සෞම්‍ය සඳරුවන් ලියනගේ කියන්නෙ ‘සම්මානලාභී’ කවියෙක් කියලා හැඳින්වීම පටන් ගන්න හිතක් නෑ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි සෞම්‍ය, සම්මාන කරබාගෙන දුවන කවියෙක් නෙවෙයි. අනික තමා, අපි සෞම්‍යට ‘ලැබුණු’ දේවල් ගැන කතා කරන්න ගියොත්, සෞම්‍යගෙන් ‘හොරකන් කරපු’ සෞම්‍යමය ‘වැඩ’ ගැනත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. නැත්නම්, ඒක සෞම්‍යගේ ‘නිර්මාණ කාර්යයට’ කරන අසාධාරණයක්. අනික, සෞම්‍ය කවියෙක් විතරක් නෙවෙයි. ඒ නිසා අපි සෞම්‍යගේ අතීතයෙන්, වර්තමානයට එමු! ඔන්න, සෞම්‍ය ‘නවකතාවක්’ ලියලා. මේ ඒ වෙනුවෙන් කරපු සංවාදයක්.
‘ලෝටස්’ පිපෙන්න නේද යන්නෙ ළඟ දී?
ඔව්. ඒක සිද්ධවෙන්නෙ සැප්තැම්බර් මාසෙ හත්වෙනි දා (මේ සෙනසුරාදා), හවස තුනට. මහවැලි කේන්ද්‍රයේ දී තමයි ‘ලෝටස්’ එළිදකින්නෙ. ඒක මොන විදියට පාඨකයා බාරගනියි ද කියන්න මං දන්නෙ නෑ. ඒත් ‘ලෝටස්’ කියන්නෙ කාලයක් තිස්සෙ ලියපු සහ සංස්කරණය කරපු වැඩක්. මට පුළුවන් උපරිම මහන්සිය මං ඒ වෙනුවෙන් දැරුවා.
‘සෞම්‍ය සඳරුවන් ලියනගේ’ කවියා අතින් ලියැවෙන පළමු නවකතාව මේ. කවියෙන් නවකතාවට යන්න හිතුවේ ඇයි කියලා දැනගන්න කැමතියි.
කවිය සහ නවකතාව කියන්නෙ වෙනස් වැඩබිම් දෙකක්. ඒ දෙකට ම ආවේණික පහසුකම් සහ අපහසුතා තියෙනවා. කවියෙන් කියන්න අමාරු සමහර දේවල් කියන්න අපට ඊට වැඩිය ඉඩ තියෙන තැනක් ඕන වෙනවා. ඒක නිසා වෙන්න ඇති ලෝටස් නවකතාවක් විදියට ලියැවුණේ. හැබැයි, මේ කතාව ලියන්න පටන් ගත්තෙ නම් නවකතාවක් ලියනවා කියන අදහසින් නෙමෙයි. එතන තිබුණෙ වෙන අරමුණක්. සිනමා තිරනාටකයක් වෙනුවෙන් ගොඩනගපු කතා තුනක් තමයි මෙහෙම නවකතාවක් විදියට සංස්කරණය වුණේ. අනිත් කාරණය තමයි; කවිය, කෙටිකතාව හෝ නවකතාව වගේ එක තැනකට ම හිරවෙලා ඉන්නවට වැඩිය වෙන වෙන දේවල් කරලා බලන්න මට තියෙන ආසාව.
සිනමාව ගැන කතා කරපු නිසා සහ සිනමාව ගැන යම් හැදෑරීමක් සහිත කෙනෙක් බව දන්න නිසයි මෙහෙම අහන්නෙ. ලංකාවෙ මේ මොහොතේ සිනමාව ගැන මොකද හිතෙන්නෙ අවංකව ම?
මේ අපි ගෙවමින් ඉන්නෙ හැම දේ ම අවුල් වෙච්ච මොහොතක්. ඒ වගේ වටපිටාවක කොහොමත් ‘මාර’ සිනමාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක්. අපේ සිනමාව මුහුණදෙමින් ඉන්නෙත් ඔය ඉරණමට ම තමයි. මම කියන්නෙ නෑ සම්භාව්‍ය නිර්මාණ විතරක් නිර්මාණය විය යුතුයි කියලා. කර්මාන්තයක් විදියට ඉස්සරහට යන්න බෑ වාණිජ සාර්ථකත්වයක් නැති නිර්මාණ එක්ක. හැබැයි, විකුණන්න පුළුවන් ඕනම කුණුගොඩක් විකිණීමත් නෙමෙයි සිනමාව කියන්නෙ මට දැනෙන විදියට. මම අවංකව ම හිතනවා, මේ වෙලාවෙ අපි මලයාලම් සිනමාව වගේ තැනකින් ගොඩක් දේවල් ඉගෙනගත යුතුයි කියලා. අඩු තරමේ ‘ප්‍රේමම්’ වගේ ආදර කතාවක් ගොඩනගන්නෙ කොහොමද කියන කාරණය ගැනවත් එතකොට අපි ඉගෙන ගනියි. වාණිජ අරමුණු විතරක් ඔළුව උඩ තියාගැනීම වගේ ම, සම්භාව්‍ය කියලා මෙලෝ මනුස්සයෙකුට තේරෙන්නෙ නැති සංකීර්ණ තැනකට ගිහිං ‘මේවා තේරෙන්නෙ බුද්ධිමතුන්ට විතරයි’ වගේ කතා කියන එකත් මට හිතෙන්නෙ විහිළුවක් මේ මොහොතේ. මැද මාවතක සිනමාවක් අපට අවශ්‍යයි!
ලංකාවේ මැද මාවතක විචාර කලාවක් එහෙමත් නෑ නේද මේ වෙද්දි? සියලු ආකාරයේ නිර්මාණ අඩුවැඩි වශයෙන් වෙනවා වුණත්, ඒත් ඒවා ගැන පසු විපරමක් කෝ දැන්?
විචාරය කියන්නෙත් අර මං මුලින් කියපු කාරණා ටික එහෙම්ම ම බලපාන ක්ෂේත්‍රයක්නෙ. ඉතිං ඒක අනික්වට වැඩිය හොඳ වෙන්න ඉඩක් තියෙයි ද? එක එක කඳවුරුවල ඉඳගෙන කරන විචාරය කිරීම් තමයි මේ වෙනකොට බහුල. හැබැයි, ඒ අතර වුණත් අවංකව ම කෙරෙන විචාර අපි දකිනවා. එහෙම විචාරකයින් ඉන්නවා. ඔවුන්ට අපි ගරුකළ යුතුයි.
අපි ආයේ ‘ලෝටස්’ අතට ගමු. මොකද්ද මේකෙ අන්තර්ගතය සහ ඇයි මේ වෙලාවෙ ම මේක කරන්න හිතුවේ?
මගේ වැඩවල දී ගොඩක් වෙලාවට ‘වෙලාව’ තීරණය කරන්නෙ ඒ කෘතිය විසින් ම යි. දෙයක් සිද්ධවෙන්න අවශ්‍ය කරන කාලය ඒ විදියට ම නොදී වැඩ කරන්න මට අමාරුයි. මං දන්නෙ නෑ එහෙම වැඩ කරන්න. ඒ නිසා ‘වෙලාව’ වෙන්නෙ, ඒ වැඩේ කරලා ඉවරවෙන වෙලාව. ඒ හැර වෙන හේතුවක් නැහැ මේ වගේ වෙලාවක ලෝටස් එළිදක්වන්න.
ලෝටස් අන්තර්ගතය පැත්තට හැරුණොත්; මේක මේ මොහොතේ අපි අත්දකිමින් ඉන්න ජීවිතවල ම පිළිබිඹුවක් විදියටයි මට දැනෙන්නෙ. ‘අනන්‍යතාව අහිමි කරගැනීම’ සහ අනිත් අයගේ අනන්‍යතාව ‘අහිමි කිරීම’ තමයි මෙතනදි මට ප්‍රධාන වශයෙන් ම කතා කරන්න ඕන වුණේ. ඒ වගේ ම කාර්මික ප්‍රතිනිෂ්පාදනය ඇතුළේ සියලු වටිනාකම් අහෝසි වෙමින් යෑමත් මේ නවකතාව ඇතුළේ කතා කරන්න මට ඕන වුණා. ආදරය වගේ ම ජීවිතයත් මඟහැරෙන මොහොතක අපි ජීවත් වෙන බව තමයි ‘ලෝටස්’ අපට කියන්නෙ.
ආදරයත්, ජීවිතයත් ආදී බොහෝ දෑ මඟහැරෙන තැනක්; වෙහෙසකාරී තැනක් වුණේ ඇයි ’මේ මොහොත’ අපිට?
ඒක තමයි අපි ජීවත් වෙන වටපිටාව විසින් අපට උරුම කරලා තියෙන දේ. හැම දේ ම මඟහැරගෙන රේස් දුවන ජීවිතවල අයිතිකාරයො විදියට අපට තවදුරටත් වෙලාවක් නෑ එකිනෙකා එක්ක මනුස්ස ගනුදෙනු පවත්වන්න. ඒක තමයි විදිය. ඒකට හුරු නොවුණොත් ජීවත් වීම ලේසි නැහැ. එදිනෙදා රස්සාවට යන එන, ටෙලිනාට්‍යයක් බලලා, ඕපාදූපයක් කියවලා පහුවදාත් අර රේස් එක දුවන්න පුළුවන් ගාණට ඔළුව නිදහස් කරගෙන නින්දට යන අපේ ජීවිතවල වෙන මොනවා තියෙන්න ද?
එවන් ජීවිතවලට සෞම්‍ය ගෙනෙන යෝජනාව කියලම අපි මේ කතා බහ අවසන් කරමු. අයෙත් දවසක මුණගැහෙමු. හැකි හැම මොහොතකම අපි, අපිව කියවමු!
දේවල් සිද්ධවෙන විදිය වෙනස් කරන්න බැරි වෙයි. ඒත් වැදගත් ම දේ තමයි, ඒ දේවල් එහෙම වෙනවා කියලා තේරුම් ගැනීම. ඒක තමයි මං හිතන විදියට කරන්න පුළුවන් හොඳම දේ. ප්‍රශ්නෙ හරියට තේරුම් අරගෙන ඉන්න එකයි මුලින්ම කරන්න ඕන.
ආහ්… සෞම්‍ය එක්ක කරපු මේ කතාබහ අවසන් කරන්න කලින් මට කියන්න තියෙනවා තව දෙයක්. මම මේ කතාබහ කළේ බස් එකේ යන ගමන්. ඒ නිසා මේක අපි ෆේස්බුක් චැට් එකක් විදියටයි කළේ. ඒක, මේක කියවන පාඨක ඔබට අදාළ නැති වුණත් මං ඒ ගැනත් සඳහන් කරන්න හිතුවේ හේතුවක් ඇතුව. මොකද, සෞම්‍ය මේ කතා බහ ඇතුළේ කියපු බොහෝ කරණා මට මේ බස් ගමනේ දී ම ප්‍රත්‍යක්ෂ වුණා. ඇත්තට ම මේ මොහොතේ ගොඩක් ‘මිනිස්සුන්ට’ ඒ ‘මිනිස්සුන් ව’ මඟහැරිලා. ඔබට, මට වුණත්!