නම කියන විටත් පිළිකුලක් උපදවන උකුණා වනාහි මිනිසා වානරයා ගෙන් පරිණාමය වීමටත් කලින් කාලයේ සිටම (බල්ලාටත් කලින්ම) මිනිසා සමග බැඳී පවතින සත්ත්වයෙක්; හරියටම කිව්වොත් පරපෝෂිතයෙකි.
මිනිසා සහ උකුණා අතර ඇති සම්බන්ධය ඇත්තෙන්ම පුදුම උපදවන සුළුය.
උකුණන් විසින් ඉතිහාසය වෙනස් කරන ලද ප්‍රබලම සන්ධිස්ථානයක් අපට හමුවන්නේ නැපෝලියන් අධිරාජ්‍යයා සම්බන්ධයෙනි. 1812 වර්ෂයේ රුසියාව ආක්‍රමණය කිරීමට ගිය සොල්දාදුවන් ලක්ෂ 6 න් (මෙම සංඛ්‍යාව එකල පැරිසියේ මුළු ජනගහනයට වඩා වැඩි පිරිසකි), ලක්ෂ 4ම ආපසු පැමිණියේ නැත.
මුලින් ඉතිහාසඥයන් විශ්වාස කළ ආකාරයට මෙයට හේතුව වුණේ රුසියාවේ කර්කශ ශීත කාලයවත් රුසියන් සොල්දාදුවන්ගේ වීර ක්‍රියාවත් නොවන බව නවතම සොයාගැනීම් වලින් හෙළිදරව් වී ඇත. මේ සොයාගැනීමට අනුව උකුණන් මගින් බෝවන උණක් (typhus) මෙම හමුදාවට සැදීමය. කොටින්ම කිවහොත් මෙම සොල්දාදුවන් ලක්ෂ 4 මරණය සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ උකුණන්ය. නිවැරදිව කිවහොත් ඇඟේ උකුණන් ය. එකල පැවති පරිසර තත්ත්වත් මොවුන්ගේ සනීපාරක්ෂණ තත්ත්වයන් ද මීට අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.
ක්‍රිස්තු පූර්ව 341 දී ස්පාර්ටන් වරුන් හා ග්‍රීකයන් අතර ඇති වූ යුද්ධය කාලයේ ඇතිවූ ඇතන්ස්හි වසංගතයත් උකුණන් නිසා සිදුවුයේ යැයි පැවසෙනවා.
ඉංග්‍රීසියෙන් ලයිස් (Lice) හෝ බහු වචනයෙන් ලෞස් (Louse) යන නාම වලින් හැඳින්වෙන මෙම උකුණන් ප්‍රධාන වශයෙන් ජාති දෙකකි.
01. හිසේ උකුණන්
02. සමේ / ඇඟේ උකුණන්
මීට අමතරව ලිංගාශ්‍රිත උකුණන් සුළු වශයෙන් ඇත.
මෙම ලිංගාශ්‍රිත උකුණන් මිනිස්සුන්ට බෝ වී ඇත්තේ ගොරිල්ලන්ගෙනි. එහෙම වුණේ කොහොමද යැයි විද්‍යාඥයන්ද මෙය තවමත් සොයනවාය (නමුත් ඔවුන් දන්නා කාරණය නම් එම බෝ වීම බොහෝ විට සිදුවන්නේ ලිංගිකව එක්වීමකදීය. එහෙත් එසේ නොවන අවස්ථා ද ඇත). ගොරිල්ලගෙන් එකල සිටි මානවයාට හරියට ම මෙම සංක්‍රමණය සිදුවී ඇත්තේ අවුරුදු මිලියන 3.3 කට පෙරය. එකල සිටියේ හෝමෝ සේපියන් මානවයා නොවේ. ඉතින් එකල සිටි මානවයා ගොරිල්ලන් සමග කුමන සම්බන්ධයක් තිබුණේ ද යන්න ටිකක් කල්පනා කර බැලිය යුතු වෙනවා.
මෙයින් හිසේ උකුණන් වඩා ප්‍රසිද්ධ කොටස වුවත් මෙයින් වඩාත්ම භයානක වන්නේ ඇඟේ උකුණන් ය. නැපෝලියන්ගේ හමුදාවට වුවා මෙන් මෙම ඇඟේ සිටින උකුණන් විෂ බීජ පතුරුවන අතර නොයෙකුත් භයානක ලෙඩ රෝග එමගින් මිනිසුන් අතරේ පතුරුවයි. හිසේ උකුණන් බොහෝ විට කරදරයක් කැසිල්ලක් පමණි. මෙම උකුණන් ජාති දෙක අතර පෙනුමෙන් හෝ ජානයම වශයෙන් වෙනසක් නොමැත. වෙනස වන්නේ මොවුන් ජීවත් වන සහ යැපෙන ප්රදේශයි.
හිසේ උකුණන් බෝ වන්නේ කෙසේද?
බොහෝ දෙනෙක් උකුණන් බෝවන්නේ අපිරිසිදුකම නිසා කියා සිතා සිටියද ඇත්තටම මොවුන් බෝවන්නේ එක් අයෙකුගේ හිස අනික් අයෙකුගේ හිසේ ගැටීමෙනි.
නමුත් අපිරිසිදුකම මෙම සංක්‍රමණය වූ උකුණන් වර්ධනය වීමට ප්‍රධාන හේතුව වේ. ඉතින් උකුණන් වැඩි වුවහොත් හේතුව එයය.
කැසීමේ ඉතිහාසය
දැනට හොයාගෙන ඇති කරුණු අනුව දැන් සිටින ආකාරයේ උකුණන් මානවයන් සහ චිම්පන්සීන් සමග සිට ඇත්තේ අවුරුදු මිලියන 5.5 කට පෙර සිටය. එනම් අපේ කැසිල්ල අවුරුදු මිලියන ගණනක් පරණ කැසිල්ලකි. නමුත් මෙම ලේ උරා බොන උකුණන් පෘථිවියේ සිට ඇත්තේ අවුරුදු මිලියන 25 ක පෙර සිටය.
හෝමෝ සේපියන් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙන් පරිණාමය සිදුවී වෙන්වී පැමිණෙන විට මෙම උකුණන් ද රැගෙන පරිනාමය වී පැමිණ තිබෙනවා. මෙම උකුණන් ඉතා වේගයෙන් නව තත්ත්ව වලට පරිණාමය වන බැවින් තාම උකුණු ප්‍රශ්නයට නිශ්චිත බෙහෙතක් නම් හොයාගෙන නැහැ. සොයා ගනු ලබන හැම බෙහෙතට ම මොවුන් ප්‍රතිරෝධී ලෙස පරිණාමනය වීම තමා මීට හේතුව. වඩා බලවත් උකුණන් ඇති වීමට හේතුව තමා අපි උන්ව නැති කරන්න කරපු උත්සාහයන්. ඉතින් හෙම්බිරිස්සාවට වගේ මේකටත් තියෙන බෙහෙත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා හැබැයි එක ප්‍රතිකර්මයක් හැමදාටමත් වලංගුයි. ඒ තමයි, පනාවෙන් පීරීම. සරලම සහ පැරණිතම මේ ක්‍රමේ කවදාටත් වලංගුයි.
ඔළුවේ උකුණන් සිටිනවා නම් ගෙදරදී හදාගත හැකි අත් බෙහෙත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඇඟේ උකුණෝ හිටියොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මොකද ඔවුන් දරුණු විෂබීජ ශරීර ගත කරනවා වගේම ඔබේ අසල සිටින්නන්ටත් පතුරුවන නිසා.
උකුණන් සඳහා අත් බෙහෙත්
උකුණන් සඳහා පහත සඳහන් අත් බෙහෙත් භාවිත කළ හැකියි. නමුත් මුලින් පැවසූ පරිදිම උකුණා ඉතා වේගයෙන් විවිධ තත්ත්ව සඳහා පරිණාමනය වන බැවින් මේවායෙන් කුමන අත් බෙහෙත ඔබේ උකුණාට යෝග්‍ය වේදැයි භාවිතා කිරීමෙන්ම ප්රත්යක්ෂ කරගත යුතුයි.
01. සුදු ළූණු බික් 8 – 10 ගෙන පොඩිකර තලපයක් ලෙස ගෙන දෙහි යුෂ තේ හැඳි 2-3 සමග මිශ්‍ර කොට ඔළුවේ ගා මිනිත්තු 30 පමණ තිබෙන්නට හැර උණු වතුරෙන් ඔළුව සේදීමෙන්.
02. 1:1 අනුපාතයෙන් ලුණු සහ විනාකිරි සහිත මිශ්‍රණයක් සාදා එය ඔළුවට ස්ප්‍රේ කොට පැය දෙකක් පමණ තබා (ඔළුව ෂවර් කැප් එකක් වැනි එකකින් වැසීම යෝග්‍යයි) සෝදා හැරීම – මෙය නොකඩවා දින තුනක් කළ යුතුයි.
03. මීට අමතරව ඔලිව් තෙල් හෝ ළමා තෙල් (baby oil) ඔලුවේ ගාගෙන නිදාගෙන, උදෑසන පනාවකින් ඔළුව පිරීමෙනුත් උකුණන් ඉවත් කළ හැකියි (නිදා ගන්නා විට ෂවර් කැප් එකක් දැමීම පහසුවක් වනු ඇත)
පොඩ්ඩක් ඔළුව කසනවා වගේද දැන්? එහෙම නම් පහළ Comment එකකින් අපිට ඒ ගැන අත්දැකීම් ටිකක් කියලාම යන්න.
Cover image: (wikimedia.commons) “soldiers hunting for lice”