1958 සැප්තැම්බර් මාසයේ දී ස්පාඤ්ඤයේ සෙවිල් ප්‍රාන්තයේ කැමස් නගර සීමාවේ පිහිටි එල් කරම්බොලෝ නම් කුඩා කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ ඉදි කිරීම් වැඩපොළක සේවය කළ කම්කරුවන් පිරිසකට අලංකාර කැටයමින් හැඩ ගන්වන ලද රන් ආභරණ කට්ටලයක් හමු වුණා. ‘එල් කරම්බොලෝ නිධානය’ ලෙස නම් ලද එය සඟවා තිබුණේ ඕවලාකාර ගෘහයක් තුළ යි. විසිතුරු රන් ආභරණවලට අමතර ව ඕවලාකාර ගෘහය තුළින් හමු වූ සත්ත්ව අස්ථි කොටස් සහ පිඟන් මැටි කැබලි පෙන්නුම් කළේ එය වන්දනා හෝ චාරිත්‍රානුකූල කටයුතු ඉටු කිරීම සඳහා යොදා ගන්නා ලද ස්ථානයක් විය හැකි බව යි.
එක් විසි රන් ආභරණයන්ගෙන් සමන්විත වන ‘එල් කරම්බොලෝ නිධානය’ පූජකයින් විසින් පලඳින්නට ඇතැයි සලකනු ලබන ඍජුකෝණාස්‍රාකාර ඵලක 16 කින්, කුණ්ඩලාභරණ හෝ උර තහඩු ද්විත්වයකින්, මාලයකින් සහ වළලු ද්විත්වයකින් යුතු වෙනවා. වැඩිදුර පර්යේෂණ කටයුතු මගින් අනාවරණය වුණේ ‘එල් කරම්බොලෝ නිධානය’ ක්‍රිස්තු පූර්ව 7 – 6 වැනි සියවසට අයත් වන බව යි.
මුහුදු පතුලේ ගිලී ගිය ඇට්ලැන්ටිස් නගරයට අයත් නිධානයක්
‘එල් කරම්බොලෝ නිධානය’ සොයා ගැනීමෙන් අනතුරු ව එය ක්‍රිස්තු පුර්ව 9 – 6 වැනි සියවසේ දී දක්ෂිණ දිග ස්පාඤ්ඤය ආශ්‍රිත ව වර්ධනය වූ ටාටීසස් ශිෂ්ටාචාරයට අයත් නිධානයක් බවට පුරාවිද්‍යාඥයින් අතර විවාදයක් ඇති වුණා. පුරාණ ග්‍රන්ථයන් හි ටාටේසියන්වරුන් විස්තර කර ඇත්තේ රජෙකුගේ පාලනයට නතු වී සිටි, දියුණු සංස්කෘතියකට උරුමකම් කියන ධනවත් ජාතියක් ලෙස යි. ඔවුන් සතු වූ ධනය සහ වසර 2,500 කට පෙර හදිසියේ ම ටාටේසියන්වරුන් ලෝක ඉතිහාසයෙන් අතුරුදන් වීම යන කරුණු පදනම් කරගෙන ඇතැම් පාර්ශවයන් විශ්වාස කරන්නේ මුහුදු පතුලේ ගිලී ගිය ඇට්ලැන්ටිස් නගරය සැබවින් ම ටාටීසස් නුවර විය හැකි බව යි.
නමුත් ඇතැමුන්ගේ විශ්වාසය වුණේ ‘එල් කරම්බොලෝ නිධානය’ ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවසේ දී පමණ පෙරදිගින් පැමිණ බටහිර මධ්‍යධරණී ප්‍රදේශයේ වෙළඳ වරායන් පිහිටුවා ගත් ෆිනීෂියානුවන්ට අයත් වන බව යි. එහෙත් මෑත කාලීන ව ‘එල් කරම්බොලෝ නිධානය’ පිළිබඳ ව පර්යේෂණ කටයුතුවල නියැලුණු සෙවිල් පුරාවිද්‍යා කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා ආනා ඩී. නවාරෝ ඔටේගා, පුරාවිද්‍යා ජ’නලයේ ලිපියක් පළ කරමින් එය ටාටේසියන්වරුන්ට හෝ ෆිනීෂියානුවන් විසින් නිර්මාණය කරන ලද්දක් නොව ස්පාඤ්ඤ ආකරවලින් ලබා ගන්නා ලද රන් යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දක් බව ප්‍රකාශ කර තිබෙනවා.
සොඳුරු දේශීය නිර්මාණයක් වූ ‘එල් කරම්බොලෝ රන් ආභරණ’
සියුම් කැටයමින් හැඩ ගන්වන ලද කොටස් 21 කින් යුතු ‘එල් කරම්බොලෝ රන් ආභරණ’ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී පමණ සිතාමතා ම සඟවා ඇති බවට පුරවිද්‍යාඥයින් මත පළ කරනවා. නමුත් එම ආභරණ නිෂ්පාදනය කර ඇත්තේ එයින් සියවස් දෙකකට පමණ පෙර යි. ක්‍රිස්තු පූර්ව 8 – 6 වැනි සියවසට අයත් වන මෙවැනි නිධානයක් ස්පාඤ්ඤයෙන් මෙයට පෙර සොයාගෙන නොමැති බව අධ්‍යක්ෂිකා ආනා ඩී. නවාරෝ ඔටේගා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එල් කරම්බොලෝ නිධානයේ මූලාරම්භය පිළිබඳ ව පැවති ගැටලුවට විසඳුම් සොයා යාම සඳහා පුරාවිද්‍යාඥ කණ්ඩායම යොදාගෙන ඇත්තේ රසායනික සහ සමස්ථල (isotopic) විශ්ලේෂණයක්. ඒ අනුව එක් රන් ආභරණයකින් ලබා ගන්නා ලද කුඩා රන් කොටසක් ඔවුන් විසින් පර්යේෂණයට භාජනය කර තිබෙනවා. විශ්ලේෂණ ප්‍රතිඵල මගින් අනාවරණය වී ඇත්තේ ‘එල් කරම්බොලෝ නිධානය’ නිම වීම සඳහා යොදා ගන්නා ලද රන්, ක්‍රිස්තු පූර්ව 3 වැනි සහස්‍රයේ දී සෙවිල් ආශ්‍රිත ව පැවති ආකරවලින් ලබා ගන්නා ලද ඒවා බව යි. විශ්ලේෂණ ප්‍රතිඵල මත පදනම් ව අදින් වසර 2,000 කට පෙර සිට රන් නිස්සාරණය කිරීමේ සහ ආභරණ නිපදවීමේ කලාවක් ස්පාඤ්ඤයේ පැවති බව නිගමනය කළ හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.
සංස්කෘතීන් එකට එක් කළ පුරාණ රන් උරුමය
අධ්‍යක්ෂිකා ආනා ඩී. නවාරෝ ඔටේගා ප්‍රකාශ කරන්නේ ආභරණ නිම වීම සඳහා රන් ලබාගෙන ඇත්තේ සෙවිල් හි ආකරවලින් වුව ද නිර්මාණකරණය සිදු කිරීම සඳහා වැඩි වශයෙන් ෆිනීෂියානු ක්‍රමවේද භාවිත කර ඇති බව යි. ‘එල් කරම්බොලෝ නිධානය’ සොයා ගත් ස්ථානයට නුදුරෙන් ෆිනීෂියානු දෙවොලක් ද සොයාගෙන ඇති අතර රන් ආභරණ බොහෝ විට ෆිනීෂියානු-ටාටේසියන් සංස්කෘතීන් හි මිශ්‍රණයක් විය හැකි බව සැලකෙනවා. මානව විද්‍යා හා සමාජ විද්‍යා සඳහා වන ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ මණ්ඩලය සමග කටයුතු කරන, එල් කරම්බොලෝ ආභරණ නිපදවීමේ දී යොදාගෙන ඇති රන් තාක්ෂණය පිළිබඳ විශේෂඥ පුරාවිද්‍ය ඇලීෂියා පෙරේයා ද ඒ බව පිළිගෙන තිබෙනවා.
ඇය ප්‍රකාශ කරන්නේ ෆිනීෂියානුවන් සහ ටාටේසියන්වරුන් අතර සිදු වූ විවාහයන් හි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි තාක්ෂණික හුවමාරු සිදු වන්නට ඇති බව යි. එසේ ම එක් රන් කැබැල්ලක් විශ්ලේෂණය කිරීම මගින් ‘එල් කරම්බොලෝ නිධානය’ ස්පාඤ්ඤ නිෂ්පාදනයක් බව නිගමනය කළ නොහැකි බව තවදුරටත් ප්‍රකාශ කරන ඇයගේ අදහස වන්නේ සියලු ම ආභරණ කොටස් රසායනික සහ සමස්ථල විශ්ලේෂණයක් සඳහා යොමු කළ යුතු බව යි. නමුත් එවැනි විශ්ලේෂණයකින් තොර ව ම වුවත් ‘එල් කරම්බොලෝ නිධානය’ මුහුදු පතුලේ ගිලී ගිය ඇට්ලැන්ටිස්වරුන්ගේ නිමැවුමක් නොවන බව පැහැදිලි ව පෙනී යන බව ඇය තහවුරු කර තිබෙනවා.
කවරයේ පින්තූරය : © Karsten Moran / The New York Times / Redux