මළගිය ඇත්තන්ගේ සිරුරු මමී කළේ පුරාණ ඊජිප්තුවේ පමණක් කියලයි බොහෝ දෙනෙකු දන්නේ. නමුත් මේ සිරිත ලොව පුරා විවිධ සංස්කෘතීන්හි විවිධාකාරයෙන් පිළිපදිනු ලැබුණා. එවන් එක් රටක් ටිබෙටය. චීන ආක්‍රමණයෙන් පසු මෙම සිරිත තව දුරටත් පැවැතගෙන එනවාදැයි සැක නමුත්, ඊට පෙර නම් මෙය සිදු වූ බවට වාර්තාවන් බොහොමයි. අප මින් පෙර ඔබට ඊජිප්තු මමියක් සකස් කෙරුණු ආකාරය ගැනත්, ටිබෙටයේ ආකාශ දානය නම් සිරුරු බැහැර කිරීමේ සිරිත ගැනත් ලිපි ගෙන ආවා. අද, මේ ලිපියෙන් කතා කෙරෙන්නේ ටිබෙටයේ මමිකරණය ගැනයි.
ටිබෙටයේ සිරුරු බැහැර කිරීමේ ක්‍රම
ටිබෙටයේ මූලිකවම භාවිත වන අවමංගල්‍ය චාරිත්‍ර ක්‍රම තිබෙන්නේ කීපයයි. එයින් බහුලවම භාවිත වන ක්‍රමයන් පිළිබඳව අප කලිනුත් සඳහන් කළ, මේ ලිපියෙන් සාකච්ඡා කළා. ඒ ක්‍රමයන්ට අමතරව මේ ලිපියෙන් සාකච්ඡා වන මමිකරණය සිදුවෙනවා.
ටිබෙට් බුදු දහමේ භික්ෂූන්ගේ තනතුරු නාමයන් කීපයක් වෙනවා. ලාමාශ්‍රමයක සාමාන්‍යම සේවකයා “භික්ෂුව” යනුවෙන් හැඳින්වෙනවා. මේ අතර කම්කරුවන්, ගොඩනැගිලිකරුවන්, පොලිස් භික්ෂූන්, සහ කසල ශෝධකයින් ද සිටිය හැකියි. මොවුන් භික්ෂූන් ලෙස හැඳින්වූව ද, ආගම ඉගෙනගන්නේ හෝ පිළිපදින්නේ නැහැ.
පූජ්‍යත්වය අතින් ගතහොත් පූජකවරය ඇරඹෙන්නේ “චෙලා” යනුවෙන් හැඳින්වෙන සාමණේර, නැතහොත් නවක භික්ෂූන්ගෙන්. ලාංකික භික්ෂුවරයන්ට සැසඳුවහොත්, “ට්‍රපා” යනුවෙන් හැඳින්වෙන භික්ෂුව උපසම්පදා ලැබූ භික්ෂුවක තත්ත්වයේ සිටින බව කිව හැකියි. ඉන්පසු ලාමා ධුරයත්, එයිනුත් පසු ආශ්‍රමාදිපති ධුරයත් වනවා. ඇතැම්විට ලාමාවරුන් මේ ආශ්‍රමාධිපතිවරුන්ට වඩා ඉහළින් සැලකෙනවා. ඒ, ඔවුන්ගේ පෙර උත්පත්තීන් තහවුරුව ඇති විට යි. අප මෙහි සඳහන් කරන මමීකරණය භාවිත වන්නේ පෙර උත්පත්තීන් සහතික වූ ලාමා සහ ආශ්‍රමාධිපතිවරුන් සඳහා පමණයි.
මහායානයේ එක් කොටසක් වන ටිබෙට් බුදු දහමට අනුව, ඔවුන්ගේ පෙර උත්පත්තීන් තහවුරු කරගනු ලැබූ ලාමාවරුන්ගේ සිරුරු මරණින් පසු සංරක්ෂණය කෙරෙනවා. මේවා සංරක්ෂණයෙන් (එම්බාම් කිරීමෙන්) පසු ලාමාශ්‍රමයන්හි වීදුරු පෙට්ටි වල දමා ප්‍රදර්ශනයට තැබෙන අතර, වඩාත්ම උසස් ලාමාවරුන්ගේ සිරුරු සංරක්ෂණය කර, රනින් ආලේප කෙරෙනවා.
ලාමාවරයෙකු මියයෑමෙන් පසු
සාමාන්‍ය ටිබෙට් ක්‍රමයට අනුව නම් යමෙකු මිය යෑමෙන් අනතුරුව සිරුර රෙදි කඩක දවටා, දින තුනක් තිස්සේ බෞද්ධ භික්ෂූන් නිවසට පැමිණ මන්ත්‍ර හා ගාථා සජ්ඣායනා කරනවා. ඒ, මියගිය තැනැත්තාගේ ආත්මයට සිරුර අත්හැර යාමේ ගමනට මග පෙන්වීමට යි. නමුත් මමීකරණයේ දී බොහෝවිට එම සිරිත සිදුවන්නේ නැහැ. මන්ද යත්, එම ක්‍රියාවලියට ලක්වෙන ආශ්‍රමාධිපති තැන හෝ ලාමාවරයා තමා යා යුතු මාර්ගය දන්නා ප්‍රඥාවන්තයෙකු නිසා යි.
මරණයෙන් පසු පද්මාසනයෙන් හිඳුවන සිරුර, එක් රැයක් තනි නොකොට තබා, පසුදින අළුයම පීඨිකාවක් මත තබා, ගාථා සජ්ඣායනා කරමින් ලාමාශ්‍රමයේ පන්සලක් තුළ පොළව යට පිහිටන කුටියකට ගෙන යනු ලබනවා. මෙහි ගල් ලෑල්ලක් මත තැබෙන සිරුර, ඉන්පසු සංරක්ෂණය කිරීම ඇරඹෙන්නේත් ලාමාවරුන් කීපදෙනෙකු අතින්.
සිරුර පිළියෙල කිරීමේ ක්‍රියාවලිය
පළමුව ලාමාවරයාගේ සිරුර එය ඇඳ සිටින ඇඳුම් පැළඳුම් ගලවා ඉවත් කිරීමෙන් අනතුරුව සෝදා හැරෙන්නේ එය පද්මාසනයෙන් සිටියදීම යි. ඉන්පසු සිරුරේ සාමාන්‍ය විවරයන් හරහා ඉවත්කර ගන්නා අභ්‍යන්තර ඓන්ද්‍රීය කොටස් බුජම් තුළට දමා, මුද්‍රා තැබෙනවා. සිරුරේ අභ්‍යන්තරය හොඳින් සෝදා වියළාගැනීම එයින් පසු සිදුවන අතර, විශේෂ වර්ගයක ලැකර් ද්‍රාවණයක් එය තුළට වත්කරනු ලබනවා. මෙම ලැකර් ද්‍රාවණය සිරුර තුළ දී තද බවට පත් වී, සිරුරට අදාල නියමිත හැඩය පවත්වාගනු ලබනවා.
ලැකර් ද්‍රාවණය සවි වූ පසු, සිරුරේ අභ්‍යන්තරය යම් පිරවීම් ද්‍රව්‍යයකින් පුරවා, එයට තවත් ලැකර් වත්කරණු ලබන්නේ සිරුර හැකිලීම වැළැක්වීමට යි. අනතුරුව සිරුරේ පිටතට ද පෙර කී ලැකර් වර්ගය ආලේප කර වියළීමට හරිනවා. ඉන්පසු එය මතින් පොතු ලෙස ගලවා ඉවත් කළ හැකි ද්‍රාවණයක් ගල්වා සිනිඳු සේද රෙදි ඒ මත අලවන්නේ, සිරුරට හානියකින් තොරව ඒවා පසුවට ගලවා හැරිය හැකි වන ආකාරයට යි. පසුව වෙනස් වර්ගයක ලැකර් ඒ මත ගල්වන අතර, සිරුර මීළඟ සංරක්ෂණ ක්‍රියාවලියට සූදානම් බව සැලකෙනවා.
පෝරණුවේ තැබීම
සේද රෙද්දෙන් වසා ලැකර් ආලේප කළ සිරුර එක් දිනක් සහ එක් රැයක් නොසෙල්වෙන අයුරින් පද්මාසනයෙන් තබන්නේ එය වඩාත් සවි වීමට යි. ඉන්පසු එය ඉන් පහළ තට්‍ටුවේ ඇති, එයට යටින් පෝරණුවක් සහිත කුටියක් වෙත ගෙන යනු ලබනවා.
මෙම කුටියේ බිම ආවරණය වී ඇත්තේ විශේෂ පිටි වර්ගයකින්. එහි මධ්‍යයේ පද්මාසනයෙන් වන සිරුර තබනු ලබනවා. මේ වන විට එයට යටින් ඇති පෝරණුව දැල්වීමට භික්ෂූන් සූදානම් වෙමිනුයි සිටින්නේ. ඒ අතරේ ටිබෙටයේ එක් දිස්ත්‍රික්කයකින් ගෙන එන විශේෂ ලුණු වර්ගයකිනුත්, ඖෂධ සහ ඛණිජ ලවණ මිශ්‍රනයකුත් ගෙන, සිරුර අඩංගු කුටියේ පොළවේ සිට සිවිලිම දක්වා එයින් පුරවනු ලබනවා. එම කුටියේ දොර වසා, ලාමාශ්‍රමයේ නිල ලාංඡනයෙන් මුද්‍රා තැබීමෙන් අනතුරුව, එම කුටියට පහළින් ඇති පෝරණුව දල්වන්නේ දරත්, යැක් ගව ගොමත්, වෙඬරුත් භාවිතයෙන්. සතියක් තිස්සේ දැල්වෙන මෙම උඳුනෙන් ඉන් ඉහළින් පිහිටන කුටියට උණුසුම් වායු දහරා මුදාහරිනවා.
රන් ගැල්වීමේ ක්‍රියාවලිය
සතියක් පුරා ඉන්ධන දමමින් අවුළුවන පෝරණුවට සත්වන දිනයෙන් අනතුරුව ඉන්ධන යොදන්නේ නැහැ. එහි ගින්න නිවෙන්නට හරිනවා. එකොළොස්වන දවස පමණ වන විට කුටියට ළඟා වීමට ඇති ගල් කොරිඩෝරයන් සිසිල්වන අතර, එහි යන ලාමාවරුන් විසින් කුටියේ මුද්‍රා හැර විවෘත කරනු ලබනවා. එයින් දින දෙකක් පමණ තිස්සේ භික්ෂූන් විසින් කුටිය තුළ ඇති තද ලුණු සහ ඖෂධ මිශ්‍රනය දෑතින් කඩමින් ඉවත් කරන්නේ, ආයුධ භාවිතයෙන් සිරුරට විය හැකි හානි වළක්වාගැනීමට යි.
සියළුම ලුණු කඩා ඉවත් කර සිරුර පමණක් ඉතිරි වීමෙන් අනතුරුව, එය පද්මාසනයෙන් හිඳිද්දීම ඔසවා පළමු කුටියට රැගෙන යනු ලබනවා. එහි දී එය ආවරණය කර ඇති සේද රෙදි එකින් එක ගලවා ඉවත් කෙරෙන අතර, එය මත තවත් ලැකර් ස්ථරයක් ආලේප කෙරෙනවා. ඉන් අනතුරුව සිරුර බාර දෙන්නේ රන්කරුවන්ට යි.
භික්ෂු රන්කරුවන් විසින් ඉතා සියුම් රන් පත්‍ර ස්ථරයෙන් ස්ථරය සිරුර මත ආලේප කර මාංශය වැසෙන්නට සලස්වන අතර, අවසානයේ සිරුරේ තිබූ සියළුම නැමුම්, රැලි, සහ වක්‍රයන් මතුවන සේ රන් ගැල්වූ ලාමාවරයා ලාමාශ්‍රමයේ ඇති “ආත්මභාවයන්ගේ ශාලාව”ට ගෙන යනවා.
ආත්මභාවයන්ගේ ශාලාව
මෙම ශාලාවට ගෙන යන සිරුර තැබෙන්නේ රත්තරනින් තැනූ ආසනයක් මත යි. මෙය තුළ, ශතවර්ෂයන් බොහොමයක් පැරණි සිරුරු විශාල සංඛ්‍යාවක් මෙවැනි රන් අසුන් මත හිඳුවා තබා තිබෙනවා. එකම ආත්මයේ පුනරුත්පත්තිය යැයි විශ්වාස කෙරෙන සිරුරු කීපයක්ම මේ ශාලාව තුළ තිබිය හැකි යි. 1920 වසර වන විට මෙහි රන් ගැල්වූ සිරුරු 98ක් තැම්පත් කර තිබූ වග එක්තරා ටිබෙට් ලාමාවරයෙකු ලියූ ස්වයංචරිතාපදානයේ දැක්වෙනවා.
13 වන ලාමාවරයා 1933 දී මෙලොව හැරයෑමෙන් අනතුරුව, උන්වහන්සේගේ සිරුරත් මෙලෙසටම සංරක්ෂණය කර, රත්තරන් බ්‍රොකේඩ් සිවුරක් අන්දවා, ලාසාවේ පෝටාලා ආශ්‍රමයේ පොට්‍රන්ග් මර්පෝ මාළිගයේ සිව්වන මහළේ තැම්පත් කෙරුනා. ඒ, උන්වහන්සේ සඳහා විශේෂිත වූ ස්ථුපය නිර්මාණය කෙරෙනා තුරු යි. අද වන විට එම සිරුර උන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය කළ සොහොන්ගෙයි තුළ ස්ථුපයේ තබා තිබෙනවා.
මේ වන විට පොට්‍රන්ග් මර්පෝහි දලයි ලාමාවරුන් නවදෙනෙකුගේ රන් ස්ථුපයන් පිහිටා තිබෙනවා. ඒවා පිහිටන සොහොන්ගෙවල් ඉදිරියේ ඔවුන්ගේ ජීවත්ව සිටි කල පෙනුම සහිත, උස් රිදී පිළිමයක් තබා තිබෙනවා. සොහොන්ගෙයහි රන් වහල කිලෝමීටර ගණනාවක් ඈතට පෙනෙන බවයි පැවසෙන්නේ.
මීට අමතරව, සාමාන්‍ය ලාමාවරයෙකුගේ සිරුර සංරක්ෂණය කළ පසු, රන් නොගල්වන්නේ නම්, ලාමාවරයාගේ තත්ත්වය අනුව රනින්, රිදියෙන්, පිත්තලෙන්, ලීයෙන්, හෝ මැටියෙන් කළ ස්ථුපයක් තුළ එම සිරුර තැම්පත් කෙරෙනවා.
මූලාශ්‍ර:
The Third Eye by Lobsang Rampa
Time.com
The Dalai Lama : A Biography by P. C. Marcello
Modern Mummies by C. Quigley
cover image: hayatbilgileri.com