සාහිත්‍ය ලෝකයේ ප්‍රසිද්ධ නාමයන් අතරින් මිනිස් හදවත බියෙන් මුසපත් කළ හැකි නාමයන් අතර ඉහළින් ම වැජඹෙන ‘ඩ්‍රැකියුලා’ බිහි වන්නේ 1897 දී බ්‍රෑම් ස්ටෝකර්ගේ පන්හිඳෙන්. අද වන විට ලේ උරා බොන වැම්පයර්වරුන් වඩා ගෙතුණු චිත්‍රපට, මාලා නාටක සහ පොත්පත් අපමණ ගණනකට පාදක වී ඇත්තේ ඔහුගේ ඒ නිර්මාණය යැයි පැවසීම බොරුවක් නෙමෙයි.
බ්‍රෑම් ස්ටෝකර්ගේ ‘ඩ්‍රැකියුලා’ සම්පූර්ණයෙන් ම කල්පිත කථාන්තරයක් වුවත් ඔහු යෙදූ එම නාමය සත්‍ය වශයෙන් ම අයත් වන්නේ පොතේ එන ඩ්‍රැකියුලා මෙන් ම ලේ පිපාසිතයෙකු වූ වොලේකියාවේ කුමරු තෙවැනි ව්ලැඩ් හෙවත් ව්ලැඩ් නම් උල හිඳුවන්නාට (Vlad the Impaler) යි. ඔහු ව මෙසේ හඳුන්වා ඇත්තේ තමන්ගේ සතුරන් මරා දැමීමට ඔහු වඩාත් ප්‍රිය කළ ක්‍රමවේදය උල හිඳුවීම හේතුවෙන්.
රොමේනියාවේ ජීවත් වූ සැබෑ ඩ්‍රැකියුලා
බොහෝමයක් ඓතිහාසික මූලාශ්‍ර සඳහන් කරන ආකාරයට 1431 දී තෙවැනි ව්ලැඩ් උපත ලබා ඇත්තේ වත්මන් රොමේනියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්සිල්වේනියාවේ දී යි. නමුත් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා සරසවියේ මධ්‍යතන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ෆ්ලොරින් කර්ටා සඳහන් කරන ආකාරයට තෙවැනි ව්ලැඩ් සහ ට්‍රාන්සිල්වේනියාව අතර ඇත්තේ බොහෝම දුරස් සම්බන්ධතාවක්.
ඔහු ප්‍රකාශ කරන්නේ බ්‍රෑම් ස්ටෝකර්ගේ ‘ඩ්‍රැකියුලා’ ට්‍රාන්සිල්වේනියාවේ වාසය කළ ද ඉතිහාසයේ සඳහන් ඩ්‍රැකියුලා හෙවත් තෙවැනි ව්ලැඩ්ට ට්‍රාන්සිල්වේනියාවේ කිසිවක් හිමි වී නොතිබුණු බව යි. එසේ ම අද වන විට ට්‍රාන්සිල්වේනියාවේ ඉහළ ම සංචාරක ආකර්ෂණයක් දිනා ගෙන ඇති ඩ්‍රැකියුලා මන්දිරය, කිසි දිනෙක තෙවැනි ව්ලැඩ්ගේ වාසස්ථානය වී නැහැ.
ඉතිහාසඥයින් විශ්වාස කරන අන්දමට තෙවැනි ව්ලැඩ් උපත ලබා ඇත්තේ ඔහුගේ පියා වූ දෙවැනි ව්ලැඩ් පාලනය කළ වොලේකියාවේ රාජකීය අසුන වූ ටර්ගෝවීෂ්ටේ නම් රොමේනියානු නගරයේ දී යි. තම කුඩා කාලය එහි ගත කළ තෙවැනි ව්ලැඩ් ව ඔහුට වයස අවුරුදු 11 ක් තිබිය දී ඔහුගේ සොයුරු ද සමගින් තුර්කියේ දී සිරගත කරනු ලබනවා. ඒ ඔහු මකර නිකායේ සාමාජිකයෙකු වීම හේතුවෙන්.
ඔටෝමන්වරුන්ට එරෙහි වූ මකර නිකාය
තෙවැනි ව්ලැඩ් උපන් වර්ෂයේ දී ම හංගේරියාවේ රජු (පසු කාලීනව ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයා) ඔහුගේ පියා ව මකර නිකාය නම් වූ නයිට්වරුන්ගේ නිකායකට එක් කර ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි ව්ලැඩ් ව ‘මකරා’ යන අර්ථයෙන් ඩ්‍රැක්‍යුලා ලෙස හැඳින්වෙන අතර තෙවැනි ව්ලැඩ්ට ඩ්‍රැකියුලා යන නම හිමි වන්නේ මකරාගේ පුත්‍රයා යන අරුතින්.
හංගේරියානු රජු යටතේ පැවති මකර නිකායේ නයිට්වරුන්ට පැවරී තිබුණේ එක් රාජකාරියක් පමණ යි. ඒ තුර්කිය නොඑසේ නම් ඔටෝමන් අධිරාජ්‍යය පරාජයට පත් කිරීම. ක්‍රිස්තියානි දහම පැතිරුණු යුරෝපයේ සහ ඔටෝමන් අධිරාජ්‍යයට අයත් වූ මුස්ලිම් රාජ්‍යයන් මධ්‍යයේ පිහිටි වොලේකියාව, නිරන්තරයෙන් ම යුද්ධ බිමක් ව පැවතුණා. ඒ ඔටෝමන් හමුදාවන් යුරෝපය ඇතුළු බටහිර රාජ්‍යයන් අත්පත් කර ගැනීමට හා එයට එරෙහි ව ක්‍රිස්තියානු හමුදාවන් දියත් කළ ක්‍රියාන්විතයන් හේතුවෙන්.
තුර්කිවරුන්ගේ ග්‍රහණයේ දී
1442 දී ඔටෝමන් සුල්තාන් වූ දෙවැනි ම්‍යුරාඩ්, ඩ්‍රැකියුලාගේ පියාට රාජ්‍යතාන්ත්‍රික හමුවක් සඳහා ආරාධනා කළ අතර ඒ සඳහා ඔහුගේ තම පුතුන් දෙදෙනා ද කැටුව ගියා. නමුත් සත්‍ය වශයෙන් ම එම හමුව ඔවුන් ව අත්අඩංගුවට ගැනීම සඳහා වූ උගුලක්. ඒ අනුව පියා සහ පුතුන් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන ප්‍රාණ ඇපයට තබා ගැනීමට ඔටෝමන්වරුන් සමත් වූ අතර කෙටි කලෙකින් දෙවැනි ව්ලැඩ් ව නිදහස් කර ඇත්තේ ඔහුගේ පුතුන් දෙදෙනා ව තුර්කියේ රඳවා යන බවට වූ කොන්දේසිය මත යි. ඔවුන්ගේ අරමුණ වුණේ ඒ වන විටත් ඇවිලී යමින් තිබුණු තුර්කි-හංගේරියානු යුද්ධය සඳහා දෙවැනි ව්ලැඩ්ගේ සහභාගීත්වය වැළැක්වීම යි.
ඔටෝමන්වරුන්ගේ ග්‍රහණයේ සිටිය දී කුඩා ව්ලැඩ්ට සහ ඔහුගේ සොයුරාට විද්‍යාව, දර්ශනය සහ කලාව ඉගෙනීමට ඉඩකඩ සලසා ඇති අතර ඔවුන් ව රණශූරයන් සහ දක්ෂ අශ්වාරෝහකයන් ලෙස ද පුහුණු කර තිබෙනවා. රාජකීය පෙළපතකට අයත් වූ බැවින් ඔවුන්ට අවැසි පහසුකම් ලබා දීමට ඔටෝමන්වරු කටයුතු කර ඇති අතර ව්ලැඩ්ගේ සොයුරා ව ඔටෝමන් අධිරාජ්‍යයට පක්ෂපාතී කර ගැනීමට ද ඔවුන් සමත් වුණා. නමුත් තමන් ව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔටෝමන්වරුන් සමග වෛරයෙන් පසු වූ ව්ලැඩ් සෑම විට ම පසු වුණේ තුර්කිවරුන්ට එරෙහි සටන් කිරීමේ නොමද අධිෂ්ඨානයකින්.
වොලේකියාවේ කුමරු තෙවැනි ව්ලැඩ්
ව්ලැඩ් සහ ඔහුගේ සොයුරු ඔටෝමන්වරුන්ගේ ග්‍රහණයේ සිටින අතරතුර දී වොලේකියානු වංශවතුන් එක් ව ඔහුගේ රාජ්‍ය අත්පත් කර ගැනීමට සටන් කර තිබෙනවා. කෙසේ හෝ එම සටන් අවසන් වුණේ දෙවැනි ව්ලැඩ් ව ජීවිතක්ෂයට පත් කිරීමෙන් අනතුරු ව යි.
1448 දී තම පියාගේ සිහසුන උදුරා ගත් නව පාලකයා වූ දෙවැනි ව්ලැඩිස්ලාව්ට එරෙහි ව සංග්‍රාමයක් දියත් කිරීමට තරුණ ව්ලැඩ් තීරණය කළ අතර ඒ සඳහා ඔහුට ඔටෝමන්වරුන්ගේ සහය හිමි වී තිබෙනවා. සටන් අවසානයේ දී දෙවැනි ව්ලැඩිස්ලාව් ව පරාජයට පත් කර තම පියාගේ සිහසුන උරුම කර ගැනීමට ව්ලැඩ් සමත් වුණා. නමුත් ඔහුට සිහසුන දැරීමට සිදු වුණේ මාස දෙකක් වැනි කෙටි කලක් පමණ යි. හංගේරියානු වංශවතුන්ගේ සහය ඇති ව යළිත් වරක් දෙවැනි ව්ලැඩිස්ලාව් වොලේකියාව අත්පත් කර ගන්නවා.
ඉන් අනතුරුව එළැඹෙන වසර අටක කාලය තෙවැනි ව්ලැඩ් ගත කරන්නේ දෙවැනි ව්ලැඩිස්ලාව්ට එතරම් කැමැත්තක් නොදැක් වූ හංගේරියානු රජුගේ සහය ඇති ව සේනා සංවිධානය කිරීම සඳහා යි. ජවයෙන් පිරි තරුණ ව්ලැඩ්ගේ දේශපාලනික සහ යුද්ධ උපක්‍රමයන් 1453 දී සිදු වූ කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීමත් සමග කලඑළි බැස්සා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ 1456 දී යළිත් වරක් වොලේකියාවේ සිහසුන උරුම කර ගැනීමට තෙවැනි ව්ලැඩ් සමත් වීම යි.
ව්ලැඩ් නම් උල හිඳුවන්නා
වොලේකියාවේ පාලකයා ලෙස තමන්ගේ ස්ථානය දිනා ගැනීමෙන් පසුව තෙවැනි ව්ලැඩ්ට නිරතුරු ව ම තමන්ට එරෙහි ව කටයුතු කරන වොලේකියානු වංශවතුන්ගේ සටන් ව්‍යාපාරයන් නවතා දැමීමට අවශ්‍ය වුණා. ජනශ්‍රැතීන් හි සඳහන් වන ආකාරයට වංශවතුන් සිය ගණනකට භෝජන සංග්‍රහයකට පැමිණෙන මෙන් ආරාධනා කළ ඔහු පළමුව ඔවුන්ට පිහියෙන් ඇන තවමත් පණ අදින සිරුරු තියුණු උල්වල හිඳුවා තිබෙනවා. මේ හේතුවෙන් කෙටි කලකින්ම ඔහු ව්ලැඩ් නම් උල හිඳුවන්නා ලෙස ජනප්‍රිය වුණා.
වොලේකියානු වංශවතුන්ට හිතවත් වූ සැක්සන්වරුන්ට උල හිඳ වූ තෙවැනි ව්ලැඩ් වරක් ඔහු හමුවට පැමිණි ඔටෝමන්වරුන් පිරිසකගේ හිස් සැරසූ තලප්පාවන් යළි ගැළවිය නොහැකි ලෙස හිසට තබා ඇණ ගසා තිබෙන බව පැවසෙනවා. එයට හේතු වී ඇත්තේ ඔවුන් ව්ලැඩ්ට කරන ගෞරවයක් ලෙස ඔහු ඉදිරියේ දී තම තලප්පාවන් ගැළවීම ප්‍රතික්ෂේප කිරීම යි. අතිශය දරුණු පුද්ගලයෙකු වුව ද ව්ලැඩ් තම ජනතාව කෙරෙහි සාධාරණව කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
දරුණු පාලකයෙකුගේ අවසානය
1462 දී ඔටෝමන් අධිරාජ්‍යය වොලේකියාව ආක්‍රමණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හංගේරියාවට පළා යන ලෙස ව්ලැඩ්ට බල කර තිබෙනවා. හංගේරියාවේ දී ඔහු වසර කිහිපයක් ම සිර ගත කරන ලද නමුත් ඒ කාලය තුළ දී ඔහුට විවාහ වීමට අවස්ථාවක් ලබා දීමට තරම් හංගේරියානුවන් කාරුණික වුණා.
මේ කාලය තුළ දී ඔටෝමන්වරුන්ගේ රැකවරණය ලබමින් සිටි ව්ලැඩ්ගේ සොයුරා වොලේකියාව පාලනය කළ අතර 1475 දී සිදු වූ ඔහුගේ මරණය සමග වොලේකියාවේ ප්‍රාදේශීය පාලකයන් නැවත වරක් ව්ලැඩ්ගේ පැමිණීම බලාපොරොත්තු වූ බව කියැවෙනවා. ඒ අනුව මෝල්දෝවේ රජුගේ සහය ඇතු ව 1476 දී ව්ලැඩ් යළිත් වරක් වොලේකියාවේ සිහසුන දිනා ගත්ත ද ඔහුට එහි රැඳී සිටීමට ලැබුණේ වසරටත් අඩු කාලයක්. කෙටි කලකින් නැවතත් ඔටෝමන් ආක්‍රමණයක් සිදු වූ අතර එය අතරතුර දී තෙවැනි ව්ලැඩ් ව ජීවිතක්ෂයට පත් කරනු ලැබුවා.
කවරයේ පින්තූරය : (© Wikimedia Commons)