Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසංගත සමය, ගෙවතු වගාව සඳහා කාර්යක්ෂමව යොදා ගනිමු!

චීනයේ, හුබේ පළාත කේන්ද්‍ර කරගෙන 2019 වසරේ අගභාගයේ දී පැතිර යාම ආරම්භ වූ කොවිඩ්-19 කොරෝනා වසංගත තත්ත්වය මේ වන විට ලෝකය පුරා දරුණු ආකාරයෙන් පැතිර යනවා. වෛරසය ක්ෂණිකව සියලු මහද්වීප ආක්‍රමණය කරන අතර, මේ වන විට වෛරසය ව්‍යාප්ත නොවී ඇති එකම මහාද්වීපය වන්නේ ඇන්ටාටිකා මහද්වීපය පමණයි. යුරෝපය කේන්ද්‍ර කරගෙන විශාල මරණ ප්‍රමාණයක් වාර්තා වෙන අතර, මේ වන විට වෛරසයේ වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනුයි.

ශ්‍රී ලංකාවේ ද මේ වන විට වෛරසයේ යම්තාක් දරුණු මට්ටමක් වාර්තා වන අතර ඒ හේතුවෙන් අපට බොහෝ සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඉන්දියාව ඇතුළු අපගේ ප්‍රධාන ආනයනකින රටවල් ද කොවිඩ් 19 හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ඒ හේතුවෙන් මෙරටට අත්‍යවශ්‍ය දෑ ආනයනයන් කිරීමේ ගැටළුවක් ද නිර්මාණය වී තිබෙනවා. ස්‌වයංපෝෂිත ආර්ථික ක්‍රමයක්, එමෙන්ම තමන්ට අවශ්‍ය දෑ දේශීයව නිපදවා ගැනීමක් පිළිබඳව මෙරට කතිකාවතක් නිර්මාණය වන්නේ මේ සමග යි. විශේෂයෙන්ම, තමන්ට අවශ්‍ය ආහාර වර්ග තම ගෙවත්තෙන්ම සපයා ගැනීම පිළිබඳව රජයේ මෙන්ම පුරවැසියන්ගේ ද අවධානය යොමු වී තිබෙනවා.

තමන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තම ගෙවත්තෙන්ම සකසා ගැනීම පිළිබඳව බොහෝ දෙනෙක් මේ වන විට උනන්දු වෙන බව පෙනෙන්නට තිබෙනවා. එය ග්‍රාමීය, අර්ධ නාගරික හා නාගරික යන සියලු වැසියන්ගේ අවධානයට ලක් වී තිබීම සුවිශේෂී කරුණක්.

නමුත්, බොහෝ අය මේ අවස්ථාවේ මුහුණ පාන ප්‍රධාන ගැටළුවක් වන්නේ; ඒ සඳහා අවශ්‍ය ඉඩකට තම ගෙවත්තේ නොමැති වීම යි. මේ හේතුවෙන් බොහෝ දෙනා අඅධෛර්යයට පත් වෙනවා. නමුත්, ඒ සඳහා තාක්ෂණික විසදුම් තිබෙනවා. ඉතා අඩු ඉඩකඩක්, කාර්යක්ෂමව භාවිතා කරමින් බෝග වගාව තුළින් ඉහළ අස්වැන්නක් ලබාගැනීම සඳහා  ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි සරල විද්‍යාත්මක ක්‍රම කිහිපයක් පිළිබඳව යි අප මේ ගෙන එන්නේ.

1. භූමියෙන් බැහැරව සදළු තලයේ තැබිය හැකි වගා මලු 

සාර්ථක වගා මලු ක්‍රමය (mydreamgarden)

තමන්ට ගෙවත්තක් නැති, නාගරික ජනතාවට වගා මලු ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මේ වන විට උසින් අගල් 15ක් හා පළලින් අගල් 10ක් පමණ වන ඇතු ඇතුළත කළු හා මතුපිට සුදු පැහැති වගා මලු වෙළදපොලෙන් මිල දී ගත හැකි යි. මීට වඩා කුඩා ප්‍රමාණයේ වගා මලු ද ඔබට වෙළදපොලෙන් මිල දී ගැනීමට අපහසු නැහැ.

මෙම වගා මලු තුළට කොම්පොස්ට් මිශ්‍ර පොහොර හා කොහුබත් මිශ්‍රණයක් දමා, හොඳ පසක් ඔබට නිර්මාණය කර ගත හැකි යි. එයට ජලය යෙදීමේ දී ජලය අපතේ නොයන බැවින් ජල කාර්යක්ෂමතාවය ද ඉහළ මට්ටමක පවතිනවා. තෙතමනය ද බොහෝ වෙලාවක් රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා. තවාන්වලින් ගලවාගන්න ලද වම්බටු, මිරිස්, තක්කාලි වැනි සොලනේසි කුලයේ (Solanaceae) බෝග සඳහා ඉහත මිමි සහිත වගා මලු ඉතාමත් යෝග්‍ය වන අතර එම වර්ගයේ පැළ, එක් මල්ලක 2 බැගින් සිටුවිය හැකි යි. බීට්, කැරට්, නෝකෝල් හා ලීක්ස් වැනි බෝග පැළ තුන හතරක් වුව ද, එවැනි මල්ලක සිටුවිය හැකියාව පවතිනවා. හිරු එළිය ලබාදීම සඳහා අදාළ වගා මලු සදළු තලයේ වුව ද තැබිය හැකි යි. ඉහළ අස්වැන්නක් සඳහා ඇල්බර්ට් ද්‍රවණය ද (mix Albert) ඔබට මෙම මලුවලට එකතු කිරීමට හැකියාව පවතිනවා.

2. පළතුරු වගා කිරීමේ බඳුන්ගත ක්‍රමය

බඳුන්ගත පළතුරු වගාව (diymorning.)

නාගරික වාසය කරන වඩා වැඩි ඉඩකඩක් නොමැති අයට, විශේෂයෙන් පළතුරු බෝග වගා කිරීම සඳහා වඩාත්ම හොඳ ක්‍රමය ලෙස නිර්දේශ වී ඇත්තේ බඳුන්ගත ක්‍රමය යි. මේ මඟින් සීමිත ඉඩකඩක වැඩි ශාක සංඛ්‍යාවක් නඩත්තු කිරීමේ හැකියාව, ජලය වැනි පාංශු සාධක වෙනස් කිරීමට ද හැකියාව පවතින බැවින් කෘතිමව මල් හා පළ හටගැන්වීම  උත්තේජනය කර වීම මෙන්ම භුමි අලංකරණය හා ගෘහ අලංකරණය සඳහා ද යොදාගත හැකි යි.

මේ සඳහා ලීටර් 40 – 50 ප්‍රමාණයේ ප්ලාස්ටික්, මැටි හෝ සිමෙන්ති වැනි බඳුනක් භාවිතා කළ යුතු යි. එහි පතුළෙහි හා පතුළට අඟල් දෙකක් පමණ ඉහළින් සෙ.මි. 1ක් පමණ විශ්කම්භයකින් යුතු ජල වහන සිදුරු 7ක් 8ක් පමණ සාදාගත යුතු වෙනවා. ජල වහනය පහසු වීම සඳහා පතුළෙහි සිට අඟල් 2ක් පමණ ඉහළට වන තුරු ගඩොල් හෝ උළු කැබලි පිරවීම වඩා යෝග්‍ය යි. ඒ මත දිරාපත් කොළරොඩු තට්ටුවක් අසුරා, ඉන්පසුව බදුනේ 3/4ක් පමණ පිරෙන සේ කොපොස්ට් පොහොර වැලි හා පොළොව මතුපිට පස්, සම ප්‍රමාණයේ මිශ්‍රණයක්  පිරවිය යුතු වෙනවා. නමුත්, ජල වහනය පහසු වන සේ පස් තටුව බුරුල් විය යුතු යි. පස් පිර වූ බඳුනේ මැද, පැලය සිටවිය යුතු වන අතර පැලය සිටුවීමට දින දෙකකට පමණ පෙර යුරීයා ග්‍රෑම් 25ක් යෙදීම ප්‍රමාණවත්. පැළෑටිය බඳුනේ හොඳින් ස්ථාපනය වන තුරු ජලය සැපයීම මෙන්ම සෙවනේ තැබීම ද සිදුකළ යුතු යි. ශාකය වැඩී ගෙන එන විට ප්‍රමාණවත් පරිදි කප්පාදු කිරීම ද කළ යුතු යි.

මේ සඳහා අඹ, පැඟිරි බෝග, බෙලි අනෝදා ජම්බු, පේර වෙරළු හා උගුරැස්ස ආදී පළතුරු බෝග සුදුසු වෙනවා. හොඳ පාලන තත්ත්ව යටතේ වසර දෙකක පමණ කාලයකින් සරු අස්වැන්නක් මේ මඟින් ලබාගත හැකි වෙනවා.

3. ඉතා අඩු ඉඩක් අවශ්‍ය වගා කුලුනු

වගා කුලුන (ytimg)

ඉතාම අඩු ජල ප්‍රමාණයකින්, ඉතාම අඩු ඉඩ ප්‍රමාණයක එළවළු වර්ග හා පළා කොළ වර්ග වගා කිරීම සඳහා ඉතා යෝග්‍ය ක්‍රමවේදයක් ලෙස වගා කුලුන හඳුන්වාදිය හැකි යි. 

වගා කුලුනක් සාදා ගැනීම සඳහා කිලෝග්‍රෑම් 50ක ප්‍රමාණයේ පොලිසැක් බෑග් දෙකක්, අඩි 7ක් පමණ දිග උණ බටයක් හෝ පී.වී.සී. නළයක්, වැලි තාච්චි 4ක් පමණ, ගඩොල් කැබිලි, බොරළු ආදිය තාච්චි 3ක් පමණ හා මතුපිට පස් හා දිරූ ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර අවශ්‍ය වෙනවා. වගා මල්ල පිළියෙල කිරීමේ දී එක් පොලිසැක් මල්ලක අඩියේ මැහුම් ගලවා අනෙක් මල්ලේ කටට තබා ලොකු මල්ලක් සකස් කරන සේ මසා ගත යුතු යි.

මුලින්ම අඩි තුනක ඉඩක සහල් උර දෙක අඟල් දෙකක විෂ්කම්භය සහිත බටයක ආධාරයෙන් (එම බටය පොළොවට සිටින පැත්ත සීල් කර අඩි තුනේ මැද සිටවා ගන්න.) එම බටය මැදි කර සාදාගත් කාබනික පොහොර දමා පොහොර උර දෙක පිරවිය යුතු යි. කාබනික පොහොර දැමීමට ප්‍රථම යටටම ගඩොල් කැබලි අඟල් 3ක්, ඊට උඩින් අඟල් තුනක් වැලි දැමීම සිදුවෙනවා. ඒ මතට තමයි කාබනික පොහොර දමා පුරවා ගන්නේ. ඒ පිර වූ බෑගයේ රවුමට ඉතා කුඩා සිදුරු සාදා, ඒ සිදුරු තුප එළවළු බිජ තැන්පත් කරනවා. මෙවැනි උර දෙකක එළවළු වර්ග 12ක් 18ක් වැනි ප්‍රමාණයක් වගා කළ හැකියි. මෙම වගාවේ දී වඩා ප්‍රයෝජනවත් වන්නේ ගුවන යි (සිරස් අවකාශය). 

දිනකට මෙවැනි උර දෙකකට ජලය ලීටර් 5ක් පමණ අවශ්‍ය වෙනවා. මාස අටක් පමණ යන තෙක්ම පොහොර යොදන්න අවශ්‍ය වන්නේ නෑ. දින 45ක් යන විට ඉතා හොඳ අස්වැන්නක් ද ලබාගත හැකියි. විවිධ බෝග සංකලනය කොට වගා කිරීමට හැකි වීම, මෙම ක්‍රමයේ හොඳම වාසිය ලෙස සඳහන් කළ හැකි යි.

කවරයේ පින්තූරය- ecohome.net

මූලාශ්‍රයයන්: 

Krushiradio.lk

Bfnsrilanka.org

Related Articles