මෝටර් බයිසිකල්… තරුණයාගේ ප්‍රශ්නය මෙතරම්ම සුලු පටු නැත

ශමීර රංගනගේ මෝටර් බයිසිකල් සිනමා පටය පසුගියදා ප්‍රදර්ශනය ඇරඹීය. එය සැලකිය යුතු කාලයක් වාරණයට ලක්ව තිබුණකි. සිනමා කර්මාන්තය තම බූදලයක් සේ සලකා කටයුතු කල – කරමින් සිටින බලධාරීන් සියල්ලෝම ඊට වගකිය යුතුය. නමුත් පසුකාලීනව ඇතිවූ යම් දේශපාලනමය තත්වයන් මත සිනමා පටය එකී ඊනියා වාරණයෙන් මුදවා ගන්නට හැකි විය. ශමීර රංගන සිනමා කරුවා ඒ වෙනුවෙන් දැරූ පරිශ්‍රමය ද සුලු පටු නොවේ. එමෙන්ම මෝටර් බයිසිකල් සිනමා පටයට දෙස් විදෙස් ඇගයීම් සහ සම්මාන රාශියක් හිමිවිය. සමාජය තුළද මේ වන විට මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන යම් කතා බහක් ගොඩ නැගී ඇත. මේ විවේචනාත්මක සටහන ඒ කතා බහ තව තවත් පුළුල් කිරීම අරභයා ලියැවෙන්නකි.  

(motorbicyclemovie.com)

(motorbicyclemovie.com)

ඇත්ත පෙන්වන බොරුවක් යැයි පවසමින් කලාව නිර්වචනය කළේ ශේෂ්ඨ සිත්තරෙක් වූ පැබ්ලෝ පිකාසෝ ය. ශමීර රංගනගේ සිනමා පටයත් අපට පෙන්වන්නේ ඇත්ත ය. නො එසේ නම් යථාර්ථය ය. ඒ හරහා සැබැවින්ම සමාජයේ යම් පැතිකඩක් පිළිබඳව හෙළිදරව් කෙරෙයි. සිනමාකරුවාට විෂය වනුයේ කොළඹ මුඩුක්කු සමාජ පරිසරයක වෙසෙන තරුණයකු මුහුණ දෙන සිද්ධි කිහිපයකි. අදාළ තරුණයාව සංකේතයක් ලෙස භාවිත කරමින් වත්මන් ලාංකීය තාරුණ්‍යය  පිළිබදව අව්‍යාජ චිත්‍රයක් මැවීමට සිනමා පටය තුළ යම් උත්සාහයක් ගෙන තිබෙන බව පෙනෙයි.

සිනමාකරුවා විසින් තෝරාගෙන ඇති තේමාව අපූරු හෝ දුර්ලභ තේමාවක් නොවේ. එය ලෝකයේ මෙන්ම ලංකාවේද නිර්මාණ බිහි වී ඇති තේමාවකි. නමුත් විරැකියාව, තාරුණ්‍යය සහ සිහින වැනි කරුණු සම්බන්ධ එවැනි සමාජීය කතිකාවතක් සහිත තේමාවක් සිනමාවට නැගීම පැසසිය යුතු කාරණයකි. ගැටළුව ඇත්තේ එතැන නොවේ. චිත්‍රපටය තුළ තාරුණ්‍යය සම්බන්ධයෙන් තබා ඇති බර ඉතා අල්පයක් වීම තුළය. මීට වඩා ගැඹුරින් ශ්‍රී ලාංකේය තාරුණයා ගැන මේ මොහොතේ සාකච්ඡා කළ යුතුව ඇත. සිනමා කරුවා මේ සිදු කර තිබෙන්නේ වර්තමාන තාරුණ්‍යය මතුපිටින් හුවා දැක්වීමක්ය.

සිනමා පටයක් එසේත් නැත්නම් නිර්මාණයක් ලෙස මෝටර් බයිසිකල් තරමක් අසාර්ථක බව කීමට සිදු වනුයේ එබැවිනි. සැබවින්ම මෝටර් බයිසිකල් අමු නිෂ්පාදනයකි. සිනමා භාෂාව, සිනමා ව්‍යාකරණ වැනි වචන වලින් හැඳින්වෙන කුමක් හෝ දෙයක් ලොව නිර්මාණය වී ඇත්තේ එවන් අමු නිර්මාණ, සිනමා කෘති බවට පත් කිරීම උදෙසාය. ශමීර එකී සිනමා භාෂාව නිවැරදිව භාවිත කළේ නම් මෝටර් බයිසිකල් මීටත් වඩා උසස් කෘතියක් බවට පත්කිරීම අසීරු කරුණක් නොවිය හැකිව තිබුණි. ලොව පුරා සිනමාකරුවෝ සිය නිර්මාණකරණ කාර්‍යයන් හි දී සුසමාදර්ශ භාවිත කරති. ඒවා නීති නොවේ. එහෙත් එකී සුසමාදර්ශ (Paradigms) භාවිතය හරහා සිනමා කෘතිය වඩාත් ඉහළ තලයකට ගෙන ආ හැකි බව ලොව පුරා සිනමාකරුවෝ දශක ගණනාවක් පුරා තහවුරු කර ඇත. මෝටර් බයිසිකල් අධ්‍යක්ෂවරයා ද එවැනි සුසමාදර්ශයන් භාවිත කළේ නම් කෘතිය මීට වඩා යහපත් වනු නො අනුමානය. අමු අමුවේ පුද්ගල හැසිරීම් සහ භෞතික චලනයන් චිත්‍රපටය තුළට එබ්බවීම වෙනුවට වඩාත් සියුම් මනෝභාවයන් ඉස්මතු කිරීමට හැකිව තිබුණි.

(motorbicyclemovie.com)

(motorbicyclemovie.com)

සිනමාව යනු කාලය හා අවකාශය හකුලුවා දැක්විය හැකි ප්‍රබල මාධ්‍යයක් බව ලොව පුරා පිළිගැනෙන්නකි. නමුත් මෝටර් බයිසියිකල් සිනමාපටය තුලින් එම ලක්ෂණය ගම්‍යමාන නොවේ. ඕනෑනම් සිනමාකරුවකුට එක දවසක සිද්ධියකින් තම සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා ගෙන යා හැක. නමුත් එය සිදු කල යුත්තේ ඉතාමත් සීරු මාරුවටය. ප්‍රේක්ෂකයාට එපා වන  ලෙස එය සිදු කලහොත් එකී නිර්මාණය අසාර්ථක එකක් වීම නොවැළැක්විය හැක්කකි. එය එසේ නොවන්නේ ඉහත කී සුසමාදර්ශයන් භාවිතයට ගත් විටය. මෝටර් බයිසිකල් සිනමා පටය රාත්‍රීන් දෙකක් අතර සිද්ධි දාමයකි. බැලු බැල්මට එය ඉතා ප්‍රබලව චිත්‍රපටය ගමන් කරවිය හැකි අන්දමේ කෙටි කාල සීමාවක් වුවත් චිත්‍රපටය පුරා තිබෙන්නේ එක තැන ලතැවෙන ස්වභාවයකි. කොටින්ම චිත්‍රපටය තුළ අනවශ්‍ය දෑ අධිකය. එමගින් සිනමා පටය ප්‍රේක්ෂකයාට කම්මැලි වීම ද නොවැළැක්විය හැක්කකි. කුතුහලය, ත්‍රාසය සහ හාස්‍යය වැනි දෑ ගොඩ නැගීමට අවස්ථා ගණනාවක් සිනමාපටය තුළ තිබියදීත් සිනමාකරුවා ඒවායින් බොහොමයක් මග හැර ගොස් ඇති බව සිතේ. නිරන්තරයෙන් වෙනස් වන සුලු ස්වභාවයක්ද මේ නිර්මාණය තුළ නැත. ඒකකාරී ලෙස හුදෙකලා සිද්ධීන් උලුප්පා දැක්වීමක් සිදු කර තිබේ.

සිනමා නිර්මාණයක හදවත ලෙස සැළකෙන්නේ එහි පිටපතයි. චිත්‍රපටයේ සියයට හැත්තෑ පහක පමණ වැඩ කොටසක් ගැබ්ව ඇත්තේ තිර පිටපත තුළ යැයි විශ්වාස කරමින් කටයුතු කළ ඇල්ෆ්‍රඩ් හිච්කොක්, අකිරා කුරසෝවා, ස්ටීවන් ස්පීල්බර්ග් වැනි සිනමාකරුවන් සිය කෘති හරහා තහවුරු කළේ එම බරපතල සත්‍යයයි. තේමාව කොතෙක් ප්‍රබල වුවත්, රංගනයන් සහ නිෂ්පාදන තාක්ෂණය කොතරම් උසස් වුවත් පිටපත බොල් නම් ඒ නිර්මාණය ෆේල් වීම අනිවාර්යයකි. මෝටර් බයිසිකල් සිනමා නිර්මාණයට සිදු වී ඇත්තේද එය බව අපගේ හැඟීමයි. පිටපතේ තිබෙන අසාර්ථකත්වය තිරය මත දිවෙන රූප මාධ්‍ය හරහා එළියට පැනීමට පටන් ගෙන ඇත. ඇතැම්විට හොඳ පිටපතක් හරහා සුලබ තේමාවකින් වුවත් අනර්ඝ සිනමා කෘතියක් බිහි කිරීම කළ හැක. එමෙන්ම දුර්වල පිටපතක් හරහා අනර්ඝ තේමාවක් වුව ද දියාරු කෘතියක් බවට පත්වීමට  ඉඩ ඇත.

සිනමාකරුවා එක්තරා කෝවක සිට තම ප්‍රකාශනය සිදු කිරීමට උත්සාහ ගෙන ඇත. ඒ සදහා ඔහු තෝරාගෙන ඇත්තේ කොළඹ මුඩුක්කු පරිසරයයි. ඒ පරිසරයේ හිදිමින්ම තම කතාව කියා පෑමට සිනමාකරුවා කටයුතු කරයි. කතාව කියන අතරවායේම මුඩුක්කු සංස්කෘතියේ සැටි කියාපෑමට සිනමාකරුවා උත්සාහ කරන බව ඉවෙන් මෙන් අපට දැනේ. නමුත් ඔහුට එය ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරගන්නට නොහැකි වී ඇත්තේ සිනමා භාෂාව සහ ව්‍යාකරණ පිළිබඳව තැකීමක් නොකිරීම හේතුවෙනි.

එම දුර්වලතාවය හේතුවෙන් මුඩුක්කු පරිසරයේ ඇති සංස්කෘතික ලක්ෂණ පරාසය කැටි කොට ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු සමත් වී නැත. ඒ වෙනුවට හුදෙකලා සිද්ධීන් දෙක තුනක් ආධාරයෙන් ගොඩ යාමට තැත් කලත් එයද අසාර්ථකය. වත්තේ පැවැත්වුණු නැටුම, මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවගේ සොහොයුරාට ජිම්මා විසින් වෙඩි තබා ඝාතනය කිරීම, රංගනගේ අලුත්ම ඩෙනිම් කලිසම සොරකම් කිරීම සහ එය සොරකම් කළා යැයි සැක කරන පුද්ගලයා සමග රණ්ඩු කිරීම වැනි සිද්ධි කිහිපයක් ඔස්සේ සිනමාකරුවා එකී සංස්කෘතිය ගැන හෝඩුවාවක් ලබා දෙයි. නමුත් එය ඊට වඩා නිර්මාණශීලිව සිදු කරන්නට තිබුණු දෙයකි. මීට පෙර උබෙර්තෝ පැසොලිනි වැනි සිනමාකරුවන් කොළඹ නාගරික පැල්පත් ජීවිත සිනමා කෘති හරහා විදාරණය කළ ආකාරය පිළිබඳව ශමීර මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ව තිබුණි.

උදෑසන හමුවී ප්‍රේමාන්විතව දවස ගෙවන්නට උත්සාහ කරන පෙම්වතුන් යුවළක් වෙනුවෙන් සිනමා පටයේ වැඩි කොටසක් වෙන් කර තිබේ. චිත්‍රපටයක් නැරඹීම සදහා මේ යුවළ උත්සාහ කළත් එය ව්‍යර්ථ වෙයි. පාර්ක් එකේ පෙම් කිරීමට ගිය විට එහි ආරක්ෂකයන් විසින් විනයානුකූලව හැසිරෙන්න යැයි ප්‍රකාශ කළ නිසා එතනද රැදී සිටීමට ඔවුන්ට  නොහැකි වෙයි, මුදල් ගෙවා කාමරයකට යන මෙම පෙම්වතුන් යුවළ ලිංගික හැසිරීමකට මුල පුරයි. අවස්ථා දෙකකදී රූම් බෝයිස්ලා පැමින දොරට තට්ටු කිරීම නිසා ඔවන්ගේ එම හැසිරීමට බාධා පැමිණවූ බව සිනමා කරුවා විසින් කියා පායි.  ඊළගට ඔවුන් මුහුදු වෙරළක පෙම් කරන දර්ශනයකි. තැඹිලි වෙළෙන්දෙක් සමග සංවාදයක් ද ඇතිවෙයි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට තිත තැබෙන්නේ මෙතැනදීය. පෙම්වතා තමන්ට ඇති සිහින ලිස්ට් එක පෙම්වතියට කියාගෙන කියාගෙන යයි. නමුත් පෙම්වතිය පවසන්නේ මේ සම්බන්ධයට කිසිසේත්ම තම මව සහ පියා කැමැත්තක් නොදක්වනු ඇති බවය. ඉන් පසු ඒ ප්‍රේමය අහවර වෙයි. සිනමාකරුවාට අනුව පෙම්වතුන්ට තිබෙන අනේකවිධ බාධා මේවාය. මෙවැනි අතිශය ග්‍රාම්‍ය සිද්ධීන් හරහා තාරුණ්‍යයේ අර්බුධය ප්‍රකාශනය කිරීමට තැටමීම අදේශපාලනික කාරණයකි.  

(motorbicyclemovie.com)

(motorbicyclemovie.com)

සිනමා කෘතියක් හරහා බොහෝ වෙලාවට ප්‍රෙක්ෂකයා බලාපොරොත්තු වන්නේ මැජික් එකකි. එසේත් නැතිනම් පෙර නොවූ විරූ දෙයකි. ඇතැම් විට ප්‍රාතිහාර්‍යයන් බලාපොරොත්තු වන ප්‍රෙක්ෂකයන්ද සිටිති. ඒ කෙසේ වෙතත් ප්‍රෙක්ෂකයා බලාපොරොත්තු වන්නේ සිනමාරූපීභාවයෙන් යුක්ත නිර්මාණයකි. සිනමා පටය නිර්මාණ කළේ ආධුනිකයෙක්ද ,ප්‍රවීණයෙක්ද යන්න වැදගත් නැත. රූගත කළේ රන්මිනිතැන්නේද බෙලිහුල්ඔයද යන්න අදාළ නැත. රූගත කළ කැමරාවේ තාක්ෂණය හෝ ලබා ගත් සම්මාන ප්‍රමාණය වැදගත් වන්නේ ද නැත. ප්‍රෙක්ෂකයා බලාපොරොත්තු වන්නේ එකම එක දෙයකි. එනම් වින්දනය (Entertainment) යි. ඒ රසය ජනනය කිරීමට නිර්මාණකරුවා අපොහොසත් නම් එතනින් එහාට ප්‍රේක්ෂකයා ඒ නිර්මානය සමග බැදෙන්නේ නැත. තේමාව කුමක් වුවත් පිටපත අවුල් නම් ඒ පිටපත අනුව ගොඩනැගෙන නිර්මාණයද ගැටළුසහගත බව ඉහත දී සදහන් කළේ එබැවිනි.

මෝටර් බයිසිකල් සිනමා පටයේ සිද්ධි සමුදාය දෙස බැලූ කල්හි ඒවා සමාජයේ අනෙක් අයටද පෙනෙන දේවල්ය. නො එසේ නම් සුලබ දේවල් ය. උදාහරන ලෙස අම්මාගේ මාලය උකස් තබා බයිසිකලයක් ගැනීම, වත්තෙ කුඩු වලට ඇබ්බැහි වූ තරුණයකු තම අලුත්ම ඩෙනිම් කලිසම සොරකම් කිරීම සහ එතනදී ඇතිවන රණ්ඩුව, මෝටර් බයිසිකලයේ පෙම්වතිය සමග යන විට ඇති වන සිද්දි, විහාරමහාදේවි උදයානයේ ඇති වන සිද්දිය, පෙම්වතිය හැර යාම, මවගේ මාලය උකස් තබා ගත් බයිසිකලයේ ඇත්ත අයිතිකරුවන් විසින් බයිසිකලය රැගෙන යාම සහ එතනදී ප්‍රහාරයකට ලක්වීම අවසානයේ ජිම්මාට වැදිය යුතුව තිබුණු වෙඩි පහරට ලක්වී මැරුම් කෑම.

ඒවා සමාජය තුළ නිරන්තරව පෙනෙන්ට ඇසෙන්නට තිබෙන සිදුවීම්ය. ඕනෑම ස්ථරයක සිටින කාට වුවත් ඉතා හොදින් දර්ශනය වන සිදුවීම්ය. නමුත් සමාජයට නොපෙනෙන යථාර්ථයක් මේ සිද්ධීන් පත්ළෙහි තිබේ. සිනමා පටයට අනුව රංගන තරුණයාට අලුත් මෝටර් බයිසිකලයක් මිලදී ගත නොහැක්කේ ඇයි? ඒ සල්ලි නොමැතිකම නිසාය. එය නැවත නිර්මාණයක් හරහා පෙන්වීමට අවශ්‍ය නැත. ඒ ඇයි? මුදල් නැත්නම් බයිසිකලයක් ගැනීමට නොහැකි බව සමාජය දන්නා බැවිනි. නමුත් මුදල් නැත්තේ ඇයිදැයි සමාජය නොතකයි. සමාජයට ඇඟිල්ලෙන් ඇන කිව යුත්තේ ද එයයි. තරුණයාට  ස්ථිර රස්සාවක් නැති බව සිනමා පටයෙන් කියයි. නමුත් කිය යුත්තේ රැකියාවක් නැත්තේ ඇයිදැයි යන්නය. නිර්මාණකරුවාගේ දැක්ම  විය යුත්තේ සමාජයට නොපෙනෙන යටිපෙළ මතු කර දැක්වීමය.

නිර්මාණකරුවෙකුගේ අරමුණ විය යුත්තේ උසස් රසවින්දනයක් හරහා ප්‍රේක්ෂකයා ආනන්දයෙන් ප්‍රඥාවට සමීප කරවීම මිස හොඳින්ම පෙනෙන්නට තිබෙන දේවල් ගෙඩිය පිටින් යළිත් සමාජයට පෙන්වීම නොවේ. මාගේ විවේචනය ඒ සම්බන්ධයෙනි.

මේ කරුණු සම්බන්ධයෙන් ගත් කළ ශමීර කළයුතුව තිබූ ගෙදර-වැඩ මගහැර ඇතැයි අපට දැනේ. සිනමාකෘතියකට පෙර සිනමාකරුවෙකු විසින් කළ යුතු ‘ගෙදරවැඩ‘ (Home Work) බොහෝ ය. ඒවා මගහැර සිනමා කෘතියක් බිහිකිරීම හරහා සිදුවිය හැක්කේ අර්ථයකට වඩා අනර්ථයකි. අහස්ගව්ව, පාරදිගේ, මිල්ලෙ සොයා, මචං, City of God, Slumdog Millionaire වැනි චිත්‍රපට හරහා ඔහු මීට වඩා දේවල් උගත යුතුව තිබූ බව අපගේ අදහසයි. තාරුණ්‍යය, ඔවුන්ගේ සිහින, ඒවා බිඳීයාම, විරැකියාව වැනි කරුණු සිනමා කෘතියකට ගෙන ඒමේ දී හුදෙක් එකී ගැටලු තොරොම්බල් කිරීමකින් එහාට ගිය කියවීමකට ශමීර රංගන වැනි තරුණ සිනමාකරුවන් පෙළඹිය යුතු ය. එය ඔවුන්ගේ පරම්පරාවට ඇති මගහල නොහැකි වගකීමක් බව අප විශ්වාස කරමු. එබැවින් මෙම විවේචනාත්මක සටහන අග්ගිස්සට මේ වචන ටිකත් එක්කාසු කළ යුතුය. ශමීර රංගන නාඔටුන්න නමැති තරුණ සිනමා කරුවාගේ තේරීම ඉතාමත් කාලෝචිත වුවත් ඒ නිර්මාණය තුළින් අප විදි දේවල් පිළිබදව මෙලෙස අව්‍යාජ සටහනක් තැබීමට කල්පනා කළේ එකම එක හේතුවක් මතය. එනම් ‘ශමීර, ඔයාගෙ චිත්‍රපටිය මාරයි… ‘ කියා මුරුංගා අත්තේ තැබීමකින් එහා ආදරණීය බලාපොරොත්තුවක් සිංහල සිනමාව අරභයා ශමීර වැන්නන් කෙරෙහි තැබිය හැකි සහ තැබිය යුතු වන හෙයිනි.

Related Articles

Exit mobile version