මැදිරිගිරියට යාම සඳහා කොළඹ සිට හිඟුරක්ගොඩට දුම්රියෙන් හෝ බස්රියෙන් වුණත් ඔබට ගමන් කිරීමට පුළුවන්. එහි සිට මැදිරිගිරියට කි. මී. 12ක් දුර යි. පොළොන්නරුවේ සිට දුර කි. මී. 24 යි. 1950 වන විට අලි, කොටි, වලසුන් පිරි මැදිරිගිරිය පසුව ගොවි ජනපදයක් බවට පත් වුණා. පොළොන්නරුවට යන බොහෝ දෙනා මැදිරිගිරියට යාමට උනන්දු නොවුණත් ලංකාවේ අලංකාරම වටදාගෙය දැකගැනීමට නම් ඔබ මැදිරිගිරියට යායුතු වෙනවා. ඒ විතරක් නොවේ. පුරාණ රෝහලක්, පොකුණු, පුරාණ පිළිමගෙවල්වල නටබුන් එහෙමත් මෙතැන දී දැකගන්න පුළුවන්. මැදිරිගිරියට යන කවුරුත් එහි වනගත රමණීයත්වයෙන් සිත් පහන් කර ගන්නා බවත් නිසැක යි.
ඉතිහාසය
මැදිරිගිරියෙන් හමුවූ 5 වන කාශ්‍යප (ක්‍රි. ව. 914-923) රජුගේ සෙල්ලිපියක සඳහන් වන්නේ 10 වැනි සියවසේ දී මේ පෙදෙස පිහිටි රටේ බිදෙර්වතු කුලිය දිසාවේ රන්තිසැ නම් ප්‍රදේශයට අයත් වූ බව යි. මහසෙන් රජුගේ කාලයේ දී මේ පැත්ත අයත් වෙලා තිබෙන්නේ තිස්සඩ්ඪමානක නම් දිස්ත්‍රික්කයට යි. ඒ බව සඳහන් සෙල්ලිපි හමුවෙලා තියනවා. තිස්සඩ්ඪමානක නම් වැවක් මහසෙන් රජ්ජුරුවන් මෙහි කරවා තිබෙනවා. පසුව ඒ වැව රන්තිසා නමින් හඳුන්වා තිබෙනවා. 1 වන පරාක්‍රමබාහුගේ කාලයේ ඒ වැව ස්වර්ණතිස්ස නම් වුණා. නිශ්ශංකමල්ල රජු මේ වැව වනසතුන්ගේ අභය භුමියක් බවට පත් කළා. අද ජාතික වනෝද්‍යානයක් වූ වර්තමාන කවුඩුල්ල වැව තමයි රන්තිසා වැව කියල රජ කාලෙ හඳුන්වල තියෙන්නේ. කවුඩුල්ල කරවූයේ මහසෙන් රජුයැ යි ඉතිහාසය කිව්වත්, ජනප්‍රවාදයන්වල කියැවෙන්නේ නම් එය කරවූයේ මහසෙන් රජුගේ නැගනිය, බිසෝබණ්ඩාර කුමරිය කියලයි.
රන්තිසා වැවෙන් පෝෂණය වූ ගොවිබිම්වල වසන බොදු ජනතාවට පුදපූජා සඳහා තමයි මැදිරිගිරය විහාරය ඉදිකරවා තිබෙන්නේ. අදත් මෙහි ගොවි ජනතාව වාසය කළත් ඔවුන්ට පුදපූජා කිරීමට මැදිරිගිරිය වෙනුවට වෙනත් විහාර තිබෙනවා. මැදිරිගිරිය පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් පවත්වාගෙන යන තැනක්.
වටදාගෙය සහ නටබුන් සහිත ප්‍රදේශය ක්‍රි. පූ. යුගයේ සිට 13 වැනි සියවස දක්වා දිව යන ඉතිහාසයක් සහිත යි. වටදාගෙය කැණීම් කිරීමේ දී හමුවූ ගඩොල්වල ක්‍රි. පූ. යුගයේ අක්ෂර දකින්න ලැබෙනවා. 5 වන කාශ්‍යප රජුගේ ටැම් ලිපියේ මෙම විහාරයේ නම සදහන් වන්නේ මෙහෙම යි:
බිදෙර්වතු කුලියෙහි ආවු රන්තිසැයෙ පිහිටි මැඩිලිගිරි ඇතිවෙහෙර් පියන්ගලැ
Epygraphia Zeylanica Vol. ii p29-30
මෙහි පැරණි නාමය මණ්ඩලගිරිය බව ඉහත සෙල්ලිපිය අනුව පැහැදිලි වුණා.
රජවරුන්ගේ පුද පූජා
කණිට්ඨතිස්ස රජු (ක්‍රි. ව. 167-186) මණ්ඩලගිරි විහාරයේ උපෝසථඝරයක් කරවූ බව මහාවංශයේ 36 වන පරිච්ඡේදයේ දැක්වෙනවා. 4 වන අග්ගබෝධි (ක්‍රි. ව. 667-685) රජ කාලයේ ධනවත් මලයරාජ විසින් මෙහි දාගැබට චෛත්‍යඝරයක් කරවූ බව සඳහන් වෙනවා. ඒ කියන්නේ අදටත් දකින්න ලැබෙන වටදාගෙය ඉදිකිරීම ගැන යි. 2 වන සේන රජ්ජුරුවෝ (ක්‍රි. ව. 855-887) මැදිරිගිරිය විහාරය ගැන සිත් පැහැදී පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එය අලුත්වැඩියා කරවූ බව සඳහන් වෙනවා. මෙසේ රාජ්‍ය අනුග්‍රහයෙන් බැබලුණු මණ්ඩලගිරියේ ආරෝග්‍ය ශාලාවක් ද තිබූ බව සෙල්ලිපිවල සදහන්.
12 වැනි සියවසේ දී සොලී බලය පලවා හැර පොළොන්නරුවේ රජවූ 1 වන විජයබාහු (ක්‍රි. ව. 1055-1110) මැදිරිගිරිය විහාරය ප්‍රතිසංස්කරණය කරවා තිබෙනවා. නිශ්ශංකමල්ල රජු වැඳපුදාගත් තැන් අතර මැදිරිගිරිය ද සඳහන් කර තිබෙනවා. 13 වැනි සියවසේ දී මයුරපාද හිමියන්ගේ පුජාවලියේ ද ධාතුන් වහන්සේලා නිදන් කර ඇති ස්ථාන අතරට මැදිරිගිරියත් අයත් වෙනවා.
වනගත වීම
අනුරාධපුර යුගයේ වගේම, පොළොන්නරු යුගයේත් බැතිමතුන්ගෙන් නිරත්තර පුදපූජාවලට ලක්වූ මේ විහාරය 13 වැනි සියවසෙන් පසුව වනගත වෙනවා. අගනුවර නිරිතදිග කලාපයට සංක්‍රමණය වීම එයට හේතු වන්නට ඇති. අවට කෙත්වතු හා ජනාවාසත් වල්බිහිවී ගොස් වනසතුන් රජ කරන මහා වනයක් බවට පත් වෙනවා. කවුඩුල්ල වැවත් නටබුන් වී යනවා.
වර්ෂ 1897 දී ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මැදිරිගිරිය නටබුන් පරීක්ෂා කරනවා. ඔහු පුරාවිද්‍යා වාර්තාවේ මෙසේ ඒ ගැන විස්තර කර තිබෙනවා.
අගෝස්තු 19 දා මහ වනය මැද පිහිටි ඉතා අලංකාර මැදිරිගිරියට ගියෙමු. එය පිහිටියේ දිවුලන්කඩවල සිට සැ. 6ක් දුරිනි. සීමා ප්‍රකාර, නටබුන් ගොඩනැගිලි, ගල්ලෙන්, පොකුණු සහිත එහි මාණික්‍යය වන්නේ පර්වතය මත පිහිටි ටවදාගෙයයි. එම සුන්දර ස්මාරකය ඈතට දිස්වන පරිදි පර්වතයේ උසම ස්ථානයේ ගොඩ නංවා තිබුණි. (Archaeological Survey of Ceylon- Annual Report 1897 p. 7)
1900 කාලසීමාවේ දී “වැදි උන්නාන්සේ” නමින් හැඳින්වූ හිමිනමක් මෙහි ටික කලක් වාසය කළ බව ගමේ පැරැන්නෝ පවසා තිබෙනවා. 1939 දී මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරනවා. එයට අක්කර 600ක් අයත් වුණා. නමුත් පසුකාලීනව මේ අවට ජනාවාස වීම නිසා මිනිසුන් පුරාවිද්‍යා ඉඩම් පවා අල්ලාගෙන තිබෙනවා. අද පුරාවිද්‍යා බිමට ඉතිරිව ඇත්තේ අක්කර 250ක් බව යි, පැවසෙන්නේ.
පුරාවිද්‍යා සංරක්ෂණය
වර්ෂ 1941 සිට 1947 දක්වා කාල වකවානුවේ මෙහි සංරක්ෂණ කටයුතු සිදුවෙනවා. ඒ එවකට පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මූලිකත්වයෙන්. වටදාගෙයට ඇතුළවන දොරටුව පිහිටා ඇත්තේ උතුරු පැත්තෙන්. කළුගල් පියගැට 27කින් යුත් අලංකාර පියගැටපෙළක් එහි ඉදිකර තිබෙනවා. වටදාගෙයි අභ්‍යන්තරය පොළොන්නරුව වටදාගෙයට සමානයි.
මැදිරිගිරිය සංරක්ෂණය ගැන පරණවිතාන සඳහන් කර ඇත්තේ මෙලෙස යි:
මෙම වටදාගෙයි කේන්ද්‍රය වන්නේ ස්තූපය යි. එය අඩි 25ක විෂ්කම්භයකින් යුක්ත ය. ස්තූපය ආරම්භ වනුවේ බොරදම් සහිත පදනමක් මතිනි. දාගැබ වටා දිවෙන බාහිර කණු පෙළත් දෙවැනි කණු පෙළත් අතර ගඩොල් බිත්තියකි. හුණුගල් බුදුපිළිම හතරක් දිසා හතරට මුහුණ ලා ඉදිකර තිබේ. ඒ අතරින් විනාශ නොවී ඉතිරිව ඇත්තේ එක් පිළිමයක් පමණි.
(එස්. පරණවිතාන, ලංකාවේ ස්තුපය, 69 පිට).
දාගැබ වටා අටපට්ටම් කුලුනු වට 3ක් ඉදිකර තිබෙන අතර කුලුනුවල හිස අලංකාර ලෙස කැටයම් කර තිබෙනවා. ඇතුළුම කුලුනු වටයේ අඩි 17ක් උස කුලුනු 16ක් ද, මැද වටයේ කුලුනු 20ක් ද ඇති අතර ඒවා උසින් අඩි 16ක්. පිටතම වටය අඩි 9ක් උස කුලුනු 32කින් යුක්ත යි. පර්වතය මත ආධාරක කළුගල් බැමි ඉදිකර සමතලා කර ඒ මත අලංකාර වටදාගෙයක් ඉදිකිරීමට කෙතරම් නම් වෙහෙසක් දක්ෂකමක් අවශ්‍යදැ යි අද අපට හිතෙනවා. මෙහි ඇතුළත පොළොවට කළුගල් පුවරු අල්ලා සලපතල මළුවක් සකසා තිබෙනවා. වටදාගෙයි වක්‍රකාර මළුවේ විෂ්කම්භය අඩි 91ක්. මෙහි කුලුනක් යට තිබී 8 වැනි සියවසට අයත් අක්ෂරයෙන් ඉතිපිසෝ ආදී පාලි පාඨ කෙටූ රන්පත් ඉරුවක් ද හමුවුණා.
විහාරය බිමට ඇතුළුවීමේ ප්‍රධාන දොරටුව පිහිටා ඇත්තේ නැගෙනහිර දෙසින්. ප්‍රවේශ භූමිය මළු දෙකක් සේ සකසා ඒවාට පිවිසීමට පියගැට ඉදිකර කළුගල් ආධාරක බිත්ති සහිතව තනා තිබූ බව හෙළි වී තිබෙනවා.
පිළිම ගෙය
මැදිරිගිරි විහාරයේ පිළිම ගෙය පිහිටා ඇත්තේ පර්වතයට පහලින්. වටේ බිත්ති ගඩොලින් ඉදිකළ එම ගොඩනැගිල්ලේ ඇතුළත කළුගල් කුලුනු සහිත යි. එය දිගින් අඩි 50ක් ද පළලින් අඩි 35ක් ද වන ගොඩනැගිල්ලක්. මෙය කවුරුන් විසින් ඉදිකරවූවාදැ යි හෙළිවී නැහැ.
හුණුගලින් කළ විශාල හිටි බුදු පිළිම දෙකක්, පාදයක් කැඩුණු පිළිමයක් සහ තවත් කුඩා කැඩුණු හිඳි පිළිම දෙකක් ද ඉන් හමු වුණා. එම පිළිම සංරක්ෂණය කර යළිත් තැන්පත් කර තිබෙනවා. මේවා අනුරාධපුර යුගයට අයත් පිළිම යි. එම පිළිමවල අත් කැඩී ගිහින්. පිළිම යට මංගල වස්තු තැන්පත් කර තිබූ යන්ත්‍රගල් ද කැණීමේ දී හමුවී තිබෙනවා.
සැතපෙන බුදු පිළිමය සහිත පිළිම ගේ
ගඩොලින් තැනූ අනුරාධපුර යුගයට අයත් නටබුන් සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිමගේ තනා ඇත්තේ කළුගල් කුට්ටිවලින් කළ ආධාර බැමිවලින් තැනූ උස් වේදිකාවක් මත යි. පිළිමගෙට පිවිසීමට පඩි 16ක් ද තනා තිබෙනවා. විනාශ වී ඇති සැතපෙන පිළිමය දිගින් අඩි 33ක්. පිළිම ගෙය අසල කැණීම් කිරීමේ දී බෙහෙත් ඔරුවක් ද ලැබී තිබෙන අතර එය වෙදහලට අයත් එකක් ලෙස සැලකෙනවා.
මෙම පිළිම ගෙට නැගෙනහිරින් පිහිටි ගල මත තැනූ තවත් පිළිම ගෙවල් දෙකක නටබුන් ද හමු වී තිබෙනවා. මෙම පිළිම ගේ දෙකේම දොරවල් තනා තිබෙන්නේ උතුරට මුහුණ එල්ල වන ලෙසයි.
වටදාගෙට උතුරින් ගල් තලාව
විහාර බිමට අලංකාරයක් ගෙනෙන මෙම ගල් තලාව මත පැරණි ගොඩනැගිලි කිහිපයකම අවශේෂ දකින්න පුළුවන්. ගල් තලාවට නැගීමට ගලේ කපන ලද පියගැට 25ක් ද දැකගත හැකියි. මෙහි දකුණු බෑවුමේ අඩි 44ක් දිග මනාව බොරදම් කළ මාලකයක් ඉදිකර තිබෙනවා. එය කුමක් සඳහා ඉදිකරන ලද්දක් දැයි සොයාගෙන නැහැ.
මාලකයට නුදුරින් පර්වතය මත වේදිකාවක් සකසා එය මත තැනූ දාගැබක් දැකගත හැකියි. එහි විෂ්කම්භය අඩි 45ක්. දාගැබ අසල සිරිපතුල් ගල් දෙකක් ද පිහිටා තිබෙනවා.
පුරාණ රෝහල හෙවත් වෙදහල
ගල් තලාවට ඔබ්බෙන් පිහිටි මේ ගොඩනැගිල්ලේ දිග පැත්තක් අඩි 55ක් වෙනවා. එය සමචතුරස්‍රාකාර යි. එහි ගල්කණු 52ක් තිබෙනවා. ප්‍රධාන ගොඩනැගිල්ල මැදින් ද පැත්තක් අඩි 28ක් වූ සමචතුරස්‍ර පදනමක් දැකගත හැකියි. මෙම වෙදහල ගැන කරුණු ඇතුළත් 10 වැනි සියවසට අයත් සෙල්ලිපි දෙකක් ද ලැබී තිබෙනවා. වද්හල් කැමියන් (සේවය කරන්නන්), වෙද්හල් දසුන් (දාසයන්), වෙද්හල් සම්දරුවන් (රජයේ වෙදවරුන්) ආදී නිලධාරීන් ගැන කරුණු සෙල්ලිපිවල දැක්වෙනවා.
වටදාගෙයට උතුරින් උස් ගල්තලාවේ නැගෙනහිර කෙළවරේ පැරණි ගල් ගුහාවක් තිබෙනවා. එය පසුකාලීනව සකස් කරන ලද්දක් බවට අදහසක් ද තිබෙනවා.
පොකුණු
පිහිටි ගල බෑවුම් වන තැන තරමක පොකුණක් දැකගත හැකියි. මේ පොකුණේ කණ්ඩිය බිඳී ගොස් තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යළිත් ඉදිකරවා තිබෙනවා. පැරණි ගුහාවට නුදුරින් ද පොකුණක් තිබුණ බවට සාධක හමු වෙනවා.
පුරාණයේ විහාරය වටා යන සේ ඉදිකළ කළුගල් ප්‍රාකාරයක නටබුන් ද තැනින් තැන දැකගත හැකියි.