Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාර්ලිමේන්තු මැතිවරණය ගැන තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය හෙට දිනයේ පැවැත්වීමට සඳහා සියලු කටයුතු සූදානම් කරලා යි තිබෙන්නෙ. එම මැතිවරණයෙන් පසුව ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225ක් තෝරා පත්කර ගැනීමට නියමිත යි. එලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජිතයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීති සම්පාදනය කිරීමට, අවලංගු කිරීමට සහ සංශෝධනය කිරීමට ලංකාවේ ඇති අනෙකුත් සියලුම දේශපාලන ආයතනවලට වඩා ව්‍යවස්ථාදායක බලය හිමිවනු ඇති. 

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225ක් තෝරාගන්නේ කෙසේ ද?

1978 නව ව්‍යවස්ථාව මඟින් ලංකාවට සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නා. එම නියෝජන ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මැතිවරණ දිස්ත්‍රික්ක 22කට වෙන් කරනු ලැබුවා. එහි දී මුලතිව්, වව්නියාව, සහ මන්නාරම දිස්ත්‍රික්ක එක් කරමින් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය නිර්මාණය වුණා. කිලිනොච්චි දිස්ත්‍රික්කය යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයට එකතු කළා. ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන්  225 තෝරාගනු ලබන්නේ මහජන ඡන්දයෙන්  සහ ජාතික ලැයිස්තුවෙන් යන ආකාර දෙක යටතේ යි. 

මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරා ගනු ලබනවා. එක් එක් දිස්ත්‍රික්කය සඳහා ලැබෙන මන්ත්‍රීධූර ප්‍රමාණය තීරණය වන්නේ දිස්ත්‍රික් පදනම සහ පළාත් පදනම යන සාධක මත යි. එහි දී දිස්ත්‍රික් පදනම අනුව දිස්ත්‍රික්කයට ලැබෙන මන්ත්‍රීවරුන් ප්‍රමාණය තීරණය කිරීමේ දී සලකා බලන්නේ  දිස්ත්‍රික්කය තුළ සිටින ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි. පළාත් පදනමෙන් දිස්ත්‍රික්කයකට ලැබෙන මන්ත්‍රීවරුන් ප්‍රමාණය 96 (4) වගන්තිය අනුව වෙන් කර තිබෙනවා.

දිස්ත්‍රික් පදනම මත දිස්ත්‍රික්කවලට ලැබෙන මන්ත්‍රීධූර ප්‍රමාණයන් 

එක් එක් දිස්ත්‍රික්කයෙන් පත්වෙන මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගණනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රමවේදය භාවිතා කරනවා. එහි දී මුලින්ම දිවයිනේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව රට තුළ තිබෙන මැතිවරණ බල ප්‍රදේශ ප්‍රමාණය වන 160න් බෙදූ විට පරිමිත අගයක් ලැබෙනවා. 

දිවයිනේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව/160 = පරිමිත ඡන්ද සංඛ්‍යාව

එම පරිමිත අගයෙන් එක් එක් දිස්ත්‍රික්කය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය බෙදූ විට එක් එක් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික් පදනම යටතේ පත්වීමට නියමිත මන්ත්‍රීවරුන් ප්‍රමාණය ලැබෙනවා. පහත දැක්වෙන්නේ මෙවර මහා මැතිවරණයේ දී දිස්ත්‍රික් පදනම මත කොළඹ දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීවරුන් ප්‍රමාණය යි. 

*2019 වසර වන විට ලංකාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය- 16,263,885

*පරිමිත ඡන්ද ප්‍රමාණය- 16,263,885/160 = 101,649.28

*2019 වසර වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය- 1,709,209

*මැතිවරණ දිස්ත්‍රික්ක ක්‍රමයෙන් තෝරාපත් වන මන්ත්‍රීධුර ප්‍රමාණය- 1,709,209/101,649.28 =16.81

ඒ අනුව දිස්ත්‍රික් ක්‍රමය අනුව කොළඹ දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 17ක් හිමිවනවා

අනිකුත් දිස්ත්‍රික්ක සඳහාත් දිස්ත්‍රික් පදනම යටතේ තේරී පත්වන මන්ත්‍රීවරුන් ගණනය කරන්නේ ඉහත ආකාරයට යි.

පළාත් පදනම මත එක් එක් දිස්ත්‍රික්කයට වෙන්ව ඇති මන්ත්‍රීවරුන් ප්‍රමාණය 

පළාත් පදනම යටතේ එක් පළාතකට මන්ත්‍රීධූර 36ක් වෙන් වී තිබෙනවා. ඒ අනුව එක් පළාතකට මන්ත්‍රීධූර 4ක් එම පදනම යටතේ වෙන් වනවා. පහත දක්වා තිබෙන්නේ පළාත් පදනම අනුව එක් එක් දිස්ත්‍රික්කයට ලැබෙන මන්ත්‍රීධූර ප්‍රමාණය යි.

1) බස්නාහිර පළාත

කොළඹ දිස්ත්‍රික්කය- 2, ගම්පහ දිස්ත්‍රික්කය- 1, කළුතර දිස්ත්‍රික්කය- 1

2) මධ්‍යම පළාත

මහනුවර දිස්ත්‍රික්කය- 1, මාතලේ දිස්ත්‍රික්කය- 1, නුවරඑළිය දිස්ත්‍රික්කය- 2

3) දකුණු පළාත

ගාල්ල දිස්ත්‍රික්කය- 1, මාතර දිස්ත්‍රික්කය- 1, හම්බන්තොට දිස්ත්‍රික්කය- 2

4) උතුරු පළාත

යාපනය  දිස්ත්‍රික්කය- 1, වන්නි  දිස්ත්‍රික්කය- 3 

5) නැගෙනහිර පළාත

මඩකලපුව දිස්ත්‍රික්කය-1, දිගාමඬුල්ල දිස්ත්‍රික්කය- 2, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 1

6) වයඹ පළාත

කුරුණෑගල දිස්ත්‍රික්කය- 2, පුත්තලම  දිස්ත්‍රික්කය- 2

7) උතුරු මැද පළාත

අනුරාධපුර දිස්ත්‍රික්කය- 2, පොළොන්නරුව දිස්ත්‍රික්කය- 2

8) ඌව පළාත

බදුල්ල දිස්ත්‍රික්කය- 2, මොණරාගල  දිස්ත්‍රික්කය- 2

9) සබරගමුව පළාත

රත්නපුර දිස්ත්‍රික්කය- 2, කෑගල්ල දිස්ත්‍රික්කය- 2

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට ලැබෙන සමස්ත මන්ත්‍රීධූර ප්‍රමාණය- 17+2 = 19 ලෙසින් දැකිවිය හැකියි.

සාමාන්‍යයෙන් යම් දිස්ත්‍රික්කයක් තුළ සිදුවන ජනගහන වෙනස්වීම අනුව ලැබෙන ආසන ප්‍රමාණය කලින් කලට වෙනස් වනවා. පසුගිය මහා මැතිවරණයේ දී ආසන 8ක් ලැබුණු මාතර දිස්ත්‍රික්කයට මෙවර ආසන 7ක් හිමිවන විට මොණරාගල දිස්ත්‍රික්කයට හිමිව තිබුණු ආසන ප්‍රමාණය 5හේ සිට 6 දක්වා වර්ධනය වී තිබෙනවා. එසේම ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයේ දී වෙන් වී තිබුණු ආසන 10 මෙවර ආසන 9 දක්වා අඩුවන විට බදුල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබුණු ආසන ප්‍රමාණය 8හේ සිට 9 දක්වා වර්ධනය වී තිබෙනවා.

ජාතික ලැයිස්තුව 

1988 වසරේ මැයි 24 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය සිදු කරනු ලැබුවා. එම සංශෝධනය යටතේ සිදු වුණු  99(අ) වගන්තිය ආදේශ කිරීම නිසා පාර්ලිමේන්තුව සඳහා පත්කරගන්නා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 දක්වා වැඩි වුණා. එහි දී හඳුන්වා දුන් ජාතික ලැයිස්තුව නම් ක්‍රමවේදය තුළින් තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වුණා. 

පහත දක්වා තිබෙන්නේ ලංකා පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරාගැනීම පිළිබඳව දක්වා ඇති රූප සටහනක් 

පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා නාම යෝජනා ලබා දීම 

සෑම පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක්ම තම දිස්ත්‍රික්කයට හිමි ආසන ප්‍රමාණයට වඩා වැඩිපුර නම් 3ක් එකතු කරන ලද නාමයෝජනා පත්‍රයක් භාර දිය යුතු යි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට ආසන 19 හිමිවන වන නිසා එම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන දේශපාලන පක්ෂයක් අපේක්ෂකයන් 22කින් යුත් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතු යි. අනිකුත් දිස්ත්‍රික්ක සඳහා තරග කරන දේශපාලන පක්ෂත් සිය  නාම යෝජනා ඉදිරිපත් කළ යුත්තේ එම ක්‍රමවේදය යටතේ යි. මැතිවරණයට පෙර අපේක්ෂක ලැයිස්තුවේ යම් කෙනෙකු මියගියොත් හෝ දරුණු ලෙස රෝගී වුණොත් ඔහු හෝ ඇය වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ හැකියි. එසේම යම් දිස්ත්‍රික්කයකින් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වුණු මන්ත්‍රීවරයෙකු මිය ගියහොත් ඔහු වෙනුවට පාර්ලිමේන්තුවට යවන්නේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා යි. සාමාන්‍යයෙන් මහා මැතිවරණයක් සඳහා සෑම දිස්ත්‍රික්කයක් සඳහාම විශාල වශයෙන් ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වන ආකාරය දක්නට ලැබෙනවා. පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවීම හේතුවෙන් යම් පාර්ශවයන් එලෙස ස්වාධීන කණ්ඩායම් යටතේ තරග කරනවා. 

ඡන්දය භාවිතා කරන්නේ කෙසේද?

මෙවර මහා මැතිවරණය පැවැත්වෙන්නේ සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ මාලාව අනුව යි. Roar සිංහල අප විසින් ඉදිරිපත් කෙරුණු පහත වීඩියෝව මඟින් ඔබට මැතිවරණයේ දී ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳව දළ අදහසක් ලබාගත හැකියි.

ලබාගන්නා ඡන්ද ප්‍රමාණය අනුව ආසන වෙන් වන හැටි 

යම් දිස්ත්‍රික්කයක් සඳහා තරග කරන පක්ෂ සියල්ල ලබාගන්නා ඡන්ද ප්‍රමාණයන් අනුව ආසන වෙන් කරනු ලබන්නේ පහත සඳහන් ක්‍රමවේදය අනුව යි. එය ඔබට තේරුම් ගැනීම පහසු වීමට 2015 මහා මැතිවරණයේ මාතර දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය ආශ්‍රයෙන් ගණනය කිරීම කරන්නම්.

ඡන්ද ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 250,505 (52.44%)

එක්සත් ජාතික පෙරමුණ- 186,675 (39.08%)

ජනතා විමුක්ති පෙරමුණ- 35,270 (7.38%)

ස්වාධීන කණ්ඩායම් 2- 2,332 (0.49%)

ස්වාධීන කණ්ඩායම් 1- 1,160(0.24%)

ආසන ගණනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම 

මුල් වටයේ ආසන ගණනය කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ 5%කට වඩා වැඩි ප්‍රතිශතයක් ඡන්ද ලබාගත් පක්ෂ පමණ යි. ඉහත ප්‍රතිඵලය අනුව පළමු වටයේ ආසන ගණනය කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ, සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ තුන යි.

පළමු වටයේ ආසන ගණනය කිරීම 

දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන පක්ෂයට බෝනස් ආසනයක් හිමිවනවා. එම නිසා ඉහත ප්‍රතිඵලය අනුව එම බෝනස් ආසනය හිමිවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. ඒ අනුව 2015 මහා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයට හිමි වුණු ආසන 8න් ඉතිරි ආසන 7 බෙදී ගියේ පහත ආකාරයට යි. 

5%කට වඩා ඡන්ද ගත් පක්ෂවල ඡන්ද එකතුව- 250,505+ 186,675+ 35,270 = 472,450

බෝනස් ආසනය හැර ඉතිරිව ඇති ආසන ගණන = 7

කොටස් අනුපාතය = මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව/මන්ත්‍රීවරුන් ප්‍රමාණය

67,493 = 472,450/7

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවන අපේක්ෂකයන් ගණන= 250,505/67,493

                                                                                         = 3 (ශේෂය- 48,026)

එක්සත් ජාතික පෙරමුණට හිමිවන අපේක්ෂකයන් ගණන= 186,675/67,493

                                                                                         = 2 (ශේෂය- 51,689)

ජනතා විමුක්ති පෙරමුණ හිමිවන අපේක්ෂකයන් ගණන= 35,270/67,493

                                                                                         = 0 (ශේෂය- 35,270)

පළමු වටයේ ආසන බෙදා වෙන් කිරීමෙන් පසුව ඉතිරි ආසන ප්‍රමාණය- 7-5 = 2

දෙවන වටයේ ආසන ගණනය කිරීම 

දෙවන වටයේ ආසන ගණනය කිරීම සඳහා යන විට එක් එක් පක්ෂය සතුව තිබෙන ඡන්ද ප්‍රමාණය         

එක්සත් ජාතික පෙරමුණ- 51,689

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 48,026

ජනතා විමුක්ති පෙරමුණ- 35,270

ඉහත සඳහන් ඡන්ද ප්‍රමාණයන් අනුව ඉතිරි ආසන 2ක බෙදී යන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතරේ යි. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ආසන බෙදී යන්නේ පහත දැක්වෙන ආකාරයට යි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 5

එක්සත් ජාතික පෙරමුණ- 3

ජනතා විමුක්ති පෙරමුණ- 0

බොහෝ දෙනෙකු සිතන්නේ යම් පක්ෂයකට දිස්ත්‍රික්කයකින් 5%ක් ලැබුණු විට ආසනයක් හිමිවන බව යි. නමුත් එය එසේ සිදු නොවන බව ඉහත ඡන්ද ප්‍රතිඵලය අනුව පැහැදිලිවම පෙනී යනවා.

මනාප ප්‍රතිඵල

ඉහත ආකාරයට එක් එක් දිස්ත්‍රික්කය සඳහා පක්ෂ ලබාගන්නා ආසන ප්‍රමාණයන් ගණනය කරනු ලබනවා. ඉන් පසුව මනාප ප්‍රතිඵල ගණන් කිරීම සිදු කරනවා. එවිට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ පක්ෂයේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාට ස්වයංක්‍රීයව බෝනස් ආසනය හිමිවනවා. ඉතිරි ආසන සඳහා අපේක්ෂකයන් තේරී පත්වන්නේ මනාප ලැයිස්තුවේ අනුපිළිවෙළ අනුව යි.

ජාතික ලැයිස්තුව 

මහජන ඡන්දයෙන් නියෝජිතයන් 196ක් තෝරාගැනීමෙන් පසුව ඉතිරි මන්ත්‍රීවරුන් ප්‍රමාණය තෝරාගනු ලබන්නේ ජාතික ලැයිස්තුව මඟින්. ඔබට ජාතික ලැයිස්තුව පිළිබඳව තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් Roar සිංහල විසින් පළ කළ පහත ලිපිය කියවන්න.

https://roar.media/sinhala/main/features/national-list-in-general-elections

අප රට තුළ ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමය 

වර්තමානයේ දී අප රට තුළ ක්‍රියාත්මක වන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමය යි. ඊට පෙර ක්‍රියාත්මක වුණු සරල බහුතර මැතිවරණ ක්‍රමයේ දී දක්නට ලැබුණු අඩුපාඩු නිසා මෙම මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ 1978 වසරේ දී යි. නමුත් මෙම මැතිවරණ ක්‍රමයේත් විවිධ අඩු පාඩු දක්නට ලැබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිබඳව තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් Roar සිංහල විසින් පළ කෙරුණු පහත ලිපිය කියවන්න.

https://roar.media/sinhala/main/features/proportional-voting-system

කවරයේ ඡායාරූපය- AFP (Lakruwan Wanniarachchi)

මූලාශ්‍රයයන්- 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2015 මහා මැතිවරණ ප්‍රතිඵල- මැතිවරණ දෙපාර්තමේන්තුව

Related Articles