ලොව සිදුවන තවත් අද්භූත ස්වභාවික සංසිද්ධි තුනක්

මිනිසාට ලෝකයේ ගවේෂණය කරන්නට තවත් බොහෝ දේ ඉතිරි වී තිබෙනවා. ඇත්තෙන් ම මිනිසා ලෝකය පිළිබඳ දැනුම්වත් ඉතා අල්ප මාත්‍රික ව යි. කෙතරම් තාක්ෂණය දියුණු වුව ද, අදටත් නිසි ආකාරයෙන් තෝරා බේරා ගත නොහැකි සිදුවීම් රාශියක් ලොව සිදුවෙනවා. මීකොං නදියෙන් ඉහළට පැන නඟින අද්භූත එළි, යමහල් අකුණු සහ භූ චලන එළි ඉන් තුනක් පමණ යි.

එම ත්‍රිත්වය ගැන තොරතුරු පසුගිය ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියෙනුත් අප ඔබ වෙත ගෙන එන්නේ තවත් එවැනි ම අද්භූත ස්වභාවික සංසිද්ධීන් ත්‍රිත්වයක් පිළිබඳව යි. මේ ත්‍රිත්වය පිළිබඳව ද, යම් යම් මතවාද විද්වතුන් තුළ තිබුණත්, අද වන විටත් ඒ කිසිවක් නිසියාකාරයෙන් තහවුරු කර ගන්නට කිසිවකුත් සමත් වී නැහැ.

නාද වන ගල් කුට්ටි – Visit Bucks County, PA

 

නාද වන ගල් කුට්ටි

දැඩි ලෙස විවාදයට බඳුන් වූ, එහෙත් තවමත් හේතු හරි හැටි සොයා නො ගත්, ස්වභාවික භූගෝලීය සංසිද්ධියක් ලෙස ‘නාද වන ගල් කුට්ටි’ සංසිද්ධිය හැඳින්වීමට හැකි යි. මෙම ගල් කුට්ටි හමුවන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙහි, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ, බක්ස් නම් පෙදෙසිනු යි.

මේ ගල් කුට්ටිවලට මිටියක් වැනි ආයුධයකින් හෝ තවත් ගලකින් පහර දුන් විට ඒවා රැව් දෙනවා. එම රැව් දීම සිදු වන්නේ එම ගල් වල අභ්‍යන්තරය බොල් ස්වභවයක් විද්‍යාමාන කරමිනු යි. කෙසේ නමුත් ඇත්තෙන් ම ඒවා බොල් නැහැ. බොල් නොමැති ගලකින් මෙවැනි රැව් දෙන හඬක් නැඟීම අසාමාන්‍ය වන අතර, මේ පිළිබඳ ව විද්‍යාත්මක පර්යේෂණ රාශියක් සිදු කළ ද, අද වන විටත් මේ පිළිබඳ ව නිශ්චිත හේතුවක් සොයා ගන්නට විද්‍යාඥයන් අපොහොසත් වී තිබෙනවා.

මෙලෙස රැව් දෙන ගල් කුට්ටි සුවිශේෂී මෙන් ම අද්භූත වන්නේ, ඒවා හුදෙක් රැව් දීම සහ එයට හේතුව තවමත් සොයා ගැනීමට අපහසු වීම නිසාම පමණක් නොවේ. යමහල් විදාරණවලදී නිකුත් වන බේසෝල්ට්වලින් සුසැදි මේවා හේතු ගණනාවක් නිසා සුවිශේෂී මෙන් ම අද්භූත ද වෙනවා. මෙම ගල් කුට්ටි සියල්ල ම එකම ආකාරයෙන් රැව් නොදෙන අතර, මෙම ගල් කුට්ටි විහිදී ඇති භූමි වපසරිය අක්කර 7.7 ක් හෙවත්, හෙක්ටයාර 3.5 ක් පමණ වෙනවා. 

ප්‍රදේශයේ අනෙකුත් ගල් කුට්ටි මෙන් මේවා උස් බිම්වල සිට පහලට රූටාගෙන පැමිණ නැති අතර, උස් බිම්වලට ආසන්න ව දැකගත හැකි වෙනවා. එම ගල් කුට්ටි පිහිටා ඇති පෙදෙස අවට කැලෑබද ස්වභාවයක් ඇති අතර, සතුන් සෑහෙන පමණින ගැවසෙනවා. තත්ත්වය එසේ තිබියදීත්, මෙම ගල් කුට්ටි වෙතට සතුන් පැමිණෙන්නේ නැහැ. අවට කෙතරම් සරුවට ශාක වැවී තිබුණ ද, මෙම ගල් කුට්ටි ඇති සීමාවේ නිසි ලෙස ශාක වර්ධනය නොවීමත් පුදුමය උපදවනසුලු යි.

මෙම ගල් කුට්ටිවල රැව් දෙන හඬ පිළිබඳ ව තවමත් නිසි හේතුවත් සොයා ගත නොහැකි වූවත්, ඒවා වසර 12000 ක් පමණ පැරණි බැව් විද්‍යාඥයන් අද වන විට හඳුනා ගෙන තිබෙනවා.

හෙස්ඩලෙන් එළි – oisf.org

 

හෙස්ඩලෙන් එළි

නෝර්වේ රාජ්‍යයේ ඇති වන ‘හෙස්ඩලෙන් එළි’ විද්‍යාඥයන් ගේ නළල රැළි ගැන්වූ තවත් විස්මයජනක ස්වභාවික සංසිද්ධියක්. මෙය නෝර්වේ රාජ්‍යයේ කිලෝමීටර 12 ක පමණ දිගින් යුක්ත නිම්නයක සිට පමණක් දැකගත හැකි වීම සුවිශේෂී වෙනවා. ඒ හැරුණුකොට ලොව වෙනත් කිසිදු ස්ථානයකින් මෙම සංසිද්ධිය වාර්තා වන්නේ නැහැ.

මෙම ‘අද්භූත’ එළි මුලින් ම වාර්තා වී ඇත්තේ 1930 දශකයේ දී යි. සමහරක් අවස්ථ වලදී ඒවා අහසෙහි එක් ස්ථානයක රැඳී පවතින අතර, තවත් සමහර අවස්ථාවන් හී දී වේගයෙන් ඇදී යනවා. ඒ විදුලි කෙටීමක් සිහිගන්වමින්. කෙසේ නමුත් අවට කිසිදු වැහිබර තත්ත්වයක් නැති විටෙක දී ද මේවා ඇතිවන්නේ, සාමාන්‍ය අකුණුවලට මෙහි කිසිදු සම්බන්ධයක් නැති බැව් විද්‍යමාන කරමින්. මේවා නිතර ම පාහේ ඇති වන්නේ, නිස්කලංක කාලගුණයක් ඇති, පැහැදිලි අහසක් සහිත දිනවල යි.

හෙස්ඩලෙන් එළි වැඩිමනත් ම ඇති වන්නේ කහ, සුදු සහ රතු වර්ණයන්ගෙනු යි. ඒවා තත්ත්පර කිහිපයකට වඩා පවතින්නේ ද නැහැ. මේවා කලාතුරකින් ඇති වන අතර, වසරකට 10 ත් 20 ත් අතර වාර ගණනක් පමණක් වාර්තා වෙනවා. මෙම එළි පිළිබඳ ව 1983 වසරේ පටන් පර්යේෂණ පැවැත්වෙන අතර, විවිධාකාරයේ මතවාද ගණනාවක් ද ලොවට ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතරින් ජනප්‍රියත ම මතයක් වන්නේ, මෙම නිම්නයේ ඇති ස්කැන්ඩියම් මූලද්‍රව්‍යය නිසා මෙම එළි ඇති වන බව යි. මේවා ‘දුහුවිලි ප්ලාස්මාවක්’ සබැඳි එළි බවට ද තවත් මතයක් ඉදිරිපත් ව තිබෙනවා. කෙසේ නමුත් මේ කිසිවක් තවමත් තහවුරු ව  නැහැ.

ගෝලාකාර අකුණු – dailymail.co.uk 

 

ගෝලාකාර අකුණු

ගෝලාකාර අකුණුත් ලොව ඉතාමත් කතාබහට ලක් වූ අද්භූත ස්වභාවික සංසිද්ධියක්. මෙම සංසිද්ධිය පුරාතන ග්‍රීකයන් පවා අත් දුටු බවට වාර්තා තිබෙනවා. 19 වන සියවසේ දී නිකුලස් සාර් රජු ද මෙවැන්නක් දුටු බවට වාර්තා කර තිබෙනවා. ඒ ඔහු තුරුණු වියේ දී දේව මෙහෙයකට සම්බන්ධ වෙමින් සිටිය දී යි.

1963 වසරට පෙර ලොව විද්වතුන් බොහෝ දෙනෙක් මෙම ගෝලාකාර අකුණු පිළිබඳ ව සිතා සිටියේ එය හුදු ජනප්‍රවාදයක් ලෙසට යි. කෙසේ නමුත් විද්‍යාඥයන් පිරිසක් අහඹු ලෙස, එම වසරේ දී එවැන්නාක් අත්දකිනවා, ඒ ගුවන් ගමනක යෙදෙමින් සිටියදී යි. එතැන් පටන් වඩා පුළුල් ලෙස මේ පිළිබඳ ව විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම ආරම්භ කෙරුණා. කෙසේ නමුත් අද වන තුරුත් මේ පිළිබඳ නිසියාකාර ව තහවුරු කර ගත් මතවාදයක් ගෙන එන්නට කිසිවකුත් සමත් වී නැහැ.

මෙම සංසිද්ධිය ඇති වනේ ප්‍රදේශයේ වැසි කුණාටුවක් හට ගනිමින් තිබියදී යි. මෙය සාමාන්‍ය අකුණකට වඩා වැඩි වේලාවක් අවකාශයේ රැඳී තිබෙනවා. සමහර විටෙක මිනිත්තු ගණනාවක් එය අහසේ රැඳී තිබිය හැකි යි. ශ්‍රී ලාංකික මිනිසුන් ‘දේවතා එළි’ ගණයේ ලා සලකන්නේත් මෙවැනි දේ බවට සමහර විද්වතුන් මත පළ කරනවා. මේවා සමහරක් අඩි 10 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර, සුදු, කහ හෝ තැඹිලි පැහැයෙන් ද දැක ගත හැකි වනවා.

කලාතුරකින් මෙම ගෝලාකාර අකුණු, ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස පුපුරා ගිය බවට ද වාර්තා පවතිනවා. මෙවැනි ගෝලාකාර අකුණක් පිපිරී යාමෙන් 18 වන සියවසේදී එක්තරා පර්යේෂකයෙක් මිය ගිය බවට ද වාර්තා වෙනවා. විද්‍යාඥයන් පිරිසක් ගෝලාකාර අකුණුවල දෘෂ‍ය වර්ණාවලිය 2014 වසරේ දී  හඳුනා ගත්තා. කෙසේ නමුත්, මේවා සිදුවන්නේ කුමන අවස්ථාවන් හී දී ද, ඇයි ද යන්න නිශ්චිතව පවසන්නට තවමත් කිසිවකුත් සමත් වී නැහැ.

කවරයේ ඡායාරූපය - sdentertainer.com 

මූලාශ්‍ර:

Ourbreathingplanet.com

Citechdaily.com

Usgs.gov

Holidify.com

Related Articles

Exit mobile version