Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ ආරක්ෂක අංශවල සෝවියට් ඔත්තුකාරයෝ

සෝවියට් KGB රහස් ඔත්තු සේවය විවිධ අවස්ථාවල බටහිර රටවල රජයයන්හි හෝ ආරක්ෂක අංශවල හෝ ඉහළ තැන්වල සිටි පුද්ගලයන් සිය කටයුතු සඳහා බඳවා ගැනීමට උත්සාහ කළ බව අප දන්නවා. මේ සම්බන්ධව මුල් කාලීනව ඉතා ප්‍රසිද්ධ වූ පිරිසක් වූයේ “කේම්බ්‍රිජ් පස්දෙනා” යි. දෙවන ලෝක යුද්ධයෙන් පසු සෝවියට් අවධානය වැඩිපුරම යොමු වූයේ ඇමරිකාව වෙත යි. 1980 දශකයේ දී සෝවියට් KGBය ඇමරිකානු ආරක්ෂක අංශයන් හතරක නිලධාරීන් හතර දෙනෙකු බඳවා ගැනීමට සමත් වුණා. එමෙන්ම ඒ සිව් දෙනාටම වඩා හානිකර වූ ඒජන්තයින් ද ඔවුන්ට බඳවා ගන්නට පුළුවන් වුණා.

මුල් කාලීනව සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු බැලූ අය අතුරින් සැලකිය යුතු පිරිසක් ඇත්තෙන්ම කොමියුනිස්ට්වාදය කෙරෙහි වූ පැහැදීම මත කටයුතු කළ අය වුණා. ඊට ද හොඳම නිදසුන වූයේ කිම් ෆිල්බි වැනි “කේම්බ්‍රිජ් පස්දෙනා” කණ්ඩායමේ අය යි. එහෙත් පසුකාලීනව මෙසේ තොරතුරු දුන් අයට වූයේ වෙනත් හේතූන් බව පෙනෙන්න තිබෙනවා. වෙනත් රටක් වෙනුවෙන් ඔත්තු බැලීම සඳහා කෙනෙකු යොමුවන්නේ ඇතැම් විට මූල්‍යමය හෝ වෙනත් වාසියක් සඳහා යි. ඇතැම් විට ඒ බලාපොරොත්තු කඩවීමක්, පළිගැනීමේ අරමුණ වැනි කරුණක් වුව ද විය හැකියි. මේ ඇමරිකානු ඔත්තුකරුවන් පිරිස ද එවැනි විවිධ හේතු මත KGBය වෙත සේවය සැපයූවන් වනවා. 1980 දශකයේ මැද කාලයේ පමණ වන විට ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සැබෑ ලෙසම යුද්ධයක් ඇති වී නම්, මේ අය ලබාදුන් තොරතුරු හේතුවෙන් සෝවියට් පාර්ශවයට සැලකිය යුතු වාසියක් වීමට ඉඩ තිබුණා.

1984 සහ​ 1985 වසරවල​ ඇමරිකානු ආරක්ෂක අංශ හතරක සේවය කළ ඔත්තුකරුවන් සිව් දෙනකු අනාවරණය වීම KGBය පිළිබඳ ඇමරිකාව තුළ භීතියක් ඇති කරන්න සමත් වුණා.

මෙයින් පළමුවෙන්ම අනාවරණය වූ ඔත්තුකරුවා වූයේ FBI ආයතනයේ රිචර්ඩ් මිලර් නම් නිලධාරියා යි. FBI ආයතනයෙහි අයකු වෙනත් රටක් වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්ව අත් අඩංගුවට පත් වූ පළමු අවස්ථාව වූයේ මිලර් අත් අඩංගුවට ගැනීම යි.

මිලර් මෙම තීරණය ගන්නා ලද්දේ පෞද්ගලික හේතු මත යි. තරබාරු අයකු වූ ඔහු FBI ආයතනය තුළ එම කරුණ හේතුවෙන් ද අන් ඒජන්තයින් වෙතින් සමච්චලයට ලක් වූ බව කියනු ලබනවා. ඔහුව ඔවුන් දුටුවේ අසාර්ථක අයකු ලෙස යි. ඔහුගේ පුද්ගලික ජීවිතය ද අසාර්ථක වෙමින් පැවතුණා.

රුසියාවෙන් සංක්‍රමණය වී ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ පදිංචි වන පුද්ගලයන් පිළිබඳ විමසිලිමත් වීම ද මිලර් මෙකල කළ රාජකාරි අතර වුණා. මෙහිදී ඔහුට ස්වෙත්ලානා ඔගොරොද්නිකෝවා නම් කාන්තාවක මුණගැසුණා. ඇය පෙනී සිටියේ සෝවියට් චිත්‍රපට බෙදාහරින්නියක ලෙස යි. නමුත් ඇමරිකානු බලධාරීන් ඇය ඔත්තුකාරියකැ යි සැක කළා. ස්වෙත්ලානා ඇමරිකාවේ ජීවත් වුණේ සිය සැමියා හා පුත්‍රයා සමග යි.

ස්වෙත්ලානා සහ මිලර් අතර සම්බන්ධයක් ගොඩ නැගුණ අතර ඇය සෝවියට් බලධාරීන් වෙත තොරතුරු ලබාදෙන ලෙස ඔහු වෙත යෝජනා කළේයැ යි සඳහන් වනවා. ඒ වෙනුවෙන් ඔහුට මුදල් ලබා දීමට සෝවියට් බලධාරීන් ප්‍රතිඥා දුන්නා. මිලර් සහ ස්වෙත්ලානා වරක් ලොස් ඇන්ජලිස්හි සෝවියට් කොන්සල් කාර්යයාලයට ගොස් මේ පිළිබඳ සාකච්ඡා කළේයැ යි කියනු ලබනවා. විදෙස් ඔත්තුකරුවන් ගැන කටයුතු කිරීම පිළිබඳ සඳහන් FBI උපදෙස් පත්‍රිකාවක් ආදී තොරතුරු සෝවියට් බලධාරින්ට ලබා දීමට මිලර් පොරොන්දු වූ බව යි ඇමරිකානු බලධාරීන් පසු කලෙක සඳහන් කළේ.

KGBය සමග වැඩිදුර​ සාකච්ඡා කිරීම සඳහා මිලර් ඔස්ට්‍රියාවේ වියානාව වෙත යාමට සූදානම්ව සිටි බව සඳහන් වුණා. නමුත් ඔහු සෝවියට් කොන්සල් කාර්යයාලයට ගිය ගමන ගැන දැන සිටි නිලධාරීන් ඔහුව නිරීක්ෂණය කරමින් සිටි අතර වියානා ගමනට පෙර ඔහුව අත් අඩංගුවට ගනු ලැබුණා. ඒ සමගම ස්වෙත්ලානා සහ ඇගේ සැමියා වූ නිකොලායි ඔගොරොද්නිකොෆ් ද අත් අඩංගුවට ගනු ලැබුණා. මේ තිදෙනාම අධිකරණය මඟින් වරදකරුවන් ලෙස නිගමනය කෙරුණා.

මිලර්ගෙන් වැඩි යමක් සෝවියට් බලධාරීන් වෙත දැනගැනීමට ලැබුණේයැ යි විශ්වාස කෙරුණේ නැහැ. නමුත් FBI නිලධාරියකු සෝවියට් ඔත්තුකරුවන් හා සබඳතා ඇතිකර ගැනීමම සිය ආයතනය පිළිබඳ වඩා විමසිලිමත් වන ලෙස FBI ආයතනය වෙත දුන් පණිවිඩයක් බඳු වුණා.

ජෝන් වෝකර්ගේ දහ අට අවුරුදු මෙහෙයුම​

1985 දී අනාවරණය කරගන්නා ලද පුදුමාකාරම ඔත්තු සේවා මෙහෙයුමක් වූයේ හිටපු ඇමරිකානු නාවික හමුදා නිලධාරී ජෝන් ඇන්තනි වෝකර් විසින් 18 වසරක් තිස්සේ පවත්වාගන ගිය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය යි.

වෝකර් මේ කටයුත්ත ඇරඹූයේ 1967 දී ඔහු නෝර්ෆෝක්හි නාවික කඳවුරේ ගුවන් විදුලි පණිවිඩ නිලධාරියකු ලෙස කටයුතු කරන සමයේ යි. ඔහුට එකල ඇමරිකානු නෞකා සහ සබ්මැරීන මූලස්ථානය හුවමාරු කළ පණිවිඩ ද, ඒවා විකේතනය කිරීමට අවශ්‍ය කේතයන් ද පිළිබඳ දැනුමක් තිබුණා. මේ තොරතුරු සෝවියට් දේශයට ඉතා වැදගත් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ තොරතුරු සමග ඇමරිකානු නැව් සහ සබ්මැරීන තිබෙන ස්ථාන ගැන සෝවියට් දේශයට හොඳ අවබෝධයක් ලැබුණා.

ජෝන් ඇන්තනි වෝකර් (AP)

වෝකර් සෝවියට් දේශයට තොරතුරු ලබා දුන්නේ සරල හේතුවක් මත යි. ඔහුට මුදල් අවශ්‍යතාව තදින්ම තිබුණා. මේ නිසා 1967 අවසන් භාගයේ දිනෙක වොෂිංටනයේ සෝවියට් තානාපති කාර්යයාලය වෙත ගිය වෝකර් එරටට රාජ්‍ය රහස් විකිණීමට ඉදිරිපත් වුණා.

වෝකර් 1976 දී නාවික හමුදාවෙන් විශ්‍රාම ගත්තා. නමුත් ඔහුගේ සහෝදර ආතර් සහ මිත්‍ර ජෙරී විටේකර් දිගටම තොරතුරු ලබාදීමේ කටයුතුවල යෙදුණා. ඔවුන්ට ද නාවික හමුදාවේ රහස්‍ය තොරතුරු ලබාගැනීමේ අවසරය තිබුණා.

වෝකර් සහ ඔහුගේ බිරිඳ බාබරා 1976 දී දික්කසාද වූ අතර වෝකර්ගේ දියණියන් තිදෙනා බිරිඳ සමග පදිංචියට ගියා. වෝකර්ගේ පුත්‍ර මයිකල් පියා සමග රැඳුණා. වෝකර් බොහෝ සෙයින් වියදම් කළා. ඔහුට එතරම් මුදල් ලැබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ නියමාකාර සොයාබැලීමක් කිසිවකුත් විසින් කළ බවක් පෙනෙන්න තිබුණේ නැහැ.

මේ අතර​, මයිකල් ද නාවික හමුදාවට බැඳී සන්නිවේදන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට USS නිමිට්ස් නෞකාවේ ගුවන් විදුලි පණිවිඩ නිලධාරියකු බවට පත් වීමට හැකි වුණා.

ආතර් වෝකර් (The Washington Post)

වෝකර්ගේ කටයුතු බලධාරීන්ට හසු වූයේ ඔහුගේ හිටපු බිරිඳ විසින් ලබාදුන් තොරතුරු නිසයි. එම තොරතුරු අනුව 1985 පෙබරවාරි මාසයේ දී ආයතනය විසින් පරීක්ෂණයක් ඇරඹූ අතර ඔවුනට වෝකර් අත් අඩංගුවට ගැනීම සඳහා සාක්ෂ්‍ය ලැබුණේ මාර්තු මාසයේ දී යි. ඔහුත්, ඔහුගේ සහෝදරයා සහ මිත්‍රයාත් ජීවිතාන්තය දක්වා සිරගත කෙරුණා. මයිකල් වෝකර් වසර 25ක සිර දඬුවමකට යටත් කෙරුණා.

දෙපැත්තට ගිය ඔත්තුකරුවා

වෝකර් සිද්ධියේ උණුසුම මැකෙන්නත් ප්‍රථම ඇමරිකානුවන්ට තවත් තොරතුරු ලබා දීමට අයෙකු ඉදිරිපත් වුණා. ඒ සමගම ඇමරිකානුවන්ට තම ආරක්ෂක අංශවල සිටින ඔත්තුකරුවන් පිළිබඳ වූ බය තවත් වැඩිදියුණු වුණා.

මේ තොරතුරු ලබා දුන්නේ KGB නිලධාරියකු වූ වයිතලි යුර්චෙන්කෝ විසින්. 1985 අගෝස්තු 1 වන දා රෝමයේ ඇමරිකානු තානාපති කාර්යයාලය වෙත පැමිණි යුර්චෙන්කෝ තමාට ඇමරිකාවේ දේශපාලන රැකවරණ අවශ්‍ය බව දන්වා සිටියා. ඔහුගේ සැබෑ අවශ්‍යතාව වූයේ සෝවියට් තානාපති නිලධාරියකුගේ බිරිඳ සමග වූ සිය ප්‍රේම සම්බන්ධයක් යළි ඇරඹීම බව යි සැක කෙරුණේ.

යුර්චෙන්කෝ (Mental Floss)

යුර්චෙන්කෝව ඇමරිකාවට ගෙනැවිත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඇමරිකානු නිලධාරීන් කටයුතු කළා. KGBයට තොරතුරු ලබාදෙන දෙදෙනකු පිළිබඳව තමන් දන්නා බවත් ඉන් එක් අයකු CIA සංවිධානයේ සේවය කරන්නකු බවත් ඔහු දැනුම් දුන්නේ ඇමරිකානුවන් පුදුමයට පත් කරමින්. යුර්චෙන්කෝ මෙම ඔත්තුකරුවාව දැන සිටියේ “රොබර්ට්” යන නමින්. නමුත් ඔහු මොස්කව්හි සේවය කිරීම සඳහා පුහුණු වූ අයකු බව ද යුර්චෙන්කෝ දැන සිටියා. මේ ඔත්තුවෙන් ඔහු එඩ්වර්ඩ් ලී හවර්ඩ් විය යුතු බව CIA සංවිධානය තීරණය කළා.

හවර්ඩ් මොස්කව්හි ඒජන්තයකු ලෙස පිටව යාමට සූදානම්ව සිටිය දී මුහුණ දුන් පොලිග්‍රාෆ් පරීක්ෂණයක් අසමත් වීමෙන් ඔහු එම ගමනෙන් ඉවත් කෙරුණා. ඔහුට රැකියාවෙන් අස්වන ලෙස ද බලපෑම් සිදු වුණා.

මෙහි ප්‍රතිඵලය වුණේ හවර්ඩ් CIA සංවිධානය සමග වෛර බැඳගැනීම යි. ඔහු නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ රජයේ ආර්ථික විශ්ලේෂකයකු ලෙස රැකියාවක් ලබාගත්තා. නමුත් CIA සංවිධානය සමග වූ වෛරය ඔහුගේ සිතේ පැළපදියම් වී තිබුණා. ඒ හේතුවෙන් ඔහු KGBය වෙත මොස්කව්හි CIA කටයුතු පිළිබඳ තොරතුරු ලබා දුන්නා. එම ඒජන්තයින් හෙළි වීම හේතුවෙන් එහි CIA කටයුතු බිඳ වැටුණා. නමුත් ඊට වගකිවයුත්තා දැනගන්නට ලැබුණේ යුර්චෙන්කෝගෙන්.

එඩ්වර්ඩ් ලී හවර්ඩ් අවශ්‍යව සිටින අයකු ලෙස FBI ආයතනයෙන් පළ කළ පෝස්ටරය​ (FBI)

CIA සංවිධානය විසින් FBI ආයතනය දැනුවත් කිරීම සිදු කෙරුණේ දින කිහිපයක් ගතවූ පසු යි. එවිට FBI ආයතනය හවර්ඩ්ගේ නිවස නිරීක්ෂණයට නිලධාරීන් යෙදවූවා. නමුත් මේ අය පිළිබඳ ඔහුට ඉව වැටුණා. ඔහු තම බිරිඳ සමග එක්ව සිය පළා යාම සැලසුම් කළා. එක් සිකුරාදා රාත්‍රියක ඔහු තමා පසුපස එන නිලධාරීන් මුලා කර පළා ගියා. ස්වල්ප දිනකට පසු ඔහු මතු වූයේ මොස්කව් නගරයෙන්.

මේ අතර හවර්ඩ් පිළිබඳ ඔත්තුව ලබා දුන් යුර්චෙන්කෝ ද අමුතුම පියවරක් ගනිමින් මාස තුනක් ඇතුලත යළි සෝවියට් දේශය වෙත පළා ගියා. මෙය කුමන අරමුණකින් සිදු කළේ ද යන්න පැහැදිලි නැහැ. ඔහු එහිදී කියා සිටියේ ඇමරිකානු ඒජන්තයින් තමා මත් කර පැහැරගත් බවක්.

කෙසේ නමුත් ඔහු පිටව යාමට පෙර තවත් ඔත්තුකරුවකු පිළිබඳ තොරතුරු ලබා දුන්නා. ඒ CIA සංවිධානයටත් වඩා රහස්‍ය ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) තුළ සිටින ඔත්තුකරුවකු බව යි කියැවුණේ.

මේ පුද්ගලයාගේ ද සැබෑ නම යුර්චෙන්කෝ දැන සිටියේ නැහැ. නමුත් ඔහුගේ තොරතුරු අනුව ඔහු රොනල්ඩ් පෙල්ටන් බව සොයා ගැනුණා. පෙල්ටන් හිටපු NSA නිලධාරියකු වූ අතර පැසිෆික් සාගරයේ සෝවියට් පණිවිඩ කේබල්වලට රහසේ සම්බන්ධ වී එම පණිවිඩ අසා සිටීමේ මෙහෙයුමක් පිළිබඳ ඔහු සෝවියට් බලධාරීන් වෙත හෙළි කර තිබුණා. හවර්ඩ් ද අත් අඩංගුවට පත්ව සිර දඬුවමකට යටත් කරනු ලැබුණා.

ඒම්ස් සහ හැන්සන්

මෙසේ 1980 දශකයේ මැද දී ප්‍රධාන ඔත්තුකරුවන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීම සමග ඇමරිකාවේ KGB කටයුතු අවසන් වීයැ යි සිතන්නේ නම් එය වරදක්. විශේෂයෙන්ම මුදල් බලාපොරොත්තුවෙන් තොරතුරු සපයන ඇමරිකානු ඒජන්තයින් සොයාගැනීම අපහසු දෙයක් වූයේ නැහැ.

සෝවියට් බුද්ධි සේවා වෙත සොයාගත හැකි වූ හොඳම ඔත්තුකරුවකු ඔවුන් වෙත පැමිණියේ 1985 දී යි. ඕල්ඩ්‍රිච් ඒම්ස් යනු හැකියාවෙන් පිරුණු එහෙත් අසාර්ථක CIA නිලධරයකු වුණා. ඔහු 1970 දශකයේ දී නිව් යෝර්ක් නගරයේ සේවය කරන සමයෙහි විශේෂයෙන්ම එහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට අනුබද්ධිතව කටයුතු කරමින් සිට ඇමරිකාවේ රැකවරණය සොයා එන කොමියුනිස්ට් රටවල නිලධාරීන් හා කටයුතු කිරීමට පත් කර සිටියා. එහිදී ඔහු සාර්ථක වුව ද ඒම්ස් අලුතින් ඔත්තුකරුවන් සොයාගැනීමේ සාර්ථක වූයේ නැහැ. 1980 දශකයේ මුල් භාගයේ ඔහු මෙක්සිකෝවෙහි සේවය කළ අතර එකල ඔහුගේ පළමු විවාහය ද බිඳ වැටුණා. 1985 දී ඔහු වංශවත් කාන්තාවක හා විවාහ වූ අතර පළමු බිරිඳට නඩත්තු ගෙවීම සහ තම වියදම් හේතුවෙන් මුදල් ප්‍රශ්නවලට මුහුණ දී සිටියා. ඔහු සේවයේදී එතරම් සාර්ථක නොවීමටත්, මුදල් හිඟ වීමටත් ප්‍රධාන හේතුව වූයේ බීමත්කම යි.

මෙක්සිකෝවෙන් පැමිණි පසු ඔහු පත් කරන ලද්දේ CIAහි සෝවියට් අංශයට යි. ඒ අනුව ඔහුට සෝවියට් දේශයේ ඔත්තු සේවා කටයුතු පිළිබඳව රහස් සොයාගැනීම අතිශයින්ම පහසු කරුණක් වුණා. ඔහු කළේ මෙම රහස් මුදලට විකිණීම යි. සෝවියට් දේශය විසින් ඉතා සතුටින් මෙම තොරතුරු ලබාගත්තා. එමඟින් තම රට තුළ CIA කටයුතුවල සිට බොහෝ දේ ඔවුන් දැනගත්තා. ඇමරිකාවේ සෝවියට් තානාපති කාර්යයාලයේ මෙන්ම මොස්කව් නගරයේ ද සිටි ඇමරිකානු ඔත්තුකරුවන් පිළිබඳ ඒම්ස් සෝවියට් ඔත්තු සේවා දැනුවත් කළා. මෙම තොරතුරු මත දස දෙනෙකු සෝවියට් බලධාරීන් විසින් මරණ දඬුවමට ලක් කරනු ලැබුවා.

තම ඔත්තුකරුවන් එකිනෙකා හසු වද්දී ඔවුන් පිළිබඳ සෝවියට් දේශයට ඔත්තු සපයන්නකු සිටින බව CIA සංවිධානයට වැටහුණා. මුලින්ම ඔවුන් හවර්ඩ්ව සැක කළ ද​, ඔහු මෙතරම් තොරතුරු නොදන්නා බව CIA සංවිධානය වටහා ගත්තා. මේ අතර ඒම්ස් ඉතා විශාල වශයෙන් වියදම්කාරී ජීවිතයකට හුරුව සිටියා. එහෙත් ඔහු පිළිබඳව එක්වරම අවධානයක් යොමු වූයේ ද නැහැ. ඔහුගේ පැහැදිලි කිරීම වූයේ ඔහුගේ බිරිඳගේ දෙමාපියන් ඉතා ධනවත් වූ බව යි. තමන් අතර ද්‍රෝහියකු සිටිතැ යි CIA සංවිධානය ද විශ්වාස කළේ නැහැ. මේ හේතුව නිසා ද ඒ පිළිබඳ සොයාබැලීමක් වුණේ නැහැ.

ඕල්ඩ්‍රිච් ඒම්ස් (The Washington Post)

1991 දී සෝවියට් දේශය බිඳ වැටුණා. නමුත් රුසියානු ඔත්තු සේවය ද ඒම්ස්ව අතහැරීමට සූදානම් වූයේ නැහැ. ඔවුන් දිගටම ඔහු ලබාදුන් තොරතුරු වෙනුවෙන් ගෙවීම් කළා.

මේ අතර 1991 දී ප්‍රතිබුද්ධි කටයුතු (counterintelligence) පිළිබඳ CIA නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පෝල් රෙඩ්මන්ඩ් පත් වුණා. තමන් අතර ද්‍රෝහියකු සිටිතැ යි විශ්වාස කළ ඔහු ඒ පිළිබඳ සෙවීමට කණ්ඩායමක් පත් කළා. අත් අඩංගුවට පත්වූ සෝවියට් ඔත්තුකරුවන් පිළිබඳ දැන සිටි සියළු දෙනාගේ ලැයිස්තුවක් පිළියෙල කළ ඔවුන්, ඒ එක් එක් අය පිළිබඳ සොයන්නට වුණා.

CIA සංවිධානය තුළ සිටින ද්‍රෝහියකු පිළිබඳ පරීක්ෂා කිරීමට පත් කළ කණ්ඩායම​. වම් පස​ සිටගෙන සිටින්නේ පෝල් රෙඩ්මන්ඩ් ය​. ඔහු අසල හිඳගෙන සිටින්නී සැන්ඩ්‍රා ග්‍රයිම්ස් ය​. ඒම්ස්ගේ බැංකු වාර්තා පිළිබඳ නිරීක්ෂණය කළේ ඇය යි​. (CIA)

ඒම්ස්ගේ බැංකු තැන්පතු පිළිබඳ රටාවක් ඔවුන් සොයාගත්තේ එම පරීක්ෂණ අනුව යි. ඒම්ස් සෝවියට් තානාපති නිලධාරියකු වූ සෙර්ගෙයි චුවාකින් නමැත්තා නිතර හමු වූ අතර, එසේ හමු වූ අවස්ථා පිළිබඳ වාර්තා කර තිබුණා. ඔහුගේ නිල කටයුතු ද සෝවියට් දේශය සම්බන්ධව වූ හෙයින් ඒ පිළිබඳ සැකයක් ඇති වීමේ හේතුවක් වූයේ නැහැ. නමුත් පරීක්ෂණ කණ්ඩායම විසින් සොයාගැනුණේ මෙසේ හමුවීම් සිදු වූ වහාම ඒම්ස්ගේ බැංකු ගිණුමට මුදල් බැර වන බව යි. මෙම රටාව හේතුවෙන් ඒම්ස් පිළිබඳ කණ්ඩායම සැක කිරීමට වුණා.

මේ කරුණු මත FBI ආයතනය ඒම්ස්ව තම නිරීක්ෂණයට ලක් කරනු ලැබුවා. ඔහුව 1994 දී අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ අතර ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වුණා.

වසර කිහිපයක් යනතුරු ඇමරිකානුවන් සිතා සිටියේ සෝවියට් සමයේ සහ ඉන්පසුව ඔවුන්ට එරෙහිව කටයුතු කළ ඒජන්තයින් අතුරින් වැඩිම හානියක් කළේ ඒම්ස් බව යි. නමුත් 2001 දී හෙළි වූ කරුණු අනුව 1979 සිටම සෝවියට් හමුදා ඔත්තු සේවය වන GRU ආයතනය සහ KGB ආයතනය වෙත සේවය සැපයූ FBI නිලධාරියකු පිළිබඳ සොයාගනු ලැබුණා. ඒ අනුව​, රිචර්ඩ් මිලර්ට පෙර ද FBI නිලධාරියෙක් සෝවියට් දේශය වෙනුවෙන් සේවය කළ බව හෙළි වූයේ 2001 දී යි. මේ පුද්ගලයා රොබර්ට් හැන්සන් නම් වුණා.

හැන්සන් (FBI)

හැන්සන් ආයතනයට බැඳුණේ 1976 දී යි. ඔහු 1979 දී සමග ද පසුව ය සමග ද සබඳතා ගොඩනගා ගත්තා. අවස්ථා කිහිපයක දී විවිධ හේතු මත ඔහු සිය තොරතුරු සැපයීමේ කටයුතු නවතා දැමුවා. ඒ අතර 1991 දී සෝවියට් දේශය බිඳ වැටුණ අවස්ථාව විශේෂ යි. එම අවස්ථාවේ ඔහු සිය කටයුතු නවතා දැමුවේ මතු වූ ව්‍යාකූල තත්ත්වයන් හේතුවෙන් ඔහු පිළිබඳ තොරතුරු රුසියාව පාර්ශවයෙන් හෙළි වේ ය යන බිය යි.

හැන්සන්, තමා සෝවියට් දේශයට සහ පසු කාලීනව රුසියාවට සේවය කළ සමයන්හි ඇමරිකාවේ න්‍යෂ්ටික කටයුතු, අවි තාක්ෂණය​, ප්‍රතිබුද්ධි කටයුතු ආදිය පිළිබඳ හෙළි කළා. FBI ආයතනය විසින් ඇමරිකාවේ සෝවියට් තානාපති කාර්යයාලයේ පණිවිඩ හුවමාරුවට සවන් දීම සඳහා ක්‍රියාත්මක කළ රහස් මෙහෙයුමක් පිළිබඳව ද හැන්සන් එළිදරව් කළා.

හැන්සන්ව අත් අඩංගුවට ගත් පසු ඔහු රජය සමග එකඟතාවකට පැමිණියා. ඒ අනුව ඔහුට එරෙහිවා මරණ දඬුවම ලබා නොදීමට රජයේ පාර්ශවයෙන් එකඟතවක් ඇති වූ අතර ඒ වෙනුවට ඔහු තම කටයුතු පිළිබඳ පාපොච්චරණය කළා. ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් පහළොවක් නියම වුණා.

ඇමරිකානු ආරක්ෂක අංශයන්හි සාමාන්‍ය පිළිගැනීම වූ, තම සාමාජිකයකු තමන්ට ද්‍රෝහී නොවේ ය යන මතය එකල මෙසේ ද්‍රෝහී වූවන්ට පහසුවක් වූ බව පැහැදිලි යි. එමෙන්ම මොවුන් කොමියුනිස්ට්වාදය කෙරේ පැහැදීමක් ඇතිව කටයුතු නොකළ බවත් පැහැදිලි කරුණක්. ඔවුන් කටයුතු කළේ මුදල් හෝ වෙනත් අවශ්‍යතා හෝ සඳහා පමණ යි.

Cover Image: (9to5mac.com)

Related Articles