Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපීය විල් ද්‍රෝණිවලින් හමුවන මමීකෘත මිනිසුන්ගේ කතාව

1950 වසරේ වසන්තයේ දිනයක, ඩෙන්මාර්කයේ ටොලන්ඩ් නම් කුඩා ග්‍රාමයේ විසූ සොහොයුරන් දෙදෙනකු අසල ඇති විල් ද්‍රෝණියක් වෙත යන්නේ එහි වූ පීට් පස් එක්කාසු කරගැනීම සඳහා යි. එහිදී ඔවුන් මඩෙහි එරී පවතින, තරමක් විශාල යමක් නිරීක්ෂණය කරනවා. වැඩිදුර පිරික්සීමේ දී ඔවුනට ප්‍රත්‍යක්ෂ වන්නේ එය මිනිස් මළ සිරුරක් බව යි. කිසිදු විශාල උපද්‍රවයක් නොමැති ව ආරක්ෂාකාරී ව තිබූ එය, බැලූ බැල්මට ඉතා මෑතක දී මිය ගිය අයකුගේ මෙන් දිස්වුණා. සම්පූර්ණයෙන් ම මඩ තැවරී තිබුණු එහි ඇහිබැම, රැවුල් කොට මෙන් ම මුහුණෙහි රැලි ආදියත් ඉතා ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට තිබුණා.

හිසෙහි සම් තොප්පියක් තිබූ අතර, මෙය මිනිමැරුමක් යැයි සැක කළ දෙසොහොයුරන් වහා ම ඒ පිළිබඳ ව ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කළා. මේ තදාසන්න ව එම ප්‍රදේශයේ දී තරුණයකු අතුරුදහන් ව තිබූ අතර, මේ ඔහුගේ මළ සිරුර යැයි අනුමාන කළ පොලිසිය වහා ම එම ස්ථානයට පැමිණ මළසිරුර පරීක්ෂා කිරීම ආරම්භ කළා. එහෙත් ඔවුනට ඉක්මනින් ම ප්‍රත්‍යක්ෂ වූයේ එය එම තරුණයාගේ නොවන බව යි. එමෙන් ම මොහුගේ සම් තොප්පිය වැනි දේ ගැන සැක සිතූ ඔවුන් වහා ම සිරුර අධිකරණ වෛද්‍යවරුන් වෙත යොමු කළා. එහිදී අනාවරණය වූයේ අපූර්ව දෙයක්. එනම් මේ සිරුර අද ඊයේ ජීවත් වූවකු ගේ නොවන බව යි.

 ටොලන්ඩ් හිදී හමු වූ සිරුරෙහි ස්වරූපය- Robert Harding – Alamy Stock Photo 

වසර දෙදහසකට වඩා පැරණි මමිකෘත සිරුරක්

ඩෙන්මාර්කයේ ටොලන්ඩ් ග්‍රාමයෙන් හමු වූ සිරුරේ ඓතිහාසික වටිනාකම වටහා ගත් ඩෙන්මාර්ක් බලධාරීන් එම සිරුර වහා ම විශේෂ වෝහාරක වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර, එය භාර වූයේ ඔර්හුස් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයකු වන පීටර් වී. ග්ලොබ්ට යි. ඔහු කඩිනමින් එම සිරුර හා ඒඅවට ඇති පීට් පස් විශාල දැව පෙට්ටියක බහා සිල්ක්බෝග් කෞතුකාගාරය වෙත ගෙන්වා ගැනීමට පියවර ගත්තා. එහි දී ඉතා සූක්ෂම ලෙස පර්යේෂණ පැවැත්වුණු අතර, එහිදී අනාවරණය වූයේ, මිය ගිය තැනැතා අවසන් වතාවට ගත් ආහාරවල කොටස් ඒ වන විටත් ඔහුගේ අතුණුබහන්වල සුරැකිව ඇති බව යි. ඒවා සහ විකිරණශීලී කාබන් පරීක්ෂාවෙන් තහවුරු වූයේ මෙම සිරුර පැහැදිලිව ම වසර 2000 කට වඩා පැරණි බව යි. තවදුරටත් පරීක්ෂා කිරීමේ දී මෙය රෝමානු යකඩ යුගයටත් පෙර ජීවත් වූ අයකුගේ බැව් පෙනී ගිය අතර, බොහෝ විට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දී ජීවත් වූ අයකුගේ බවට තීරණය කෙරුණා. පීට් පසෙහි තත්ත්වයන් නිසා එය ස්වභාවික ව මමිකරණයට ලක් වී සියවස් ගණනාවක් නිරුපද්‍රිත ව පැවතී තිබෙනවා.

උතුරු යුරෝපය පුරාවට හමුවන සිරුරු

දහ අට වැනි සියවස තරම් ඈත කාලයක සිට මේ වනතුරු උතුරු යුරෝපයේ විල් ද්‍රෝණි ආශ්‍රිත ව ඇති පීට් පස්වල වැළලී තිබී මළ සිරුරු සියගණනක් හමු වී තිබෙනවා. මින් සමහරක් ක්‍රිස්තු පූර්ව 8000 තරම් පැරණි ඒවා බවට තහවුරු වී තිබෙනවා. පසුකාලීනව ‘ටොලන්ඩ් මිනිසා’ යනුවෙන් හඳුන්වන්නට යෙදුණු, එම මළසිරුර ඇතුළු බොහෝ සිරුරු ඉතාමත් ආරක්ෂිත ව පරිරක්ෂණය වී තිබුණු අතර, ඒවායේ සම, අතුණුබහන්, නිය, හිසකෙස්, හැඳ සිටි ඇඳුම් වැනි බොහොමයක් දේ නිරුපද්‍රිත ව තිබුණා. මේවා ගැහැනු, පිරිමි, බාල, මහලු විශේෂයක් නොමැති ව සම ප්‍රමාණවලින් හමු වී ඇති අතර, රජවරුන්, මෙහෙකරුවන්, රණශූරයන් යැයි නිගමනය කළ හැකි අයගේ සිරුරු ද මේ අතර වෙනවා.  විශේෂ ම කාරණය වන්නේ, මින් අති බහුතරයක් කුරිරු ලෙස ඝාතනය කොට, සිතා මතාම මේ විල් ද්‍රෝණිවල පසට යට කර ගොස් ඇති බවට සාක්ෂි හමුවීම යි. ටොලන්ඩ් මිනිසා විෂයෙහි, ඔහුගේ ගෙල වටා තොණ්ඩුවක් වැනි යමක් තිබුණා. නිරුවතින් සිටි ඔහු දණගසාගෙන සිටින ස්වරූපයක් ද දිස් වුණා. මේ අනුව බොහෝ විට ඔහු එල්ලා මැරීමෙන් අනතුරු ව, මෙලෙස පීට් පසෙහි දමා යන්නට ඇති බැව් සැලකෙනවා. මේ අනුව විද්වතුන් මත පළ කළේ, අතීතයේ උතුරු හා බටහිර යුරෝපයේ විසූවන් විසින් ආගමික බිලි පූජා සිදු කරන්නට ඇති බව හා, ඉන් අනතුරු ව එම සිරුරු විල් ද්‍රෝණි අවට පීට් පසට යට කරන්නට ඇති බව යි. 

පීට් පස් සහිත විල් ද්‍රෝණියක්- flickr – ronlayters

 

පීට් පසෙහි සිරුරු පරිරක්ෂණය වන ආකාරය

පීට් පසෙහි ‘ස්පැග්නන්’ නම් දීර්ඝ දාම අණුවක් හමු වනවා. මෙය බැක්ටීරියා මගින් ස්‍රාවය කරන එන්සයිම සමඟ ප්‍රතික්‍රියා කරන අතර, ඒ නිසා කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම වලකිනවා. ඒත් සමඟ ම ස්පැග්නන් අස්ථි පටකයෙන් කැල්සියම් වෙන් කරන අතර මේ නිසා අස්ථි රබර් වැනි තත්ත්වයකට පත් වෙනවා. පීට් පසෙහි හ්‍යුමික් අම්ලය ඇති අතර, එය මෘදු පටකවලින් ජලය ඉවත් කිරීමට ඉවහල් වෙනවා. මේ නිසා පීට් සහිත මඩ ගොහොරුවල ගිලී පවතින මිනිස් සිරුරක සම ලෝකඩ පැහැයට හැරී ඝණ වී, පරිරක්ෂණය වෙනවා. සරලව ම, මෙලෙස පීට් පසට යට කරන සිරුරු ස්වභාවිකව ම මමිකරණයට ලක් වෙනවා.

පීට් පසෙන් හමු වූ සිරුරු ගැන විවිධාකාරයේ මත

පසුකාලීන ව යුරෝපාකරයේ විල් ද්‍රෝණි අවට පීට් පසෙන් හමු වූ සිරුරු පිළිබඳ ව විවිධාකාරයේ පර්යේෂණ සිදු කෙරුණා. මෙහිදී වැඩිදුර අනාවරණ රාශියක් සිදු වුණා. සමහර ප්‍රදේශවලින් හමු වූ සිරුරු හොඳ අස්වැන්නක් ලබා ගැනීම උදෙසා දෙවියන්ට කැප කළ මිනිසුන්ගේ බවට සාක්ෂි හමු වී ඇති අතර, ඒ බොහෝ දෙනා උසස් සමාජ තත්ත්ව තිබූ අය බවට හඳුනාගෙන ඇත්තේ හොඳින් සකසා තිබූ නිය වැනි දේ වලිනු යි. විශේෂයෙන් අයර්ලන්තයේ ක්‍රොගන් හිල් පෙදෙසෙන් හමු වී ඇති ‘ඕල්ඩ්ක්‍රොගන් මෑන්’ නම් අන්වර්ථ නම ලද සිරුර රජකුගේ හෝ රාජකීයයකුගේ එකක් බැව් සැලකෙනවා. එය වැඩි අස්වැන්නක් ලබාගැනීමට ඝාතනය කර දෙවියන්හට කැප කර සිරුරක් බව සැලකෙනවා. තවත් පෙදෙස්වලින් හමු වූ සිරුරු, සටන්වලින් මියගිය රණ ශූරයන්ගේ මෙන් ම, ඝාතනය වූ රජුන්ගේ හා කුමාරවරුන්ගේ බවට සැක කෙරෙනවා. අයර්ලන්තයෙන් හමු වූ 16 වන සියවසට අයත් කාන්තා සිරුරක් පීට් පසට යට කර ඇත්තේ ඇය සිය දිවි නසාගැනීම හේතුවෙන්, කතෝලික පල්ලිය ඇගේ සිරුර, තමන්ට අයත් සුසාන භූමියක තැන්පත් කිරීමට ඉඩ නොදීම නිසා බවට අනුමාන කෙරෙනවා.

 ඕල්ඩ්ක්‍රොගන් මෑන් – pages.vassar.edu

පසුවදන

වර්තමානය වන විටත් විටින් විට උතුරු හා බටහිර යුරෝපයේ පීට් පස සහිත විල් ද්‍රෝණිවලින් ඉඳහිට පෞරාණික සිරුරු මතු වෙනවා. මින් සමහරක අතීත කතා බොහෝ දුරට හෙළි වී තිබුණත්, බොහොමයක තොරතුරු අද වන විටත් නිසියාකාර ව සොයාගැනීමට හැකි වී නැහැ. නිශ්චිතව ම කිව හැකි කාරණාව වන්නේ යුරෝපාකරයේ විල් ද්‍රෝණි අවට පස, මෙතෙක් වර්තමානයේ කිසිවකුත් නොදන්නා රහස් ගොන්නක් සඟවාගෙන සිටින බව යි. 

කවරයේ පින්තූරය - ටොලන්ඩ් මිනිසා -Arne Mikkelsen 

මූලාශ්‍ර:

Nautil.us

Smithsonianmag.com

allthatsinteresting.com

Related Articles