ස්පාර්ටා හි මිලිටරි අධ්‍යාපනය

ග්‍රීක පුර රාජ්‍යවල (City State) අධ්‍යාපනයේ පරමාර්ථය වූයේ දරුවන් ව රටේ පුරවැසියෙකු වීමට අවශ්‍ය වැඩිහිටි ක්‍රියාකාරකම් පුහුණු කිරීම යි. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කුඩා පිරිමි ලමයින් නිවසට වී වගා කටයුතුවලට සහය වී හා මාළු ඇල්ලීමේ කටයුතුවල නිරත වී සිටියහ. වයස අවු. 6 හෝ 7 පමණ වන විට ඔවුන් පාසැල් යාම ආරම්භ කළේ ය. ඇතැන්ස් හෝ වෙනත් පුරරාජ්‍යවල මෙන් නොව ස්පාර්ටා හි එදිනෙදා ජීවිතය හා අධ්‍යාපනය බොහෝ සෙයින් වෙනස් විය.

හමුදාමය පුර රාජ්‍යයක් වන ස්පාර්ටාහි අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වූයේ ඉතා දක්ෂ, හොඳ හැදියාවකින් යුත් හමුදා පුරවැසියන් බිහිකිරීම යි. ස්පාර්ටන් පිරිමි රාජ්‍ය වෙත ඉතා ලැදියාවකින් යුක්ත විය. ස්පාර්ටාහි පිරිමි ළමයින් වයස අවු. 7 වන විට නිවස අතහැර විවිධ නිලධාරීන් විසින් පවත්වාගෙන යන කණ්ඩායමකට එක්විය යුතු ය. එහි දී ඔවුන් අවු. 7 සිට 18 තෙක් තමන්ගේ පුහුණුවීමේ පාඨමාලාව සිදුකරයි.

ස්පාර්ටා (pinterest.com)

එහි දී එම ළමුන් පුහුණුවීම් කටයුතුවල යෙදෙමින්, බැරැක්ක තුළ නිදියමින් තමන්ගේ සහෝදර සඟයන් සමග ජීවත් වෙයි. පාසලේ දී ඔවුන්ට ජීවිත ආරක්ෂාවට අවශ්‍ය කුසලතා හා වීර සොල්දාදුවෙකු වීමට අවශ්‍ය සමහර කුසලතා ලබාදීම සිදුකරයි. පාසලේ ඇති පාඨමාලා ඉතා දුෂ්කර හා වේදනාකාරී ඒවා විය. ශිෂ්‍යයන්ට ලිවීමට හා කියවීමට උගන්වනු ලැබූවත් පුරාණ ස්පාර්ටන්වරු එම කුසලතාවලින් එතරම් ඵලක් නොවන බව විශ්වාස කළේ ය.

පිරිමි ළමුන්ට ඇති තරම් ආහාරපාන ලැබුණේ නැත. එම නිසා හසුනොවන ලෙස ආහරපාන සොරකම් කිරීමට ඔවුන්ට උගන්වන ලදී. එසේ වුව ද සොරකම් කර අසුවුවහොත් ඔවුන්ට පහර දෙන ලදී. ඔවුන් ඇවිද්දේ පාදයේ කිසිවක් නොමැති ව ය. නිදාගත්තේ ඉතා තද ඇඳන්වල ය. එමෙන්ම ජිම්නාස්ටික්, හෙල්ල විසිකිරීම්, කවපෙත්ත විසිකිරීම්, පිහිනීම්, හා දඩයම් කිරීමෙහි ඔවුහු නිරත වූහ. ඔවුන් ව පුහුණු කළේ ඉතා තද විනයකට අනුව මෙන්ම ඔවුන්ගේ දඩුවම් ශාරීරික ව ඉතා පීඩාකාරී විය. වැඩි ම වේදනාවක් ඉවසා සිටිය හැකි පුද්ගලයාට යම් ගෞරවයක් හිමි විය.

ස්පාර්ටා හි ලියොනයිඩස් රජුගේ පිළිමයක් (pinterest.com)

වයස අවු. 18 දී ස්පාර්ටන් පිරිමි ළමුන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස පත් වී යුධ කලාව ඉගෙනීම අරඹයි. වයස අවු. 20 දී ඔවුන් රාජ්‍ය හමුදාවට බැඳෙයි. එහි දී ඔවුන් ව යොදාගන්නේ හදිසි අවස්ථාවක දී පමණි. එහි ඔවුන් වයස අවු. 60ක් පමණ වන තුරු සේවය කරයි.
සාමාන්‍යයෙන් ස්පාර්ටන්වරු කියවීමෙන් එතරම් ඵලක් නොවන බව විශ්වාස කළේ ය. කියවීම, ලිවීම, සාහිත්‍ය, හා එවැනි කලා විෂයයන් සොල්දාදුවෙකුට එතරම් ගැළපෙන්නේ නැති බව ඔවුන් විශ්වාස කළේ ය. එම නිසා එම විෂයයන් ඔවුන්ගේ අධ්‍යාපනයේ අන්තර්ගත නොවී ය. එනමුත් සංගීතය හා නර්තනය ඔවුන්ගේ අධ්‍යාපනයේ කොටසක් විය.

වයස අවු. 18 – 20 අතරතුර කාලයක දී සෑම ස්පාර්ටන් පිරිමි කෙනෙකු ම ඉතා ම අපහසු ශාරීරික යෝග්‍යතා, හමුදාමය කුසලතා, හා නායකත්ව කුසලතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. එම පරීක්ෂණය සමත් වීමට නොහැකි සියලු ස්පාර්ටන් පිරිමින් Perioikos බවට පත්වෙයි. (Perioikos හෝ මධ්‍යම පාන්තිකයන්ට තමන්ගේ දේපළක් තබාගැනීමේ අවසරයක් හා වෙළදාම් කිරීමට අවසර ඇත. එනමුත් ඔවුන්ට දේශපාලන අයිතිවාසිකමක් නොවූ අතර රටේ පුරවැසියන් ද නොවී ය).

ඔවුන් එම පරීක්ෂණයෙන් සමත් වුවහොත් ඔවුන්ට පූර්ණ පුරවැසිභාවය හිමි වන අතර ස්පාර්ටන් සෙබළෙක් බවට ද පත්වේ. ස්පාර්ටන් පුරවැසියන්ට මුදල් අතපත ගෑමට අවසර නොවී ය. මුදල් පිළිබඳ වැඩ කටයුතු අයත් වූයේ මධ්‍යම පාන්තිකයන්ට ය. ස්පාර්ටන් සෙබළු තම ජීවිත කාලයේ වැඩි හරියක් ගත කරන්නේ තම සහෝදර සෙබළුන් සමග ය.

ඔවුන් විවාහ ගිවිස ගත්ත ද ඔවුන් බිරිඳ හා දරුවන් සමග සිටියේ නැත. ඔවුන් ජීවත් වූයේ බැරැක්ක තුළ ම ය. ස්පාර්ටන්  පිරිමියෙකු වයස අවු. 60ක් වන තුරු හමුදා සේවයේ නිරත විය යුතු ය. වයස අවු. 60 දී ස්පාර්ටන් සෙබළෙකුට විශ්‍රාම ගොස් තම පවුල සමග ජීවත් විය හැකිය.

අනෙක් ග්‍රීක පුර රාජ්‍යයන් මෙන් නොව ස්පාර්ටාහි කාන්තාවන්ට සුපුරුදු කලා දැනුමට අමතර ව යුධ පුහුණුවක් ද ලබා දේ. කාන්තාවන්ට නිවසින් පිට වීමට බලනොකරන ලදී. එනමුත් කාන්තාවන්ටත් පුහුණුවීම් සිදු කළේ පිරිමින්ට මෙනි. කාන්තාවනුත් දිවීම, පැනීම, හෙල්ලය විසි කිරීම, කවපෙත්ත විසි කිරීම, හා මල්ලවපොර වැනි ක්‍රීඩා සිදු කළහ. කාන්තාවනුත් වයස අවු. 6 හො 7 පමණ වන විට පාසල් යාම ආරම්භ කරයි. ඔවුන් නිදාගත්තේ, පුහුණුවීම් කළේ, හා ජීවත් වූයේ ඔවුන්ගේ සහෝදරියන් සමග බැරැක්ක තුළ ය. කාන්තාවන්ටත් පාසල්වල දී යුධ හරඹ පුහුණුව ලබාදෙන ලදී.

ස්පාර්ටන් පවුලක් (pinterest.com) 

සමහර ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ පරිදි එකල ස්පාර්ටාහි කාන්තා හා පිරිමි පාසල්වල එක හා සමාන ව උගන්වන ලද බව යි. මන්ද කාන්තාවන්ටත් පිරිමි මුන්ට මෙන් දැඩි ව උගන්වන ලදී. ස්පාර්ටන්වරු විශ්වාස කළේ තරුණ ශක්තිමත් කාන්තාවන් ශක්තිමත් දරුවන් බිහිකරන බව යි.

වයස අවු. 18 දී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කාන්තාවන් අසමත් වුවහොත් ඔවුන් ද Perioikos බවට පත් වේ. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කාන්තාවන් නිවස තුළට වී කාලය ගත කළ යුතු විය. එනමුත් ස්පාර්ටාහි කාන්තාවන්ට එසේ නොවුණි. ඔවුන්ට තමන් කැමති තැනකට යා හැකි වූ අතර තම නිදහස උපරිම ලෙස භුක්ති විඳිය හැකි විය.

ස්පාර්ටන්වරුන්ගේ යුධමය ශක්තිය මොනවට කියාපාන තර්මෝපයිලේ සටන පිළිබඳ ලිපිය මීට පෙර දී කියවා ඇතැ යි සිතමි. එවන් හැකියාවක් පෙන්වීමට ඔවුන්ගේ මෙම මිලිටරි අධ්‍යාපනය මූලිකව ම බලපෑ කරුණකි.

මූලාශ්‍රයයන්:

  • ලෝක ඉතිහාසය – බී.වී. රාවෝ
  • ඉපැරණි ලෝක ශිෂ්ටාචාර – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
  • ancient-origins.net
  • history.com

කවරයේ පින්තූරය – ග්‍රීක සෙබළුන් දැක්වෙන කැටයමක්. (realmofhistory.com)

Related Articles

Exit mobile version