Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නා හැටි

අපි හැමෝම ගොඩක් දේවල් ගැන ඕනවට වඩා හිතනවා. දැන් ඉතින් ඔබත් එහෙම හිතනවාද නැද්ද කියලා ඕනැවට වඩා හිතන්න යන්න කලින් එහෙම කරන්නෙ ඇයි සහ ඊට පිළියම් මොනවාද කියලා සාකච්ඡා කෙරෙන මේ ලිපිය කියවලාම බලන්න.

අපි විවිධ අවස්ථා වලදී ගත්තු තීරණ, අහිමි වුණු දේවල්, මාන්නය හෝ අනාගතයේ ඇතිවිය හැකි යැයි උපකල්පනය කරන විවිධ සිද්ධි ගැන ආවර්ජනය කරමින් ඒ දේවල් ගැන විවිධාකාරව සිතමින් ඇතැම්විට තාර්කිකව යමක් සිදුවීමේ සම්භාවිතාව ඉතා ම අඩු අවස්ථාවන් ගැන වුණත් සිතමින් කාලය ගත කරන්නට පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඒකෙන් වෙන්නේ මේ වටිනා වර්තමානය අපට මඟහැරී යන එකයි.

ඇයි අපි ඕනෑවට වඩා හිතන්නේ?

(powerofpositivity.com)

(powerofpositivity.com)

පමණට වඩා සිතීම ගැන කතා කරද්දි එහි වර්ග දෙකක් වශයෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්. එකක්, අපි කිසියම් සිදුවීමක් පිළිබඳ එක දිගට ම සිතමින් සිටීමෙන් එහි පැටලීමට ලක්වීමයි. ඔබ ඒ සිදුවීම පිළිබඳ මුල ඉඳලා සිතාගෙන ගිහින් දන්නෙම නැතුව නැවත නැවතත් ඒ ගැන අවසානයක් නැතිව සිතන්නට පෙළඹෙනවා. අපේ අතින් සිදුවුණු දෙයක් හෝ අනාගතයේ සිදුවිය හැකි යමක් පිළිබඳව සිතමින් කාලය ගත කිරීමයි මෙහිදී සිදුවෙන්නේ. ඒ වගේම අනෙක් දෙය නම්, ඔබ ගත් තීරණයක් පිළිබඳව නැවත නැවතත් විවිධ කෝණ වලින් දකිමින් සිටීමයි. ඒත් ප්‍රතිඵලය වෙන්නේ ඒ ගැන සිතීම නැවතීමටවත් තීරණයක් ගන්න බැරි වෙන තරම් ඔබ ඔබව ම තලාපෙලා ගැනීමයි.

ඒ දෙකෙන් කුමක් නමුත්, ඕනෑවට වඩා සිතීමේදී සරලව සිදුවන්නේ ඔබේ ජීවිතයට  හුදෙක් අයහපත් බලපෑමක් ඇතිවීමම පමණයි.

ක්‍රියාත්මක වෙන්න

(huffpost.com)

(huffpost.com)

ඔබේ සිතට එකඟව යහපත් කියා සිතෙන කිසිවක් පිළිබඳව අනිත් අය මොනවා හිතයිද, මේ දෙයින් චරිතයට ඉන් කැළලක් වෙයිද, වගේ ඔබ නිරන්තරව සිතමින් කල් ගත කරනවා නම් සිතීම නවතා එය ක්‍රියාවට නැගීම වැදගත් වෙනවා.

උදාහරණයක් විධියට, ඔබ පදිංචිය මාරු කිරීමට අදහස් කරනවා කියලා හිතමු. ඔබට එය එක් වරම කරන්නට බැහැ, ඉතින් ඔබ ටිකක් නිදහසේ වාඩි වෙලා කල්පනා කරන්නට පටන් ගන්නවා. අන්තිමට දවස් දෙක තුනකින් බලද්දීත් ඔබේ නිවෙස් ලිපිනය වන්නේ ඔබ හිඳගත් අසුන තිබෙන පැරණි නිවසේමයි. ඒ නිසා මෙහෙම සිතමින් ඉන්නවා වෙනුවට, ඔබට කරන්නට ඇති දේවල් ලයිස්තුගත කරන්න. එම ප්‍රදේශයේ ඇති නිවාසවල මිල ගණන්, ඒ නව පරිසරයේදී ඔබට රැකියාව මාරු කරන්නට වෙනවා නම් ඒ බව, දරුවන්ගේ පාසල් මාරු කරන්නට ගතයුතු පියවර වැනි දේවල් ඒ අතර තිබෙන්නට පුළුවන්.

දැන් ඒ කළ යුතු දේවල් වලට ආර්ථිකමය සැලසුමක් එක්ක කාලරාමුවක් යොදන්න. එමඟින් ඔබට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව හොඳ සැලසුමක් ඉබේ ම ලැබේවි.

අවධානය වෙනස් කරගන්න

(wallpaperfolder.com)

(wallpaperfolder.com)

දැන් මේ වගේ ඔබට කරන්නට දෙයක් නැති අවස්ථාවක් ගැන හිතමු. ඒ කියන්නෙ, ඔබ අතීතයේදී කරපු දෙයක් නිසා දැන් ඊට කරන්නට පිළියමක් නැහැ කියලා ඔබට තේරෙනවා. සිරිත් මල්දමේ කවියකත් තියෙනවානෙ “වැඩක නොයෙදූ සිත – නරක අතටම පෙරළෙත” කියලා. ඒ හින්දා පරණ දේවල් ගැන හිත හිත ඉන්නවාට වඩා කිසියම් වැඩක යෙදීම අඩුගානේ භෞතික වශයෙන් හෝ ඔබව ඉදිරියට ගෙනයනවා, එහෙම නේද?

මේ සඳහා ඔබ කරන්නට කැමති කුමක් හෝ විනෝදාංශයක, කාර්යාලීය කටයුත්තක, නිර්මාණකරණයක වැනි හාත්පසින් වෙනස් දෙයක යෙදෙන්න. නැත්නම්, අළුතෙන් දෙයක් ඉගෙන ගන්න. ශරීරයට ව්‍යායාම් ලැබෙන කටයුත්තක් නම් වඩාත් හොඳයි. ඉන් ගත වෙහෙසෙන නිසා ඔබ වැඩි වැඩියෙන් හුස්ම ගන්නා අතරේ ම රුධිර සංසරණයත් හොඳින් සිදුවෙනවා. මෙමඟින් දුක, පසුතැවීම ඇතිකිරීමට බලපාන හෝමෝන නිපදවීම අවමව ගොසින් ඔබට නව ජවයක් ලැබුණු හැඟීමක් ඇතිවේවි. එහෙම දේ කරන්න අපහසු අවස්ථාවක නම් හාස්‍යජනක ටීවී සීරීස් එකක් හෝ චිත්‍රපටයක් බලන්න. මේවා නිසා සිනහ ඇතිවීමෙන් මුහුණේ පේශි සිනහව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එයත් දුක්ඛදායී හෝමෝන වියැකී යාමට හේතුවක් වෙනවා.

කල්පනාකාරී විය යුත්තේ, ඔබ කරන්නට තෝරා ගන්නා කටයුත්ත නිසා තව තවත් ඔබේ ගැටළුව සිහි වන ආකාරයේ දෙයක් නොකිරීමට වග බලා ගැනීමටයි. මොකද නැත්නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ.

ඒ ගැන කථා කරන එක නවත්වන්න

(antgibbz.com)

(antgibbz.com)

“ප්‍රශ්ණයක් තියෙනවා නම් මාත් එක්ක කියන්න” කිව්වාම ඒ ගැන කථා කරලා හිත නිදහස් කරගන්න එක හොඳ පුරුද්දක්. හැබැයි ඔහොම අවස්ථාව දෙන හැමෝටම තියෙන ප්‍රශ්ණ කියන්න ගියොත් වෙන්නේ ගෙයි ගිනි පිටට දීලා තව ප්‍රශ්ණ වැඩි කරගන්න වෙන එක විතරයි. ඊටත් වඩා, හැමෝගෙන්ම උපදෙස් ගන්න ගියාම වෙන්නේ අර “බූරුවා, පුතා සහ පියා” කථාවෙ වගේ ඒ හැම එකක් ගැන ම හිතන්න ගිහින් ඔබ තවත් වැටෙනවා.

ඒ කියන්නෙ ඔබට අත්හදා බලන්නට ලැබෙන විකල්ප සංඛ්‍යාව වැඩි වුණා ම ඒක කරනවා ද මේක කරනවා ද එහෙම කළොත් මොනවගේ දෙයක් වෙයි ද වගේ හිතන්නට සිද්ධ වෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවා. සමහරවිට එක් කෙනෙක් ලබා දීපු විකල්පයකට තවත් කෙනෙක් දීපු විකල්පයක් හාත්පසින් පරස්පර වෙන්නට පුළුවන්. එතකොට ඔබ තවත් අවුලකට පත්වෙනවා.

ඒ නිසා ඔබේ ප්‍රශ්ණයක් කිව හැකි එක් විශ්වාසවන්ත සහ දැනුමෙන් පරිපූර්ණ පුද්ගලයෙක් තෝරාගන්න. ඒ ඔබේ දෙමාපියන්, ළඟ හිතවතෙක්, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ වෙන්නට පුළුවන්. හොඳ මානසික වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. එය අවස්ථානුකූලව, බුද්ධිමත්ව තෝරා ගත යුතුයි. නිතර සාර්ථක චරිත කථා ආදිය කියවනවා නම් ඔබට ඒ අයගේ ජීවිත වලින් බොහෝ දේවල් ඉගෙනගන්නට පුළුවන් වේවි. එයින් ප්‍රශ්ණවලට මුහුණ දෙන හැටි ගැන අත්දැකීම් සමුදායක් ඔබට ලබාගන්නට පුළුවන් වෙනවා වගේම ඕනෑම දෙයකට සවිමත්ව මුහුණ දීමේ ශක්තියක් ලැබෙනවා.

අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඉතින් මේ දැන් උදාවෙලා තිබෙන මොහොත අපි නිවැරදිව ලිව්වොත් ඒක අතීතයට රන් අකුරෙන් එක්වේවි. ඉන් අනාගතයත් බැබලේවි. එතකොට නම් ශීත සෘතුව මධ්‍යයේ වුණත් වසන්තය ගෙන්වාගන්න පුළුවන් අනිවාර්යයි.

කවරයේ පින්තුරය: powerofpositivity.com

Related Articles