Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තානාපති කාර්යාල ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට මෙහෙයුම් දෙකක්

ලෝකයේ විවිධ විශේෂ හමුදා ඒකක විසින් සිදුකළ අදටත් කතාබහට ලක් වන තානාපති කාර්යාල තුළ වූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සම්බන්ධ මෙහෙයුම් දෙකක් පිළිබඳව මේ ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය SAS බලකාය විසින් 1980 වසරේ ඉරාන තානාපති කාර්යාලයේ දී කළ නිම්රෝඩ් මෙහෙයුම (Operation Nimrod) හා පේරු රාජ්‍යයේ අග නගරය වූ ලීමා (Lima) හි පිහිටි ජපන් තානාපති කාර්යාලයේ සිර වූ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා 1996 චැවින් ඩි හුවන්තාර් (Operation Chavín de Huántar) නමින් පේරු හමුදාවේ කමාන්ඩෝ භටයන් කළ රහසිගත මෙහෙයුම පිළිබඳව මෙහි විස්තර සඳහන් වෙනවා.

ඔපරේෂන් චැවින් ඩි හුවන්තාර්

පේරු රාජ්‍යයේ අග නගරය වූ ලීමා (Lima) හි පිහිටි ජපන් තානාපති කාර්යාලයට 1996 වසරේ දෙසැම්බර් 17 වන දා කඩා වදින “ටුපැක් අමරු විප්ලවීය ව්‍යාපාරය” (Túpac Amaru Revolutionary Movement) හෙවත් MRTA නම් ගරිල්ලා සංවිධානයේ ගරිල්ලා භටයන් 14 දෙනෙකු එහි සිටි 700කට අධික උසස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, උසස් හමුදා නිලධාරීන්, රාජ්‍ය පරිපාලනයේ උසස් නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පිරිසක්, ප්‍රාණ ඇපකරුවන් ලෙස මාස හතරකට අධික කාලයක් තානාපති කාර්යාලයේම රඳවා තබා ගන්නවා. එදින එතරම් සංඛ්‍යාවක් තානාපති කාර්යාලයේ සිටීමට හේතුව වන්නේ ජපන් අධිරාජයා වූ අකිතෝ (Akihito)ගේ උපන්දිනය සැමරීමේ උත්සවයක් පේරු හි ජපාන තානාපති කාර්යාලයේ පැවැත්වීම යි.

තමන්ගේ ඉල්ලීම් කිහිපයක් පේරු රජයට ඉදිරිපත් කරන ඔවුන් ඉල්ලීම් ඉටු නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කරනවා. මාස හතරකට පසුව චැවින් ඩි හුවන්තාර් (Operation Chavín de Huántar) නමින් රහසිගත මෙහෙයුමක් දියත් කරන පේරු හමුදාවේ කමාන්ඩෝ භටයන් විස්මිත මෙහෙයුමකින් පසුව කැරලිකරුවන් මරා දමා ප්‍රාණ ඇපකරුවන් බේරාගන්නා අතර, එය ලොව මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

තානාපති කාර්යාලය තුළ ගරිල්ලා භටයන් විසින් මාධ්‍ය හමුවක් පවත්වන අයුරු (adst.org)

ත්‍රස්තයන් විසින් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් පේරු රජයට ඉදිරිපත් කරන අතර, පේරු රාජ්‍ය පුරා සිරගත කර සිටින තම සංවිධානයේ සාමාජිකයන් සියල්ල නිදහස් කළ යුතු ය, ජපානය විසින් පේරුවලට ලබාදෙන විදේශ ආධාරවලින් ප්‍රයෝජන ගන්නේ පේරු හි කොටසක් පමණක් බවත් එම නිසා එය ක්‍රමවත් කළ යුතු ය, රජය විසින් විවෘත ආර්ථික සංකල්පය මෙන්ම ආර්ථිකය හැසිරවීම සඳහා පෞද්ගලික අංශයට භාරදිය යුතුය හා රජයේ අනවශ්‍ය වියදම් අඩු කළ යුතු ය මෙන්ම, පේරු හි බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ට සිදුකරන බරපතල වධ හිංසා නැවැත්විය යුතු ය යනාදී ඉල්ලීම් එහි අඩංගු වෙනවා. කෙසේ නමුත්, මෙම ඉල්ලීම් ඉටුකිරීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනවා. සිදුවීමෙන් මසක් ඇතුළත බොහෝ රටවල තානාපති නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා සියලුම කාන්තාවන් නිදහස් කළ පසු අවසානයේ ඉතුරු වන්නේ ප්‍රාණ ඇපකරුවන් 72ක් පමණයි. එම පිරිසට ජපන් ජාතිකයන් හා පේරු රාජ්‍යයේ නිලධාරීන් ද ඇතුළත් වෙනවා.

ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා අපූරු ක්‍රියාමාර්ගයක් ගැනීමට පේරු හි ආරක්ෂක අංශ සමත් වන අතර, ඔවුන් තානාපති කාර්යාල භූමිය වෙත ළඟා වීම සඳහා ආරක්ෂිත​ ස්ථානයක සිට උමඟක් කැනීම ආරම්භ කරනවා. මෙය මාස හතරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ අතර, තානාපති කාර්යාලයට ඇතුල් වී මෙහෙයුම සිදුකිරීම පිළිබඳව වැටහීමක් ගැනීමට ඔවුන් විසින් ඇතුළට යැවූ කැමරා හා මයික්‍රෆෝන ආධාර කර ගන්නවා.

උමං මාර්ගයක් කණින හඬ ත්‍රස්තයන්ට ඇසීම වැළැක්වීම සඳහා හමුදාව විසින් තානාපති කාර්යාල ප්‍රදේශය තුළ විශාල ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් යුධ රණ ගී විකාශය කරන අතර, මහා මාර්ගය පුරා සෑම විටම විශාල හමුදා ට්‍රක් රථ හා හමුදා පෙළපාලි යැවීම සිදුකරනවා.

ජයග්‍රහණය සමරමින් (Andina)

තව ද, ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් ත්‍රස්තයන් සමග සාකච්ජා අවශ්‍යයැ යි බොරුවට පවසමින් ඔවුන් හමුවීමට තානාපති කාර්යාලය වෙතට ගොස් පිහිටීම නිරීක්ෂණය කර මෙහෙයුම සිදුකරන ආකාරය පිළිබඳ ව සැලසුම් සකස් කරනවා. 1997 වසරේ අප්‍රේල් 22 වන දින සවස උමං මාර්ග නවයක් ඔස්සේ කාර්යාල භූමියට කඩා වැදීමට කමාන්ඩෝ භටයන් 70 දෙනෙක් සමත් වෙන අතර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තාප්පයෙන් මෙපිට තවත් කමාන්ඩෝ භටයන් හා ස්නයිපර් තුවක්කුකරුවන් 70 දෙනෙකු රඳවා තබනවා.

කමාන්ඩෝ භටයන් විසින් ඇති කළ විශාල පිපිරීමකින් අනතුරුව දෙපිරිස අතර විනාඩි 22ක් පමණ සටන ඇදී යනවා. ඉතා දක්ෂ හා ඉතා හොදින් සැලසුම් සහගත ප්‍රහාර එල්ල කරන කමාන්ඩෝ භටයන් හමුවේ ත්‍රස්තයන් 14 දෙනාම මරණයට පත් වෙනවා. ප්‍රාණ ඇපකරුවන් 72 අතරින් මෙහෙයුම අතරතුර එක් අයෙක් මියයන අතර ඉතිරි සියලු දෙනා බේරාගැනීමට හමුදාව සමත් වෙනවා. මෙහෙයුමේ දී කමාන්ඩෝ භටයන් දෙදෙනෙක් ද මියයනවා.

ඔපරේෂන් නිම්රෝඩ්

ඉරානයේ කූසිස්ටන් පළාතෙන් බිහි වූ “අරාබියානු විමුක්තිය උදෙසා වන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදී පෙරමුණ” නම් ගරිල්ලා සංවිධානයේ සන්නද්ධ කැරලිකරුවන් හයදෙනෙකු, 1980 වසරේ අප්‍රේල් 30 වන දා බ්‍රිතාන්‍යයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදී එහි සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු තවත් පුද්ගලයන් 26 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස දින හයක් රඳවාගෙන සිටිනවා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් දින හයකට පසුව එක්සත් රාජධානියේ රාජ්‍ය උපදෙස් මත වහා ක්‍රියාත්මක වන SAS බලකාය නම් විශේෂ හමුදා ඒකකය විසින් ක්‍රියාත්මක කළ නිම්රෝඩ් මෙහෙයුම ආධාරයෙන් කැරලිකරුවන් මරා, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට හැකියාව ලැබෙනවා.

1979 වසරේ දී ඉරාන විප්ලවයත් සමග රටේ බලයට පත් වන අයිතුල්ලා කොමේනි නම් අධ්‍යාත්මික නායකයාගේ මතයට විරුද්ධ කල්ලියක් ලෙස මෙම සංවිධානය හැඳින්වූ අතර, “ඉරානය තුළ නව පාලනය විසින් සිර කරගෙන සිටින දේශපාලනික සිරකරුවන් නිදහස් කරනු” යන්න ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණා. මීට අමතරව ඉරානය තුළ මානව හිමිකම් සුරක්ෂිත කර දේශපාලන පළිගැනීම් නැවැත්වීම ඔවුන්ගේ ඉල්ලීමක් වුණා.

එදින දහවල් තුන පසුවෙනවාත් සමගම තානාපති කාර්යාලය වටලා සිටින පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා හා ගුවන් විදුලි පණිවුඩ හුවමාරු කරන කැරලි නායකයා, ඉරානයේ සිටින තම සංවිධානයට හිතවත් සිරකරුවන් 91 දෙනෙකු නිදහස් කරන ලෙස තම ප්‍රථම ඉල්ලීම ඉදිරිපත් කරනවා. ඒ සමගම තමන්ට ඉරානයට පිටත් වීම සඳහා ගුවන් යානයක් ද ඉල්ලා සිටිනවා. තම ඉල්ලීම් නොලැබුණහොත්, වරකට එක් පුද්ගලයෙකු බැගින් සියලු ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කරනවා.

දින පහක් පුරා සිදුකරන තම ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හරින තත්ත්වයක් උදාවන විට ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කරන ත්‍රස්ත නායකයා, මැයි 5 වන දා එම ප්‍රකාශය ක්‍රියාවට නංවමින් එක් ප්‍රාණ ඇපකරුවෙකුට වෙඩි තබා ඝාතනය කොට සිරුර පහළට විසි කිරීමට තීරණය කරනවා. මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නේ තානාපති කාර්යාලයේ සේවය කළ අබ්බාස් ලවසානි නම් නිලධාරියෙකු යි.

භටයන් 35 දෙනෙකුගෙන් පමණ සමන්විත SAS කණ්ඩායමක්, කුඩා කණ්ඩායම් දෙකකට බෙදා මෙහෙයුම සඳහා සූදානම් කෙරෙන අතර, ඔවුන් මැයි 5 වන දා වන විට තානාපති කාර්යාලය අසල වූ එම ගොඩනැගිල්ලේම කොටසක සිට හොර රහසේ තම මෙහෙයුම සඳහා සූදානම් වෙනවා. මැයි 5 වන දා සවස 7 පසු වී විනාඩි 20කට පමණ පසු මෙහෙයුම ආරම්භ කිරීම සඳහා නියෝග ලැබෙන අතර, එක් භට කණ්ඩායමක් ගොඩනැගිල්ලේ මුදුනේ සිට ද, තවත් කණ්ඩායමක් බිම් මහලේ සිට ද මෙහෙයුම ආරම්භ කරන්නේ පුපුරන ද්‍රව්‍ය යොදාගෙන පළමු මහලේ එක් ජනේලයක් පුපුරවා දැමීමෙන් අනතුරුව යි.

පළමු මහලෙන් ඇතුල් වීමට සැරසෙන SAS භටයන් (Forces.Net)

සැලසුම් වූ ආකාරයටම සතුරා විස්මයට පත් කරමින් වේගවත් ප්‍රහාරයක නිරත වූ SAS භටයන්, මෙහෙයුමේ දී අපේක්ෂිත හානියට වඩා ඉතා අඩු හානියක් වාර්තා කරමින් සාර්ථකව මුදාගැනීමේ මෙහෙයුම නිම කරනවා. මෙහෙයුමේ දී එක් ප්‍රාණ ඇපකරුවෙක් පමණක් මියයන අතර ත්‍රස්තයන් 6 දෙනාගෙන් නායකයා ඇතුළුව 5  දෙනෙකු ඝාතනය වෙනවා. මෙහෙයුම අතරතුර එක් SAS භටයෙක් තුවාල ලබනවා. අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රස්ත සාමාජිකයාට බ්‍රිතාන්‍ය අධිකරණය මඟින් වසර 27ක සිර දඬුවමක් නියම කරනවා.

පළමු පුපුරවා හැරීමෙන් පසුව ගොඩනැගිල්ලට ඇතුල් වීම (Reddit)

කවරයේ පින්තූරය- SAS භටයන් තිදෙනක් 

මූලාශ්‍රයයන්:

Ministry of Defense, Peru

Warhistoryonline.com

 

Related Articles