සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘තර්ජනයට ලක් වූ භාෂාවක්’ ලෙස හඳුන්වන්නේ භාවිත කරන්නන් නොමැති වීම නිසා හෝ එම භාෂාව කතා කරන පිරිස වෙනත් භාෂාවක් යොදා ගැනීම නිසා භාවිතයෙන් ඈත් වී යන භාෂාවන්. මෙය මූලික වශයෙන් ම කොටස් දෙකකින් යුතු වෙනවා.
- නෂ්ට භාෂා (Extinct Languages)
- මළ භාෂා (Dead Languages)
නෂ්ට භාෂාවක් ලෙස හඳුන්වනු ලබන්නේ අදාළ භාෂාව කතා කරන පුද්ගලයන් කිසිවෙකු නොමැති භාෂා යි. එම භාෂාව භාවිත කරන පුද්ගල කණ්ඩායම් සම්පූර්ණයෙන් ම වඳ වී යාම බොහෝ විට එයට හේතු වෙනවා. අනෙක් අතට මොන ම ජන සමාජයක හෝ මව් භාෂාව ලෙස භාවිත නොවන භාෂාවන් මළ භාෂා ලෙස හැඳින්වෙන අතර, ඒවා නොයෙක් හේතූන් සඳහා තව දුරටත් ලෝකයේ භාවිත වෙනවා. මළ බසකට උදාහරණයක් ලෙස ලතින් භාෂාව හඳුන්වා දිය හැකි යි.
විවිධ හේතූන් මත තර්ජනයට ලක් වී ඇති භාෂාවන් පෙළක් යුනෙස්කෝ සංවිධානය මගින් හඳුනාගෙන තිබෙනවා. මේ ලිපියේ අරමුණ ඉදිරි දශකය තුළ දී ලෝකයෙන් සම්පූර්ණයෙන් ම තුරන් වී යනු ඇතැයි විශ්වාස කරන එවැනි භාෂා කිහිපයක් ගැන තොරතුරු ගෙන ඒම යි.
1) මැන්ක්ස් (එක්සත් රාජධානිය)
මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය එකිනෙකින් වෙන් කරන මුහුදු තීරයේ පිහිටා ඇති ‘මිනිසාගේ දූපත’ (Isle of Man) නම් එක්සත් රාජධානියට අයත් කුඩා රාජ්‍යයේ භාවිත වන සෙල්ටික් (පුරාතන සහ මධ්‍යතන යුරෝපයේ වාසය කළ ජන කණ්ඩායමක්) කාණ්ඩයට අයත් භාෂාවක්, මැන්ක්ස් නමින් හඳුන්වනවා. 1974 වසරේ දී එය භාවිත කළ අවසන් පුද්ගලයාගේ මරණය සමග එය නෂ්ට භාෂාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ද යුනෙස්කෝ සංවිධානය මගින් ක්‍රියාත්මක කරන නෂ්ට භාෂාවන් නැවත පිහිටුවීමේ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 1,800 කට පමණ ඒ පිළිබඳ ව යම් තාක් දුරට දැනුමක් ලබා දී තිබෙනවා.
2) ලිට්ස්ලිට්ස් (වනුආටු)
පැසිෆික් සාගරයේ පිහිටා ඇති වනුආටු නම් කුඩා රාජ්‍යයේ සමස්ත ජනගහනය ලක්ෂ 3 කට අඩු වුණත් ඔවුන් අදහස් හුවමාරු කිරීමට යොදා ගන්නා භාෂා ගණන නම් 130 කට ආසන්න යි. මේ නිසා ම කතාබහේ යෙදීම සඳහා එක් භාෂාවක් යොදා ගන්න පිරිස ඉතාමත් සීමිත වෙනවා. වනුආටු රාජ්‍යයේ භාවිත වන භාෂාවන් අතරින් නෂ්ට වීමේ තර්ජනයට ඉතාමත් බරපතල ලෙස මුහුණ දේ ඇති භාෂාවක් තමයි නිමාන් හෙවත් ලිට්ස්ලිට්ස්. මැලකූලා නම් පළාතේ පමණක් යොදා ගන්නා එම භාෂාව දැනට භාවිත කරන්නේ පුද්ගලයින් 15 දෙනෙක් වැනි සුළු ප්‍රමාණයක් පමණ යි.
3) මංචු (චීනය)
මහජන චීන සමූහාණ්ඩුවේ ගිනිකොණ දිගට වන්නට පිහිටා ඇති මන්චූරියාවේ භාවිත කරන, දරුණු ලෙස නෂ්ට වීමේ තර්ජනයට ලක් වී ඇති භාෂාවක් ලෙස මංචු බස හැඳින්විය හැකි යි. ක්‍රිස්තු වර්ෂ 1636 – 1911 අතර කාලයේ චීනය පාලනය කළ චිං රාජ වංශයේ නිල භාෂාව වූ එය අද වන විට භාවිත කරන්නේ මිලියන 10 ක් පමණ වන මංචු ජාතිකයන් අතරින් 10 දෙනෙකු පමණක් වන බව යි යුනෙස්කෝ දත්ත පෙන්වා දෙන්නේ. වර්තමානයේ දී චිං රාජ වංශය අධ්‍යයනයට කැමති ඉතිහාසඥයන් අතර ජනප්‍රිය මංචු බස, අතීතයේ දී අධිකරණයේ භාෂාව ලෙස ද යොදාගෙන තිබෙනවා.
4) ෂුමෂ්ති (පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය)
ඉන්දු-යුරෝපියානු භාෂා කුලකයට අයත් ෂුමෂ්ති බස අද වන විට පාවිච්චි කරන්නේ 1,000 ක් පමණ වන බටහිර පකිස්ථානයේ සහ නැගෙනහිර ඇෆ්ඝනිස්ථානයේ කුනාර් ගංගාව දෙපස වාසය කරන පුද්ගල කණ්ඩායමක් පමණයි. එ් අතරිනුත් ෂුමෂ්ති බසින් කියවීමේ හැකියාව ඇත්තේ 10 දෙනෙකුටත් වඩා අඩු පුද්ගල ප්‍රමාණයකට යි. ඒ අනුව පොදුවේ කථනය සඳහා පමණක් යොදා ගන්නා මෙය ඉදිරි දශකය තුළ දී නෂ්ට වීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහළ බව පැවසෙනවා.
5) ඕගියෙක් (කෙන්යාව සහ ටැන්සානියාව)
මිනිසා පරිණාමය වූ නැගෙනහිර අප්‍රිකාවේ ම මුල් කාලීන භාෂා බිහි වන්නට ඇතැයි සැලකීම වරදක් නෙවෙයි. මේ හේතුවෙන් ම අප්‍රිකාව ආශ්‍රිත ප්‍රදේශවල ඉහළ භාෂා විවිධත්වයක් දක්නට ලැබෙනවා. නමුත් වර්තමානය වන විට විශාල සංස්කෘතීන් මගින් කුඩා ජන කණ්ඩායම් අත්පත් කර ගැනීම ඉතාමත් සුලබ යි. එහි ප්‍රතිඵලයක් ලෙස දඩයමින් දිවි ගෙවන කුඩා ජන සමාජයක් වන ඕගියෙක්වරුන්, ඔවුන්ගේ සාම්ප්‍රදායික භාෂාව පසෙකලා මසායි බස භාවිත කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වර්තමානය වන විට ඉතිරි ව ඇත්තේ ඕගියෙක් උප භාෂා ද්විත්වයක් පමණ යි. එම භාෂා දෙක ද මේ වන විට දරුණු ලෙස නෂ්ට වීමේ තර්ජනයට ලක් වී තිබෙනවා.
6) සෙකානි (කැනඩාව)
චතුර ලෙස සෙකානි බසින් අදහස් හුවමාරු කර ගැනීමට හැකි 30 ක් පමණ වන ස්වදේශිකයන් වාසය කරන්නේ කැනඩාවට අයත් උතුරු මැද බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ යි. දැනට ඉතිරි වී ඇති 1,400 ක් පමණ වන අනෙකුත් සෙකානි ජාතිකයන් පහසුව සඳහා ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවන් යොදා ගැනීම හේතුවෙන් සෙකානි බස දරුණු ලෙස නෂ්ට වීමේ තර්ජනයට ලක් වී තිබෙනවා.
7) බරවානා (බ්‍රසීලය සහ වෙනිසියුලාව)
ආරවෙක් භාෂා කාණ්ඩයට අයත්, නෂ්ට වී යාමට ඉතාමත් ආසන්න භාෂාවක් වන බරවානා බස යොදා ගනු ලබන්නේ වයඹ දිග බ්‍රසීලයේ සහ වෙනිසියුලාවේ වාසය කරන බරේ ගෝත්‍රිකයන් විසින්. මෙය ‘ඉබිනි’ සහ ‘මිටුආ’ යන නම්වලින් ද හැඳින්වෙනවා. සියවස් ගණනාවක් තිස්සේ ආරවෙක් භාෂා කාණ්ඩය ක්‍රමයෙන් මියැදුණු අතර බරවානා බසින් සන්නිවේදනයේ යෙදිය හැකි වයස්ගත පුද්ගලයන් 250 ක් පමණ යි මේ වන විට ඉතිරි වී ඇත්තේ.
8) මැරිංගා (ඕස්ට්‍රේලියාව)
භාෂාවන් නෂ්ට වී යාම බහුල ව සිදු වන රටක් ලෙස ඕස්ට්‍රේලියාව හැඳින්විය හැකි අතර එසේ නෂ්ට වන භාෂා සියල්ලක් ම පාහේ ඇබොරිජියන්වරුන් භාවිත කරන ඒවා යි. එවැනි තවත් එක් භාෂාවක් ලෙස මැරිංගා බස හඳුන්වා දිය හැකි යි. වර්තමානයේ දී මැරිංගා බස චතුර ලෙස හැසිර විය හැකි වැඩිහිටියන් ඉතිරි ඇත්තේ තිදෙනෙක් පමණක් වන අතර මැරිංගා බස මව් භාෂාව වන ඇබොරිජියන් ගෝත්‍රිකයන් ඉතිරි වී ඇත්තේ 100 කට අඩු ප්‍රමාණයක්.
9) බටහිර නව-ඇරමයික් (සිරියාව)
ලෝකය පුරා ඇරමයික් බස ප්‍රකට වී ඇත්තේ ශුද්ධ වූ බයිබලය මුල් වරට සම්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ලද භාෂාව ලෙස යි. පැරණි ඇරමයික් බසින් බිඳී නිර්මාණය වූ බටහිර නව-ඇරමයික් භාෂාව, අද වන විට ඇරමයික් භාෂා කාණ්ඩයෙන් ඉතිරි වී ඇති එක ම භාෂාව ලෙස යි සැලකෙන්නේ. වර්තමානයේ දී ඩමස්කස් නුවරින් කිලෝමීටර් 60 ක් පමණ ඈතට වන්නට පිහිටා ඇති කුඩා ක්‍රිස්තියානි ගම්මාන ත්‍රිත්වයක පමණක් භාවිත වන මෙය නෂ්ට වීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වී ඇති භාෂාවක්.
10) කෝමානා (දකුණු අප්‍රිකාව)
දකුණු අප්‍රිකාවට ආවේණික කෝමානා බස, කොරානා සහ ග්‍රීකා යන නම්වලින් ද හඳුන්වනු ලබනවා. මුහුදු බඩ ප්‍රදේශයන් හි බොහෝ සෙයින් භාවිත කරන ලද මෙය දකුණු අප්‍රිකාවේ ඇපාතෙයිඩ් පාලන සමය (වර්ණභේදය දැඩි ලෙස තිබුණු සමය) අවසන් වන විට ක්‍රමයෙන් අභාවයට ගියා. 2009 වසර වන විට කෝමානා බස හැසිරවිය හැකි පුද්ගලයින් 30 ක් පමණ ඉතිරි වී සිටිය ද 2012 වසර වන විට එය දන්නා එක ම කාන්තාව ද එම භාෂාව කතා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ හේතුවෙන් යුනෙස්කෝ සංවිධානය එය දරුණු ලෙස නෂ්ට වීමේ තර්ජනයට ලක් වී ඇති බසක් ලෙස නම් කර තිබෙනවා.
කවරයේ පින්තූරය: (barbaracroweauthor.wordpress.com)
මූලාශ්‍ර:
- theculturetrip.com
- en.wikipedia.org
- theguardian.com