙදීම. සාම්ප්‍රදායික කතා කීමේ කලාව වගේම සාම්ප්‍රදායික රංගන භාවිතාවන් පවා ප්‍රතික්ෂේප කරන මේ නව යථාර්ථවාදී සිනමාකරුවෝ තමන්ගේ නිර්මාණවල චරිත සඳහා ඒ අවස්ථාවන්ට මුහුණ දෙන ඇත්ත මිනිස්සු යොදා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ ඒ සිදුවීම් සහ පරිසරයන් එක්ක ඇත්තටම ජීවත් වෙන අය හරහා වඩාත් තාත්විකව ඒ ජීවිතය පිළිබිඹු කරන්න පුළුවන් බවයි ඔවුන්ගේ අදහස වුණේ. සමහර අවස්ථාවල ප්‍රධාන චරිත වෙනුවෙන් වෘත්තීය නළු නිළියන් පාවිච්චි කළත් ගොඩක් වෙලාවට ඉතිරි චරිත වෙනුවෙන් ඔවුන් යොදාගත්තෙ සාමාන්‍ය ජනතාව. Vittorio De Sica ගේ Bicycle Thieves චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණදෙන Lamberto Maggiorini කියන්නෙත් වෘත්තීය නළුවෙක් නෙමෙයි. කම්කරු රැකියාවක් කරපු සාමාන්‍ය මනුස්සයෙක්.

Bicycle Thieves – 1948 (Image Credit: imdb.com)

දශකයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙන ඉතාලි නව යථාර්ථවාදී සිනමාව ඉවර වෙන්නෙ Vittorio De Sica ගේ Umberto D (1952) චිත්‍රපටයෙන්. ඒත් ඒ අවුරුදු දහය ඇතුළෙ බිහිවුණු සිනමා කෘති වැඩි ප්‍රමාණයක් ලෝක සිනමාවේ කතා බහට ලක් වුණු නිර්මාණ බවට පත්වෙනවා. ඒ වගේම ‘ප්‍රංශ නවරැල්ල’ (French New Wave) වගේ සිනමා භාවිතාවන් නිර්මාණය වෙන්නත් ඉතාලි නව යථාර්ථවාදී සිනමාවෙන් ලැබෙන්නෙ සැලකිය යුතු පෙළඹවීමක්.

Cover image – imdb.com

මූලාශ්‍ර –

සිනමාව හා ජන සමාජය – රොජර් මැන්වෙල් (පරිවර්තනය එම්.ඩී. මහින්දපාල)

ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ – සුනිල් මිහිඳුකුල

www.imdb.com

Related Articles

Exit mobile version