ස්කැන්ඩිනේවියානු රටවල් ජීවත්වීම සදහා වඩාත්ම ගැලපෙන රටවල් ලෙස පිලිගැනේ. ස්කැන්ඩිනේවියානු රටවල් යනු උතුරු යුරෝපයේ වසරේ මාස කිහිපයක් හිමෙන් වැසී යන සුන්දර රටවල් කිහිපයකි. ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය, අයිස්ලන්තය ස්කැන්ඩිනේවියානු රටවල් වේ. එම රටවල් වල ආර්ථික ශ්‍රී විභූතිය අද ඊයේ ඇති වූවක් නොවේ. යටත්විජිත තනාගෙන රටවල් යටත් කරගනිමින් මෙයින් ඇතැම් රටවල් 1500 ගනන් වල සිට බලවත් වීමට උත්සාහ කලෝය. එහෙත් යටත්විජිත නැවත නිදහස් වූ පසුද අද වනතුරුත් ඒ බොහොමයක් රටවල් සිය සංවර්ධන තත්වය එලෙසම රැකගැනීමට සමත් වී තිබේ.
ලොව සතුටු දායක ලෙසම දිවි ගෙවන දර්ශක වල නොර්වේ, ඩෙන්මාර්ක් සහ අයිස්ලන්තය පළමු 10ට කාලාන්තරයක් තිස්සේ ඇතුලත් වේ. එම රටවල විරැකියාව වාර්ථාගත ලෙස අඩුය. ඇති නැති පරතරයක් නොමැති තරම්ය. එනම් මේ තදබල පෝසතුන්ය මේ තදබල දුප්පතුන් යැයි විශාල විභේදනයක් සමාජය තුල දක්නට නැත. සෞඛ්‍ය තත්වය අතින් ගත්තද උපතේදී ආයු අපේක්ෂාව වැඩිම රටවල් අතරටද ස්කැන්ඩිනේවියානු රටවල් ඇතුලත් වේ. දූෂණය, භීෂණය පිටු දැකීම තවත් මැතිවරණ පොරොන්දුවක් නොවූ ස්කැන්ඩිනේවියානු රටවල් ලොව අඩුම දූෂන සහිත රටවල් ගොන්නටද ඇතුලත් වේ.
සාමාන්‍ය ජනයා මෙන්ම පාලකයන්ද සාමකාමීව දිවි ගෙවීමට කැමති ස්කැන්ඩිනේවියානු රවටල් ඇතැම් දියුණු ප්‍රබල රටවල් මෙන් අනෙක් රටවල් වලට අත පෙවීම්ද සිදු නොකරයි. ෆින්ලන්ත අධයාපන ක්‍රමය මේ දිනවල ලොව පුරා ජනප්‍රියව පවතින පෙරළිකාර අධ්‍යාපන ක්රමයකි. එය තුලින් ළමයා වැඩිහිටියෙක් වෙද්දී විශය දැනුමින් පමණක් නොව වෙනත් සමාජීය කුසලතාවයන්වලින් සන්නද්ධ කරවනු ලබන්නේය.
අඩුකාලයක් කාර්යක්ෂමව වැඩ කිරීම
රටක් දියුනු වීමට නම් මිනිසුන් වැඩි කාලයක් වැඩ කොට තවත් කැපකිරිම් කල යුතු බැව් අපේ රටේ ආයතන ප්‍රධානින් නිතර කියන මන්ත්රයකි. එහෙත් දියුණු රටවල මිනිසුන් වැඩ කරන කාලය අඩුය. ස්වීඩනය තුල සාමාන්‍ය වැඩකරන පැය ගනන සතියකට 40කි. එනම් ඕවර්ටයිම්, සහ සෙනසුරාදා ඉරිදා රාජකාරි නොමැති වඩාත් පහසු වැඩකිරීමේ රටාවකි එහි ඇත්තේ. අපට මෙන් පෝය නිවාඩු ඇතුලත් රජයේ නිවාඩු අවම වුවද සති හයක පඩි රහිත දීර්ඝ නිවාඩු ලබාගැනීමට ස්කැන්ඩිනේවියානුවන්ට පහසු කටයුත්තකි. එසේ හෙයින්ම ස්කැන්ඩිනේවියානුවෝ ඒ කාලය බොහෝවිට රට රටවල සංචාරය කිරීමට, විනෝදයෙන් කාලය ගතකිරීමට, දරු මල්ලෝ සමග විවේකයෙන් ගත කිරීමට යොදා ගනිති. වැඩි වැඩියෙන් බොහෝ වැඩ කිරීමම රටක සංවර්ධනයට හේතු වන්නේ නැතැයි ස්කැන්ඩිනේවියානුවෙන්ගේන් අපිට ගත හැකි ආදර්ශයකි.
ලොවට පරිසර හිතකාමීම රටවල් අතර මෙන්ම පිරිසිදුම රටවල් අතරද ස්කැන්ඩිනේවියානු රටවල් ඉදිරිපෙලින් සිටී. සංවර්ධනය වනවිට පරිසරයෙන් ලොකු කැපකිරිම් කරන්නට සිදු වෙනවා යැයි කියන අයට ස්කැන්ඩිනේවියානු රටවල් ආදර්ශයකි. ස්වීඩනය තමුන්ගේ කසල පමණක් නොව අනෙක් රටවල කසලද ලබාගෙන ප්රතිචක්රීකරනය කරති. මිල මුදල යහමින් ඇතත් පිරිසිදු වාතාශ්‍රය ලබාගැනීමට නොහැකිව තැවෙන ඉන්දියාවේ දිල්ලිය, චීනයේ ශැංහයි නගරවල ජනයා සිය හුස්ම පොද පවා මුදල් පිණිස කැපකොට තිබේ. එහෙත් උතුරු යුරෝපීය රටවල් බොහොමයක් එවැනි මව මරා උපදින කෙසෙල් කැන් වැනි සංවර්ධන ක්‍රියාදාමයන්ට දායක නොවේ.
සාමකාමී ජාත්‍යන්තර සම්බන්ධතා
ස්කැන්ඩිනේවියානු රටවල් කොලනි බිහි කළ ප්‍රදේශ අතර අමරිකාව, එංගලන්තය, අප්‍රිකාව, ස්කොට්ලන්තය සහ ආසියානු කලාපයේ රටවල් ගනනාවක විවිධ ප්‍රදේශ විය. නමුත් මේ බොහෝ විජිත වැඩි කල් නොපැවැතුණි.
අප රටට මෙන්ම සංවර්ධනය විය හැකි ශඛ්‍යතාවයක් සහිත බොහෝ දියුණු වෙමින් පවතින රටවලට යුද්ධය බාධාවක් වුනි. ස්කැන්ඩිනේවියානු රටවල් යුද්ධ නොකලේ මැ’යි කිය නොහැකිය. එහෙත් දෙවන ලෝක යුද්ධයේදී පවා ස්කැන්ඩිනේවියානු රටවලට සිදු වූ හානිය සාපේක්ෂව අඩුය. ඉන් පසු කාලයේ අරාබි කලාපය, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව තුල විවිධ ආකාරයේ කැරළි කෝලහාල යුධ ගැටුම් ඇතිවිය. එහෙත් ස්කැන්ඩිනේවියානු කලාපය යුධ රහිත සාමකාමී පලාතක් ලෙස බොහෝ කලක් වැජඹුනි.
වැඩි පහසුකම් සේම වැඩි බදු
ස්කැන්ඩිනේවියානු රටවල පුරවැසියන්ට රැකියාවක් නොමැති වුවද රජයෙන් යම් දීමනාවක් ලැබේ. එහෙත් එම රටවල රැකියාවක් කරන්නේ නම් ගෙවිය යුතු බදු මුදල නම් විශාලතර අගයකි. එක් පුරවැසියෙකුගේ ආදායමෙන් දෙකෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක බදු බරක් ඒ රටේ උපයන අයෙකු වෙත බැර වේ. එහෙත් දූෂණය වංචාව නොමැති ඒ පරිසර වලදී ඒ මුදල් විනිවිදභාවයෙන් වඩාත් යහපත් කාර්යයන් පිණිස යෙදවෙනවා ඇත.
සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද, අධ්‍යාපනික අවස්ථා, දුප්පතුන්ට නිවාස, රැකියා විරහිත අයට දීමනා, වැඩිහිටියන්ට විශේෂ දීමනා, රැකියා ඇරඹීමට සහන, ළමුන්ට සහන වැඩසටහන් ආදී සමාජ ආරක්ෂන වැඩපිලිවෙල වලට පුළුල් ලෙසම ස්කැන්ඩිනේවියානු රජය විසින් මුදල් වියදම් කරනු ලැබේ. එම රටවලම ජනයා මෙම විශාල බදු ඇදීම ගැන එරටවල ජනයා අසතුටු වුවද මූලිකව ගත් කල එම බදු මුදල් වලින් එම ජනයාගේ ජීවන තත්වය උසස් මට්ටමකට තබාගැනීමට රජයන් විසින් උර දී තිබේ.
ආගම ඇදහීම
ආගම දහමට හිත යෙදවීමක් නැති කම රටේ දියුණුවට මග අවහිර කරන්නේ යැයිද ආගමික ගුරුකුල විසින් අප රටේද නිතර මතුරන මන්ත්රයකි. එහෙත් ස්කැන්ඩිනේවියානු රටවල ජනගහනයෙන් ඩෙන්මාර්කය 16% ක්ද නෝර්වේ 13%ක්ද ස්වීඩනය 28%ක්ද වශයෙන් කිසිදු ආගමක් අදහන්නේ නැති පිරිසක් සිටී. මේ සංඛ්‍යාලේඛන වලින් සදහන් වන්නේ කිසිදු ආගමක් අදහන්නේ නැති යැයි ස්ථිරවම කියා සිටින පිරිස වන අතර ආගම හෝ දෙවියන් ගැන විශ්වාසයක් නැති උදවිය ප්‍රමාණය මීට වඩා වැඩිය. එසේ ආගම දහම ගැන විශ්වාසයක් නැති වුවද මෙම රටවල ස්ත්‍රී දූෂණ, මිනීමරුම්, වංචා, දූෂණ, හොරකම්, කෙල්ලකෑම් ආදී සමාජ විශමාචාරයෝද සැලකිය යුතු ලෙසින්ම අඩුය. අපරාධ අඩුම රටවල් අතර නවතම වාර්ථාවලද ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ පළමු රටවල් 10 අතරට ඇතුලත්ව තිබේ.
සංවර්ධනය සහ කල යුතු දෑ
ලොවම පවතින්නේ එකම වෙළද ජාලයකට හසුවීමෙනි. එහිදී අප සංවර්ධනය කරා යොමු වන්නේ නම් ඒ සදහා ලෝකය පිලිගත් ක්‍රමවේද වලට අපද ගමන් කල යුතු වේ. අවම වශයෙන් දූෂණය, භීෂණය මර්ධනය කොට රටේ ප්‍රධාන ක්ෂේත්‍ර දියුනුව පිළිබද දීර්ඝකාලීන සක්‍රිය වැඩපිලිවෙලක් අපිට තිබිය යුතුව. එසේ නැතිව විශාල කොන්ක්‍රීට් නිර්මාණ තුලින් පමණක් සංවර්ධනය ඇති වේ යැයි සිතීම මුලාවකි. දියුණු වීමට නම් පාලකයෝ මෙන්ම අපද වෙනස් විය යුතු ආකාරය ගැන නැවත සිතා බැලිය යුතු කාලය එළැඹ තිබේ. නැතහොත් ලංකාව අපේ දරු මුනුබරන්ටත් දියුණු වෙමින් පවතින රටක්ම වීම වැලැක්විය නොහැකි වනු ඇත.
Cover Image ඩෙන්මාර්ක් වරායක්.. (i.pinimg.com)