Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දොස්තර නලාව වීසිකර සරුංගල් පසුපස දිවූ කලීඩ් හුසේයිනි

යුද්ධයෙන් බැටකන ඇෆ්ඝනිස්ථානයේ උපන් කලීඩ් හුසේයිනි උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු අමෙරිකාවේ කැලිෆෝනියාවේ වෛද්‍යවරය‍ෙකු  වශයෙන් සේවය අාරම්භ කළා. එහෙත් 2003 දී ඔහුගේ පළමු නවකතාව වූ “ද කයිට් රනර්” පළ වූ පසු ඔහු කළේ දොස්තර නලාව වීසිකර පූර්ණකාලීන ලේඛකය‍ෙකු බවට පත්වීමට තීරණය කිරීම යි. සාහිත්‍යය ලෝකයේ ද කඩයිමක් සටහන් කළ කෘතියක් වුණ එම නවකතාවට ලැබුණු විශාල පාඨක සහ විචාරක ප්‍රතිචාර ඊට හේතු වුණා. මේ වන විට ඔහු රචනා කර තිබුණේ නවකතා තුනක් පමණක් වුවත් ඔහුගේ නම ලෝකයේ ඉහළම සාහිත්‍යකරුවන් අතරට එක්වුණා. මේ කියන්න යන්නේ ඔහුගේ අලුත්ම නවකතාව වන Sea Prayer පිළිබඳව යි. මෙම පොත ලෝකය පුරා නිකුත් වන්නේ ( අමෙරිකාව සහ කැනඩාව හැර) එළඹෙන අගෝස්තු 30 වන දා.

අලුත්ම පොත ලංකාවෙත්

හුසේයිනිට එංගලන්තයේ සිට තැපැල් මගින් ලැබුණු අලුත්ම පොතේ මුල් පිටපත- khaledhosseini Facebook page

සමුද්ද යාතිකාව මෙම නවකතාවේ සිංහල පර්වර්තනය යි. අගෝස්තු 30 වනදා ලංකාව පුරා පිහිටි පොත් හල් 25ක දී මෙන්ම ලොව පුරා පොත් හල් රාශියක දී එය විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළි දැකීමට නියමිත යි. මීට පෙරත් කාලිඩ්ගේ පොත් සිංහලට පරිවර්තනය කළ ගංගා නිරෝශිනී සුදුවැලිකන්ද තමයි මෙය පරිවර්තනය කර තිබෙන්නේ. එක්සත් රාජධානියේ බ්ලූම්ස්බෙරි ප්‍රකාශන ආයතනය හා එක්ව ලංකාවෙත් එදිනම එහි සිංහල පරිවර්තනය නිකුත් කරනවා. මෙලෙස ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන හා එක්ව ශ්‍රී ලාංකික ප්‍රකාශන ආයතනයක් ලොව පුරා සමගාමීව කෙරෙන මුද්‍රණයක් එළි දක්වන්නේ පළමු වරට යි.

‘සමුද්‍ද යාතිකාව’ නිකුත් වන අගෝස්තු 30 වන දින පෙ. ව. 10 සිට 12 දක්වා කාලය තුළ පාඨකයන්ට එහි පරිවර්තිකාව වන ගංගා නිරෝශිනී සුදුවැලිකන්ද  හමුවීමටත් පහසුකම් සලසා තිබෙනවා. ඒ නුගේගොඩ ‘සරසවි’ පොත් හලේ දී.

අලුත්ම පොත ගැන තම ෆේස්බුක් පිටුවට කමෙන්ටුවක් පළ කරන කලීඩ් හුසේන් පාඨකයන්ගෙන් මෙසේ ඉල්ලා තිබුණා.

“මේ පොත මට ගොඩක් බලපාපු කතාවක්. ඉතින් ඒ අත්දැකීම් ඔබ සමග බොදාගැනීමට මම කැමතියි. මේ නවකතාවේ චිත්‍ර පිටු 40ක් තිබෙනවා. ඒවා ඇන්ඳෙත් කවරය නිර්මාණය කළෙත් ඩෑන් විලියම්ස්. පොතෙන් ලැබෙන ආදායම එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට ( UNHCR) සහ කලීඩ් හුසේයිනි පදනම හරහා ලෝකය පුරා සරණාගත ජනතාවට සහන සැලසීමට යෙදවීමට මම බලාපොරොත්තු වෙනවා.”

අපට අමුත්තෙක් නොවේ

හුසේයිනිගේ නවකතා සිංහලයටත් පරිවර්තනය වී ඇති නිසා ඔහු සිංහල පාඨක ලෝකයටත් අමුත්තෙක් නොවෙයි. කලීඩ්ගේ පළමු පොත වූ The Kite Runner ලංකාවේ දෙවරක්ම පරිවර්තනය වුණා. එය චූලානන්ද සමරනායක විසින් සහ ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කර තිබෙනවා. ඒ පොතට අපේ පාඨකයන්ගෙන් ද ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

ලොව පුරා සිටින කාලිඩ්ගේ පාඨක පිරිස ක්‍රමයෙන් වැඩිවෙනවා. ඔහුගේ දෙවන පොත A Thausand Splendid Suns පළවෙන්නේ 2007 දී. තවත් අවුරුදු පහකින් තමයි කාලිඩ් තුන්වැනි නවකතාව And the Mountains Echoed නිකුත් කරන්නේ. ඒ 2013 දී.

පරිවර්තිකා ගංගා නිරෝශිනී – ganga suduwelikanda FB page

ඔහුගේ මේ පොත් දෙකම පරිවර්තනය කර තිබෙන්නේ ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද විසින්. ඒ “මනරම් හිරු දහසක්” සහ “ඉක්බිති කඳුකරය දෝකාංර දුනි” නමින්.

කාලිඩ්ගේ පොත් පරිවර්තනය කිරීමට ඔබ මෙතරම් කැමති ඇයි කියා ඇසූ විට ඈ ප්‍රකාශ කළේ “මානුෂීයභාවය නිසා එයාගෙ පොත්වල තියන සමහර වාක්‍ය නිරායාසයෙන්ම ඇස්වලට කඳුළු ගේනවා හිතන්න යමක් ඉතිරි කරමින්” කියා ය.

ලියන්න පෙළඹුණේ පොතක් හින්දයි

කලීඩ් පොත් ලිවීමට පෙළඹවූ පොත abc.net.au

“ජෝන් ස්ටෙන්බෙක්ගේ ‘ද ග්‍රේප්ස් ඔෆ් ‍රැත්’ මං මුලින්ම කියෙව්වා උසස් පාඨශාලා විභාගෙක දී. අන්තිමට ඒ නවකතාව කියෙව්වෙ මීට අවුරුදු කීපයකට කලින්. ඒ නවකතාව මගේ හිතේ බරපතල විදිහට තැන්පත් වුණා. මේ පොතේ චරිත ගැන හිතද්දී මට මගේ රට වන ඇෆ්ඝනිස්ථානය නිතර මතක් වෙනවා. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ කටුක පීඩිත ජීවිත මට මතක් කළේ මගේ රටේ මිනිස්සුන්ගේ ජීවන අරගල යි. මේ දැන් වුණත් ඇෆ්ඝන් ජාතිකයෝ රටකින්, රටකට සංක්‍රමණය වෙමින්, හැතැප්ම ගණන් පා ගමනින් ඇවිදිමින් ජීවත් වෙන්න තැනක් හොයන සිද්ධි ගැන අහන්න ලැබුණාම මට මතක් වෙන්නේ, ‘ ද ග්‍රේස්ප් ඔෆ් ‍රැත්’ පොත යි. මේ කෘතියේ අන්තිම පරිච්ඡේදයේ, ගැහැනියක් නාඳුනන මිනිස‍ෙකුට තම පියයුරු පාමින් කිරි බීමට දීම තවමත් මගේ හිත කළඹන කාරණයක්. එය ඒ තරම්ම ප්‍රබල යි. විශිෂ්ට යි.” ඔහු නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කර සිටියා.

ජීවිතය

බිරිය සෝයා සමගින් – khaledhosseini Facebook page

හුසේයිනි උපත ලැබුවේ 1965 දී ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර. ඔහුගේ පියා ඇෆ්ඝන් විදේශ අමාත්‍යංශයේ දූත නිලධාරියෙක්. මව පාර්සි වූ අතර ඇය ඉතිහාසය උගන්වන ගුරුවරියක්. ඔහු ලොකු මහත් වුණේ රූමි, ඕමාර්, ඛයියාම්, සහ හෆේස් ආදීන්ගේ පොත් කියැවීම් ඇසුරේ යි. කාබුල්වල උන්නු ඔහුගේ නිවසේ මේ හැම පොතකම පිටපත් තිබුණා. “ඒත් ගෙදර කවුරුවත් මං පොඩි කාලෙ මට ඇහෙන්න පොත් කියෙව්වෙ නෑ. මං නිදාගන්න යනකොට තාත්තා හරි, ආච්චි හරි කතන්දරයක් නම් කියලා දෙනවා. මම පොත් කියවීම පුරුදු වුණේ තනිවම යි. ඇඳේ වැතිර සිටිමින් සියලුම කතන්දර පොත් මම තනිව කියවා ගත්තා.” ඔහු සඳහන් කරනවා.

කලීඩ්ගේ පොත් පිළිබඳව අමෙරිකාවේ ප්‍රචාරණ අවස්ථාවක්- – khaledhosseini.com

1976 දී ඔහුගේ පියා රැකියාව සඳහා පැරිස් නගරයට යනවා.  ඒ වනවිට හුසේයිනිගේ වයස අවුරුදු 11යි. ඔවුන් 1980 දී නැවත කාබුල් නුවරට ඒමට නියමිතව තිබුණත් රට ගිනිගෙන තිබූ යුද්ධය නිසා හුසේයිනි අමෙරිකාවේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටිනවා. ඒ අවුරුද්දේ සැප්තැම්බර් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඔහු යන්නේ ඒ අනුව යි. ඔහු එහි සැන්ටා ක්ලාරා උසස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යි. ඔහු 1993 දී එහි වෛද්‍ය උපාධිය ලබාගන්නවා. වෛද්‍යවරය‍ෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ 1996 දී.

A Thausand Splendid Suns නාට්‍යයක් ලෙස රංගගත වූ අවස්ථාවක් khaledhosseini Facebook page

2006 දී ඔහු එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ තානාපතිවරය‍ෙකු ලෙස නම් කරනවා. සරණාගත කොමිසම සමග මව්බිමට යන ඔහු එහි අනාථ කඳවුරුවලට ද යනවා. ජනතාවට යුද්ධය විසින් අත්කර දී ඇති දුක්බර ඉරණම දකින ඔහු රට ගැන කම්පාවට පත්ව, එහි සරණාගතයන්ට සේවය සැලසීමට කාලීඩ් හුසේයිනි පදනම නම් ලාභ නොලබන සංවිධානය ඔහු බිහිකරන්නේ ඒ අනුව යි. මොහු ජීවත් වන්නේ උතුරු කැලිෆෝනියාවේ තම  බිරිය රෝයා සමග යි.

හුසේනිගේ නිර්මාණ දෙස බලමු

නිර්මාණ අස්වැන්න –  khaledhosseini Facebook page

මොහුගේ නවකතාවල විශේෂත්වය නම් ඇෆ්ඝනිස්ථානයේ යුදමය වාතාවරණය, එහි කටුක අත්දැකීම් නිසා ජන ජිවිතයට වන හානිය, හා මිනිස් සබඳතාවල ශක්තිමත් බව සියුම් ලෙස ඉදිරිපත් කිරීම යි. ඔහු මුල්ම පොත ලියන්න පටන් ගන්නේ 2001 දී. ඒ වෛද්‍යවරය‍ෙකු ලෙස සේවය කරන අතරතුරදීම යි.  එලෙස ලියූ ප්‍රථම නවකතාව The Kite Runner රිවර්හෙඩ් ප්‍රකාශනයක් ලෙස 2003 දී නිකුත් වෙනවා.

පොත ආරම්භ වන්නේ ඒ වන විට වැඩුණු මිනිසෙක්ව අමෙරිකාවේ වාසය කරන අමිර්ට ඔහුගේ පියාගේ පැරණි මිතුර‍ෙකු වන රහීම් ඛාන් ගෙන් ලැබෙන දුරකථන ඇමතුමක් සමගින්.

ඉන්පසු ඇරඹෙන්නේ අමීර්ගේ අතීත මතක ආවර්ජනය යි.

නවකතා ත්‍රිත්වයේ සිංහල පරිවර්තන- ganga suduwelikanda FB page

ඒ ඇෆ්ගනිස්ථානයේ වාර්ෂික සරුංගල් සැණකෙළි සමය යි. විවිධාකාර සරුංගල් ‍රැගෙන සරුංගල් සටනට පිවිසෙන ඇෆ්ඝන් ජාතිකයෝ එකිනෙකා පරයමින්, අනෙකාගේ සරුංගලයේ නූල තමන්ගේ සරුංගලයේ නූල මගින් කපා දමමින් ජය ගැනීමට උත්සාහ කරන්නේ යුද්ධයක් පරිද්දෙන්.

මේ සරුංගල් සමය මුල් කරගෙන අනුවේදනීය මානුෂික සම්බන්ධතා සහිත නවකතාවක් ගෙත්තම් කිරීමට කලීඩ් දක්වා ඇත්තේ විශිෂ්ට ශූරතාවක්. මේ පොත කෙටිකලකින්ම කොච්චර ජනප්‍රිය වුණා ද කිව්වොත් එය අඛණ්ඩව සති 103ක් දක්වා නිව්යෝක් ටයිම්ස් වැඩියෙන්ම විකිණෙන පොත් ලැයිස්තුවේ තිබුණා. රටවල් 70ක පිටපත් මිලියන 40ක් අලෙවි වුණා. මෙම නවකතාව ඇසුරෙන් 2007 දී චිත්‍රපටයක් ද නිෂ්පාදනය වුණා. එය අධ්‍යක්ෂණය කළේ මාක් ෆොස්ටර් විසින්.

අලුත්ම පොතේ අලංකාරය- khaledhosseini Facebook page

A Thausand Splendid Suns ඇෆ්ඝනිස්ථානයේ කටුක අත්දැකීම් විඳින මාරියම් සහ ලයිලා නම් කාන්තාවන් දෙදෙනා වටා ගෙතුණු මිනිසත් බව ඉස්මතු කරවන නවකතාවක්. පසුගිය අවුරුදු 30 තිස්සේ ඇෆ්ඝන් කාන්තාවන් මුහුණදෙමින් සිටින ශෝකජනක ඉරණම ජාත්‍යන්තරයට ගෙනයාමට ද මේ නවකතාව ඉවහල් වුණා. නවකතාව පිට වී සතියක් ඇතුළත පිටපත් මිලියනයක් අලෙවි වුණා.

මිලියන ගණනින් අලෙවි වන නවකතා ත්‍රිත්වය-www.vagabomb.com

And the Mountain Echoed මුල්වරට නිකුත් කළේ 2013 මැයි 21 දා යි.  මෙම නවකතාව ඔහුගේ අනික් කතා දෙකට වැඩිය වෙනස් ආරකින් ලියැවුණා. චරිත ගණනාවක් ඇසුරු කරගෙන, කෙටි කතා මාලාවක් ලෙසින් ලියැවුණ මෙහි ප්‍රධාන චරිතය අබ්දුල්ලා. මේ කතා  සියල්ල එකකට එකක් සම්බන්ධ වන සේ අමුණා තිබෙනවා. වර්ෂ 1952 දී ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවරින් පටන් අරගෙන, 2010 වනතුරු පැරිස්, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ග්‍රීසිය ආදී රටවල් දක්වා එම කතා මාලාව  විහිදී යනවා. මෙම පොත පිට වී මාස පහක් ඇතුළත පිටපත් මිලියන 3ක් අලෙවි වූ බව වාර්තා පවසනවා.

මූලාශ්‍රයයන්-

http://khaledhosseini.com/books/

www.goodreads.com

www.theguardian.com/books/2007/may/19/featuresreviews.guardianreview21

khaledhosseini Facebook page

www.khaledhosseinifoundation.org

Related Articles