දීර්ඝ ජීවිත කාලයකට හිමිකම් කියන ඉන්දියානු තාරකා ඉබ්බන්

ඉබ්බන් යන වචනය ඇසූ පමණින් අපට මතක් වන්නේ ඉබ්බා හා හාවා රේස් දිවූ කතන්දරයි. සෑම කුඩා දරුවෙකුටම තම දෙමාපියන් කුඩා කාලයේ සිට එම කතාව කියා දෙන්නේ දරුවන් උත්සාහවන්ත පුද්ගලයින් බවට පත් කිරීමේ අරමුණෙනි.

ඉබ්බන් යනු ශරීරිය වටා ඝන කටුවක් සහ ඒ වටා දැඩි හමක් සහිත සත්ව වර්ගයකි. ගම්මානවල නිරන්තරයෙන් දැකිය හැකි මොවුන් ලෝකයේ පුරා පිහිටි සත්වෝද්‍යාන ආදියේද දැකිය හැක. අනතුරක සේයාවක් දැනුන විගසම තම කටුව තුලට රිංග ගන්නා ඉබ්බන් නැවත තමා ආරක්ෂිත බව දැනුන පසු කටුවෙන් ඉවතට පැමිණේ.

තාරකා ඉබ්බන් යනු එක් ඉබි විශේෂයකි. ඉන්දියානු තාරකා ඉබ්බන් ප්‍රසිද්ධ වී ඇත්තේ ඔවුන්ගේ පෙනුම පදනම් කරගෙනයි. මොවුන් ලෝකයේ සිටින ආකර්ෂණීයම ඉබි විශේෂ අතරින් එකක් ලෙස සැලකේ. මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ ඉන්දියානු තාරකා ඉබි විශේෂය පිළිබඳව තොරතුරු ඔබට ගෙන ඒමටයි.

ව්‍යාප්ත වී සිටින ප්‍රදේශ

flickr.com

ඉන්දියානු තාරකා ඉබ්බන් ලෙස හැඳින්වෙන ඉබි විශේෂය ඉන්දියාව, ශ්‍රී ලංකාව හා ගිනිකොන දිග පකිස්ථානයට ආවේණික සත්ව කොට්ඨාශයක් ලෙස දැක්විය හැක. ඉන්දියාවේ මොවුන් ගුජරාට්, රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ්, කර්නාටක, කේරළ, තමිල්නාඩු ආදි ප්‍රදේශවල බහුල වශයෙන් දැක ගැනීමට ලැබේ. පකිස්ථානයේ ථාර් කාන්තාරය ආශ්‍රිත ප්‍රදේශවලද මොවුන් දැක ගත හැක. ශ්‍රී ලංකාවේද තාරකා ඉබ්බන් බහුලව වාසය කරති.

ඉන්දියානු තාරකා ඉබ්බන්ගේ උප විශේෂයන් හඳුනාගෙන නොමැති බව සඳහන් වේ. නමුත් ප්‍රදේශ අනුව මොවුන්ගේ පාටෙහි යම් වෙනස් කම් දැක ගත හැකිය.

ශරීර ලක්ෂණ

reptilepetsdirect.com

සාමාන්‍යයෙන් ඉන්දියානු තාරකා ඉබ්බන්ගේ කාන්තා සතුන් ඔවුන්ගේ පිරිමි සතුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලව වර්ධනය වේ. සාමාන්‍ය කාන්තා ඉන්දියානු තාරකා ඉබ්බෙකු දිගින් අඟල් 7 – 8 ත් අතර ප්‍රමාණයකට වර්ධනය වන අතර පිරිමි ඉන්දියානු තාරකා ඉබ්බකු දිගින් අඟල් 5 -6 ත් අතර ප්‍රමාණයකට වර්ධනය වන බව සඳහන් වේ. නමුත් ඇතැම් ලිපි වල කාන්තා ඉන්දියානු තාරකා ඉබ්බකු අඟල් 10 -12 අතර ප්‍රමාණයට වර්ධන වන බව හා පිරිමි ඉන්දියානු තාරකා ඉබ්බෙකු දිගින් අඟල් 6 -8 අතර ප්‍රමාණයකට වර්ධනය වන බව දැක්වේ.

ශ්‍රී ලංකාවේ හා වයඹ දිග ඉන්දියාවේ සිටින ඉන්දියානු තාරකා ඉබ්බන් ප්‍රමාණයෙන් වඩා විශාල වේ. ශ්‍රී ලංකාවේ දැකිය හැකි ගැහැණු ඉන්දියානු තාරකා ඉබ්බෙකු දිගින් අඟල් 15 ක් පමණ වන තෙක් වර්ධනය වීම දැක ගත හැකි අතර පිරිමි ඉන්දියානු තාරකා ඉබ්බන් වර්ධනය වන්නේ අඟල් 8 -9 ත් ප්‍රමාණයකි. සාමාන්‍ය ඉන්දියානු තාරකා ඉබ්බන්ගේ ජිවිත කාලය වසර 30 – 80 ත් අතර පවතින බව වාර්තාවල දැක්වේ. මෙම ඉබ්බන් නිසි ආරක්ෂාව යටතේ ගෘහස්තව ඇති කිරීමට ඉතා පහසු අතර එවැනි ඉන්දියානු තාරකා ඉබ්බෙකුගේ ආයු කාලය කැලෑවේ සාමාන්‍ය ආයු කාලයට වඩා සැළකිය යුතු ලෙස වැඩි විය හැක. මිට හේතුව කැලෑ තාරකා ඉබ්බන් නියඟ, කැලෑ ගිනි හා විලෝපිකයින්ට හසු වීම වැනි පීඩාවලට පත් වීමයි.

උතුරු ඉන්දියාවේ සිටින ඉන්දියානු තාරකා ඉබ්බන් අඳුරු පැහැයක් ගන්නා අතර දකුණු ඉන්දියානු තාරකා ඉබ්බන්ට වඩා ඔවුන්ගේ කටුවේ ඇති හැඩයන් ප්‍රමාණය අඩු ය. දකුණු ඉන්දියාවේ සිටින ඉන්දියානු තාරකා ඉබ්බන්ගේ කටුවේ රටා බොහොමයක් දැක ගත හැකි වේ.

ආහාර

අනෙකුත් බොහෝ ඉබි වර්ග මෙන් ඉන්දියානු තාරකා ඉබ්බන්  ශාක භක්ෂක සත්ව විශේෂයකි. මොවුන් ඉන්දියානු උප මහද්වීපයේ ඇති වියළි කලාපීය වනාන්තරවල විවිධ ශාක කොළ, පළතුරු, බේරි වර්ග හා මල් වර්ග වැනි දෑ ආහාරයට ගනිති. ආහාර සොයා මෙම ඉබ්බන් දවසේ වැඩි කාලයක් ඇවිදිමින් ගත කරනවා දැකිය හැක.

මොවුන් Bermuda grass, rye, mature alfalfa, blue grass ආදී තණකොළ වර්ග ආහාරයට ගැනීමට විශේෂ කැමැත්තක් දක්වති. තාරකා ඉබ්බන් ආහාරයට ගන්නා කොළ වර්ග අතර මිදි කොළ, mulberry කොළ, dandelion මල් හා කොළ අඩංගු වේ. වට්ටක්කා, කැරට්, බිම්මල්, බතල වැනි එළවළු වර්ග හා තක්කාලි, ඇපල්, පැපොල්, පැණි කොමඩු, ස්ට්‍රෝබෙරි, මිදි, කෙසෙල් වැනි පලතුරුද මොවුන් ආහාරයට ගන්නා ගනිති.

ප්‍රජනනය

exofoundation.org

ඉන්දියානු තාරකා ඉබ්බන් තම ප්‍රජනන ක්‍රියාවලියේ නිරත වන්නේ ඉතා සන්සුන්වයි. සත්වයින් දෙදෙනෙකු සංසර්ගයේ යෙදී මාස දෙකත් තුනත් අතර කාලයේදී කාන්තා සත්වයා වැලි සහිත පසේ නොගැඹුරු වලක් හාරා බිත්තර 4 -8 අතර ප්‍රමාණයක් දැමීම සිදු කරයි. මේවා සුදු පැහැති රවුම් හැඩයක් ගනී.

බිත්තර දැමීමට සුදුසු ස්ථානයක් හමු වූ විට කාන්තා සත්වයා එම ස්ථානයට මුත්‍රා කිරීම සිදු කරයි. මෙමගින් සිදු කරන්නේ එම ස්ථානයේ පස බුරුල් වීම හේතුවෙන් හැරීම පහසු කිරීමයි. බිත්තර දැමීමෙන් පසු එම වල නැවත පස්වලින් වසා දැමීම සිදු කරයි.

ආර්ථිකමය වටිනාකම හා සංරක්ෂණය

parody.wikia.com

ඉන්දියානු තාරකා ඉබ්බන් සඳහා ස්වභාවික මෙන්ම මනුෂ්‍යයින් නිසා ඇති වන තර්ජන ද රාශියක් පවතී. ඉන් ස්වභාවික අනතුරු ලෙස ගංවතුර තත්වයන්, නියඟ, විලෝපිකයින්ගේ ගොදුරු බවට පත් වීම දැක්විය හැක. වැඩුණු සතුන් මෙන්ම ඉබි බිත්තර ද ආහාරයට ගන්නා විලෝපිකයන් දැකගත හැකිය. කෙසේ වෙතත් මොවුන්ට ඇති ප්‍රබලතම තර්ජනය වන්නේ මිනිසාගෙන් සිදු වන හානිය යි. කැලෑ එළි පෙහෙළි කිරීම නිසා වාසස්ථාන සහ ආහාර අහිමි වීම, මිනිස් ආහාරය පිණිස තාරකා ඉබ්බන් ඇල්ලීම, ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග වැනි විදේශීය රටවල  සුරතලුන් ලෙස වෙළඳාම් කිරීමට තාරකා ඉබ්බන් යොදා ගැනීම නිසා ඔවුන්ගේ සංඛ්‍යාව අඩු වී ඇත.

මිට අමතරව මෑත කාලයේ පැරණි චීන ඖෂධ සෑදීමට ලෙස ඉන්දියානු තාරකා ඉබ්බන්ගේ ශරීර කොටස් යොදා ගැනීම ද මොවුන්ට විශාල තර්ජනයක් වී තිබේ. මොවුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් ශක්තිය ලබා ගත හැකි බවට මතයක් ද ඔවුන් සතු වේ. තවත් සමහරුන්ගේ මතයක් වන්නේ මොවුන් නිවෙස්වල තබා ගැනීමෙන් වාසනාව උදා වන බවයි.

මීට අමතරව මාංශ ලබා ගැනීම සඳහා තාරකා ඉබ්බන් සත්ව ගොවිපළවල ඇති කිරීම ද ඉන්දියාව පුරා දැකගත හැකි වේ. 1972 ඉන්දියානු වනජීවී පනත මගින් ඉන්දියානු තාරකා ඉබ්බන් ළඟ තබා ගැනීම හා වෙළඳාම් කිරීම නීති විරෝධී බවට පත් කරන ලදී. ඉන් පසු මොවුන්ගේ ගහනයේ යම් වර්ධනයක් ඇති වී තිබේ.

කවරයේ පින්තුරය – en.wikipedia.org

Related Articles

Exit mobile version