අසංක සායක්කාරගේ නවතම නාට්‍යය නිර්මාණය, “මං කෙළින් මිනිහෙක්” ගැන ඔහුත් සමග කළ සාකච්ඡාවකි මේ…
“මං කෙළින් මිනිහෙක් ”නාට්‍යය හරහා ගෙනඑන්නේ කුමනාකාරයේ අදහසක් ද?
අපි විශ්වාස කළා කෙළින් දේශපාලනය තිබ්බෙ වමේ කියලා. දකුණේ දේශපාලනයට වඩා වමේ දේශපාලනයට අපි ආකර්ෂනය වුණා. මොකද එහි තිබුණු සෘජු බව නිසා. හැබැයි ඉතිහාසයේ අත්දැකීම් එක්ක ගත්තට පස්සෙ ඒ කෙළින් කියන එක ධනේෂ්වරයේ ඇදගහපු ඒවාටත් වඩා අම්බානක ඇද ගහපු තැන් අපි දකිනවා. මේ උත්ප්රාසය තමයි මම නාට්‍ය ඇතුළෙ කතා කරන්නෙ. ඉතින් ඒ උත්ප්රාසයට සියයට පනහක විතර දායකත්වයක් වමේ දේශපාලනය සපයනවා. ඔය කාරණා දෙක තුනම එකතු කරගෙන තමයි කෙළින් මිනිහා සාකච්ඡාවට ගේන්නෙ.
දක්ෂිණාංශික දේශපාලනයට දැඩි විවේචනයක් ඔබ අතින් නොකෙරුණු නමුත් වමට බරපතල විවේචනයක් ගේනවා. එතකොට වමෙන් ගිහින් දකුණේ ස්ථානගත වෙච්ච බොහොමයක් පුද්ගලයන් අනුගමනය කරපු ක්‍රියාමාර්ගයම නේද ඔබත් අනුගමනය කරන්නෙ?
විවේචනය කියන්නෙ විනාශය නෙමෙයි. වම විවේචන බාර නොගැනීමම තමයි වමට කෙළවීමට එකම හේතුව. විවේචන කරන මිනිස්සුන්ව වම විසින් කොන් කළා. ඒක තමයි ඒගොල්ලො හදාගෙන ආපු හැඩය. ආගමික කල්ලියක් වගේ හැදුනනෙ මේක. උඩින් කියන දේ විශ්වාස කරන කල්ලිය නඩත්තු කරමින් වම දිගටම ගියා. එහෙම නෙමෙයි, විවේචන වලට ෆේස් කරන්න ඕනෙ. ඒ ෆේස් කිරීමෙන් තමයි නැවත ඒ සංවාදය ගොඩ නගන්න පුළුවන් වෙන්නෙ. වම විනාශ කිරීමේ සිතිවිල්ලක් තුන් හිතකවත් මා තුළ නැහැ. මොකද වම විනාශ කරලා දාලා අපිට ඉස්සරහට යන්න බැහැ. වම තමයි උත්තරේ.
ප්‍රශ්න වලට උත්තරේ වම නම්, ඇයි වමට උත්තර නැති වෙලා තියෙන්නෙ ?
මිනිස්සුන්ව දිනාගැනීම කියන එක තාම වමට කරන්න හම්බවුනේ නෑ. ලංකාවේ වම ඒකට අතිශය අසාර්ථක යි. වම යෝජනා කරන පැරණි, අතිශය මූලධර්මවාදී උපාය උපක්‍රම තමයි මේකට හේතු වෙලා තිබෙන්නෙ.
හරි. එහෙනම් ඔබ යෝජනා කරන මූලික උපාය උපක්‍රම මොනවද?
වම හිතන්න පටන් ගන්න ඕනෙ ඇයි මිනිස්සුන්ට ළඟාවෙන්න බැරි වුණේ කියලා. ඒක හිතන්න ඕනෙ වමේ ඇහැකින් නෙමෙයි. ඒක හිතන්න ඕනෙ ඇඩ්වටයිසින් ඇහැකින්. ඇඩ්වටයිසින් කාරයෙක්ට පුළුවන්නං පුංචි සබන් කැටේ හද්දා පිටිසර සන්නිවේදනයක්වත් යන්නෙ නැති තැනකට යවන්න, ඒ මූලික උපක්‍රමය ඇයි වම බාර ගන්නෙ නැත්තෙ? ඒ සම්ප්‍රේෂණය වන විධික්රමය ඇයි වම තෝර ගන්නෙ නැත්තෙ? මම කියන්නෙ ඒ තරමට වම නවීන වෙනවා නම් ලංකාවෙ වමේ දේශපාලනය අතිශය සරුසාර වෙනවා.
නාට්‍යයේ පූර්ව ප්රචාරක කටයුතු වලදි ඔබ භාවිත කර තිබුණු දේවල් වලින් මේ නාට්‍යය ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කරන නාට්‍යයක් බව පැහැදිළි වෙනවා. එතකොට ඔබ ඉහත කියපු වමේ දේශපාලනය සහ ලිංගිකත්වය අතර ඇති සම්බන්ධය මොකක්ද?
මතුපිට දේශපාලන කාරණාවෙදි අපි කතා කරන්නෙ ලිංගිකත්වය සහ බලය අතර තිබෙන සම්බන්ධය. ලංකාවේ දේශපාලනය සහ ලෝක දේශපාලනය තුළ බලය හා ලිංගිකත්වය අතර තිබෙන සම්බන්ධය හරි තදාත්මකයි. ඒක වෙන්කරන්න බැහැ. හැබැයි ඒ සම්බන්ධය විසින් ගොඩනගන දේශපාලන තීන්දු ඉතාමත් විකෘති තීන්දු. ලංකාවේ දේශපාලනයේ මාර ජනතාවාදියි කියලා හිතෙන තීන්දු පිටිපස්සෙ තියෙන්නෙ අමු ලිංගික කුහකකම්. අමු ලිංගික සම්බන්ධකම්. මේක එළියට එන්නෙ නෑ. එළියට ආවත් එන්නෙ සෑහෙන්න කාලයක් ගිහිල්ලා. එතකොට සෙක්ස් සහ පවර් අතර තියෙන සම්බන්ධය චරිත දෙකක් හරහා මේ නාට්‍යය ඇතුළෙ පාවිච්චි කරනවා.
ඔබ වාමාංශික ව්‍යාපාරය ගැන සාකච්ඡාව මතු කරපු නිසා, මේ ප්‍රශ්නයට ඔබට යොමු කරන්න හිතුණා. ඇත්තටම මේ මොහොතේ වම පිළිබඳව ඔබේ කියවීම මොකක්ද?
මේ මොහොතේ වම ජනප්‍රිය දේශපාලනය කියන එකෙන් මනින්න බැහැ. ඒ කියන්නෙ ජනප්‍රිය දේශපාලනයේ හෝ පාර්ලිමේන්තු දේශපාලනය ඇතුළේ වම හිරවෙලා ඉන්න ඕන නැහැ. වම කියලා අපි විශ්වාස කරපු දෙයක් තිබෙනවා. දැනටත් වමේ කොඩිය අතට ගත්තු මිනිස්සු තැන් තැන්වල ඉන්නවා. සැබෑ උවමනාවෙන් ක්‍රියාත්මක වෙන වමේ මිනිස්සුත් ඉන්නවා. එතකොට මේ සියලු ප්රවාහයන් යම් සංගායනාවකට ආ යුතුයි. ඒ වගේම කුඩා කල්ලි කණ්ඩායම් වශයෙන් බෙදිලා වමේ කොටස් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. මේ සියලු දෙනා එකතු කරගන්න පුලුවන් තැන මොකක්ද? ඉතින් නැවත වම කියවන්න පටන් ගන්න ඕන. වම කියවීම කියන කාරණයේදී අපිට නිශ්චිත දේශපාලන මොහොතවල්වලදී යම් යම් පටු පරමාර්ථ අනුව තීරණ අරගෙන වැඩ කරන්න බැහැ. වෙන විදියක කියවීමක් එක්ක දීර්ඝ කාලීන ගමනක් යන්න ඕන. එහෙම නැතුව මේ සමාජයට වෙන විකල්පයක් නැහැ. වම ම තමයි උත්තරේ. හැබැයි ඒ වම මේ වම නෙමෙයි.
ඔබ වමට එවැනි බරපතළ විවේචනයක් එල්ල කරන්නෙ මොන වගේ පදනමක ඉඳන්ද?
මේ රටට වැඩිපුරම හානි කළේ දකුණින් ආපු දේශපාලකයන්ට වඩා, වමෙන් පටන් අරගෙන දකුණට ගිය දේශපාලකයන්. සහ වමේ සළුපිලි දාගෙන දකුණට වැඩ කරන අය. ඒ හානිය ධනේෂ්වරයෙන් කරපු හානියට වඩා වැඩියි. වමෙන් පටන් ගත්තට පස්සෙ මිනිස්සු අරගලයක් ගැන විශ්වාස කරනවා. අන්තිමට දකුණට හේත්තු වෙනවා. වමෙන් ගිහිල්ලා දකුණෙ ස්ථානගත වෙච්ච එකෙක්වත් පිරිසිදු චරිත හිටියෙ නැහැනෙ. අන්ත අපතයො බිහි කළෙත් වම. අතිශය ප්රගතිශීලි මිනිස්සු බිහි කළෙත් වම. ඒකට උදාහරණ මේ ඉතිහාසය පුරාවටම තියෙනවා. එතකොට මේගොල්ලො කරපු ලොකුම හානිය තමයි ජන සමාජයකට අරගලය ගැන තිබුණු විශ්වාසයට කෙළෙව්වා. මේ මොහොත කියන්නෙ එහෙම එකක්. අරගලයක් ගැන ජන සමාජයේ විශ්වාසයක් නැහැ මේ මොහොතේ. අනිත් එක තමයි අරගලයක් වෙනුවෙන් පෙනී හිටපු ජීවිත වල වටිනාකම බිංදුවටම දැම්මා.
ඔබ මේ නාට්‍යය හරහා බරපතළ සංස්කෘතිමය කාරණාවක් සාකච්ඡාවට ගේනවා. ඒ සංස්කෘතිමය කාරණාව වමට බලපාලා තිබෙන්නෙ කොහොමද?
වම හැමදාම ඛේන්ද්‍ර කර ගත්තෙ ආර්ථික සාධකය විතරයි. නමුත් සමාජය මුහුණ දෙන විපර්යාස වලට සංස්කෘතික කාරණය හරි ප්‍රබලයිනෙ. සංස්කෘතික කාරණාවේ දී වම අපොහොසත්. ප්‍රසිද්ධ තලයේ දී සංස්කෘතික කාරණා ගැන වමට වඩා සිවිල් සමාජය ප්රගතිශීලී තැන්වල ඉන්නවා. වම තමයි හරි නම් ලංකාවේ සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොඩිය ගන්න ඕන. නමුත් එහෙම නොකර ඔවුන් විවිධ විහිළු කතා කියමින් ඉන්නවා. ඉතින් ඒ සංස්කෘතික කාරණා වම හරියට ලිහා ගන්න ඕනෙ.
සංස්කෘතික කාරණාව සම්බන්ධයෙන් රටක් විදියට අපි ගමන් කළ යුතු මාවත පිළිබඳව ඔබ ඉන්නෙ මොන වගේ මතයකද?
අපි ඔය සංස්කෘතික අනන්‍යතාවය හොයන එක නවත්තන්න ඕනෙ. අපි යනවනෙ ඈත ඉතිහාසයට යනකල්ම. අපි ඉතිහාසයට ගිහිල්ලා හොයන්නෙ අනෙකාට කෙළවන විදියනෙ. ඒක කොච්චර පසුපස තිබෙන සමාජයක්ද? ලෝකය කොච්චර ඉස්සරහට ගිහිල්ලද තියෙන්නෙ? එතකොට ඇයි ලෝකෙත් එක්ක සමගාමීව සංස්කෘතික විවෘතභාවය අපිට ඇති කරන්න බැරි? අනෙකාගේ සංස්කෘතිය දරාගෙන සිටීම කියන එක අපිට නැහැනෙ. ඒ නිසා ජීවත් වෙන්න නම් සංස්කෘතික විවෘතභාවය ඇති කර ගන්න ඕන. අපි ආවෘත වෙලානෙ ඉන්නෙ. ඒ ආවෘත වීම ඇතුළෙ කොච්චර ප්‍රශ්න ගොඩක් හදාගෙන තියෙනවද අපි? ලිංගිකව තිබෙන ආවෘතකම්. ලිංගික සංවාදයන් වල තිබෙන ආවෘතකම්. ලිංගික අධ්‍යාපනයේ තිබෙන ආවෘතකම්. අවසානයේ ගත්තාම මේ තුළ වෙන දේශපාලනික දේශපාලනික අවුලක් තමයි තියෙන්නෙ. ඒ දේශපාලනික අවුලේ ප්රතිඵලනෙ මේවා. නමුත් සංස්කෘතියක් විදියට අපි ඒ විවෘතභාවයට යන්නෙ නැත්නම් තවදුරටත් මේ ළිඳේම තමයි ඉන්න වෙන්නෙ.
අවසන් වශයෙන් මේ පවතින ක්‍රමයට, පවතින දේශපාලන තත්ත්වයට මං කෙළින් මිනිහෙක් හරහා බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් බලපෑම මොකක් කියල ඔබ හිතන්නෙ?
තාවකාලික විසඳුම් කියන ඒවට අපි හරි කැමතියිනෙ. අවුරුදු පහෙන් පහටනෙ අපි දේශපාලනය හිතන්නෙ. එහෙම හිතලා මේක ගොඩ දාන්න බැහැ. මේක යුගයක් විදියට සැලසුම් කරන්න ඕනෙ. ධනවාදී පාලකයෝ තට්ටු මාරු ක්‍රමය කරනවා තමයි. මගේ නාට්‍ය තුළ මේ ක්‍රමය සම්බන්ධයෙන් මට තිබෙන විරෝධය විවේචනය තමයි මම ගේන්නෙ. ඒ විවේචනය තුළ එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි සංවාදශීලීව හිතන්න පුළුවන් නම්, තට්ටු මාරු ක්‍රමය නෙමෙයි මේකට උත්තරේ කියන දේ හිතන්න පුළුවන් නම් ඒක තමයි අපේ යෝජනාව. ඒක දීර්ඝ කාලීන යෝජනාවක් නම් ඊට සියයට දශමයකින් හෝ සේවාවක් කිරීමේ අරමුණක් මගේ මේ නාට්‍යයේ තිබෙනවා.