Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජාතික ජයග්‍රහණ සමරන්නට රට රටවල පැවැත්වෙන සමරු උත්සව

තම රටේ ඉතිහාසය පුරාවටම බිහිසුණු යුද්ධවලට, ගැටුම්වලට සහභාගී නොවුණු රටවල් තිබෙනවා නම් ඒ අතළොස්සක් පමණ යි. ඒ අතරින් කාර්මික විප්ලවය ආරම්භ වීමෙන් පසුව ඇති වුණු ගැටුම් විශේෂ තැනක් ගත්තේ කාලාන්තරයක් පුරාවට දුනු ඊතල, කඩු කෙටේරිවලින් යුධ වැදුණු පිරිස් තාක්ෂණය, සහ මහා පරිමාණ නිෂ්පාදන ක්‍රම භාවිත කරමින් විවිධ යුධ උපකරණවලින් සන්නද්ධව ගැටුම්වලට සහභාගී වීම නිසා යි. ආක්‍රමණිකයින් සිය බලය පතුරුවන්නට ලෝකය පුරා සිදු කළ යුද්ධ, ලෝක යුද්ධ දෙකක් මෙන්ම, තවත් මහා පරිමාණ යුධ ගැටුම් අති විශාල ප්‍රමාණයක් මේ කාල සීමාවේදී සිදු වී තිබෙනවා.

සාපේක්ෂව මෑත කාලයේ සිදු වූ මේ ගැටුම්වලට මුහුණ දී යම් යම් ජයග්‍රහණ ලබා ගත් රටවල් ඒ ජයග්‍රහණ සැමරීම සඳහා එදා පටන්ම වාර්ෂිකව සැමරුම් උත්සව සංවිධානය කිරීම සිදු කරනවා. සිය ජාතික හැඟීම අලුත් කරගන්න, තම ඉතිහාසය ගැන අලුත් පරපුර දැනුවත් කරන්න, රටේ ශක්තිය සහ නිර්භීතභාවය ලොවට පෙන්වන්න ඔවුන් මේ සැමරුම් හොඳ අවස්ථාවක් කර ගන්නවා. අද ලිපියෙන් අපි සොයා බලන්නේ ඒ වගේ තම රට ලබා ගත් ජයග්‍රහණ සමරන්න ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන සමරු උත්සව කිහිපයක් ගැනයි. සැමරුමට හේතු වූ සංසිද්ධිය සිදු වූ වර්ෂය අනුව මේවා පෙළ ගස්වා තිබෙනවා.

ප්‍රංශ විප්ලවයේ ආරම්භය සමරන බැස්ටීයි දින රැළිය

2017 වසරේ පැවැත්වුණු බැස්ටීයි දිනයේදී ප්‍රදර්ශනය කරන ලද ප්‍රංශ හමුදාවේ Dragoon රෙජිමේන්තුවේ Leclerc යුධ ටැංකි (nbcnews.com)

පාලක පිරිසකට එරෙහිව ලොව සිදු වූ මුල්ම මෙන්ම ප්‍රධානතම විප්ලවයක් ලෙස සැළකෙන ප්‍රංශ විප්ලවයේ ප්‍රධානතම සිදු වීමක් ලෙස සැළකෙන්නේ පැරීසියේ බැස්ටීයි බලකොටුව විප්ලවකරුවන්ගේ ග්‍රහණයට නතු වීම යි. ප්‍රංශයේ පැවති රජ හා ප්‍රභූ පාලනයේ කෲරත්වය පෙන්නුම් කළ දේශපාලන වධකාගාරයක් හා ආයුධ ගබඩාවක් වූ බැස්ටීයි (Bastille – මෙහි ප්‍රංශ උච්චාරණයේදී L හඬ ශබ්ද වන්නේ නැහැ) බලකොටුව බිඳ වැටීම යුධමය වශයෙන් එතරම් ප්‍රයෝජනවත් දෙයක් නොවුවත් එය සංකේතාත්මකව විශාල ජයග්‍රහණයක් වුණා. විප්ලවකරුවන් බැස්ටීයි තම පාලනයට නතු කරගැනීමත් එක්කම ප්‍රංශ විප්ලවය ජයග්‍රහණයක් කරා ගෙන යන්නට හොඳ අඩිතාලමක් වැටුණා.

මුල් කාලීනව මෙය සැමරීම ඒ තරම් සැළකිල්ලට නොගැනුණත් 1880 සිට සෑම වර්ෂයකම පාහේ ජූලි 14 වැනි දින බැස්ටීයි දින සැමරුම පැවැත්වෙනවා. ප්‍රංශ සන්නද්ධ හමුදාවන්හි බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් හමුදා භටයන්, යුධ රථ, අශ්වයන්, ගුවන් යානා හා හෙළිකොප්ටර් විශාල ප්‍රමාණයකුත් පසුගිය වසරේ සැමරුමට එක් වුණා. බැස්ටීයි දින රැළිය යුරෝපයේ පැරණිතම, උත්කර්ෂවත්ම වාර්ෂික රැළිවලින් එකක්.

රුසියානු විජයග්‍රහණ දින සැමරුම් රැළිය

2018 රුසියානු විජයග්‍රහණ රැළියේදී ප්‍රදර්ශනය කෙරුණු T-14 Armata නියමුවන් රහිත යුධ ටැංකි (sputniknews.com)

දෙවන ලෝක යුද්ධය අවසානයට ළඟා වෙමින් පැවති 1945 වර්ෂයේ මැයි මාසයේ දී දිගින් දිගටම ලද පරාජයන් සමග නාට්සි ජර්මනිය ප්‍රධාන අක්ෂ (axis) හමුදාවන් තමන් මිත්‍ර හමුදාවන්ට යටත් වන බව දැනුම් දුන්නා. ඒ හා සමගම මැයි 9 වැනි දා රුසියානු වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී අක්ෂ හමුදා මිත්‍ර හමුදාවන්ට කොන්දේසි විරහිතව යටත් වන බව ප්‍රකාශ කළ ජර්මානු අණ පනතටත් බර්ලිනයේදී අත්සන් තැබුණා. එදින සිට වාර්ෂිකව සිය යුධ ජයග්‍රහණය සමරමින් සෑම මැයි 9 වැනි දා දිනකම රුසියාවේ මොස්කව්හි රතු බලකොටුවේ විජයග්‍රහණ සැමරුමක් සංවිධානය කෙරෙනවා.

රුසියාවේ යුධ ශක්තිය හා අභිමානය ලොවට පෙන්වන්නට ඇති ප්‍රධාන අවස්ථාවක් වන මෙහි දී සිය නවතම යුධෝපකරණ ප්‍රදර්ශනය කරන්නටත් රුසියාව කටයුතු කරනවා. ව්ලැදමීර් පුටින්ගේ මීළඟ ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හේතුවෙන් මෙවර විජයග්‍රහණ දින සැමරුම් රැළිය වඩාත් උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. මෙවර එළි දැක්වුණු Su-57 ප්‍රහාරක යානා ද ඇතුළු ගුවන් යානා, හෙලිකොප්ටර්, යුධ ටැංකි, මිසයිල පද්ධති ඇතුළු අනේකවිධ යුධ උපකරණ බොහොමයක් යොදාගෙන සංවිධානය කෙරුණු මෙයට රුසියානු හමුදා සාමාජිකයන් දහස් ගණනක් සහභාගී වී සිටියා.

ඉරාන විප්ලවය සමරන හමුදා දිනය

2011 ඉරාන විප්ලව දිනයේදී ප්‍රදර්ශනය කරන ලද ඉරානයේ නිෂ්පාදිත Sejil මැදි දුර මිසයිලයක්. (globalmilitaryreview.blogspot.com)

1979 දී වසර 2500 කටත් වැඩි කාලයක් පුරාවට පැවති පර්සියානු රජ පාලනය අවසන් කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවය අැති වුණා. බටහිර ගැතියෙකු හා ජනතා පීඩකයෙකු ලෙස ප්‍රසිද්ධව සිටි, රජ පාලක ෂාහ්වරයා ඉවත් කර ඉස්ලාමීය ජනරජයක් පිහිටුවීම මෙම විප්ලවයේ අරමුණ යි. රට පුරා අැති වුණු විරෝධතාවලට කෘර ලෙස ප්‍රතිචාර දක්වන්නට සිදු වුණත් අවසානයේ ෂාහ්වරයා පන්නා දමා ඉරාන විප්ලවය ජයග්‍රහණය කරන්නට ඉරාන ජනතාවට හැකි වුණා.

මෙම ජයග්‍රහණයත්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ බිහි වීමත් සමරන්නට ඉරානයේ සෑම වසරකම අප්‍රේල් 18 වැනිදා යුධ හමුදා දිනයක් පැවැත්වෙනවා. ලෝක දේශපාලනයේ අලුත් බලවතෙකු බවට පත් වෙමින් සිටින ඉරානය පසුගිය දා පැවැති හමුදා දිනයේ දී තම රටේ නිෂ්පාදිත දිගු දුර බැලස්ටික් මිසයිල විදින, මිසයිල හා රේඩාර් පද්ධති අැතුළු බොහෝ යුධ උපකරණ ලොවට ප්‍රදර්ශනය කළා. එරට සන්නද්ධ බලකාය වන “ඉරාන විප්ලවීය අාරක්ෂකයෝ” (iran revolutionary guard) හි දහස් ගණනක් සාමාජිකයන් මෙයට අභිමානවත්ව සහභාගී වුණා.

ශ්‍රී ලංකාවේ විජයග්‍රාහී දින රැළිය

2012 දී පැවැත්වුණු විජයග්‍රාහී දින රැළියේ දර්ශනයක්. (getty/lakruwan wanniarachchi)

ඉහත කී බොහෝ අවස්ථාවල විවිධ ජයග්‍රහණ ලබන්නට එම රටවල් සමත් වුවත් ත්‍රස්තවාදයට එරෙහිව යුධමය ජයග්‍රහණයක් ලබන්නට හැකියාව ලැබූ මුල්ම රට වූයේ ශ්‍රී ලංකාව යි. 2009 මැයි මාසයේ දී LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්නත්, ශ්‍රී ලංකා භූමිය තුළ LTTE යේ සන්නද්ධ කටයුතු අවසන් කර දමන්නටත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට හැකියාව ලැබුණා. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මරණය තහවුරු වීමත් සමග මැයි මස 18 වැනිදා ඊලාම් යුද්ධය අවසන් බව නිල වශයෙන් නිවේදනය කෙරුණා. 2017 දෙසැම්බර් තරම් මෑතක දී ඉරාකයේ හමුදාවන් ISIS ත්‍රස්තවාදය යම් මට්ටමකින් පරාජය කර දමන්නට සමත් වීම හැර එවැන්නක් සිදු වූ වෙනත් කිසිදු අවස්ථාවක් ඉතිහාසයේ දකින්නට ලැබෙන්නේ නැහැ.

2009 සිට සෑම වසරකම එම ජයග්‍රහණය සැමරීම උදෙසා සමරු උත්සවයක් පැවැත්වීමට ශ්‍රි ලංකා රජය කටයුතු කළ අතර එයට මෙරට හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විශාල රැළියක් ද සංවිධානය කෙරෙනවා. යුද්ධය අවසන් කරන්නට දායක වූ යුධ හමුදාවේ සන්නද්ධ රථ, යුධ ටැංකි, සමුදුරේ සිට විශාල දායකත්වයක් ලබා දුන් නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රස්තවාදී ඉලක්ක සුණු විසුණු කළ ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා අාදිය මෙහි දී දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙනවා. කෙසේ වෙතත් මෙම සැමරුම සඳහා පසු ගිය වසර දෙකේ දී රැළියක් නොපැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් මැයි 19 වැනිදා දිනය සිහි කිරීමේ දිනය ලෙස නම් කර උත්සවයක් සංවිධානය කෙරෙනවා.

කවරයේ රූපය : ප්‍රංශ කොඩියේ වර්ණය අහසේ අඳිමින් විජයග්‍රහණයේ ආරුක්කුව (Arc de Triomphe) ට ඉහළින් ගමන් කරනා Alpha වර්ගයේ ජෙට් යානා. (nbcnews.com)

Related Articles