ලොව විවිධ ස්ථාන වල ස්වභාවිකවම ඉතා අලංකාර නිර්මාණ සෑදී තිබෙනවා. යමහල්, නිවර්තන වනාන්තර, කාන්තාර, ගංගා මේ අතර වෙනවා. මේවා අතර ඉතා සුවිශේෂ ලෙස නිමැවුණු දුර්ලභ ස්වභාවික ‘ප්‍රාතිහාර්යයන්’ හමුවනවා. ඉතා සුවිශේෂ ස්වරූපවලට සෑදුණු ගල්කුළු, හිරිගල් ගුහා, භූගත ගංගා වැනි දේ මේ කුලකයේ ලා සැලකිය හැකියි.
ලවණවලින් සෑදුණු ගුහා සොබාදහමේ අති දුර්ලභ පිහිටීමක් වෙනවා. ලොව පවතින මේවා බහුතරයක් අඩි කිහිපයක් පමණක් දුරට විහිදී යන අතර මීටර සිය ගණනක් දුරට විහිදී යන ගුහා ලොව හමුවන්නේ ඉතාමත් අල්පය යි. කිලෝමීටර කිහිපයක් දුරට විහිදී ගිය ‘ලවණ ගුහාවක්’ ඊශ්‍රායලයෙන් සොයාගන්නට පර්යේෂකයින් කණ්ඩායමක් පසුගිය දා සමත් වුණා. වැඩිදුර කරන ලද අධ්‍යයනවලින් හෙළිවූයේ එය ලොව එතෙක් මෙතෙක් හමු වූ දිගින් වැඩිම ලවණ ගුහාව බව යි.
සිද්ධිය සැකෙවින්
මැදපෙරදිග පිහිටි මළ මුහුද සැලකෙන්නේ ලොව මුහුදු මට්ටමින් වඩාත් පහතින් පිහිටි ස්ථානය ලෙස යි. මුහුදු මට්ටමේ සිට මීටර දහසකටත් වඩා පහතින් පිහිටි මෙම ස්ථානයේ ලවණතාව ද ඉතා අධික වෙනවා. ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන අධික වාෂ්පීභවණයත්, මළ මුහුදු ජලයෙහි අධික ලවණතාවත් නිසා ලවණ ස්ඵටික බවට පත්වන්නට ඉතා හිතකර පරිසර තත්ත්වයක් මෙහි තිබෙනවා.
මළ මුහුදෙහි දකුණු කෙළවරට වන්නට පිහිටි මැලම් නම් ලවණ ගුහා සංකීර්ණය අයත් වන්නේ ඊශ්‍රායලයට යි. එම ගුහා සංකීර්ණය භූගතව සැතපුම් 6ක් හෙවත් කි.මී 10ක් පමණ දුරට විහිදෙන බව පසුගිය දා සොයාගැනුණා. මේ අනුව එය ලොව එතෙක් මෙතෙක් හඳුනාගත් දීර්ඝතම ලවණ ගුහාව බවට පත්වනවා. මීට පෙර මේ ගෞරවය ලැබී තිබුණේ ඉරානයේ නමක්දන් ගුහාවට යි. මැලම් ගුහා සංකීර්ණයේ ඇති ගුහා අතුරින් දීර්ඝතම තනි ගුහාව මීටර් 5,685ක දිගින් යුක්ත වෙනවා.
මෙම නිරීක්ෂණය සිදුකර ඇත්තේ ජෙරුසලමේ පිහිටි හීබෲ විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසිනුයි. මෙයට ඊශ්‍රායල, බල්ගේරියා ඇතුළු රටවල් කිහිපයක විද්‍යාඥයින් පිරිසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා. මෙම ගුහා සංකීර්ණය සොයාගෙන ඇත්තේ මීට වසර ගණනාවකට පෙර යි. මෙම ගුහා සංකීර්ණයේ මුවදොර පිහිටා ඇත්තේ ඓතිහාසික වටිනාකමක් සහිත ප්‍රදේශයකට මුහුණ ලා යි. කෙසේ නමුත් ආගමික බලපෑම් හා තවත් විවිධාකාර ප්‍රායෝගික ගැටළු කිහිපයක් නිසා මෙතෙක් කාලයක් එහි ඇතුලාන්තය නිසිලෙස අධ්‍යයනය කෙරුණේ නැහැ.
ලවණ ගුහාවක් සම්භවය වන්නේ කෙසේ ද?
ලවණ ගුහා බොහෝ විට දකින්නට ලැබෙන්නේ ශුෂ්ක කලාපීය ප්‍රදේශවල යි. වාතයේ ඇති අධික වාෂ්පශීලී භාවය, අඩු ආර්ද්‍රතාව මෙන්ම අධික උෂ්ණත්වය ලවණ ගුහාවල සම්භවය සඳහා ඉතා හිතකර ලෙස බලපාන අතර අධික ලවණතාවය සහිත ස්ථානවල ලවණ ස්ඵටිකීකරණය වන්නේ විවිධ හැඩ මවමිනුයි. මෙම ස්ථාන බොහොමයක ජීවය පැවතීමට ඉතා අහිතකර තරම් ලවණතාවය අධික වන නිසා ජීවීන්ගෙන් ද මේවා සම්භවය වන්නට බාධාවක් වන්නේ නැහැ.
ලවණ ගුහා සෑදෙන්නේ අධික ලවණතාවය සහිත ජලය භූගතව ගලාගෙන ගොස් ඒවා ස්ඵටිකීකරණය වීමත් සමග යි. ශුෂ්ක ප්‍රදේශ වලට අනපේක්ෂිත ලෙස වැසි ලැබෙන අවස්ථාවන් වැඩි වශයෙන් මේවා නිර්මාණය වන්නට උරදෙනවා. මැලම් ගුහා සංකීර්ණය විශයෙහි අසල වූ සොඩොම් කන්දට වැටෙන වැසි ජලය මළ මුහුද වෙතට ගලා ඒමේ දී ඒවා සමහර තැන්වල දී භූගත වීම නිසා මෙම ගුහා සංකීර්ණ සෑදී තිබෙනවා. භූගත වීමත් සමග අවට පසෙහි ලවණ ඊට මුසුවෙනවා. ලවණ හිරිගල්වලට වඩා සීග්‍රයෙන් ස්ඵටීකීකරණයට හා දියවීමට ලක්වන නිසා හිරිගල්වලට වඩා ඉතා වේගයෙන් මේවා ඇති වී, එහි මැද පෙදෙස් දිය වී යාම නිසා මෙම ගුහා බිහි වෙනවා.
ගුහා සංකීර්ණයේ දිග පළල සෙවීම
ලවණ ගුහාවක දිග පළල නිර්ණය කිරීම භාරදූර කර්තව්‍යක් වෙනවා. විශේෂයෙන්ම අධික ලවණතාව මෙන්ම භූගත පෙදෙස්වල පවතින අඩු ඔක්සිජන් ප්‍රමාණයත්, ආලෝකයේ මඳ කමත්, යම් පුද්ගලයෙකුට ආරක්ෂිත ඇඳුම් ආයිත්තම් සමග හෝ එවැනි ගුහාවක රැඳී සිටීම ඉතා අපහසු කර්තව්‍යයක් වෙනවා. මැලම්හි ගුහා සංකීර්ණයක් සොයාගෙන ඇත්තේ මීට වසර 30කට පමණ පෙර වන අතර, එහි මුවදොර ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන වැදගත් පෙදෙසක පැවතීමත්, ඒ වන විට තිබූ තාක්ෂණය මෙවැනි අධ්‍යයනයක් කිරීමට තරම් දියුණුව නොතිබීමත් නිසා මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට කිසිවෙකුත් එතරම් උනන්දු වූයේ නැහැ.
කෙසේ නමුත් එය ඉතාමත් ගැඹුරට විහිදී යන බව ඒ කාලයේ දීම නිර්ණය කර තිබුණා. ලොව පුරා මෙවැනි තවමත් අධ්‍යයනය නොකරණ ලද ලවණ ගුහා පිහිටා ඇති අතර සමහර විටෙක මැලම් ගුහා සංකීර්ණයටත් වඩා දීර්ඝ ලවණ ගුහා සංකීර්ණයන් ලොව පිහිටා තිබීමේ ඉතා වැඩි සම්භාවිතාවක් තිබෙනවා.
පර්යේෂක කණ්ඩායම මෙම ගුහා සංකීර්ණය අධ්‍යයනය කිරීමට මහත් වූ වෙහෙසක් දරා තිබෙනවා. 80ක් පමණ වූ ස්වෙච්ඡාවෙන් ඉදිරි වූ පර්යේෂක කණ්ඩායමට මෙම සංකීර්ණය සම්පූර්ණයෙන් අධ්‍යයනය කර අවසන් කරන්නට දින 1,500ක් පමණ ගත වී තිබෙනවා. දිනකට පැය 10ක පමණ ඉතා වෙහෙසකාරී ව්‍යායාමයක නිරත වී ඇති ඔවුනට යම් අස්වැසිල්ලක් ලැබී තිබෙන්නේ එම ගුහා සංකීර්ණයෙහි වූ අලංකාර ජ්‍යාමිතිය යි. ලවණ ස්ඵටිකීකරණය වීමේ දී ඉතා අලංකාර හැඩයන්ට අනුව සිදුවන නිසා එම සංකීර්ණයට ‘මංගල ශාලාවක’ පෙනුම ලැබී තිබෙන බව පර්යේෂක කණ්ඩායමේ අයවලුන් පවසනවා.
අවසානයේ නිර්ණය කෙරුණේ මෙම ගුහාව වසර කීයක් පැරණි ද යන්න යි. මෙම ස්ඵටිකීකරණය වූ ලවණ අතර සිරවී තිබී විවිධාකාරයේ ශාක කොටස් හමු වී ඇති අතර ඒවා විකිරණශීලී කාබන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ ඒවා වසර 7000 ක් පමණ පැරණි බව යි.
පසුවදන
මැලම් ලවණ ගුහාව පිළිබඳ තවත් බොහෝ අධ්‍යයනයන් සිදුකිරීමට නියමිතව තිබෙනවා. එහිදී ඒ පිළිබඳව තවත් රහස් රාශියක් අනාවරණය වනු ඇති.