ආසියාවේ දිග ම දළ හිමි මිල්ලන්ගොඩ ඇතාගේ කතාව

ආසියාවේ දිග ම දළ සහිත ඇතා ලෙස ප්‍රකට ව සිටි කෑගල්ල මොලගොඩ මිල්ලන්ගොඩ ඇතා 2011 දී මිය ගියා. ඉන් පසු මේ හස්තියාගේ අනුරුවක් තනා තම මිය ගිය ඇතා ජීවමාන කිරීමට මිල්ලන්ගොඩ පරපුර ක්‍රියා කළා. නුවර කොළඹ පාර අද්දර කෑගල්ල මොලගොඩ තමයි මේ ඇතා ජීවත්වූ අලි ගාල තියෙන්නේ.

පුත්තලමට ආසන්න ආනමඩුවේ නවගත්තේගම වනාන්තරවල අලි ඇතුන් ඇල්ලීම 1940 දශකයේදී බහුල ව සිදුවුණා. පනින්කියක් නම් ඇලි ඇතුන් ඇල්ලීමට පුරුදුකාරයන් මේ කාර්යයේ නිරත වුණා. බලපත්‍ර ලබා ගෙන කැලේට ගිහින් කඹවලින් මදු දමා අලින් ඇල්ලීම සිදු වුණා.  ඒ කාලයේ අලින් ලබා ගන්න ක්‍රම කිහිපයක් පමණයි තිබුණේ. පළමු ක්‍රමය තමයි අලින් ඇල්ලීමට බලපත්‍රයක් ලබාගෙන ගොස් අලි ඇල්ලීම. දෙවැනි ක්‍රමය තමයි අලින් වෙන්දෙසි කිරිමේ දී මිලදී ගැනීම. එවකට හොඳ ම අලියකුගේ මිල රු. 3000ක් පමණ වුණා. රු. 2000, 2500 වැනි මිල ගණන්වලටත් අලින් වෙන්දේසි කළා.

 ඇතා මහා මාර්ගයේ ගමන් කළ අවස්ථාවක්- danulawickramaarachchi.weebly.com

ආනමඩුවෙන් අල්ලා ගත් ඇතා

මිල්ලන්ගොඩ වලව්වේ රාලහාමි අලින් ලබා ගත්තේ කණ්ඩායමක් සමඟ ගොස් තමන් ම ඇල්ලීමෙන්. වර්ෂ 1945 දී රාජා අලි පැටවා සමඟින් අලින් දහනව දෙනකු නවගත්තේගමින් මිල්ලන්ගොඩ ලොකු මහත්තයා (එස්. ආර්. ඒ. මිල්ලංගොඩ) ඇතුළු පිරිස අල්ලා ගෙන තිබෙනවා.  ඒ අතරින් අලින් 15 දෙනෙක් ආනමඩුවේ වැව් පිටියේදී ම ගැනුම්කරුවන්ට අලෙවි කර තිබෙනවා. ඒ ගැන ඔහු පසුව පුවත්පතකට මෙසේ පවසා තිබුණා:

එතකොට මගේ වයස අවුරුදු විසි එකයි. සිංහල හා මුස්ලිම් අය විසිපහක් තිහක් විතර අලි අල්ලන්න ගිහින් හිටියා. අල්ලන අලි ආනමඩුව වැවේ ඉස්මත්තේ තබාගෙන අපි මාස හතරක් පහක් අලි අල්ලන්න කාලය ගත කළා. ඒ අලි රංචුවේ හිටි මේ අලි පැටවාගේ වයස අවුරුදු හතරක් විතර ඇති. වියදමට සල්ලි මදි නිසා තාත්තා මේ අලි පැටවා ආනමඩුවේදී ම විකුණන්න තීරණය කළත් මං ඊට ඉඩ දුන්නේ නැහැ. පුංචි අලි පැටියාගේ හුරුබුහුටි බව දැක්කම මට ඌව විකුණන්න සිතුණේ නැහැ. අලි පැටවා ගමට ගෙනවිත් අවුරුදු දෙක තුනක් යනවිට ඌ ඇත් පැටවකු බව දැන ගත්තා. මේ ඇතා සමඟින් මගේ ජීවිතයට බොහෝ දේ එකතු වුණා.”

  හස්තියා පෙරහරක ගමන් කරමින් – sundayobserver.lk

 

කුඩා අලි පැටවා හීලෑකර ගැනීමට සති හතරක පමණ කාලයක් ගත වී තිබෙනවා. ඉන් පසු ඌ මිල්ලන්ගොඩ පරපුරට ඉතා ළැදියාවක් සහිත හස්තියකු ලෙස ලොකු මහත් වී තිබෙනවා. මේ ඇතාගෙන් ඔවුන් මුදල් හම්බ නොකළ බවයි පවසන්නේ. දළදා මාලිගාවේ පෙරහරටත්, වෙනත් දේවාල හා විහාරවල පෙරහරවලටත් ඇතා සහභාගි වුව ද ඒවාට මුදල් අයකර නැහැ. මිල්ලන්ගොඩ වලව්වේ කාගෙත් ආදරය දිනූ සුරතලකු ලෙසයි ඌ ලොකුමහත් වුණේ. ඌට රාජා යන නම තබා තිබුණා.

මිල්ලන්ගොඩ ඇතා සහ හිමිකරු මිල්ලන්ගොඩ ලොකු මහත්තයා- Mawbima.lk

 මිල්ලන්ගොඩ ලොකු මහත්තයා

කෑගල්ල මොලගොඩ මිල්ලන්ගොඩ වලව්වේ රාලහාමිගේ පුත් එස්.ආර්. ඒ. මිල්ලන්ගොඩ තරුණ කාලෙ ඉඳන් ම අලින් ඇල්ලීමට හුරු වූ පුද්ගලයෙක්. ඔහු හැඳින්වුණේ මිල්ලන්ගොඩ ලොකු මහත්තයා කියලයි. ඔහු පවසා ඇති පරිදි තරුණ කාලේ පියාගේ මඟපෙන්වීම අනුව මුලින් ම අලින් අල්ලා තිබෙන්නේ 1943 දියි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළ පැලැස්ස, හුංගම, පල්ලෙමලල, බුන්දල වැනි වනගත ප්‍රදේශවල අලි ඇල්ලීමට ගොස් ඔහු පුහුණුව ලබා තිබෙනවා. ඒ අතර ම ඔහු අලි ශාස්ත්‍ර, නිල ශාස්ත්‍ර පිළිබඳ  අවබෝධයක් ද ලබාගත්තා. ඒ දැනුම හේතුවෙන් තවත් අලි ඇතුන් පෞද්ගලික ව ඇති කිරීමට ඔහු උනන්දු වුණා. මොලගොඩ අලි ගම්මානයක් පිහිටවූයේ ඒ හින්දයි. 

පොඩි රාජා හෙවත් ජයන්ති- siyathanews.lk

වනයෙන් අලි – ඇතුන් 40 ක්‌ පමණ අල්ලාගත් මිල්ලන්ගොඩ අප්පුහාමි මහතාගේ අලිගාලේ නිරන්තරයෙන් අලි ඇතුන් 10 ක්‌ පමණ සිටි අතර රාජා මියයන විට‌ එහි සාමාජිකයින් පස්‌දෙනකු සිටියා.

ඒ අතර සිටි පොඩි රාජා හෙවත් ජයන්ති නම් ඇතාත් දළදා පෙරහරේ ගමන් කළ දළදා කරඬුවත් වැඩම කර ඇති හස්තියෙක්. ජයන්ති ඇතාත් 68 වන වියේ සිටියදී  2020 ජුනි මාසයේ දී මිය ගියා.

දිගම දළ යුවල සහිත ඇතා ඇත්ගොව්වා සමගින් – sundayobserver.lk

දිගම දළ යුවළ

මිල්ලන්ගොඩ රාජා ඇතාගේ උස අඩි 12ක් පමණ වෙනවා. දළ දෙකෙහි දිග අඩි 7 අඟල් 6ක්. සිරුර ඇතුළත ඇති කොටසත් සමඟ එය අඩි 9ක් පමණ දිගු වුණා. දළ දෙක එසේ වර්ධනය වූ පසු ආසියාවේ දිග ම දළ සහිත ඇතා ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.  රාජාගේ දළ යුගළ ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නට පටන්ගෙන ඌ වියපත් වනවිට බිම ගැටෙන නොගෑටෙන තරමට වැඩී තිබුණා. ආහාර ගැනීමට හිස පහත් කරන විට දළ  පොළොවේ වැදීම සිදුවුණා. මේ නිසා ආහාර ගැනීම රාජාට මහත් අපහසුතාවක්‌ වුණා. දරුණු සතකු නොවූ මේ ඇතා නිතර ම කඩිසර ව සිට තිබෙනවා. මඳ කිපුණු අවස්ථාවල ඇත්ගොව්වන් සමඟ තරහ වී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබෙන බව සඳහන්. රාජා බලා කියාගන්නට ඇත්ගොව්වන් දෙන්නෙක්‌ කටයුතු කර තිබෙනවා.

ඌ පැණිරස ආහාරවලට දැක්වූයේ ලොකු කැමැත්තක්. දළදා පෙරහරට සහභාගි වන කාලයේ පෙරහර ආරම්භවීමට පෙරත්, පෙරහරෙන් පසුවත් පෙරහරේ ගමන් කරන විටත් පැණි රස ආහාර ඌට ලබා දී තිබෙනවා. හකුරු, ටොෆි වැනි ආහාර ඌට එලෙස ලබා දී තිබෙනවා. ඇතා නැරඹීමට විදේශිකයන් මොලගොඩට පැමිණීම සිරිතක් කොට ගෙන සිටියා. ඔවුන් ඌත් සමඟ ඡායාරූප ගෙන සතුටට පත් වුණා.

 දළදා කරඬුව වැඩම කරමින් – wikiwand. com

දළදා පෙරහරේ ඇතා

මිල්ලන්ගොඩ ඇතා වසර 40ක් පමණ දළදා පෙහරට සහභාගි වී තිබෙනවා. රාජා පළමු ව සහභාගි වී ඇත්තේ මහනුවර මහා විෂ්ණු දේවාලයේ පෙරහරටයි. ඉන් අනතුරුව දළදා පෙරහරේ කරඬුව වඩමවන ඇතාගේ දෑලේ ඇතකු වශයෙන් ද  සහභාගි වී තිබෙනවා.   ඌට දළදා කරඬුව වැඩම කිරීමට අවුරුදු 10-12ක් පමණ රාජාට අවස්ථාව ලැබුණා. මහනුවර රාජා ඇතා මිය ගිය පසුව ඒ අවස්ථාව මිල්ලන්ගොඩ ඇතාට හිමි වුණා. රාජා අවසන් වරට  දළදා කරඬුව වැඩම කර ඇත්තේ 2008 දියි.

කිතුල් කොට ආහාරයට ගනිමින්- facebook

මේ ඇතාගේ ගමන් විලාසය වෙනත් කිසි ම ඇතකුට තිබුණේ නැහැ. කරඬුව පිට මත තබාගෙන, සීරුවට අඩි තබමින් වටපිට බලමින් යන ගමන් ලතාව වෙනත් කිසිම ඇතකු සතු නොවන බවයි පැවසෙන්නේ. බොහොමයක් අලින් කරඬුව පිට මත තැබුවා ම බිම බලාගෙන ගමන් කළත් මිල්ලන්ගොඩ ඇතා පෙරහරේ යන්නේ වටපිට මෙන් ම රැජින හෝටලයේ උඩ තට්ටුවේ ඉන්න සංචාරකයන් දෙසත් බලමින්. එය හරිම ආඩම්බර ගමනක්. සංචාරකයන් ද උගේ අලංකාර ගමන දැක ගැනීමට ලොකු උනන්දුවක් දක්වා තිබෙනවා.

ඇතු ඇත් ගාලේ සිටි අවස්ථාවක්- mangalaatetha.blogspot. com

ඇතා සමුගනී

වියපත් වීමත් සමඟ 2011 අගෝස්තු 3 වෙනිදා දහවල්  12.55ට ඌ මරණයට පත් වුණා. උගේ මරණට ගැන බීබීසී පුවත් සේවයේ පවා ප්‍රචාරය වුණා.

ඇතා මියයාමට අවුරුද්දකට පමණ පෙර සිට කෑම ගැනීමේ අපහසුතාවයක් හටගෙන තිබුණා. ඒ වයෝවෘද්ධවීම නිසා ඇතාගේ දත් හැලීයාමෙන්. ඒ සමඟ ම  ඇතා දුර්වලවීම සිදුව තිබෙනවා. එම රෝගවලට ප්‍රතිකාර ලබා දුන්නත් දිවි ගමන නිම කිරීමට මේ ඇතාට සිදුවුණා. කන්නට බැරිව අසනීපයෙන් සිටි කාලයේදී අත්තික්කා, එරබඳු  දළු, කොස් අතු ආහාරයට ලබාදුන් බව එවකට සිටි ඇත්ගොව්වාන් සඳහන් කර තිබුණා. ඇතාගේ අසනීපය දැනගත් එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඇතාට ශක්තිජනක ආහාර ලබා දුන් බවත් සඳහන් වෙනවා.

ඇතා මිය යාමට ආසන්න දිනක රෝගාතුර ව පසුවූ හස්තියාට පිං පැමිණවීම පිණිස  භික්ෂූන් වහන්සේ අලි ගාලට පැමිණ පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වූ අතර අටපිරිකර පූජා කිරීමක් ද සිදුවුණා. එහිදී  අටපිරිකර ඇතාට පෙන්වීමෙන් පසු හොඬයෙන් එය ස්‌පර්ශ කර මහා සංඝයා වෙත පිරිනැමීම සිදුකර තිබෙනවා. පිරිත් දේශනය හා පිරිත් නූල් බැඳ අවසන් වූ පසු ඇතා විසින් මහත් ආයාසයෙන් හොඬය උස්‌සා මහා සංඝයා වහන්සේ වෙත ආචාර කළ බවත් එය  කාගේත් විමතියට හේතුවූ බවත් පැවසෙනවා.

අනුරුවක් බවට පත් ඇතා – foodyas.com

අනුරුවක් තැනේ

ඇතා මිය ගිය පසුව දළදා මාලිගාවේ රාජාට මෙන්  උගේ සම භාවිත කර අනුරුවක් තැනීමට ඇතාගේ හිමිනරු වන මිල්ලන්ගොඩ මහත්තයාට අවශ්‍ය වුණා. ඒ සඳහා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ව සිටි ආචාර්ය නන්දා වික්‍රමසිංහගේ මග පෙන්වීම මත කෞතුකාගාර චර්ම ශිල්පීන්ගේ සහයෝගය ලබාගෙන තිබෙනවා. රාජා ඇතාගේ චර්ම ශිල්පී කටයුතු කරන ලද්දේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ චර්ම ශිල්පී රවින්ද්‍ර වික්‍රමනායකයි. ජීවමාන ජීවි වර්ණය ප්‍රකෘතිමත් ලෙස දැක්වීමට එම දෙපාර්තමේන්තුවේ චිත්‍ර ශිල්පීන් වන එල්. ආර්. විජේපාල සහ එල්. පී. මහින්ද  කටයුතු කර තිබෙනවා. උගේ අනුරුව තැන්පත් කිරීමට ගොඩනැගිල්ලක් ද මොලගොඩ ඉදිකර තිබෙනවා.

කවරයේ ඡායාරූපය: මිල්ලන්ගොඩ ඇතා අලි ගාලේ දී ආහාර බුදිමින් - facebook

මූලාශ්‍ර:

 කෞතුකාගාර සඟරාව- 18 කලාපය
 Divaina.com

 Dinamina.lk

 Dailynews.lk

Related Articles

Exit mobile version