Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටිනාම ලෝහ වර්ග

ඈත අතීතයේ පටන් මිනිසුන් ලෝහ වර්ග ඉතා ප්‍රයෝජනවත් ලෙස භාවිත කොට තිබෙනවා. ඉතා පැරණි ශිෂ්ටාචාර තිබුණු ප්‍රදේශවල නෂ්ඨාවශේෂ පරීක්ෂා කර බැලීමේදී මිනිසා ඒ කාලයේ පවා ලෝපස් උණු කර යකඩ, තඹ වැනි ලෝහ නිස්සාරණය කොට තම දඩයමට හා ආරක්ෂාවට අවශ්‍ය මෙවලම් ආදිය නිෂ්පාදනය කර තිබෙන බවට සාක්ෂි හමුවී තිබෙනවා. මීට අමතරව රත්‍රන්, රිදී වැනි දුලබ හා මූල්‍ය වටිනාකමින් වැඩි ලෝහ වර්ග යොදාගෙන රජවරුන් හා ප්‍රභූවරුන් සිය බල පරාක්‍රමය හා මූල්‍යමය සවි ශක්තිය ලොවට ප්‍රකට කිරීම උදෙසා ඔටුණු, පිඟන් භාණ්ඩ, විවිධ ආභරණ යනාදිය සාදවාගෙන තමන් සන්තකයේ තබාගත්තා.

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමාන ලෝකයට තවත් විවිධ ලෝහ වර්ග ඉතා ප්‍රයෝජනවත් දේවල් බවට පත්ව තිබෙනවා. සූත්‍රිකා බල්බවල සූත්‍රිකාව නිපදවන ටංග්ස්ටන් ලෝහයත්, ඇලුමිනියම්, ප්ලැටිනම්, නිකල්, තඹ, කොබෝල්ට් වැනි ලෝහත් වර්තමාන ලෝකයේ නිතර අවශ්‍ය වන ලෝහයන් කිහිපයක් පමණයි. සමහර ලෝහ කිහිපයක් එක් කොට මිශ්‍ර ලෝහත් තනනවා. කල් පැවැත්ම, ශක්තිමත් භාවය, විවිධ තත්වවලට ඔරොත්තු දීම, තාප සන්නායකතාව, විද්‍යුත් සන්නායකතාව, ආහන්‍ය හා ආතන්‍ය බව, දෘඪතාව වැනි කරුණු කාරණා රාශියක් ඔස්සේ ලෝහයක ප්‍රයෝජනවත් භාවය වෙනස් වන අතර සාපේක්ෂ දුලභතාව, ඉල්ලුම, ප්‍රවාහන ගාස්තු, පිරිපහදු හා නිස්සාරණ වියදම් වැනි දේ මත මිල තීරණය වෙනවා. අද අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ පෙර කී කරුණු කාරණා සළකා බැලීමෙන් අනතුරුව වර්තමානයේ ලොව වැඩියෙන්ම මිල නියම වී ඇති ලෝහ වර්ග කිහිපයක් ගැන තොරතුරුයි.

රත්‍රන් (Au)

rushpreciousmetals.com

කාලයාත් සමඟ රත්‍රන්වල මිල යම් යම් ප්‍රමාණවලින් උච්ඡාවචනය වූවත් ඉතිහාසය පුරාම පාහේ මේ ලෝහය ධනවත් බව හා සෞභාග්‍යය සංකේතවත් කිරීම සඳහා ලොව පුරා භාවිත වී තිබෙනවා. මුදල් ඒකකයක් ලෙස භාවිත කරන අවස්ථාවලට අමතරව ආභරණ, සැරසිලි හා වෙනත් නිමැවුම් සඳහාද රත්‍රන් භාවිත කරනවා. මේ ලෝහය ඉතා නිෂ්ක්‍රීය එකක් වීම නිසා මළ බැඳීමට ලක් නොවීමත්, ඉතා හොඳ විද්‍යුත් සන්නායකතාවයක් තිබීමත් නිසා විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ සෑදීමේදීද භාවිත වෙනවා. මීට අමතරව මේ ලෝහය චන්ද්‍රිකාවල පිටත පෘෂ්ඨයේ ආලේපනයක් ලෙස යොදාගන්නා අතර දන්ත වෛද්‍ය උපකරණවලදී හා පිළිකා හා ආතරයිටීස් වැනි රෝග තත්ත්වවලට ප්‍රතිකාර කිරීමේදීද භාවිතා වෙනවා. සාමාන්‍ය වශයෙන් රත්‍රන් ග්‍රෑමයක මිල ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ වෙනවා. (1)

රිදී (Ag)

linkedin.com

රිදී ලෝහය ස්වභාවික පරිසරයේ බොහෝ විට හමු වන්නේ Chlorargyrite පාෂාණ හෝ Agentite ලෙසයි. මීට අමතරව රත්‍රන් හෝ තඹ / සින්ක් කර්මාන්තවල අතුරුඵල හැටියටත් රිදී නිපදවෙනවා. 2009 වසර වන විට පිළිවෙලින් චීනය, මෙක්සිකෝව හා චිලී රාජ්‍යය ලොව ප්‍රමුඛතම රිදී නිෂ්පාදකයන් වී සිටියා. කාසි, ආභරණ වැනි දේට අමතරව ඉලෙක්ට්‍රොනික් උපකරණ කර්මාන්තයේදීත් රිදී යොදාගන්නවා. මීටත් අමතරව වෛද්‍ය ක්ෂේත්‍රයේදී, ඡායාරූප කර්මාන්තයේදී, කැඩපත් සෑදීමේදී හා විද්‍යාගාර පරීක්ෂණ ඇතුළු බොහෝ කටයතුවලදී රිදී ලෝහය නැතිවම බැහැ. 2017 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව තුළ රිදී ග්‍රෑමයක් අළෙවි වුණේ රුපියල් 84 ක් වැනි මුදලකටයි. (2)

ප්ලැටිනම් (Pt)

seekingalpha.com

ප්ලැටිනම් තවත් ආකර්ෂණීය, සුදු පැහැති ලෝහයක්. මේ ලෝහයේ වටිනාකමට හා ඉල්ලුමට හේතු වී තිබෙන්නේ මෙහි ඇති නම්‍යශීලී බවයි. රත්‍රන් මෙන්ම මෙය ආභරණ සෑදීමට, සමහර එන්ජින් උපාංග සෑදීමට, විද්‍යාගාර පරීක්ෂණවලට, විදුලි සන්නායකවලට, දන්ත උපකරණවලට හා බැටරි ඉලෙක්ට්‍රෝඩ සඳහාත් භාවිත කරනවා. ප්ලැටිනම් මේ තරම් වටිනා ලෝහයක් වී තිබෙන්නේ එය ඔක්සිකරණය වීමට ඉතා දැඩි ප්‍රතිරෝධයක් දැක්වීම හා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් හා නයිට්‍රික් අම්ලවල වුවත් දිය නොවීමයි. මේ ලෝහය නිල වශයෙන් වසර 1735 දී සොයාගත් ලෙස ප්‍රකට වී තිබුණත් මිසර ශිෂ්ටාචාරය පැවති සමයේ ආභරණවලට යොදාගෙන තිබූ බවට සාක්ෂි හමු වී තිබෙනවා. රත්‍රන් මෙන් 10 ගුණයක් පමණ දුර්ලභ වුවත් ඉල්ලුම අවම නිසා ප්ලැටිනම් මිල රන් මිලට වඩා අඩුයි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ප්ලැටිනම් ග්‍රෑමයක් රුපියල් 4800 ක පමණ මිලකින් යුක්ත වෙනවා.(2)

රෝඩියම් (Rh)

wisegeek.org

ලෝකයේ රෝඩියම් නිෂ්පාදනයෙන් 60%ක් පමණ කෙරෙන්නේ දකුණු අප්‍රිකාවේයි. ආවර්තිතා වගුවේ ප්ලැටිනම් අයත් කාණ්ඩයටම අයත් මේ ලෝහය ප්ලැටිනම් මෙන්ම සුදු පැහැයෙන් යුක්තයි. මේ ලෝහය ප්ලැටිනම්වලට සාපේක්ෂව බරින් අඩු අතර තාපයට වඩාත් ප්‍රතිරෝධී වෙනවා. මීට අමතරව වැඩි කල් තබාගැනීමේ හැකියාවකුත්, දෘඪ බවකුත් ඇති මෙහි වැඩි දිස්නයක්ද තිබෙනවා.

මේ ලෝහය ‘සුදු රත්‍රන්’ ලෙසද හඳුන්වන අතර ආභරණ, ගුවන් යානා එන්ජින් කොටස්, විදුලි පහන් කොටස් වැනි දේ නිෂ්පාදනයේදී යොදාගන්නා අතර අම්ල හා කාබනික ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියන්හීදීද පාවිච්චියට ගැණෙන අවස්ථා තිබෙනවා. 1990 දශකයේ රුසියානු රෝඩියම් සැපයුම් අඩපණ වීම නිසා මෙහි වටිනාකම වඩාත් වැඩි වුණා. සාමාන්‍යයෙන් රෝඩියම් ග්‍රෑමයක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 8700 කට පමණ මිලදී ගත හැකියි. (2)

ඉරිඩියම් (Ir)

rruff.info

ඉරිඩියම් ලෝහය පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය වුණු ලෝහයක්. ඒ අකුණු සන්නායකවලට සම්බන්ධ වූ හේතුවක් නිසා. සාමාන්‍යයෙන් මේ ලෝහයෙන් ව්‍යුත්පන්න සංයෝග රසායනික කර්මාන්තවලදී උත්ප්‍රේරකයක් හැටියට යොදාගන්නා අතර වැඩි උෂ්ණත්වයකදී වියෝජනය වීමට හොඳ ප්‍රතිරෝධයක් දක්වනවා. ක්ලොරීන් නිෂ්පාදනයේදී ඉලෙක්ට්‍රෝඩ ලෙසත්, පෑන් තුඩු නිෂ්පාදනය හා වාහන අමතර කොටස් කර්මාන්තයේ විවිධ කොටස් නිෂ්පාදනයෙදීත් ප්ලැටිනම් වැනි ලෝහ සමඟ මිශ්‍ර කිරීමෙන් අනතුරුවත් මේ ලෝහය යොදා ගැනෙනවා. ඉරිඩියම් මෙතෙක් ලොව හඳුනාගෙන ඇති ලෝහ අතරින් විඛාදනයට වැඩිම ප්‍රතිරෝධය දක්වන ලෝහයයි. ඉරිඩියම් ග්‍රෑමයක් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3-4 ක් පමණ මිල වෙනවා. (1)

ප්ලුටෝනියම් (Pu)

kristv.com

ප්ලුටෝනියම් නිෂ්පාදනය කරන්නේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවලට භාජනය කරන යුරේනියම් වලිනුයි. ප්ලුටෝනියම් ස්වභාවිකව පරිසරයේ හමු වන්නේම නැති තරම්. විද්‍යාඥයින් සාමාන්‍යයෙන් න්‍යෂ්ඨික බලාගාර සැළසුම් කරන්නේ යුරේනියම් න්‍යෂ්ඨික විඛණ්ඩනයට ලක් කළ විට ලැබෙන ප්ලුටෝනියම් නැවත ප්‍රතික්‍රියාවට භාජනය වී ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන ලෙසටයි. ප්ලුටෝනියම් ග්‍රෑමයක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 6 ක් පමණ වෙනවා. නමුත් න්‍යෂ්ටික අවි සඳහා යොදා ගැනීමට අැති හැකියාව නිසා ප්ලූටෝනියම් වෙළඳම් කිරීම සපුරා තහනම්. එම නිසා මේ වගේ කිහිප වාරයක් ගෙවා හෝ සාමාන්‍ය කෙනෙකුට ප්ලූටෝනියම් මිල දී ගන්න හැකියාවක් නැහැ. (2)

කැලිෆෝනියම් (Cf)

කැලිෆෝනියම් පරමාණුක සැකැස්ම (commons.wikimedia.org)

ක්‍රි.ව 1950 දී කැලිෆෝනියාවේදී මුලින්ම නිරීක්ෂණය වීම නිසා කැලිෆෝනියම් ලෙස නම් ලද මේ ලෝහය ස්වභාවික පරිසරයේ දකින්නට නැහැ. ඉතාම විකිරණශීලී මේ මූලද්‍රව්‍ය කොයි තරම් විකිරණශීලීදයත් මිනිත්තුවක් තුළ මෙහි මයික්‍රොග්‍රෑමයක ප්‍රමාණයක් තුළින් නියුට්‍රෝන මිලියන 170ක් පමණ ඉවතට නිකුත් වෙනවා. මේ නිසා මෙය සත්ත්වයින්ට ඉතාම විෂදායකයි. කැලිෆෝනියම් එක් ග්‍රෑමයක් අාරක්ෂිතව ප්‍රවාහනය කරන්න ටොන් 50ක් පමණ බර අාරක්ෂිත ටැංකියක් අවශ්‍ය වෙනවා!

සියලු දේ විනිවිද විකිරණ නිකුත් කරන්න තියෙන හැකියාව නිසා මේ ලෝහය රත්‍රන්, ප්ලැටිනම් හා බොරතෙල් කර්මාන්තවලදී කැණීම් උපකරණවල දෝෂ පරීක්ෂාවට අංශු මාත්‍ර ප්‍රමාණවලින් භාවිත වෙනවා. මේ ලෝහයේ ග්‍රෑමයක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 4ක් (කෝටි 400 ක්) පමණ වෙනවා. නමුත් එවැනි මිලක් ගෙවා වුවත් එය ලබා ගැනීම සහ ගබඩා කර තබා ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. (2)

කවරයේ පින්තූරය (buypreciousmetal.com)

මූලාශ්‍ර

  1. therichest.com
  2. topteny.com

Related Articles